ශ්‍රී ලංකා - පකිස්‌තාන් ක්‍රිකට්‌ සම්බන්ධයට වසර 60ක්‌ සපිරෙයි

60 දසකයේ පකිස්‌තාන කණ්‌ඩායමේ ප්‍රධානතම පිතිකරුවන් දෙදෙනා වූ මුෂ්ටාක්‌ මොහොමඩ් සහ සහීර් අබ්බාස්‌ (උපැස්‌ යුවල සහිත)

ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර ඇත්තේ සැබෑ සහෝදරත්වයක්‌. වෙළෙඳ සහ සමාජීය කටයුතුවලදී මෙන්ම ත්‍රස්‌ත එරෙහි කටයුතුවලදී ශ්‍රී ලංකාවට පකිස්‌තානයෙන් ලැබුණු සහයෝගයද අමතක කළ නොහැකිය. ශ්‍රී ලංකාව මෙන් පකිස්‌තානයද නිරන්තරයෙන්ම ත්‍රස්‌තවාදී ගරිල්ලන්ගේ තාඩන පීඩනවලට ලක්‌ වූ අතර මෑතකදී දෙරටම යුද්ධ පවතින රටවල් ලෙස බටහිර රටවල් විසින් නම් කළා පමණක්‌ නොව එම රටවලින් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායම් එවීම පවා (පාdකිස්‌තානයට) ප්‍රතික්‌ෂේප කළා. මේ නිසාම පකිස්‌තාන් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට සිදුවූ පාඩුව ඩොලර් මිලියන ගණනක්‌. එහෙත් පසුගිය අප්‍රේල් මස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ටෙස්‌ට්‌ තරග 2 ක්‌ සඳහා පකිස්‌තානයට යෑවීමට ලංකාණ්‌ඩුව ගත් තීරණය සමහර බටහිර රටවලට එල්ල කළ අතුල් පහරක්‌ ලෙස සැලකිය හැකිය. 1996 දී ලෝක කුසලාන තරගාවලියේදී ඔස්‌ටේ්‍රලියාව, බටහිර කොදෙව් දූපත් සිය ක්‍රිකට්‌ කණ්‌ඩායම් ශ්‍රී ලංකාවට යෑවීමට මැලිකම් දැක්‌වූයේද ශ්‍රී ලංකාව යුද්ධ බිය ඇති රටක්‌ ලෙස හදුන්වමින්. එහෙත් ඉන්දියාව, පකිස්‌තානය සහ කෙන්යාව මෙරටට පැමිණ ඒ යුද්ධ බිය පුස්‌සක්‌ බවට පත් කළහ.

ක්‍රිකට්‌ පිළිබඳ දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ වරම් ලබාදීමට විරුද්ධව එංගලන්තය, ඔස්‌ටේ්‍රලියාව වැනි බටහිර රටවල් ක්‍රියාකළත් පකිස්‌තානය සහ ඉන්දියාව දැක්‌වූ සහයෝගය සහ උද්යෝගය නිසා ඒ සියල්ලම නිෂ්ප්‍රභා විය. 1981 දී ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ වරම් ලැබුණ අතර එම වර්ෂයේදීම මංගල ටෙස්‌ට්‌ තරගයක්‌ පැවැත්වීම සඳහා එංගලන්ත කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂ සිද්ධියක්‌ විය. එහෙත් කළගුණ සැලකීමක්‌ වශයෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායම සිය ප්‍රථම ටෙස්‌ට්‌ විදෙස්‌ සංචාරය පකිස්‌තානයෙන් ආරම්භ කළ අතර එහිදී බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුතු කණ්‌ඩායම ටෙස්‌ට්‌ තරග 3 කට සහභාගිවී පකිස්‌තානු කණ්‌ඩායමට තරග 2-0 ක්‌ ලෙස පරාජය විය.

