අභිචාර හා අධි විශ්වාස -05
හෙළ වෙදකම්

සිංහලයා මනා ශරීර සෞඛයෙන් දිගාසිරි විඳින ජාතීන් ලෙස අතීතයේ විදේශිකයන් අතරද ප්‍රචලිත වී තිබිණි. ඔවුන්ගේ ආහාර ගැනීමේ ප්‍රතිපත්තියත්, වැඩ බිම තුළදී අත්විඳින ශාරීරික ව්‍යායාමයත් වෙදකම හා හෙදකම මෙන්ම සැහැල්ලු මනසක්‌ ඔවුනට එසේ දිගාසිරි විඳීමට හේතු වන්නට ඇත. අම්ල, මධුර, ලවන, කටුක, තිත්ත, කසට ආදී ශඩ් රසයෙන් යුතු ආහාරය ඔවුනට සමබල ආහාරයක්‌ විය. සිංහල වෙදකමේ ප්‍රධාන අංගයක්‌ වූයේ ලෙඩ සුව කිරීමටත් වඩා යහ පැවැත්මය. යහපැවැත්මෙන් යුතු සිංහලයාට වෙදැදුරාගේ සහය හැමවිටම අවශ්‍ය නොවීය. එමෙන්ම සුළු ආබාධ සඳහා අවශ්‍ය බෙහෙත් සියලු හෙළයෝ දැන සිටියහ. . මේ රටේ හැමෝම වෙද්දුය ලෙස රොබට්‌ නොක්‌ස්‌ පවසන්නේ මේ නිසාවෙනි.

අතීතයේ සිංහල වෙදකම කොතරම් දියුණු තලයක පැවතියේද යන්න පිරික්‌සීම සඳහා මහ වංශ මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍ර යොදාගත හැකිය. ඒ අනුව බුද්ධදාස, ධාතුසේන, දෙවන උපතිස්‌ස, පළමුවැනි උදය ආදී රජවරු ආරෝග්‍ය ශාලා ඉදිකර ඇති බවත් සඳහන් වන අතර දැනට මිහින්තලේ, මැදිරිගිරිය, ආළහන පිරිවෙන යන ස්‌ථානවලින් ආරෝග්‍යශාලාවල නෂ්ටාවශේෂද හමුවී ඇත. චර්මරෝග, වාත රක්‌තයා, අර්ශස්‌ වැනි රෝග සුවකිරීම සඳහා භාවිත කරන ලද බෙහෙත් ඔරු හයක්‌ පමණ මේ වන විට පුරා විද්‍යා කැනීම්වලින් සොයාගෙන ඇත. එසේම දියුණු වෛද්‍ය ශාස්‌ත්‍රයක ග්‍රන්ථ සාහිත්‍යයක්‌ද අතීතයේ තිබූ බවට "භෙසඡ්ජ මඤaජුසා" වැනි ග්‍රන්ථ සාධක සපයයි.

වසර තුන් දහසකට පමණ පෙර උතුරු ඉන්දියාවෙන් ආයුර්වේද ශාස්‌ත්‍රය මේ දිවයිනට ලැබිණි. එතෙක්‌ පැවති පාරම්පරික සිංහල වෙදකම හා බොහෝ සෙයින් සමානවු ආයුර්වේදය ද බෙහෙවින්ම ශාකමය ඖෂධ භාවිත කරන්නක්‌ විය. ඒ අතර සිංහල වෙදකමේ යකැදුරුකම් සමග අෂ්ඨාංග ආයුර්වේදයේ භූත විද්‍යාවද මනාව සුසංයෝගී වූ අතර අද වන විට ද මේ ක්‍රම සියල්ල සංයෝග කර ගැනීමට ඇතැම් දක්‌ෂ වෛද්‍යවරුනට හැකිවී තිබේ.

සිංහල වෙදකම කෙසේ ආරම්භ වීද යන්න පිළිබඳව මූලාශ්‍ර සෙවීම උගහටය. එහෙත් එහි අන්තර්ගතය සලකා බැලීමේදී ප්‍රත්‍යක්‌ෂය ඇසුරින් ජන විඥානයේ විවිධ සංකල්ප හා මුසුවූ දියුණු තලයක්‌ දක්‌වා වර්ධනය වු ශාස්‌ත්‍රයක්‌ ලෙස නම් කළ හැකිය. මේ නිසා සිංහල වෙදකමේ අන්තර්ගත විවිධ අංශ හා ඒවාට බලපෑ විවිධ සංකල්ප පිළිබඳව අවධානය යොමු කිරීම උචිත යෑයි සිතමි.

