|

සංස්කරණය -
නාරද නිශ්ශංක
අවසන් ප්‍රසංගයට පෙර
අවසන් ගමන් ගිය මයිකල් ජැක්සන්
පොප්
සංගීතයේ රජු ලෙස කිරුළු පළන් ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවකගේ
ආකර්ශනය දිනාගත් මයිකල් ජැක්‌සන් ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ සෝ
සුසුම් මැද පසුගිය දා ඇමරිකාවේ දී අවසන් ගමන් ගියේය. මේ ලෝක
පූජිත ගායකයා පිළිබඳ මේ කෙටි සටහන 1989 දී පමණ අප ලියනු ලැබූවකි.
එය ඔහුගේ වියෝව වෙනුවෙන් ද අපි අද මෙලෙස පළ කරමු.
තට්‌ටු පහක් උස දැවැන්ත වේදිකාවකි. එය ඒකාලෝක කිරීමට විදුලි
බුබුළු පනස් දහසකි. වේදිකාව දෙදරමින් ලක්‍ෂ සංඛ්‍යාත නරඹන්නන්
වශී කර ගත් ආකර්ශනීය මිනිසෙකි. හේ වූ කලී මේ සියවසේ සාර්ථකම
මිනිසුන් අතලොස්‌සකගෙන් කෙනකු වූ මයිකල් ජෝ ජැක්‌සන් හෙවත්
මයිකල් ජැක්‌සන්ය. ජනප්‍රියත්වය පැත්තෙන් බලන කල මයිකල්
ජැක්‌සන්ට සම කළ හැකි ගායකයකු නූතන බටහිර සංගීත ලෝකයේ නොමැති වූ
තරම්ය.
ළමා වියේ පටන්ම තම ගායන හා නර්තන අනන්‍යතාව
ලොවට පසක් කරමින් තමන්ට ආවේණික වූ නර්තන ශෛලියකින් හා ගීතවත්
බවකින් ලොව ආකර්ෂණය කරගත් මේ මිනිසා ලොව සමහර කලාකරුවන් මෙන්
බිම් මල් මෙන් පිපී එක රැයකින්ම බිම ඇදවැටුණේ නැත. ඔහු තම
ජනප්‍රියතාව අඛණ්‌ඩව රැක ගත්තේය. ජීවිතයේ බොහෝ අභියෝගවලට නොසැලී
මුහුණ දී ජයගත්තේය. වරෙක මේ ඇමරිකානුවා අසූව දශකය අග භාගයේ ලෝක
සංචාරයක නිරත විය. ඒ සංචාරයේ වටිනාකම ඩොලර්වලින් නම් කෝටි ගණනකි.
එම සංචාරයේදී සංගීත සංදර්ශනවලින් ලැබේ යෑයි අනුමාන කළ ආදායම අපේ
රටේ මුදල්වලින් නම් ප්‍රකෝටියකට වැඩිය.
එහෙත් එම සංචාරයෙන් ඔහු අපේක්‍ෂා කළ මුදල ඇන
හිටියේය. එහෙත් එහි රහස ඔහුගේ ජනප්‍රියත්වය ඇනහිටීම බව සමහර
විචාරකයන් පෙන්වා දුන්හ. එහෙත් ඉන් ඉක්‌බිතිව ඔහු නිකුත් කළ
"ත්‍රීලර්" ගීත ඇල්බමය පිටපත් තුන් කෝටි පනස් ලක්‍ෂයක් මුල්
සති කිහිපය තුළ විකිණී යැමත් සමග ඔහු තම ජනප්‍රියත්වය පිළිබඳ
ඇතැමුන් පළ කර සිටි මතවාද සුණුවිසුණු කර දැමුවේ එදා සිට අද
දක්‌වාම ලොව වාර්තාගත වැඩිම අලෙවියක් සහිත ගීත ඇල්බමය ලෙසට එය
වාර්තා පොතට එක් කරමිනි. මයිකල් ජැක්‌සන් ගායකයකු පමණක් නොව
වරෙක නළුවකු ද විය.