පළමු වරට පකිස්‌තානු ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණියේ 1949 දීය. ඒ පකිස්‌තානය ඉන්දියාවෙන් වෙන්වී නිදහස්‌ රටක්‌ ලෙස ලෝකයා හමුවට පැමිණ වර්ෂ 2 කට පසුවයි. බටහිර කොදෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායමට අභියෝගාත්මක තරගයක්‌ ලබාදී මාස 4 කට පසු ලංකාවට පැමිණි පකිස්‌තානු කණ්‌ඩායමේ නායකයා මොහොමඩ් සයිඩ් විය. සෙසු ක්‍රීඩකයන් ලෙස නසාර් මොහොමඩ්, ඉමිටියාස්‌ අහමඩ්, මොහොමඩ් අස්‌ලාම්, අන්වර් හුසේන්, අලිමියුඩීන්, යූ. ආර්. චිප්පා, මුරාවන් හුසේන්, මසුඩ් අහමඩ්, කාන් මොහොමඩ්, ෆසාල් මොහොමඩ්, ෂුජව්ඩීන්, එස්‌. ඒ රහමන් යන අය ඇතුළත් විය. පකිස්‌තානය සහ ලංකාව අතර පළමු නිල නොවන තරගය 1949 මාර්තු 1, 2, 3, සහ 4 යන දිනවල කොළඹ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති අතර ලංකා කණ්‌ඩායමේ නායකත්වය එෆ්. පී. ඩී. සේරම් දැරීය.

ලංකා කණ්‌ඩායමට සාලි, රොද්‍රිගු, එස්‌. එස්‌. ජයවික්‍රම, එස්‌. කුමාරස්‌වාමි, බර්ටි විඡේසිංහ, එම්. කාසිපිල්ලේ, ජී. එම්. ස්‌පිට්‌ල්, එල්. ඊ. ද සොයිසා නතාලියෙස්‌ යන අය ඇතුළත් විය.

මෙම තරගයෙන් පකිස්‌තානය පහසු ජයක්‌ ලබා ගත් අතර ඔවුන් පළමු ඉනිමට ලබා ගත් ලකුණු 399 ට පිළිතුරු වශයෙන් ලංකාව ලකුණු 112 ක්‌ සහ 95 ක්‌ ලබා ඉනිමක සහ ලකුණු 192 ක පරාජයක්‌ ලැබීය.

දෙවන තරගය මාර්තු 8, 9, 10 සහ 11 යන දිනවල එම ක්‍රීඩාංගණයේදීම පැවැති අතර එම තරගයෙන්ද පකිස්‌තානය කඩුලු 10 ක පහසු ජයක්‌ ලැබීය.

පකිස්‌තානයෙන් ඇරයුම් ලැබ ලංකා කණ්‌ඩායම පළමු වරට විදෙස්‌ සංචාරයකට සහභාගී වූයේ 1950 දීය. ලංකා කණ්‌ඩායමට ගාමිණී ගුණසේන, ස්‌ටැන්ලි ජයසිංහ, බෙන් නවරත්න, කෙල්ට්‌ සහ දල්පතාදු යන අයද ඇතුළත් වූහ.

1950 අප්‍රේල් 13, 14, 15 සහ 16 වැනි දින කරච්චියේ ජිම්කානා ක්‍රීඩාංගණයේදී පළමු තරගය පැවැති අතර එම තරගයෙන් සංචාරක ලංකා කණ්‌ඩායම පරදවා කඩුලු 10 ක විශිෂ්ට ජයක්‌ ලැබීමට පකිස්‌තානු කණ්‌ඩායම සමත් වූවේය.

1966 දී ද ලංකා කණ්‌ඩායම නිල නොවන ටෙස්‌ට්‌ තරග තුනක්‌ සඳහා පකිස්‌තානයට ගිය අතර එම කණ්‌ඩායමේ නායකත්වය මයිකල් තිසේරාට හිමිවිය. නිහාල් කොඩිතුවක්‌කු, අනුර තෙන්නකෝන්, කෝෂියර්, ජයසිංහ, ඉන්මන්, චන්මුගම්, හසීන්, එච්. අයි. කේ. ප්‍රනාන්දු, විමලරත්න සහ පී. අයි. පිරිස්‌ගෙන් ලංකා කණ්‌ඩායම සමන්විත වූහ.

