නිර්මාණාත්මක භාව ප්‍රකාශකයා
පාලිත පෙරේරා සමඟ සජීවී ලෙසින්

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්‌වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකි 1970 සහ 80 දශකයේ පාසල් සිසුවකු වූ මගේ මතකයේ පාලිත පෙරේරා යන නම කුමන ක්‍රමයකින් හෝ සටහන්ව තිබිණ. ඒ මා ක්‍රිකට්‌ ලෝලියකු නිසා නොවේ. ඒ මතකය මගේ ගුරු මෑණියක වූ තිසේරා මහත්මිය නිසා ඇති වූවකි. 1979 වසරේදී මා සමස්‌ත ලංකා කෙටි නාට්‍ය පිටපත් තරගයකින් තුන්වැනි ස්‌ථානයට පත්වූ විට තිසේරා මහත්මිය මෙසේ කීවාය.

"ඔයා හොඳ ගුවන්විදුලියට. අර අපේ පාලිත පෙරේරා මහත්තය වගේ තත්ත්වයකට ඒවි."

එකල ගුවන් විදුලිය, බොහෝ දෙනා අතර සම්භාවනීය මාධ්‍යයක්‌ විය. ගුවන් විදුලියෙහි සේවය කළ නිවේදක නිවේදිකාවෝ, බොහෝ අයගේ බුහුමනට පාත්‍ර වූහ. මගේ උනන්දුව පාලිත පෙරේරා යනු කවරෙක්‌ද, ඔහු තුළ වූ ඒ අසිරිය කුමක්‌දැයි වටහා ගැනීම කෙරේ යොමු විය. මම ගුවන් විදුලිය බදා වැළඳගෙන, ඒ නොපෙනෙන ලොව තුළ සිටි ඒ අසිරිමත් පුද්ගලයා සොයන්නට වීමි. අවසන ක්‍රිකට්‌ විස්‌තර ප්‍රචාරයක අවසනට ඔහුගේ නම කියෑවිණි. ඉන් මගේ සිතෙහි වූ මානසික ප්‍රසාදය තරමක්‌ දෙදරා ගියේය. පාලිත පෙරේරා යන හුදු ක්‍රිකට්‌ විස්‌තර කථකයකු පමණක්‌ විය නොහැකි යයි මගේ සිත මට ගතු කීය. මේ ප්‍රකාරයෙන් මම ගුවන් විදුලියේ යාව ජීව ශ්‍රාවකයෙකු වීමි.

"ක්‍රිකට්‌ යනු අද මාධ්‍ය තුළ විකිණිය හැකි ජනප්‍රිය පාරිභෝගික භාණ්‌ඩයකි. ක්‍රිකට්‌වලට පමණක්‌ මා කැඳවන්නේ එහෙයිනි"

පාලිත පෙරේරා සිය සම්මුඛ සාකච්ඡා සංග්‍රහයෙහි හැඳින්වීමෙහි කියන්නේ, මා සිතූ සිතුවිල්ල සනාථ කරමිනි. පසු කාලයේ ගුවන් විදුලියේ විවිධ වැඩසටහන් රැසක පාලිත පෙරේරා මට විවිධ ලෙස මුණගැසුණි. ඔහු මෙහෙයවූ "ආරාධනා", "ස්‌වර දැහැන" එකල මගේ ජනප්‍රිය වැඩසටහන වූයේය. 1996 මා ලියූ ගුවන් විදුලි නාට්‍ය පිටපතකට සමස්‌ත ලංකා තරගයකින් දෙවැනි ස්‌ථානය ලැබී තිබිණි. එහි සහතිකය ගැනීමට ශ්‍රී ලංකා ගුවන්විදුලියට ගිය මොහොතේ මට තිසේරා ගුරුතුමිය සිහිවිණි. මන්ද එකල සිංහල සේවා අධ්‍යක්‍ෂව සිටි පාලිත පෙරේරා අතින් මට ඒ සහතිකය පිරිනැමුණු බැවිනි.

