|
මරණ තුනයි ගිනි දැල් ඇවිලෙයි
ගෙදර
දෙවියනි! නරුමයෝ ඇයි මිනිසුන් අතර
සැකකරුවන් වහාම අල්ලා ගන්න
නැත්නම් ඊළඟ ඉලක්‌කය මං
පවුලේ දිවි බේරුණු
එකම පිරිමි දරුවා කියයි

දුමිදු කුමාර |
 |

ඝාතනයට ලක්‌වූ යුවළ විවාහ වූදා....
"ඇයි තාත්තේ තුන්දෙනාම එකට ගියේ. මාවත් අරන් ගියානම් ඉවරයිනේ.
දැන් මාව බලාගන්නෙ කවුද?" 30 වැනිදා රාත්‍රි ඝාතනයට ලක්‌වූ හොරණ
එකම පවුලේ තිදෙනාගේ නිවසේ ජීවිතය බේරාගෙන සිටිය දුමිදු කුමාර
(25) මහතා තම මවගේත්, පියාගේත්, සහෝදරියගේත් වියෝව වාවාගත
නොහැකිව ශෝකයෙන් හඬමින් පැවසීය.
හොරණ වගවත්ත ගනේතැන්නේ පදිංචි ආර්. බී. එන්. සමරසේකර (50)
-(පියා), මල්කාන්ති වීරසිංහ - (48) (මව), හා ආර්. බී. ඉනෝකා
සඳමාලි (දුව) යන එකම පවුලේ තිදෙනා මෙලෙස සාහසිකයන් විසින් මරා
දමා ඇත.
සැකකරු ඊයේ (2 වැනිදා) පානදුර අධිකරණයේ ස්‌ත්‍රි දූෂණ නඩුවක්
හමුවේ පෙනී සිටීමට නියමිතව තිබිණි. ඒ මෙම ත්‍රිත්ව පුද්ගල
ඝාතනයේදී මියගිය ඉනෝකා සඳමාලි නමැති අය මීට වසර හයකට පෙර දූෂණය
කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.
මව හා පියා මුලින් මරණයට පත් කර රාත්‍රි සේවා මුරය නිම කරමින්
පැමිණි ඉනෝකා නිවසට ඇතුළු වනවිට ම ඝාතනය කර ඇත.
හැඬූ කඳුළින් දුමිදු කුමාර තම මව පියා හා නැගණියගේ මරණය ගැන අප
හා මෙසේ කීය.
සිද්ධිය වූ දවසේ සවස 4.00 ට විතර මම ගෙදර ඇවිත් තේ බීලා
බුලත්සිංහල කපිලලාගේ ගෙදර ගියා. අම්මා කිව්වා පුතේ හවස් වුණොත්
ගෙදර එන්න එපා කියලා. කපිලලාගේ ගෙදර නවතින්න කියලා කිව්වා. මම
හවස් වුණ හින්දා කපිලගේ ගෙදර ගියා. කපිලලාගේ අම්මා කිව්ව "පුතේ
වහින නිසා ගෙදර යන්න එපා කියලා. මම ඒ පාර 7.00 ට විතර ගෙදරට කතා
කරලා අම්මට කිව්ව අද එන්නැහැ කියලා.
රෑ 10.00 ට විතර නැන්දගේ දූ මට කෝල් එකක් දීලා කිව්වා ගෙදර
කරදරයක් එන්න කියලා. මට ඇහුණ කෑ ගහනවා. මම ඇහුව මොකද වෙලා
තියෙන්නේ කියලා. දන්නේ නැහැ කියලා කිව්වා.
මම ඉක්‌මනටම ගෙදර ආවා. බලනකොට ගේ ඉදිරිපිට නංගි ඇදවැටිලා ඉන්නව
දැක්‌කා. අම්මයි තාත්තයි ගැන ඇහුවට කවුරුවත් කිව්වේ නෑ. ගේ ඇතුළේ
ඉන්නවා කියලා තමා කිව්වේ. පස්‌සේ තමා දැනගත්තෙ දෙන්නම නැතිවෙලා
කියලා.
මේ සිද්ධිය කරපු කෙනා මුලින්ම අම්මවයි තාත්තවයි මරලා තිබෙනවා.