ඒ වන විට ටෙස්‌ට්‌ වරම් ලබා සිටි පකිස්‌තානු කණ්‌ඩායම ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‌ෂේත්‍රයේ ඉදිරියෙන් සිටි රටක්‌ හැටියට හඳුන්වා තිබිණ. මෙම කණ්‌ඩායමේ නායකත්වය හනිෆ් මොහොමඩ් දැරූ අතර ඉලෙයාස්‌, මුස්‌ටෑක්‌ මොහොමඩ්, බූර්කි, අසීෆ් ඉක්‌බාල්, ඉන්ටිකාබ් අලාම් ආදී ටෙස්‌ට්‌ ක්‍රීඩකයන්ගෙන්, සමන්විත විය. මේ තරගයෙන් පකිස්‌තානය කඩුලු 10 ක පහසු ජයක්‌ ලබා ගත්තේය.

දෙවන තරගය ඉනිමක සහ ලකුණු 137 කින් සහ තෙවන තරගයද ඉනිමක සහ ලකුණු 35 කින් ජය ලැබූ පකිස්‌තානය තරගාවලිය තරග 3-0 ක්‌ ලෙස අවසන් කළේය.

මේ අන්දමට දෙරට අතර නිල නොවන ටෙස්‌ට්‌ තරග පැවැත්වුණ අතර කිසිම අවස්‌ථාවක පකිස්‌තානු කණ්‌ඩායම විසින් ලංකා කණ්‌ඩායම අඩු තක්‌සේරුවකට ලක්‌ නොකළේය.

1972 නොවැම්බර් මස ජ්‍යෙෂ්ඨ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණියේ ඔවුන් ටෙස්‌ට්‌ තරග මාලාවක්‌ සඳහා බටහිර ඉන්දියානු කොදෙව් දූපත් වලට යැමට සූදානම්ව සිටියදීය.

මෙම කණ්‌ඩායමේ නායකත්වය ඉන්ටිකාබ් අලාම් දැරූ අතර අසීෆ් ඉක්‌බාල්, මොයින් කාන්, සර්ෆාස්‌ නවාස්‌, වසීම් බාරි, මුස්‌ටෑක්‌ මොහොමඩ්, ඉලෙයාස්‌ පර්චස්‌ සජාඩ්, සදීක්‌ මොහොමඩ්, සහීර් අබ්බාස්‌, අසීෆ් මොහොමඩ්, කලීම් අල්ටාප්, තලාත් අලි සහ මජීඩ් උස්‌මාන් කණ්‌ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ.

කාසියේ වාසිය ලැබූ පකිස්‌තානු කණ්‌ඩායමේ නායක ඉන්ටිකාබ් අලාම් කඩුලු 8 කට ලකුණු 262 ක්‌ ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායමට සියලුම ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 133 ක්‌ පමණි. ඉන්ටිකාබ් අලාම් ලකුණු 34 කට කඩුලු 5 ක්‌ ලබා ගත්තේය. දෙවැනි ඉනිම සඳහා පකිස්‌තානු කණ්‌ඩායම කඩුලු 3 කට ලකුණු 48 ක්‌ ලබාගත් අතර තරගය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලකුණු 178 ක අසීරු ඉලක්‌කයක්‌ ලබා දුන්නේය. දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්‌ඩායම කඩුලු 3 කට ලකුණු 120 ක්‌ ලබා ගත් අතර තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. ප්‍රධාන පෙළ ටෙස්‌ට්‌ කණ්‌ඩායමකට එරෙහිව නොදැවී ලකුණු 64 ක්‌ ලබා ගත් දුලිප් මෙන්ඩිස්‌ගේ පිතිහරඹය කාගේත් කතා බහට ලක්‌විය. මෙය දුලිප් මෙන්ඩිස්‌ ජාත්‍යන්තර තරගයකට මුහුණ දුන් පළමු අවස්‌ථාවයි.

