| |
|
|
|
සරසවි අරගල සහ
සමාජය
"මේ විශ්වවිද්‍යාල වල දැන් ඉගෙන ගන්න එවුන් මට පෙන්නන්න බෑ.
කාලකන්නි ටිකක්"
"මේ වදන මෑතකදී මා හට අසන්නට ලැබුණකි. මේ අදහස එක් පුද්ගලයකුගේ
යෑයි මට නොසිතේ. වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳ බොහෝ
දෙනකුගේ අදහස මෙපරිදිය. විශ්වවිද්‍යාල කිහිපයක් වසා ඇති නිසා
නිවෙස්‌වලට වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ දිනවල වැඩි වශයෙන් මේ
අත්දැකීමට මුහුණ දෙනවා ඇත.
එහෙත් මෙහි ලා සඳහන් කළ යුතු කරුණක් ඇත. එනම් මේ චෝදනා ගැරහුම්
සමස්‌ත විZශ්වවිද්‍යාල ශිෂ්‍යය ප්‍රජාවටම අදාළ නොවන බවයි. තැලෙන
යකඩය උඩ පැන පැන තැලීමේ අසාධාරණ න්‍යාය අනුගමනය කරමින්,
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තව තවත් පීඩාවට පත්කිරීම පසෙකලා
ඔවුන් දෙස මොහොතක් සංවේදීව බලමින් ඔවුන් තේරුම්ගැනීමට සමාජ
පෙළඹීමක් ඇති කළ යුතු කාලය එළඹ ඇතැයි මට සිතේ. එයින් අදහස්
කරන්නේ විශ්වවිද්‍යාල තුළ හටගන්නා අනේකවිධ ගැටුම් සමාජය තුළ
සාධාරණීකරණය වීමක් පිළිබඳ නොවේ. චෝදනා කිරීම් මදකට නවත්වා
යථාර්ථය තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි.
මේ රටේ විශ්වවිද්‍යාල යනු සියලු සැප සම්පතකින් අනූන සුරපුරයක්
නොවේ. ඒවා තුළ අසීමිත නිදහසක් ඇති බව සැබෑය. එහෙත්
විශ්වවිද්‍යාල තුළ සිසු සිසුවියන් අධ්‍යාපනය ලබන්නේ දහසකුත්
එකක් කරදර දුක් කම්කටොලු මැදය. ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම
අභියෝගය ආර්ථික ගැටලුවයි. වර්තමානයේ මේ රටට බලපා ඇති ආර්ථික
ගැටලුවලට විශ්වවිද්‍යාල ශිෂ්‍යාද සෘජුවම මුහුණ දෙයි. මහපොල හෝ
ශිෂ්‍යධාර වාරිකය ඔවුන්ගේ එම අභියෝගය ජයගැනීමට ප්‍රමාණවත්
උපකාරකයක් නොවන්නේය.
පාඨක ඔබ නොදන්නා, දුක් විඳින සිසු පිරිසක් විශ්වවිද්‍යාලවල
සිටින්නේය. තමන්ට ලැබෙන මහපොල හෝ ශිෂ්‍යාධාර සොච්චම නිධානයක් සේ
ප්‍රවේශම් කර ගනිමින් එයින්ම යෑපෙන්නට උත්සාහ ගන්නා ධෛර්යවන්ත
සිසුන් විශ්වවිද්‍යාලවල සිටියි. නිබන්ධන, පැවරුම්, ප්‍රායෝගික
ක්‍රියාකාරකම් කරන්නට මුදල් නොමැති වූ විට කොන්ක්‍රීට් අනන්නට,
අත් උදව් දෙන්නට, ටයිප් ගසන්නට යන වීර්යවන්තයෝ විශ්වවිද්‍යාලවල
සිටිති. තම අතට ලැබෙන මුදල පවා ගෙදර වියදමට යවන, දෙතුන් වේලක්
බඩගින්නේ සිට හෝ තම අරමුණු ඉටුකර ගැනීමට අනේකවිධ දුක් විඳින
සිසුහු විශ්වවිද්‍යාලවල සිටිති. ඈත ගම්දනව්වල සිටින අහිංසක
දෙමාපියන්ගේ නෑදැ හිත මිත්‍රයන්ගේ හීන සැබෑ කරන්නට කුසගින්න
දරාගනිමින්, අඩුලුහුඩුකම් දරාගනිමින්, පුස්‌තකාලවල දිවා රෑ නොබලා
වෙහෙසෙන ඉවසිලිවන්ත සිසුහු විශ්වවිද්‍යාලවල සිටිති. බලාපොරොත්තු
බිඳවැටුණු සමාජයක, ඉච්ඡා භංගත්වයෙන් පිරීගිය සමාජයක නැගී
සිටින්නට වෙරදරන්නන් තමා ලද දැනුමෙන් මේ රටේ වැරදි හදන්නට බලාන
සිටින්නන් මේ රට ගොඩගන්නට අලුත් යමක් කරන්නට උත්සාහ දරන්නන් හා
මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කැපවෙන්නට බලා සිටින්නන්
විශ්වවිද්‍යාල වල සිටිති.