සමහරවිට ඔහු මිනිත්තුවට රුපියල් ලක්‍ෂයක් අය
කළ අයකු විය හැක. වරෙක ලෝක ප්‍රකට අධ්‍යක්‍ෂ ප්‍රැන්සිස් පෝඩ්
කොපෝලා තැනූ විනාඩි 12 ක චිත්‍රපටයක ඔහු රඟපෑවේය. සුප්‍රසිද්ධ
චිත්‍රපට නිෂ්පාදක ජෝර්ඡ් ලූකස් මේ චිත්‍රපටය සඳහා ඔහු අය කළ
මුදල ලොව කිසියම් කලා කටයුත්තකට ඒ වන විට ලොව වැඩිම මුදල අය කළ
මිනිසා ලෙස සටහන් වූයේය.
මීට වසර කිහිපයකට පෙර වේදිකාව මතදී ජැක්‌සන්ට මහත් ඇබැද්දියක්
විය. ඒ ඔහුගේ හිස ගිනි ගැනීමය. ඒ කණගාටුදායක සිද්ධිය වූයේ
මෙලෙසිනි. ජැක්‌සන් වේදිකාව මත නැගී ගී ගයමින් නටමින් සිටියේය.
වේදිකාව වඩා අලංකාර කිරීමට වේදිකා පාලකවරයා වර්ණවත් දුම් බෝම්බ
කිහිපයක් වේදිකාව මත පිපිර වූහ. එබඳු ක්‍රියා බටහිර සංගීත
වේදිකාවල එකල ද සිදුවිය. එහෙත් අවාසනාවකට මෙන් එක් දුම්
වෙඩිල්ලක දුම් අතරින් පැමිණි ගිනි දැල්ලක් ජැක්‌සන්ගේ හිසෙහි
කෙස් රැළි හා එක්‌විය. සැණෙන් ගිනිගත් හිසින් යුතුව සිහිවිසඥ වූ
මේ ලොව මවිත කළ තරුණ ගායකයා, අපූර්ව මිනිසා හෙලිකොප්ටරයක් මගින්
රෝහලකට රැගෙන යනු ලැබීය. එම පුවත ලොව පුරා ඔහුව ප්‍රිය කළ තරුණ
පරපුරට, රසිකයන්ට ඉමහත් සංවේගදායක පුවතක් විය. කී දෙනෙක් ඔහු
වෙනුවෙන් හඬන්නට ඇත්ද? කී දෙනෙක් ඔහු වෙනුවෙන් යාව්ඥා කරන්නට
ඇත්ද? කී දෙනෙක් සිය දිවි නසා ගන්නට තැත් කළෝදැයි ඔබට සිතන්නට
පුළුවන්ද?
ජැක්‌සන්ගේ කෙහෙරැළි ඔහුගේ අනන්‍යතාව පිළිබඳ එක් ලකුණකි. මේ
කෙහෙරැළිවලට පෙම් කළ තරුණියෝ දහස් ගණනකි. ජැක්‌සන්ගේ කෙහෙරැළි
යළි සකස් කර දෙන ලෙස ඉල්ලමින් දහස් ගණන් රසිකයෝ වෛද්‍යවරුනට
කන්නලව් කළහ. අන්තිමේ දී සුවිශේෂ කේෂ බන්ධ සැත්කමක් මගින්
ජැක්‌සන්ගේ ගිනිගත් කෙහෙ රැළි අද පවතින තත්ත්වයට සුවපත් කිරීමට
වෛද්‍යවරු සමත් වූහ.
මයිකල් ජැක්‌සන්ගේ ජීවිතය පුදුමාකාරය. එය ඔහුට ආවේණික ගති
පැවතුම්වලින් යුක්‌ත වූවකි. ඔහුගේ හිත මිතුරන් වැඩි දෙනෙක්‌ම ඔහු
සුරතලයට ඇති කරන සත්තුය. ඔහුගේ කාමරය තුළ ඇත්තේ ද පුදුමාකාර
පරිසරයකි. එක පැත්තක ඔහු නිදන යහන ඇත. එය අවට බිම ඔහු පිළිබඳ
තොරතුරු පළවූ පොත්පත්වලින් පිරී ඇත. තවත් පැත්තක වීඩියෝ සංයුක්‌ත
තැටි තොගයකි. මේ පුදුමාකාර කාමරයට වැදුණු කල මයිකල් ජැක්‌සන්
තවදුරටත් වේදිකාව මත රඟ දෙන අර වේග රිද්ම ගායකයා නොවෙන්නේය.
සමහරවිට මේ කාමරය තුළ ඔහු දකින ඔබට ඔහු තාපසයකු යෑයි සිතෙනු ඇත.