1976 ජනවාරි මස ඉන්ටිකාබ් අලාම්ගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ ලංකාවට යළි පැමිණියේය. මෙම කණ්‌ඩායම ඉම්රාන් ඛාන්, වසීම් රාජා, මුදාසර් නඩාර්, ජවෙඩ් මියෑන්ඩෑඩ්, අපීක්‌ අහමඩ් යන ක්‍රීඩකයන්ද ඇතුළත්ව සිටියහ. මේ දිනය වන විට පකිස්‌තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති නිල නොවන ටෙස්‌ට්‌ තරග 11 ක්‌ පැවැති අතර ඉන් 8 ක ජය පකිස්‌තානයට හිමිවූ අතර ශ්‍රී ලංකාවට හිමි වුණේ තරග 1 ක ජය පමණි. ඒ 1964 දියි. එක්‌ තරගයක්‌ ජය පරාජයකින් තොරව අවසන් විය.

දෙවන ටෙස්‌ට්‌ තරගය ලකුණු 17 ක තියුණු ජයක්‌ අත්කර ගැනීමට පකිස්‌තානු කණ්‌ඩායම සමත් විය. ටෙස්‌ට්‌ තරග සඳහා නවසීලන්තය සහ ඔස්‌ටේ්‍රලියාවට යැමට ප්‍රථම ලංකාවට පැමිණි පකිස්‌තානු කණ්‌ඩායමට මෙය පෙරහුරු තරගයක්‌ විය. පකිස්‌තානු කණ්‌ඩායම සමග ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති සහ තේරීම් කමිටු සාමාජිකයන්ද ලංකාවට පැමිණීම විශේෂ සිද්ධියක්‌ විය. ටෙස්‌ට්‌ තරග දෙකේදීම දඟ පන්දුවෙන් දස්‌කම් දැක්‌වූ අජිත් ද සිල්වා කාගේත් පැසසුමට ලක්‌විය. දෙවන ටෙස්‌ට්‌ තරගයේදීම පමණක්‌ ඔහු ලකුණු 133 කට කඩුලු 7 ක්‌ දවා ගත්තේය. ලකුණු අතරට පැමිණි සිටි ජයන්ත සෙනවිරත්න දෙවන ටෙස්‌ට්‌ තරගයේදී ලකුණු 98 ක්‌ සහ 14 ක්‌ ලබා ගත්තේය.

1976 ජනවාරි මසදී ඉන්ටිකාබ් අලාම්ගේ නායකත්වයෙන් යුත් ටෙස්‌ට්‌ කණ්‌ඩායමක්‌ මෙහි පැමිණියේය. ඉම්රාන් ඛාන්, වසීම් රාජා, මුදාසර් නසාර්, ජවඩේ මියෑන්ඩාඩ්, ෂපීක්‌ අහමඩ් වැනි තරුණ ක්‍රීඩකයන්ට මෙම කණ්‌ඩායමට ඇතුළත්ව සිටියහ. තරගාවලිය සීමිත ඕවර් තරගයකින් ආරම්භ වූ අතර එම තරගයෙන් පහසු ජයක්‌ ලබා ගැනීමට ලංකා කණ්‌ඩායමට හැකිවිය.

පළමු ටෙස්‌ට්‌ තරගය කොළඹ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අතර මෙම තරගාවලිය රටවල් දෙකටම වැදගත් විය. ටෙස්‌ට්‌ වරම් දොරකඩ සිටින ලංකා කණ්‌ඩායම තමන්ගේ හැකියාවන් පෙන්වා ටෙස්‌ට්‌ වරම් ලබාගැනීම මෙන්ම, පකිස්‌තාන් කණ්‌ඩායම ඉදිරියේ ඇති ජාත්‍යන්තර තරග සඳහා සුදුසු ක්‍රීඩකයන් තෝරා ගැනීමට මෙම තරග ඉවහල් විය.