පාලිත පෙරේරා යනු සර්වග්‍රාහී ගුණයෙන් යුතු කෘතහස්‌ත ගුවන්විදුලි මාධ්‍යවේදියකු බව ඔහු විසින් සිදු කරන ලද විවිධාංග සමවැයෙන් යුතු මේ සජීවී සම්මුඛ සාකච්ඡා අධ්‍යනය කරන්නෙකුට හැඟේ. ඔහු ඒ ඒ වැඩසටහන තුළ, ඉන්පෙර ප්‍රදර්ශනය නොකළ කුමක්‌ හෝ අපූරුවක්‌ අඟවයි. පාලිත තුළ මනස්‌කාන්ත භාව ප්‍රකාශයනයක්‌. නිර්මාණාත්මක වැස්‌මක්‌ දරාගෙන සැඟව පවතී. 1970 ගණන්වල මුලදී ගුවන් විදුලියේ උපදේශකයකුව හුන් ස්‌ටවුට්‌ වේවල් ලියූ "ගුවන් විදුලි නිෂ්පාදකයාට අත් පොතක්‌" යන ප්‍රකාශනයෙහි දැක්‌වෙන "සිනාමුසු නිවේදකයා" යන්නෙන් හුවා දක්‌වන ආදර්ශය පාලිත පෙරේරා සම්බන්ධයෙන් යුක්‌ති යුක්‌ත ලෙස ගැළපෙන බව ඔහුගේ මෙම සජීවී සම්මුඛ සාකච්ඡා සංග්‍රහයෙන් හැඟේ. "මෙන්න ප්‍රවෘත්ති - බන්දුල වර්ණපුර හෙළිදරව් කරයි", "ලියෝ ප්‍රනාන්දු මහතා අමරදේව දරුකමට ඉල්ලුවා" ආදී පරිච්ෙ-ද මාතෘකා කියවන විට, යළිත් වරක්‌ ස්‌ටුවට්‌ වේවල්ගේ අත්පොතේ සඳහන් ආදර්ශ සිහියට නැඟේ. "සිද්ධියකින් පටන් ගන්නා", "කතා නිෂ්පාදනය", "වාග් සංග්‍රාමයකට සැරසෙන්න" ආදී පරිච්ෙ-දවල අවධාරණය කර ඇති කරුණු පාලිත පෙරේරා, සිය සම්මුඛ සාකච්ඡා ඔස්‌සේ, ආකර්ෂණීය අන්දමින් ක්‍රියාවට නඟා ඇති අයුරු මෙම කෘතිය කියවීමේදී හැඟේ. පාලිත පෙරේරා තරම් මේ සමාජයේ චිර සම්භාවනාවට පත් පුද්ගලයන් සමඟ තීරණාත්මක හා රසාත්මක සාකච්ඡා පැවැත්වූ අයෙකු නැතැයි කිව හැකි තරමට මේ කෘතියෙන් ගැබ්වන එබඳු අවස්‌ථා සාක්‌ෂි දරයි. ඔහු, ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයේ අතිශය පෞද්ගලික සංසිද්ධියක්‌ වුවද දයාබර දවටනයක රඳවා ඉදිරිපත් කිරීමට තරම් විචක්‌ෂණය, අමරදේව මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාමාලාව පුරා එබඳු සංසිද්ධි අප හමුවේ දිග හැරේ. එහෙත් ඒ සියල්ල කෞතුක හා ආනන්දජනක ජීවිතාවබෝධයක්‌ ශ්‍රාවකයා තුළ තහවුරු කරන නියායෙන් නිරූපණය කිරීමට පාලිත පෙරේරා සමත්ය.