අනේක විධ දුක් විඳ ආර්ථික ගැටලුවලට මුහුණ දුන්නද කවි පොතක්
නවකතාවක් ලියා වේදිකා නාට්‍යයක් නිර්මාණය කොට, සංවාද ඇති කොට,
කලා උළෙල පවත්වා, වාද විවාද ඇති කොට සමාජය තුළ කතිකාවක්
නිර්මාණය කිරීමට උත්සාහ දරන්නන්ද අඩුවක් නොමැතිව විශ්වවිද්‍යාල
තුළ සිටියි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳ මේ සත්‍ය දන්නේ
සමාජයේ අතලොස්‌සකි. සමාජය තුළ මේ සත්‍ය වැපිරීමට ඒ හඬ ප්‍රමාණවත්
නොවේ. විශ්වවිද්‍යාල තුළ සිදුවන ගැටුමක් ගැන සොයන්නට බලන්නට
දුවගෙන එන සමහරු මෙවැනි දේ අසන දකින විට තම දෙඇස් දෙකන් වසා
ගනිති.
විශ්වවිද්‍යාල තුළ ගැටුම් ඇතිකර ගැනීම හා ඒ හේතුවෙන් ඒවා වසා
දැමීම කෙසේවත් අනුමත කළ නොහැකිය. එය රටක ඉදිරි ගමනට බාධාවකි.
එහෙත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අරගල නොකළ යුතු යෑයි මින් අදහස්
නොකෙරේ. ඔහු අසාධාරණය වෙනුවෙන් හා ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන්
ඕනෑම මොහොතක නැගී සිටිය යුතුය. ඒ කිසිවක් නොමැතිව නිවටයකු හෝ
බියගුල්ලකු මෙන් මුලු වැදී සිටීම කිසිසේත් අනුමත කළ නොහැකිය. එසේ
සිටියහොත් නව සමාජ කතිකාවක් බිහි නොවෙයි. මෙහිදී වටහා ගත යුතු,
අවබෝධ කරගත යුතු කරුණක් තිබේ. සරසවිය තුළ සිදුවන සියලු අරගල,
විප්ලව, නැගී සිටීම් ශිෂ්‍ය ප්‍රජාවගේ හා පොදු මහජනතාවගේ යහපත
වෙනුවෙන් විය යුතුය. එය හුදෙක් කුණු වී පල්ගඳ ගසන දේශපාලන
න්‍යායායන්ට අනුව සිදුවිය යුත්තක් නොවේ. එහෙත් වර්තමාන
විශ්වවිද්‍යාල අරගල මේ කියන විවිධ දේශපාලන න්‍යායන්ට අනුව
මෙහෙයවීමෙන් සිදු වී ඇත්තේ විශ්වවිද්‍යාල තුළ වෛරය, ක්‍රෝධය,
භීතිය නිර්මාණය වීමය. එහි අවසාන ප්‍රතිඵලය ලෙස දැන් පොදු මහජනතාව
අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳ හා විශ්වවිද්‍යාල පද්ධතිය
පිළිබඳ පිළිකුලක් හා කලකිරීමක් වර්ධනය වෙමින් පවතී. මේ සටහන
ආරම්භයේදී සඳහන් කළ අදහස වැනි අදහස් බොහෝ දෙනාගෙන් පිටවන්නේ ඒ
හේතුවෙන් යෑයි සිතේ.
ඇතැම් දේශපාලන න්‍යායන් කරපින්නා ගත් ශිෂ්‍ය පිරිසක්
විශ්වවිද්‍යාල තුළ ගැටුම් ඇති කරති. ඒ ගැටුම් නිසා ඇති වන කැලල්
මුළු විශ්වවිද්‍යාල පද්ධතියම වසා පැතිර ගොසිනි. ඒනිසා එකළ සිදුවන
යහපත් නිර්මාණශීලී දේ නොපෙනෙන්නේය. වර්තමානයේ සිදුවී ඇත්තේ එයයි.
අවසාන වශයෙන් එක් කරුණක් සඳහන් කළ යුතුය. සෑම විශ්වවිද්‍යාල
ශිෂ්‍යයකුටම කාලකන්නියකු වීමට අවශ්‍ය නැත. රට අවුල් කිරීමට
අවශ්‍ය නැත. බහුතරයකට අවශ්‍ය වන්නේ තම අනාගතය ගොඩනගා ගැනීමටයි.
රටට වැඩක් ඇති පුද්ගලයකු වීමටයි. ඒ වෙනුවෙන් මේ රටේ
විශ්වවිද්‍යාල තුළ ඔවුන් දුක් විඳිති. කැපවෙති.
සමාජය විශ්වවිද්‍යාල සිසුන්ට කාලකන්නින් යෑයි පවසන්නේ මෙවැනි
ධෛර්යවන්ත සිසුන් පිළිබඳ නොදැන යෑයි සිතේ.
www.sannasa.org
වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
දිස්‌නා දිල්රුක්‍ෂි බණ්‌ඩාර
|
|
|
|