කාසියේ වාසිය දිනූ පකිස්‌තානු කණ්‌ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් මුල් ඉනිම සඳහා ලකුණු 175 ක්‌ ලබා ගත්තා. ඉම්රාන් ඛාන් ලකුණු 46 ක්‌ සහ වසීම් බාරි ලකුණු 37 ක්‌ ලබා ගත් අතර ඕපාත, ඩී. එස්‌. ද සිල්වා සහ අජිත් සිල්වා කඩුලු 3 බැගින් ලබා ගත්තේය. ලංකා පළමු ඉනිමේ කඩුලු 4 ක්‌ ලකුණු 19 කට දැවී ගිය අතර සැදෑ පිතිකරු ලෙස පැමිණි ලලිත් කලුපෙරුම ලකුණු 96 ක්‌ ලබා ගත්තේය. ලංකා කණ්‌ඩායමට පකිස්‌තානු කණ්‌ඩායමට වඩා ලකුණු 15 කින් ඉදිරියෙන් සිටි අතර ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 202 කට සීමා කරන්නට ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. තරගයේ ජයග්‍රහණය සඳහා ලංකා කණ්‌ඩායමට ලබාගත යුතුව තිබුණේ ලකුණු 188 ක්‌ පමණි. මේ සඳහා විනාඩි 35 ක්‌ සහ සම්පූර්ණ දිනයක්‌ ඉතුරුවී තිබිණි. දෙවැනි දිනය ආරම්භයේ සිටම ඉතාම සුපරීක්‍ෂාකාරීව පන්දුවට පහර දුන් ලංකා කණ්‌ඩායම දිනය අවසන් වීමට පැයක්‌ සහ විනාඩි 20 ක්‌ තිබියදී තවත් කඩුලු 5 ක්‌ අතැතිව ඉලක්‌කය සපුරා ගනිමින් මෙම ඓතිහාසික තරගය ජයග්‍රහණය කළේය. කඩුලු 7 ක්‌ දැවී තිබියදී පිටියට පැමිණි කළුපෙරුම නැවතත් පිත්තෙන් දස්‌කම් පෙන්වමින් රෝයි ඩයස්‌ (23) සමග එක්‌වී නොදැවී ලකුණු (50) ක්‌ ලබා ගත්තේය.

මෙම තරගය නැරඹීම සඳහා පකිස්‌තානු අගමැති ලංකාවට පැමිණ සිටි අතර පිටියේ නොමනා ලෙස හැසුරුන සර්ෆාස්‌ නවාස්‌ ආපසු පකිස්‌තානයට යෑවීමට එරට තේරීම් කමිටුව කටයුතු කළේය. දිවයිනෙන් නන් දෙසින් පැමිණි ප්‍රේක්‍ෂකයන් හැට දහසකට අධික සංඛ්‍යාවක්‌ දින හතර තුළදී මෙම තරගය නැරඹූ බව වාර්තා විය.

දෙවන ටෙස්‌ට්‌ තරගය කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අතර මුලින්ම පන්දුවට පහර දුන් ලංකා කණ්‌ඩායම පළමු දිනය අවසානයේ කඩුලු 9 කට ලකුණු 209 ක්‌ ලබා ගත්තේය. දෙවන දිනයේ මුල් විනාඩි කීපය තුළදී කළුපෙරුම ලකුණු 23 ක්‌ ලබාගත් අතර ඔහු අසීෆ් මසුඩ්ගේ පන්දුවකට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 212 ක්‌ තිබියදීය.

දෙවන දිනය අවසන් වන විට කඩුලු 5 කට ලකුණු 181 ක්‌ ලබා සිටි පකිස්‌තානු කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ෂෆීක්‌ අහමඩ් නොදැවී ලකුණු 77 ක්‌ ලබා ගෙන තිබිණි. පසුදා ෂෆීක්‌ අහමඩ් ලකුණු 122 ක්‌ ලබා සිටියදී කළුපෙරුමගේ පන්දුවකට දැවී ගිය අතර සියලුම ක්‍රීඩකයන් ලකුණු 279 කට දැවී ගියහ. ලංකා කණ්‌ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 262 කට දැවී ගිය අතර පකිස්‌තානයට මෙම දෙවන ටෙස්‌ට්‌ තරගය ජයග්‍රහණය කිරීම නම් ලකුණු 196 ක්‌ ලබාගත යුතුව තිබිණි. මෙම ලකුණු ප්‍රමාණය විනාඩි 85 ක්‌ සහ ඕවර් 15 ක්‌ තුළදී ලබාගත යුතුය.

