බීච් වොලිබෝල් බාලක කණ්‌ඩායම
"බී" කාණ්‌ඩයෙන් පෙරමුණ ගනියි


සුසිල් ප්‍රේමලාල් සිංගප්පූරුවේ සිට වාර්තා කරයි



ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්‌ඩායම් තරග යටතේ සහභාගි වූ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් බාලක කණ්‌ඩායම මූලික වටයේදී සුපිරි දස්‌කම් දක්‌වමින් අපරාජිතව "බී" කාණ්‌ඩයේ ශූරයන් බවට ඊයේ (2 දා) පත්විය.

කළාපයට අයත් රටවල් 12 ක සහභාගිත්වයෙන් අදාළ බාලක තරගාවලියේ මූලික වටය ක්‍රියාත්මක වූ අතර කාණ්‌ඩ 3 කින් සමන්විත එම වටයේ "බී" කාණ්‌ඩය නියෝජනය කළ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් බාලකයන් සත්කාරක සිංගප්පූරුව තරග වට 2-0 කින්ද (ලකුණු 21-17, 21-14) ජපානය තරග වට 2-0 කින්ද (ලකුණු 21-14, 21-13) පෙරේදා (1 දා) පරාජය කළ අතර ඊයේ (2 දා) පෙරවරුවේ පැවැති මූලික වටයේ අවසන් තරගයේදී සෞදි අරාබියද තරග වට 2-0 කින් (ලකුණු 21-14, 21-18) පරදා තරගාවලියේ සුපිරි 8 වටය සඳහා වරම් ලබා ගැනීමට සමත්විය.

තුඩුවාව ශා. අන්තෝනි මහ විදුහලේ අෂේන් ජීවන් ප්‍රනාන්දු සහ සීදුව දවිසමර මහ විදුහලේ සඳුන් මදුසංඛ ප්‍රනාන්දු නියෝජනය කළ බීච් වොලිබෝල් බාලක කණ්‌ඩායමේ මෙම ඉදිරි පියවර තරගාවලිය නැරඹීම සඳහා පැමිණ සිටින සංචාරකයන්ගේ විශේෂ අවධානයටද ලක්‌වීම කැපී පෙනුණි.

මේ අතර බීච් වොලිබෝල් බාලිකා කණ්‌ඩායමද (දන්කොටුව යෝගියා මහ විදුහලේ ඔෂානි චාපා ඉලංගකෝන් සහ දෙනියාය ශා. මැතිව් විදුහලේ වයි. ජී. නිලන්තිකා සංජීවනී) ඊයේ (2 දා) පස්‌වරුවේ එච්. කාණ්‌ඩයේ තීරණාත්මක තරගයට (තායිලන්තය) සහභාගි වූ අතර එම තරගයේදී තරග වට 2-0 කින් ශ්‍රී ලංකාව පරාජය විය. ඒ අනුව බීච් වොලිබෝල් බාලිකා කණ්‌ඩායම දැන් තරගාවලියෙන් ඉවතට විසිවී ඇත.

තරගාවලියේ "එච්" කාණ්‌ඩය නියෝජනය කරන ලද එම බාලිකා කණ්‌ඩායම චීන තායිපේ කණ්‌ඩායමට තරග වට 2-0 කින්ද පිලිපීනයට තරග වට 2-0 කින්ද පරාජයවිය. තායිලන්තය සමග තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වූයේ ලකුණු 21-4 ක්‌ සහ 21-5 වශයෙනි.

බාලිකා කණ්‌ඩායමේ පසු බැස්‌ම ගැන ඊයේ අදහස්‌ දැක්‌වූ කණ්‌ඩායමේ පුහුණුකරු සජිත් නන්දසිරි මහතා සහ කළමණාකරු නිහාල් ප්‍රනාන්දු මහතා "බීච් වොලිබෝල් ඇඳුම අපේ ළමයින්ට එතරම් හුරු නැහැ. ඔවුන් තරගයට මුහුණ දුන්නේ කිසියම් චකිතයකින්. එම නිසා තරගාවලියේ තාක්‍ෂණික කමිටුව සමග අපි සාකච්ඡා කොට අපේ සංස්‌කෘතියට අනුව කොට කලිසම අදින්න අවසර ගත්තා. මූලික තරග දෙකේදී එම අවස්‌ථාව ලැබුණ නම් බාලක කණ්‌ඩායම මෙන් ඉදිරියට ඒමේ හැකියාව තිබුණා යෑයි පැවසූහ.

