| |
|
|
pRvw~
සංවර්ධනය හා
ප්‍රතිසංවිධානය උදෙසා සර්වපාක්‌ෂික
සාකච්ඡාවක් කැඳවීම සාධනීය ප්‍රවේශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර
දිසානායක
සංවර්ධනය හා ප්‍රතිසංවිධානය සඳහා සර්වපාක්‌ෂික සාකච්ඡාවක්
කැඳවීම සාධනීය ප්‍රවේශයක් බව ජනතා විමුක්‌ති පෙරමුණේ
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ
කළේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති
ලේකම් කාර්යාලයේ පැවැති සර්වපාක්‌ෂික කමිටුව සඳහා ජනතා
විමුක්‌ති පෙරමුණේ ප්‍රකාශය ඉදිරිපත් කරමින් දිසානායක මහතා
මෙසේ ද කීය.
සංවර්ධනය හා ප්‍රතිසංධාන සර්ව පාක්‌ෂික කමිටුවට ජනතා
විමුක්‌ති පෙරමුණේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද
ප්‍රකාශය
මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‌ෂ මෙවන්
සාකච්ඡාවකට යොමු කිරීම අපි අගය කරමු. බෙදුම්වාදී කොටි
ත්‍රස්‌තවාදය පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව
සන්ධිස්‌ථානයකට එළඹී ඇත.
ශ්‍රී ලංකාවේ පාබල හමුදාව, නාවුක හමුදාව, ගුවන් හමුදාව,
විශේෂ කාර්ය සාධක බළකාය, ග්‍රාමාරක්‌ෂක බළකාය හා පොලිසිය
බෙදුම්වාදයේ යුද පෙරමුණ පැරදවීමට සමත්විය. මේ සුවිශේෂ
ජයග්‍රහණය රටත්, ජනතාවත් සතු කිරීම සඳහා ජීවිත පරිත්‍යාග
කළ සදාකාලික ලෙස ආබාධිත වෙමින් දෙඅත්, දෙපා, දෙඇස්
පරිත්‍යාග කළ තම දිවි නොතකා දශක තුනකට ආසන්න දිගු කලක්
තිස්‌සේ සටන් කළ සියලු සහෝදර පුරවැසියන්ටද, ඔවුන්ගේ
දෙමවුපියන්ටද, බිරින්දෑවරුන්ටද, දූ දරුවන්ටද, සහෝදර
සහෝදරියන්ටද, සියලු අගහිඟ දරා ගනිමින් ත්‍රස්‌තවාදයට එරෙහි
වූ සටනට දායක වූ ජනතාවට ද, උද්ඝෝෂණ පෙළපාලි පවත්වමින්
ශ්‍රී ලංකාවේ ත්‍රස්‌ත විරෝධී සටනට සහයෝගය දැක්‌වූ විදේශගත
ශ්‍රී ලාංකීය ජනතාවටද, බෙදුම්වාදයට එරෙහි වූ සටනට
සුජාතභාවය ලබාදුන් සියලු පුද්ගලයන්ට හා සංවිධානවලට ජනතා
විමුක්‌ති පෙරමුණ සිය ප්‍රණාමය පළ කරයි.
මේ අවස්‌ථාව ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව
බලමුලු ගැන්වීමටත් නව ජයග්‍රහණ කරා රට ගෙන යැමටත් ආණ්‌ඩුව
සමත්විය යුතුය.
එසේ නැතිව කතා කරමින් හෝ කතාවලට සවන් දෙමින් ගෙවා දැමීම
සඳහා කාලය ජනතාවට නැත. රට ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග
ජයගැනීම දිශාවට රට යොමු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කතා
නොව ප්‍රායෝගික ප්‍රවේශයකි. අද රටටත්, ජනතාවටත් අවශ්‍ය ඒ
ප්‍රයෝගික ප්‍රවේශය ජනතා විමුක්‌ති පෙරමුණ 2009 මැයි 27
වැනි දින ප්‍රසිද්ධියට පත් කළේය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතාගෙන් හෝ ආණ්‌ඩුවෙන් එම ප්‍රායෝගික ප්‍රවේශයට දැක්‌විය
යුතු අවධානය මෙතෙක් යොමු වූ බවක් අපට නොපෙනේ. කෙසේ වුවද
මෙවැනි සාකච්ඡාවක් කැඳවීම සාධනීය ප්‍රවේශයක් ලෙස අපි
දකිමු.
