අවම ඉසඩ් ලකුණු නිකුත් වේ
මෙවර සරසවිවලට සිසුන් 20270 ක්‌

නිලන්ත මදුරාවල

මෙම වසරේ විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (02 වැනිදා) නිකුත් කරන ලද අතර ඒ අනුව මෙවර සිසුන් 20270 ක්‌ ඇතුළත් කෙරේ.

පසුගිය වසර හා සසඳන කල මෙම ප්‍රමාණය සිසුන් 620 දෙනකුගේ වැඩිවීමකි.

නව පාඨමලා 5 ක්‌ ඇතුළුව පාඨමාලා 86 ක්‌ සඳහා මෙවර සිසුන් ඇතුළත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. නව පාඨමාලා පහට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 250 කි.

මෙම වසරේ සිට නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවක්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා සිසුන් 50 දෙනකු ඇතුළත් කෙරේ. එම විශ්ව විද්‍යාලයේ කලා අංශයෙන් සාමාන්‍ය උපාධිය හදාරන සිසුන්ට නීතිය වෙනම විෂයක්‌ ලෙස හැදෑරීමට ද මෙම වසරේ සිට අවස්‌ථාව හිමි වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුවකට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයට මෙවර සිසුන් ඇතුළත් කිරීම පිළිබඳව ප්‍රතිපාදන කොමිෂන් සභාව අවසන් තීරණයකට පැමිණ නැත. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ සාකච්ඡා කර සම සෞඛ්‍ය විද්‍යා පීඨයට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ තීරණය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති අතර ඒ අනුව සම සෞඛ්‍ය විද්‍යා පීඨයට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ සාකච්ඡාවක්‌ද පවත්වා ඇත.

උසස්‌ පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවම සුදුසුකම් ලැබූ සංඛ්‍යාව පෙර වර්ෂය හා සසඳන විට මෙවර අඩුවී ඇත. පසුගිය වර්ෂයේ එම ප්‍රමාණය එක්‌ලක්‍ෂ තිස්‌ එක්‌දහස ඉක්‌මවූ අතර මෙවර එම සංඛ්‍යාව 1,30230 කි.

අවම ඉසඩ් ලකුණු අඅඅගමටජග්ජගකන යන වෙබ් අඩවියෙන්ද ලබාගත හැකිය.

මෙම කරුණු අනාවරණය වූයේ ඉසඩ් ලකුණු නිකුත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

උසස්‌ අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක, ලේකම් තිස්‌ස නන්දසේන හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියන්ත ප්‍රේමකුමාර යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v