පදක්‌කමක විශ්වාසය අද

ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග යටතේ අද (3 දා) ශ්‍රී ලංකාවට පදක්‌කමක විශ්වාසයක්‌ පවතී.

මීටර 800 ඉසවුවේ බාලක අවසන් තරගය අද පස්‌වරුවේ පැවැත්වීමට නියමිතව ඇති අතර එම ඉසවුවේ මූලික වටයේදී සියලු තරගකරුවන් අභිබවා උපරිම දස්‌කම් දැක්‌වූ වලල ඒ. රත්නායක මැදි මහ විදුහලේ ඉඳුනිල් මදුෂාන් හේරත් "රන් පදක්‌කම" ආසන්නයේ සිටීම ශ්‍රී ලංකාවට සැනසිලි දායක තත්ත්වයකි.

මීටර 800 ඉසවුවේ ජයග්‍රහණය සම්බන්ධව "දිවයින" කළ විමසුමකදී එදා මෙන් අදත් තම උපරිමය යොදා ජයග්‍රහණය කිරීම එකම අරමුණ බව මදුෂාන් හේරත් සඳහන් කළේය.
මේ අතර ඊයේ පස්‌වරුවේ පැවැති මීටර 400 බාලිකා ඉසවුවේදී ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්‌කම අහිමි වූයේ දශම 7 කිනි. ඉසවුව නියෝජනය කළ ට්‍රැක්‌මාස්‌ටර් ක්‍රීඩා සමාජයේ එච්. එම්. නදිෂානි සිය ඉසවුව ත. 58.08 කින් අවසන් කළ අතර ලෝකඩ පදක්‌කම දිනා ගත් චීන තායිපේ ක්‍රීඩිකාව ත. 58.01 කින් තරගය නිම කළාය.

අදාළ ඉසවුවේ බාලක අවසන් තරගයේදී දුලාඡ් ලහිරු 7 වැනි ස්‌ථානයට පත් විය. ඔහුගේ තරග නිමාව ත. 51.21 කි.

මීට අමතරව අවසන් තරගයක්‌ ලෙස පැවැති මීටර 100 කඩුලු ඉසවුව නියෝජනය කළ කේෂානි පෙරේරා (බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ) සිවුවැනි ස්‌ථානයට පත්වූ අතර (ඇය අවසන් වටයට නොතේරුණු බවට ඊයේ ප්‍රවෘත්තියේ සඳහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි) ඇයගේ තරග නිමාව ත. 15.48 කි. මීටර 400 කඩුලු බාලිකා ඉසවුවෙන්ද ශ්‍රී ලංකාවට සිවුවැනි ස්‌ථානය හිමිවිය. රත්නපුර සුමන බාලිකා විදුහලේ නයෝමිකා ගිම්හානි ජයතිලක එම ඉසවුවේදී නිම කරන ලද කාලය මි. 1.03.47 කි.

පිහිනුම්

ආසියානු යොවුන් ක්‍රීඩා පිහිනුම් තරගාවලිය යටතේ ඊයේ (2 දා) ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද හේෂාන් බණ්‌ඩාර උනම්බෝව මීටර 100 පසුපස ආර ඉසවුවේ මූලික තරගය (2) මි. 1.00.74 කින්ද අවසන් පූර්ව තරගය මි.1.00.01 කින් නිම කර අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.

දෙවැනි අවසන් පූර්ව තරගය නියෝජනය කළ හේෂාන් ගේ එම ඉසවුව "දිවයින" මුද්‍රණයට යන අවස්‌ථාව වනතුරුම වාර්තා නොවිය.

ආසියානු ඔලිම්පික්‌ ක්‍රොංගසය අද

ආසියානු කළාපයේ ඔලිම්පික්‌ බලධාරීන් සහභාගි වන ආසියානු ඔලිම්පික්‌ කවුන්සල සැසිය අද (3 දා) සිංගප්පුරුවේදී පැවැත්වීමට නියමිතය.

ලබන 2010 වසරේ ප්‍රථම වරට පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල මෙහි ප්‍රධාන මාතෘකාව වන අතර දැන් ක්‍රියාත්මක වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය ගැන අදහස්‌ හුවමාරු කර ගැනීමට සැසිය නියෝජිතයෝ බලාපොරොත්තු වෙති.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v