සංස්කරණය - නාරද නිශ්ශංක

භාරතයේ මහා සංගීතඥ උස්‌තාද් අලිඅක්‌බාර් ඛාන් මියයයි
මහාචාර්ය සනත් නන්දසිරි
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

උත්තර භාරතීය සංගීතයේ සරෝද් නමැති සංගීත භාණ්‌ඩයෙහි පියා යෑයි සැළකූ සරෝදයේ මුදුන් මල්කඩ වූ උස්‌තාද් අලි අක්‌බාර් ඛාන් නමැති මහා සංගීතඥයා ජුනි මස 18 වැනදා අමෙරිකාවේ කැලිෆොaර්නියා ප්‍රාන්තයේදී අභාවප්‍රාප්ත විය. 1922 අප්‍රියෙල් 14 වනදා නැගෙනහිර බෙංගාලයේ කොමිලා නමැති ගම්මානයේදී උපත ලද මෙතුමාගේ උපත සමගම තම දෙමවුපියන් වූ උස්‌තාද් අලව්දීන් ඛාන් සහ මදීනා බෙගම් සමග භාරතයේ මධ්‍ය ප්‍රදේශයෙහි මයිහාර් ප්‍රාන්තයෙහි පදිංචියට පැමිණියේය.

මෙතුමා අයත් වූයේ මයිහාර් ඝරාණාවටය.

තම පියා වූ උස්‌තාද් අලව්දීන් ඛාන් වෙතින් සංගීතයේ අත්පොත් තැබූ අලි අක්‌බාර් ඛාන් තුමා බටහිර රටවල සරෝද් භාණ්‌ඩය ප්‍රචලිත කිරීමේ ප්‍රමුඛයා විය. ඒ සඳහා නොමද සහායක්‌ තම මස්‌සිනා වූ පණ්‌ඩිත් රවිශංකර් තුමාගෙන් ලැබිණි. මෙතුමා 1956 දී කල්කටා නගරයේදී සංගීත පාසලක්‌ ද 1967 දී අලි අක්‌බාර් විද්‍යාලය නමින් විද්‍යාලයක්‌ ස්‌විස්‌ටර්ලන්තයේ ද ආරම්භ කරන ලදී. ලෝක ප්‍රසිද්ධ වයලීන වාදන ශිල්පියකු වූ යෙහුඩි වෙනුහින් වෙතින් ලද ආරාධනයක්‌ අනුව 1955 දී අමෙරිකාවට ගිය මෙතුමා කැලිෆොaර්නියාවේ පදිංචි විය. එසේම 1989 දී පද්මභූෂණ සම්මානයෙන් ද මක්‌ ආර්තර් සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඉතා සැර පරුෂ ගුරුවරයකු වූ තම පියා වූ උස්‌තාද් අලව්දීන් ඛාන් දිනකට පැය 18 ක්‌ පුරා සරෝද් වාදනය ප්‍රගුණ කරවීමට කුඩා අලි අක්‌බාර් ඛාන් හට නියම කර තිබිණි. ඒ අතරතුර තම මාමාගෙන් තබ්ලා සහ පක්‌වාඡ්වාදනයද ප්‍රගුණ කරන ලදී. තම පියාණන්ගේ ශිෂ්‍යයන් වූ සරෝද් වාදක තිමිර් බරන් සහ බටනලා වාදක පන්නලාල් ගෝෂ්ගේ ඇසුර එකල ලැබූ මෙතුමා ඒ සමගම තම සොහොයුරිය වූ සුර්බහාර් වාදන ශිල්පිණි අන්න පූර්ණා දේවී සමග පුහුණු කටයුතුවල නිරතවිය. අන්න පූර්ණ දේවිය වෂ_ 1941 දී පණ්‌ඩිත් රවිශංකර් සමග විවාහ වූවාය. එවකට පණ්‌ඩිත් රවිශංකර් උස්‌තාද් අලව්දීන් ඛාන්ගේ දීප්තිමත් ශිෂ්‍යයකු විය.