කෙසේ වුවද මෙම සර්වපාක්‌ෂික සාකච්ඡාවල සීමා මායිම් නිශ්චිත
විය යුතුය. ඒ සඳහා
01.මෙම සාකච්ඡාවල අරමුණු කවරේදැයි ජනාධිපතිතුමාගේ පැහැදිලි
කිරීම තුළ අන්තර්ගත වුවද මෙම සභාවේ නෛතිකභාවය හා වගකීම
මෙයට සහභාගි වන පක්‍ෂවලට මෙන්ම ලාංකීය ජනතාවට ද නිශ්චිත
අයුරින් පැහැදිලි විය යුතුය.
02. මෙහි සිදුවන සාකච්ඡාවන සියලු දේ 2005 ජනවරම ලද මහින්ද
චින්තන ප්‍රතිපත්තිවලට මුළුමනින්ම අනුකූල විය යුතුය.
03. මෙම සාකච්ඡාවලදී එකඟතාවයට එළඹෙන යෝජනා හා ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයත්, භෞමික අඛණ්‌ඩතාවයත්. ජාතික
ආරක්‌ෂාවත්, ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීය ස්‌වභාවයත් සුරැකීම
සඳහා විය යුතුය.
04. මෙම සභාවේදී එක් එක් පක්‍ෂ විසින් ඉදිරිපත් කරනු ලබන
යෝජනා අනුව එළඹෙන එකඟතාවයන් හා තීරණ ක්‍රියාත්මක කිරීම
ආරම්භ කරන දිනය හා අවසාන දිනය නිශ්චිත විය යුතුය.
05. මෙම සාකච්ඡා සභාව පැවැත්වෙන මොහොතේදීත් ලක්‍ෂ 3 ක්
පමණ වූ අපේම සහෝදර ජනතාවක් අවතැන්වූවන් ලෙස කඳවුරු තුළ
ජීවත් වෙති. එකී ජනතාව නොපමාව යළි ඔවුන්ගේ වාසස්‌ථානවල
පදිංචිකොට ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමට අවශ්‍ය කටයුතු
සම්පාදනය කිරීම මෙම සභාවේ ප්‍රමුඛතම කාර්යභාරයක් ලෙස
සැලකිය යුතුය.
06. මෙම සභාවේ සාකච්ඡා අනවශ්‍ය අයුරින් දිග්ගැස්‌සෙමින්
කාලය අපතේ යැම වැළැක්‌විය යුතු හෙයින් මෙම සභාවේ කටයුතු
අවසානවීම පිළිබඳව නිශ්චිත අදහසකට පැමිණිය යුතුය.
රට හමුවේ ඇති ප්‍රධාන හා අප්‍රමාද අවධානය යොමුවිය යුතු
අභියෝග ලෙස අපි හඳුනාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත
කිරීම, නාස්‌තිය, දූෂණය, වංචාව අවම කොට යහපාලනය ස්‌ථාපිත
කිරීම, වේගවත් කාර්යක්‌ෂම පාලනයකට රට යොමු කිරීම,
බෙදුම්වාදය හා ජාතිවාදය අහෝසිකොට ජාතික සමඟිය ගොඩනැඟීම,
ජනතාවට ඉක්‌මන් ප්‍රතිලාභ ලැබෙන ආර්ථික සංවර්ධන මාවතකට
යොමුවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු.
ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයත්, භෞමික අඛණ්‌ඩතාවයත් ජාතික
ආරක්‌ෂාවත්, ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීය භාවයත්, පූර්ණ
වශයෙන් තහවුරු කරන ශ්‍රී ලංකාවට සාමයත්, ජාතික සමගියත්,
සෞභාග්‍යයත් නිශ්චිත ලෙසම උදාකරන යෝජනා ක්‍රියාත්මක කිරීමට
ජනතා විමුක්‌ති පෙරමුණ සිය පූර්ණ සහයෝගය පළ කරයි. එහිදී
ජනතා විමුක්‌ති පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගෙන
සිටීම කිසි ලෙසකින්වත් බාධාවක් නොවන බව ද අපි සහතික කරමු.
|
|
|
|