අප්‍රාණික සහ කිසිම ප්‍රබෝධමත් ගතියක්‌ නැතිව අවසන් වන්නට තිබූ තරගයක්‌ නායක ඉන්ටිකාබ් අලාම් සහ සෙසු කණ්‌ඩායම් සාමාජිකයන් සමග මනාසේ සැලසුම් කොට විනාඩි 148 ක්‌ තුළ පන්දුවාර 28.4 කට මුහුණදී ඔවුන් මේ ඉලක්‌කය සපුරා ගැනීමට සමත් වූහ. මේ සඳහා සහීර් අබ්බාස්‌ ලකුණු 81 ක්‌ද මුදාසර් නසාර් ලකුණු 24 ක්‌ වසීම් රාජ ලකුණු 27 ක්‌ ලබා දෙමින් මෙම ජයග්‍රහණයට දායක වූහ. ටෝනි ඕපාත ඕවර 9 කදී ලකුණු 72 ක්‌ ලබා දෙමින් කඩුලු 1 ක්‌ ලබාගත් අතර අජිත් ද සිල්වා ඕවර් 13 කට ලකුණු 61 ක්‌ ලබා දෙමින් කඩුලු 4 ක්‌ ලබා ගත්තේය.

මේ අන්දමට ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ වරම් ලැබෙන තෙක්‌ම පකිස්‌තානය නන් අයුරින් සහයෝගය දැක්‌වීය. එයට කළගුණ සැලකීමක්‌ වශයෙන් ශ්‍රී ලංකාව 1982 දී සිය පළමු විදෙස්‌ ටෙස්‌ට්‌ සංචාරය වශයෙන් පාකිස්‌තානය බලා පිටත්ව ගියේය. ඒ 1982 මාර්තු 1 වැනිදාය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය බන්දුල වර්ණපුර දැරූ අතර පකිස්‌තානු කණ්‌ඩායමේ නායකත්වය ජාවෙඩ් මියන්ඩාඩ් විසින් දරන ලදී.

ටෙස්‌ට්‌ තරග 3 කට සීමා වූ මෙම තරගාවලියේ පළමු තරගය 1982 මාර්තු 5-10 දා දක්‌වා පැවැත්විණි. පළමු තරගය කරච්චි නුවර පැවැති අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලකුණු 204 ක පරාජයක්‌ හිමිවිය. දෙවන තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර තුන්වෙනි තරගයෙන්ද ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 102 ක පරාජයක්‌ හිමිවිය. ටෙස්‌ට්‌ තරග 3 ක තරගාවලියක්‌ සඳහා නැවතත් ශ්‍රී ලංකා කණ්‌ඩායම 1985 ඔක්‌තෝබර් මස දුලිප් මෙන්ඩිස්‌ ගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ පකිස්‌තානය බලා පිටත්විය. පකිස්‌තානු කණ්‌ඩායමේ නායකත්වය ඉම්රාන් ඛාන් දැරූ අතර පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර සියල්කොට්‌ සහ කරච්චි වලදී පැවැති දෙවන සහ තුන්වන තරග පිළිවෙළින් කඩුලු 8 කින් සහ 10 කින් පකිස්‌තානය ජය ලැබීමට සමත් විය.