තාත්තා ඉස්‌සරහ කාමරේ නිදාගෙන ඉඳලා තියෙනවා. අම්මල සාලෙ තේ බිබී
ඉඳලා තිබෙනවා. දෙන්නව මරල ඇදගෙන ගිහින් ගේ පිටිපස්‌සට දාලා
තිබෙනවා. ගේත් හෝදලා මම ගෙදර එනකම් තමා බලාගෙන ඉඳලා තිබෙන්නේ. මම
ආවෙ නැහැ. නංගී ඇවිදින් තිබෙන්නේ.
මගේ නංගි වැඩ ඇරිල ගෙදරට ඇතුළු වෙනකොටම පිහියකින් ගහලා තිබෙනවා.
පළමු පහර ගහනකොටම නංගි දකුණු අත අල්ලලා තිබෙනවා. ඒ අතේ ඇඟිලි
වෙන් වෙන්න කැපිල තිබෙනවා.
නංගිට මීට අවුරුදු හයකට පමණ පෙර ගෙවල් ළඟ කෙනෙක් අතවර කළා. ඒ
දූෂණ නඩුව අද 2 වැනිදා පානදුර උසාවියේ විභාගයට ගන්න තිබුණා.
අවසාන වාරය හෝ දෙක තමා තිබුණේ. ඉස්‌සර ප්‍රශ්න වගයක් තිබුණා. ඒ
ගොල්ලො කියල තිබුණ මේ නඩුවෙන් පරාද වුණොත් පවුල ම විනාශ කරනව
කියලා.
අපි ඒ ගැන පොලිසියට පැමිණිලි කරලත් තිබුණා. පස්‌සේ කරදර කළේ
නැහැ. මගෙ අම්මවයි, තාත්තවයි, නංගිවයි මරල තිබෙන්නේ ඒ නඩුවෙ
සැකකරුයි ඔහුගේ තාත්තයි කියලා තමා මට සැක.
සැකකරු බැඳලා එක ළමයෙකුත් ඉන්නවා. රැකියාවට වැලිගොඩ දැමීම ආදී
නොයෙක් දේවල් කරනවා. සැකකරුගේ තාත්තාට අවුරුදු 53 ක් වෙනවා.
මම ඉල්ලන්නෙ මේ සැකකරුවන් වහා අල්ලා ගන්න කියලයි. මොකද මේ
සැකකරුවන් නිදැල්ලේ ඉන්නවා කියන්නේ ඊළඟ ඉලක්‌කය මාවයි.
ඉනෝකා සඳමාලි තරුණිය සමග ඇඟලුම් කර්මාන්ත රැකියාව නිමවී ගිය
ගීතාන් චාමලී (22) මෙසේ කීවාය.
මගෙ නඩුව හෙමින් ඉවර වෙනවා. මම නිදහස් කියලත් කිව්වා.
යාළුව බඳින්න මුද්දකුත් හදා ගෙනයි හිටියේ. ඒක අපිට පෙන්නුවා. ඒත්
අපි විහිළු කළා. එදා වැඩ ඇරිලා ආව සඳමාලි ගෙදර ගියා.
ඉනෝකා සඳමාලි සමඟ නිවසට පැමිණි පත්මිණි වීරසේකර මහත්මිය මෙසේ
කීවාය.
අපි දෙන්නයි එකට ආවේ. කාමරේ ලයිට් නිවලා තිබුණා. මම ඇහුව පුතේ
අම්මලා නැද්ද කියල. දන්නෑ කියල දුව ගියා. එසේ ගිය ඇය අම්මෝ කියල
කෑ ගහගෙන වැටුණා. ඒ වැටුණු සද්දෙට මම දිව්වා. පාරට දිව්ව මම
ගෙදරට කතා කළා. ගෙදර මල්ලිලට කිව්වා. පස්‌සෙ පොලිසියට කිව්ව. මෙම
ත්‍රිත්ව ඝාතනය හේතුවෙන් හොරණ ප්‍රදේශයම කම්පාවට පත් වී ඇති අතර
තිදෙනාගේ අවසන් කටයුතු ඊයේ හවස ගනේතැන්න සුසාන භූමියේදී සිදු
කෙරිණි.
පිංතූර හා සටහන
හොරණ - විධුර විජයනාථ
|