පාලිත පෙරේරා මහතා මා කිසිදිනක සමීපව ඇසුරු කර නැත. වඩා තරුණ පරපුරකට අයත් මා ඉදිරියේ ඔහු දැවැන්තයකු සේ, ඒ සම්භාවනීය මාධ්‍ය ඉතිහාසය නම් බිතුතලයේ සිතුවමක්‌ වී නැඟී සිටී. එහෙත් ඔහු නොදැනුවත්ව ඔහු පිළිබඳව මම මගේ ගුරුවරුන් වූ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස ආදීන් සමඟ විවිධ කරුණු කථා බස්‌ කර ඇත්තෙමි. පාලිත පෙරේරාගේ වැඩසටහන් හා ඔහු අහම්බෙන් මෙන් මාධ්‍ය ලෝකයේදී සිදු කරන ක්‍රියා ඉන්ද්‍රජාල බඳු යෑයි මහාචාර්ය සෙනෙවිරත්න මහතා පැවැසීය. එම ප්‍රකාශයට ආලෝකයක්‌ එල්ලවන අන්දමේ සංසිද්ධීන්ගෙන් පාලිත පෙරේරාගේ මේ සජීව සංවාදකෘතිය පරිපූර්ණය. ඔහුට ඉතා අහම්බෙන් නමුදු අතිශය වැදගත් පුද්ගල මූලාශ්‍ර රැසක්‌ සමඟ වැදගත් කථා බස්‌ කිරීමේ දුර්ලභ අවස්‌ථා ලැබී තිබේ. හිටපු ජනාධිපතිවරයකු වූ ෙ-. ආර්. ජයවර්ධන, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිව සිටියදී කළ සාකච්ඡා ආදිය නිදසුන් වේ. මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතෙකු පිළිබඳ කෞතුක විස්‌තරද මෙහි ඇතුළත්ය. දැනට ජීවතුන් අතර නැති ගාමිණී ෆොන්සේකා හා රුක්‌මණි දේවී බඳු සම්භාවනීය කලාකරුවන් පිළිබඳ වැදගත් ස්‌වර්ණ රාශියකින්ද මේ කෘතිය අනූනය. රුක්‌මණි දේවිය මිය යැමට පැය 18 කට ප්‍රථම පාලිතට ඇය හා ගුවන්විදුලි වැඩසටහනක්‌ පටිතග කළ හැකිවීම විස්‌මයකට වඩා දෛවෝපගත දෙයකි.

මේ කෘතිය, සම්මුඛ සාකච්ඡා සමුච්ඡයක්‌ සේ දරන වැදගත්කම ඉක්‌මවා මෙහිවූ තවත් කෞතුක වටිනාකමක්‌ද වේ. එනම් එක්‌ එක්‌ පුද්ගලයන්ගේ ජීවිත හා සබැඳි අප්‍රකට ඡායාරූප රැසකින්ද මෙය සමන්විත වීමය. මෙවන් කෞතුක හා දෛවෝපගත ඡායාරූප අතර අමාත්‍ය ගාමිණී දිසානායක, අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි යන අය එක්‌තැනකදී පාලිත පෙරේරා විසින් ඡායාරූපයකට හසුකර ගනු ලැබීමය. මේ තිදෙනාම පසු කාලයේ එල්. ටී. ටී. ඊ. බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට ලක්‌වූහ. ඔවුන් තිදෙනා එකතැනකදී ඡායාරූපයකට හසුවීම අහඹු සිදුවීමක්‌ (ඤසබජසාeබජැ) යෑයි පෙනෙතුදු මෙබඳු සිදුවීම් පසුපස ගුප්ත අභිදහමක්‌ ඇති බව, පරාමනෝ විද්‍යාවේ (ඡ්ර්චිහජයදකදටහ) ඉතිහාසය අධ්‍යයනයේදී පෙනේ.

තරුණ සරසවි ඇදුරෙකු ලෙස මාහටද විවිධ මාධ්‍යවේදීන් හමුවී තිබේ. ඔවුන් හා ඇසුරු කර තිබේ. පාලිත පෙරේරා කිසිදා මා ඇසුරු කර නැත. එහෙත් ඔහුගේ ස්‌මරණය, යෝධ පිළිරුවක්‌ සේ මගේ සිතෙහි තහවුරුව ඇත. ශ්‍රී ලාංකේය මාධ්‍යයන්හි "පාලිතලා" බොහෝ සිටිනු විය හැකිය. අනාගතයේද හමුවනු ඇත. එහෙත් "පාලිත පෙරේරලා" නැවත හමු නොවෙති. පාලිත පෙරේරා නම් ඔහුම පමණි.

සාලිය කුලරත්න
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා අංශාධිපති සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v