"සිංහලයන් ඔවුන්ගේ ලෙඩට දුකට ප්‍රත්‍යක්‌ෂ ප්‍රතිකර්ම වශයෙන් කරන්නේ යන්ත්‍ර - මන්ත්‍ර අණවිණ හා යකැදුරුකම්ය" යනුවෙන් රොබට්‌ නොක්‌ස්‌ගේ එදා හෙළිදිව කෘතිය සඳහන් කරයි. අනාධිමත් කාලයක්‌ තිස්‌සේ ලාංකිකයා ලෙඩරෝග සඳහා දේවකෝපය, යක්‌ෂ, භූත, ප්‍රේත බැල්ම හෝ අණවිණ සූනියම් ආදියද බලපාන බව පිළිගැනුනි. දහඅට සන්නිය පැවැත්වූයේ විවිධ රෝගවල නම්වලින් යුතු සන්නි යකුන් කළ රෝග නිවාරණය සඳහා යි. එනම් වා, පිත්, සෙම් කෝපවීම් හා බිහිරි බව අන්ධ බව, කොරවීම ආදිය සිදුවන්නේ වාත සන්නිය, පිත් සන්නිය ආදි ලෙස ඒ ඒ රෝග නමින් පෙනී සිටින සන්නි යකුන්ගේ බැල්ම නිසා යෑයි ඔවුන් විශ්වාස කළේය. එමෙන්ම රිද්දි යාගය සිදු කළේ ගර්භනීන්ගේ ගර්භ සංරක්‍ෂණයත් වඳ ස්‌ත්‍රීන් සඳහාත් ගර්භෝපචාර ශාන්තිකර්මයක්‌ ලෙසිනි. එමෙන්ම ග්‍රහයින් නීචවීම් ආදියට යන්ත්‍ර දැමීම් හා බලි ශාන්තිකර්ම පැවැත්වීම්, අණවිණ සූනියම් ආදියට සූනියම් කැපීම් හා මන්ත්‍ර ගුරුකම් කිරීමද, උණට නූල් දැමීම ආදී මන්ත්‍ර ශාස්‌ත්‍රය මගින් සිදුකරනු ලබන වෙදකම්ද වර්තමාන සමාජයේ සුළභය.

එමෙන්ම ඉහත සංකල්පයන්ට අමතරව ගැමියා ඇස්‌වන කටවහ හෝවහ අඬෝ ඇඬියා ආදියද තදින්ම විශ්වාස කරයි. ඇතැමුන් විනාශකාරී අදහසින් බැලීම, කතාකිරීම, සුසුම්ලෑම, ආදිය විපත් ගෙන දෙන බව ඔවුනට ප්‍රත්‍යක්‌ෂය. ඒ වැනි කරුණු සඳහා වතුර මැතිරීම, දෙහි කැපීම ආදියද සිදුකරන්නේ වෙදකම් ලෙස සලකාය. ගමක වෙද මහතා ලෙස සලකන්නේ ආයුර්වේදය, හා සිංහල වෙදකම දත් වෙද මහතා පමණක්‌ නොව බලි ඇදුරා, කට්‌ටඩියා, මෙන්ම හරකුන් වැනි සතුන්ට වෙදකම් කරන තැනැත්තාද ගමේ වෙද මහතා වෙයි.

ඇතැම් අවස්‌ථාවක රෝගියා සිය රෝගයට බලපෑ හේතුව හා රෝගයට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා අත්භූත බලවේගවල පිහිට පැතීය. ආවේශ වී පේන කියන ඇතැම් දේවාල වල මෙසේ ඖෂධ ලබාදීම සිදුවේ. ඇතැම් තැනක නිමිති ශාස්‌ත්‍ර බැලීම මගින් රෝගය සුවකර ගැනීමට අවශ්‍ය උපදෙස්‌ හා ඖෂධ ලබාදෙයි. තවද ගිරවකු විසින් තෝරාදෙන පත්ඉරුවක සටහන්ව ඇති ඖෂධ භාවිත කර සිය රෝගයන් නිවාරණය කරගත් ගැමියෝද සමාජයේ සිටිති. එක්‌ පාසල් ගුරුවරියක තමන්ට වැළඳී තිබූ දරුණු උදරාබාධයක්‌ අදෘශ්‍යමාන බලවේගයකින් සුවකරගත් අයුරු පැවසුවාය. ඇයට දේවාලයෙන් නියම වූයේ කිරි බෝතලයක්‌ රැගෙන ඒමටය. ඇය ගෙනා කිරිබෝතල යහනේ තබා කපු මහතා ආවේශ වියත කිරි බෝතලය මද වේලාවකින් අතුරුදන් වූ අතර නැවත සළු වේලාවකින් එය යහනේ තිබූ බවත් එම කිරි බෝතලය පානය කිරීම මගින් සිය උදරාබාධය සුව වූ බවත් ඇය ප්‍රකාශ කළාය. මෙසේ. ගුප්ත ශක්‌තිය මගින් බොහෝ ලෙඩ සුවකරන වෛද්‍යවරයෙකු පිළිබඳව මෑත කාලයේදී ද පුවත්පත් මගින් වාර්තා විය. ඒ පිළිබඳව කුමන විචාර පැවතියද එතුමාගෙන් ලෙඩ සුව කරගත්තෝද බොහෝ විය.