ඔහුගේ ප්‍රේමය හා ජීවිතය ගැන විවිධ කට කතා
දුර්මත පැතිර තිබේ. ඔහු ළමුන් සමග අවිචාර ක්‍රියාවක යෙදුණ බවට
ලත් චෝදනාව ඔහුගේ ජීවිතයේ බලවත් අර්බුදයකට හේතු විය. එහෙත් එම
චෝදනාවලට නොසැලී මුහුණ දී නිර්දෝෂී වන්නට ඔහුට හැකි විය. එම කවර
චෝදනා මැද වුව ජැක්‌සන්ට ඔහුගේ රසිකයන් ආශිර්වාද කළහ. ඔහු වටා
නොසැලී සිටියහ. ජැක්‌සන් පළමුවරට විවාහ වූයේ ලෝක ප්‍රකට ගායක
එල්විස් ප්‍රෙස්‌ලිගේ දියණිය සමගය. දෙවසරක කාලයකින් ඉක්‌බිතිව
එම විවාහය කෙළවර විය. එම විවාහයෙන් ඔහුට එක් දියණියක වෙයි. ඉන්
අනතුරුව ඔහු හෙදියක සමග විවාහ විය. ඉන් ඔහුට දියණියන් දෙදෙනෙකි.
ජැක්‌සන් යනු ප්‍රේක්‍ෂකයන් මවිතයට පත් කළ හැකි සුවිශේෂී මිනිසකු
විය. ඔහුගේ වියෝවෙන් ඔහුට ප්‍රිය කළ ඔහුව අනුකරණය කළ ජැක්‌සන්
ලෝලීන්, රසිකයන් ලොව පුරා මෙන්ම අප රටේද හඬනු වැළපෙනු, කම්පා වනු
දැකිය හැකි විය. එය සැබැවින්ම අරුමයක් නොවේ. තම ගායනය තුළින්
මෙන්ම ඔහු ලොවට පැතිර වූ නර්තන ශෛලිය ද ප්‍රේක්‍ෂකයන්
අමන්දානන්දයට පත් කළ නිසාවෙනි. ඇතැමුන් ඔහුව "විෂබිජයක්" සේ
සලකා නොසලකා හැරිය ද කෝටි සංඛ්‍යාත රසික ජනතාව මයිකල් ජැක්‌සන්
නම් වූ මේ මිනිසා වැළඳ ගත්තේ මහත් ආදරයකිනි. භක්‌තියකිනි.
ඔහුගේ ගී ඇල්බම අද වුව ලොව පුරා මහත් සේ අලෙවි
වන්නේ ඔහුගේ සදාතනික අපූර්වත්වය, දක්‍ෂතාව අපට පසක් කරමිනි.
සංගීතය යනු කලාවකි. පොප් සංගීතයට එහිදී හිමි වන්නේ සුවිශේෂී
ස්‌ථානයකි. පොප් ගායනයේ කිරුළු පළන් රජු ජීවිත අනිත්‍ය තුළින්
නිසල වුවද ඔහුගේ දක්‍ෂ ලෙස ගැයූ ගීත, නර්තන ශෛලීය, රිද්ම රටාව
පරපුරෙන් පරපුරට වින්දනය කරනු ඇත. ජැක්‌සන් තම අවසන් ප්‍රසංග
මාලාව ලබන ජුලි මාසයේදී ලන්ඩන් නුවර පැවැත්වීමට සූදානම් කර
සිටියේය. එහි ප්‍රවේශපත්‍ර පවා විකිණී අවසන්ව තිබිණි. "මට ප්‍රිය
කළ ඔබ හැමට මම සදාකල් ආදරෙයි. ඊට තිළිණය මම අවසන් වරට මේ ප්‍රසංග
මාලාවෙන් පුදකර නිහඬ වනවා" යෑයි ජැක්‌සන් පළ කර සිටියේ ඉකුත්
මාර්තු මාසයේ අග භාගයේදීය. එහෙත් එම අවසන් ප්‍රසංගයට පෙර
ජැක්‌සන් අවසන් ගමන් ගියේ "අවසන් ප්‍රසංගය" යෑයි ඔහු විසින්ම නම්
කර තිබූ අන්දමට මරණය පිළිබඳ ඉඟිය ඔහුගේ ජීවිතයට අප කාටත් පෙර
දැනී තිබුණ නිසාද?
නාරද නිශ්ශංක
|