තමාට වයස 13 දී පමණ 1936 දී උස්‌තාද් අලි අක්‌බාර් ඛාන් අලහබාද්හි පැවැති සංගීත සම්මේලනයකදී පළමු වරට සරෝද් වාදනයක්‌ ඉදිරිපත් කරන ලදී. ඉන් වසර 3 කට පසුව 1939 දී තම මස්‌සිනා වූ පණ්‌ඩිත් රවිශංකර් සමග එම සම්මේලනයේදීම යුගළ වාදනයක්‌ ඉදිරිපත් කිරීමට මෙතුමා හට අවස්‌ථාව උදාවිය. එම වාදන ප්‍රසංගය එම දෙදෙනාගේ පළමුවන යුගළ වාදනය විය. 1938 දී බොම්බායේ අතිල භාරතීය ගුවන් විදුලියෙන් තම පළමු වන සරෝද් වාදනය ඉදිරිපත් කළ මෙතුමා තම සහාය තබ්ලා වාදකයා වශයෙන් තෝරා ගත්තේ උස්‌තාද් අල්ල රක්‌තා නමැති මහා තබ්ලා වාදන ශිල්පියාය. 1940 දී මෙතුමා මාසිකව සරෝද් වාදන කිරීමේ නිත්‍ය ශිල්පියෙක්‌ වශයෙන් ලක්‌නව් ගුවන් විදුලියට සම්බන්ධව කටයුතු කළේය. 1994 දී මයිහාර් ප්‍රාන්තය හැරගිය පණ්‌ඩිත් රවිශංකර් බොම්බායේ පදිංචි විය. අලි අක්‌බාර් ඛාන් ලක්‌නම් ගුවන් විදුලියේ සංගීත අධ්‍යක්‍ෂක විය.

මෙම කාල වකවාණුවේදී තම පියා වූ උස්‌තාද් අලව්දින් ඛාන්ගේ රෙකමදාරුව යටතේ ජෝද්පූර් මහ රාජා වූ හනුමන්ත් සිංග්ගේ රාජ සභාවේ රාජ සභා සංගීතඥයා වශයෙන් එතුමා පත් විය. එතෙක්‌ අලි අක්‌බාර් ඛාන් යනුවෙන් හැඳින්වූ මෙතුමාගේ නාමයට ඉදිරියෙන් උස්‌තාද් යන නාමය ප්‍රදානය කළේ එම මහරාජා විසිනි. 1948 දී ගුවන් යානා අනතුරකින් මියගිය හනුමන්ත් සිංග්ගේ වියෝවෙන් වේදනාවට පත් මෙතුමා 1948 දී බොම්බායේ පදිංචියට පැමිණියේය.

බොම්බායේදී චිත්‍රපට සංගිත අධ්‍යක්‍ෂණයට ද සම්බන්ධ වූ මෙතුමා ෙච්තන් ආනන්දගේ "ආංදියාං" සත්යජිත් රෙරගේ "දේවී" මර්චන්ට්‌ අයිවරීස්‌ගේ "ද හවුස්‌ හෝල්ඩර්" සහ තපන් සිංග්ගේ "කසුදිස්‌ත පෂන්" නමැති චිත්‍රපට සඳහා සංගීතය අධ්‍යක්‍ෂණය කළේය. කසුදිස්‌ත පෂන් චිත්‍රපටය සඳහා වසරේ විශිෂ්ඨ සංගීතඥයාට හිමි සම්මානය ද හිමි කරගත්තේය. භාරතයෙන් පිරිනමනු ලැබූ සියලුම සම්මානයන් නොඅඩුව ලැබීමට මෙතුමන් වාසනාවන්ත විය.

එසේම 1945 වාදන තැටිගත කිරීම ආරම්භ කළ මෙතුමා 78 ආර්. පී. එම්. තැටිද විනාඩි 3 තැටිද නිකුත් කළේ බොම්බායේ එච්. එම්. වී. සමාගම මගිනි. එම තැටි අතර එතුමා නිර්මාණය කළ චන්ද්‍රකෞංස්‌ රාගයෙන්ද මාලකෞංස්‌ චන්ද්‍රකෞංස්‌ නන්දකෞංස්‌ සහ කෞෂිකානඩා රාගයෙන්ද යුත් සරෝද් වාදන විය.

ඉතිහාසයේ පළමු වතාවට මෙම තැටි ලොව පුරා සීඝ්‍රයෙන් අලෙවි විය. මෙතුමා එල්. පී. ඇල්බමයක්‌ අමෙරිකාවේදී නිකුත් කළ පළමු භාරතීය සංගීතඥයා මෙන්ම එරට රූපවාහිනියේ සරෝද් වාදනයක්‌ ඉදිරිපත් කළ පළමු ශිල්පියාද විය. එසේම පණ්‌ඩිත් රවිශංකර් සමග මෙන්ම නිකල් බෙනර්ජි සමග ද වයලීන වාදක එල්. සුබ්‍රමනියම් සමග ද යුගළ වාදන තැටි නිකුත් කරන ලදී. 1971 වර්ෂයේදී බංග්ලා දේශයේ පැවැති සංගීත සම්මේලනයකදී පණ්‌ඩිත් රවිශංකර් - උස්‌තාද් අල්ලරඛා කමලා චක්‍රවර්තිද බටහිර සංගීතවේදීන් වන බොබ් ඩිලාන් එරික්‌ ක්‌ලැප්ටන් ජෝර්ඡ් හැරිසන් සහ රින්ගෝ ස්‌ටාර් ද සමග ඉදිරිපත් කරන සාර්ථක ප්‍රසංගයේ තැටි සහ සිනමා පට පසු කළෙකදී මහත් සේ අලෙවි විය.