ටෙස්‌ට්‌ වරම් ලැබීමෙන් පසු පකිස්‌තානයේ පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායම ලංකාවට පැමිණියේ 1986 පෙබරවාරි මාසයේදීය. පකිස්‌තානු කණ්‌ඩායම ඉමහත් හරසරින් පිළිගත් අතර එහි නායකත්වය දැරුවේද ඉම්රාන් ඛාන්ය. පළමු තරගය පෙබරවාරි 23-27 දක්‌වා මහනුවර අස්‌ගිරි ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම තරගයෙන් පකිස්‌තානය ඉනිමක සහ ලකුණු 20 ක ජය හිමි කරගන්නා ලදී. දෙවන තරගය කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම තරගයෙන් කඩුලු 8 ක ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් විය. මෙය පකිස්‌තානයට එරෙහිව ලැබූ පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණය මෙන්ම ටෙස්‌ට්‌ වරම් ලැබ අවුරුදු 4 ක්‌ වැනි සුළු කාලයක්‌ තුළදී ලබාගත් පළමු ජයග්‍රහණය නිසා එය ඉතිහාස ගත විය. එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ නිසා මෙම තරගාවලියද ජය පරාජයකින් තොරව අවසන් විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ තරගාවලියක්‌ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ 1995 දීය. ඒ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායමයි. මෙම ජයග්‍රහණය පකිස්‌තානයේදීම ලබා ගැනීමට හැකිවීම කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ විය. පකිස්‌තානු කණ්‌ඩායමේ නායකත්වය රමීස්‌ රාජා දැරූ අතර පේෂාවර් හිදී පැවැති පළමු තරගයෙන්ම පකිස්‌තානු කණ්‌ඩායම ඉනිමක සහ ලකුණු 40 ක ජය අත්කර ගැනීමට සමත්විය. ෆයිසාල්බාද් හිදී පැවැති දෙවන තරගයෙන්ද සියල්කොට්‌ හි පැවැති තුන්වන තරගයෙන්ද පිළිවෙළින් ලකුණු 42 ක සහ ලකුණු 144 ක ජයක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම හිමි කරගත් නිසා තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

1982 සිට 2009 දක්‌වා ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය දෙරට අතර ටෙස්‌ට්‌ තරග 34 ක්‌ පවත්වා ඇති අතර ඉන් 15 ක ජය පකිස්‌තානයත් 7 ක ජය ශ්‍රී ලංකාවත් ලබා ගෙන ඇත. තරග 12 ක්‌ ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. මෙතෙක්‌ පවත්වා ඇති ටෙස්‌ට්‌ තරග වාර 12 න් පකිස්‌තානය තරග වාර 6 ක්‌ දිනා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවට දිනාගත හැකිවූයේ තරගවාර 2 ක්‌ පමණි. 4 ක්‌ ජය පරාජයකින් තොරව අවසන් විය.

පකිස්‌තානයට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවක්‌ හිමිකර ගෙන ඇත්තේ සනත් ජයසූරියයි. ඔහු තරග 17 කට සහභාගී වෙමින් ලකුණු 1490 ක්‌ ලබාගෙන ඇත. එමෙන්ම පකිස්‌තානයේ ඉන්සමාම් උල්හක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 20 කදී ලකුණු 1559 ක්‌ ලබාගෙන ඇත. එක්‌ ඉනිමකදී ලකුණු 313 ක්‌ ලබා ගනිමින් පකිස්‌තානයේ යුනිස්‌ ඛාන් වාර්තා පොතට එක්‌වී ඇත.

තරග 16 කට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සිය දඟපන්දුවෙන් දස්‌කම් පෙන්වමින් කඩුලු 80 ක්‌ දවාලමින් තරගාවලියේ වැඩිම ටෙස්‌ට්‌ කඩුලු සංඛ්‍යාවක්‌ ලබා ගත් පන්දු යවන්නා වූ අතර පකිස්‌තානයේ වසීම් අක්‍රම් 1985-2000 දක්‌වා ක්‍රීඩා කරමින් තරග 19 කට සහභාගී වී කඩුලු 63 ක්‌ ලබාගෙන ඇත. එහෙත් ඉම්රාන් ඛාන් එක්‌ තරගයකදී ලකුණු 116 කදී කඩුලු 14 ක්‌ ලබාගෙන තිබෙනවා.

යුනිස්‌ ඛාන්ගේ නායකත්වයෙන් යුත් ලාබාල ක්‍රීඩකයන්ගෙන් සමන්විත ටෙස්‌ට්‌ කණ්‌ඩායම දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ටෙස්‌ට්‌ තරග 3 කට සහභාගී වන ඔවුන් පළමු තරගය ජූලි 4-8 දක්‌වා ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙවන තරගය ජූලි 12-16 දක්‌වා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීද තුන්වන තරගය ජූලි 20-24 දක්‌වා කොළඹ සිංහල ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය. ඊට අමතරව සීමිත ඕවර තරග 5 ක්‌ පැවැත්වෙන අතර 20-20 එක්‌ තරගයකටද ඔවුන් සහභාගී වීමට නියමිතය.

ලයනල් ගන්ගේ
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v