එතුමන් හට පුතුන් සත්දෙනෙක්‌ සහ දූවරු හතරදෙනෙක්‌ වේ. වැඩිමහල් පුතු වූ අසීස්‌ ඛාන් වත_මානයේ භාරතයේ මහා සරෝද් වාදන ශිල්පියෙකි. භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨ තබ්ලා වාදන ශිල්පීන් සියලුම දෙනාටම පාහේ එරට පහළ වූ සියලුම සංගීතවේදීන් සමග සහාය වාදනය කිරීමේ අවස්‌ථාව හිමි වී නැත. එහෙත් භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨ තබ්ලා වාදන ශිල්පීන් වන උස්‌තාද් අහමඩ් ජාන් තිරක්‌වා - උස්‌තාද් අල්ලා රක්‌කා-පණ්‌ඩිත් ශාම්තා ප්‍රසාද් (ගුදෙයි මහරාඡ්) - පණ්‌ඩිත් චතුර් ලාල් පණ්‌ඩිත් කිෂන් මහරාඡ් - පණ්‌ඩිත් අනෝකේලාල් - උස්‌තාද් අකීර් හුසේන් උස්‌තාද් අෆාක්‌ හුසේන් - උස්‌තාද් කරාමක්‌ කුල්ලා ඛාන් ආදීන් මෙතුමාගේ සහාය වාදන ශිල්පීන් වශයෙන් සහභාගි කරවා ගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. මම ලක්‌නව් හා භාත්ඛණ්‌ඩ විද්‍යාලයෙහි සංගීත හදාරන අවධියේදී එහි සරෝද් වාදනය උගැන්වීමේ ආචාර්යවරයා වූ පණ්‌ඩිත් සුප්‍රභාම්පාල් සංගීතවේදියාණන් උස්‌තාද් අලි අක්‌බාර් ඛාන් තුමාගේ ප්‍රමුඛ ශිෂ්‍යයකු විය. ඇතැම් අවස්‌ථාවන්හිදී සුප්‍රභාට්‌පාල් තුමාගේ සහාය තබ්ලා වාදන ශිල්පියා වූයේ ද මා ය.

අලි අක්‌බාර් ඛාන් තුමා ලක්‌නව් හි ප්‍රසංගයක්‌ සඳහා පැමිණි එක්‌ අවස්‌ථාවක මම ද පාල් ආචාර්යතුමන් සමග එතුමන් හමුවීමට කාල්ටන් හෝටලයට ගියෙමි. ඉතා ප්‍රසන්න වූද ප්‍රියමනාප වූද එතුමන් පිරිසිදු වතකින් හෙබි කාරුණික පුද්ගලයකු විය. වචනයේ පරි සමාප්තර්තයෙන්ම එතුමන් මනා ගාන්ධර්වයකැයි මට සිතුනේ එතුමන්ගේ මුලු ශරීරය පුරා විහිදී ඇති සංගීතයේ ගුණය නිසා යෑයි මම සිතමි. භාරතයේ සරෝද් වාදන ශිල්පීන් බොහෝ සිටියද සරෝද් වාදනයේ පිය පදවිය හිමි වූයේ මෙතුමන්ටය. සරෝදය කොතැනද? එතැන උස්‌තාද් අලි අක්‌බාර් නාමය මුළින්ම තිබිණි. එතුමන්ගේ අභාවයෙන් සරෝදය පිළිබඳ ලියෑවුණු මහා ග්‍රන්ථයක්‌ අවසන් වී ඇතැයි සිතේ. සරෝදය පිළිබඳ වංශ කථාවෙහි මින් පසුව වරින් වර කොතෙක්‌ නම් ලියෑවුනද අලි අක්‌බාර් ඛාන් නාමය අභිබවා යාමට කිසිවකුටත් නොහැකිවනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v