සියලු ගැමියෝ විවිධ ලෙඩරෝග සඳහා අත්බෙහෙත් දනිති. ඒ අතර ඇතැමුන් එක්‌ එක්‌ රෝගයන් සඳහා සුවිශේෂ රහස්‌ බේත් දනිති. වසර ගණනාවක්‌ බටහිර විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඖෂධවලින් සුවකරගැන්මට අපොහොසත් වූ එක්‌ චර්ම රෝගයක්‌ ගැමි කාන්තාවක දුන් රහස්‌ බේතකින් සුව කරගත් අයෙක්‌ හමුවිය. මෙබඳු රහස්‌ බෙහෙත් බොහෝවිට ඔවුන් දැනගෙන ඇත්තේ රාත්‍රි සිහිනයෙන් යම් මළගිය ඥාතියෙකු පැමිණ පැවසීමෙනි. මෙබඳු ඇතැම් කෙම් ක්‍රමද ගැමියා අතර පවතී. කෙම්ක්‍රම යනු කතානොකර නිහඬව නිශ්චිත අවස්‌ථාවකදී නිශ්චිත ක්‍රමයකට කරන ක්‍රියාවකි. මෙය බොහෝවිට රෝගියාගේ රෝගය හා සම්බන්ධ නොවේ. උදාහරණ ලෙස දත් කැක්‌කුම සුවකිරීම සඳහා යම් යන්ත්‍රයක්‌ ලියූ ලෑල්ලකට යම් ක්‍රමවේදයක්‌ අනුගමනය කර ඇණයක්‌ ගැසීම මගින් එය සුව කිරීමට ගැමි වෙදැදුරාට හැකියාව ඇත. එමෙන්ම ගවයින් සඳහා කරන වෙදකමේදී අබ මතුරා ලිපට දැමීමේ කෙම් ක්‍රමයක්‌ හා සතාගේ හමෙහි විවිධ සංකේත කෙටීමේ වෙනත්ම ආකාරයේ වෛද්‍ය ක්‍රමයක්‌ද ගැමියා අතර පවතී.

මීට අමතරව රෝගවලට ඖෂධ ලබාදීමෙන්ම සුවපත් කරන දියුණු සිංහල වෛද්‍ය ශාස්‌ත්‍රයක්‌ද ගැමියා තුළ පවතී. වර්තමානයේ පවා ඇතැම් රෝග සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නොමැති නමුත් සිංහල වෛද්‍ය ශාස්‌ත්‍රයෙන් නිට්‌ටාවට සුව කළ හැකි ඖෂධ හා ක්‍රමවේද දක්‌නට ඇත. උග්‍ර විෂ සහිත වල්නාශක පානය කළ පුද්ගලයකු බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ නොහැකි යෑයි නිශ්චය කළ අතර එම අභියෝගය භාරගෙන රෝගියා සුවකළ භික්‍ෂූන් වහන්සේ නමක්‌ වර්තමානයේද ඇඹිලිපිටිය ප්‍රදේශයේ වැඩවසති. මේවා අදෘශ්‍යමාන බලවේගවලින් නොව ස්‌වභාවික පරිසරයෙන් උපයාගත් ඖෂධ භාවිතකර සිදුකර වෙදකම්ය.

මෙසේ සෘජු ලෙස අභිචාර හා සම්බන්ධ නොවන වෛද්‍ය ක්‍රමය තුළද අනර්ගත වන විවිධ අභිචාර හා අධි විශ්වාස ලක්‍ෂණ හා සංකල්ප දක්‌නට ලැබේ. මුලින් සඳහන් කළ සියලු ප්‍රතිකාර සම්පුර්ණයෙන්ම අධිවිශ්වාස හා අභිචාර මත පදනම් වී ඇත. එහෙත් ආයුර්වේදය හා බැඳි පුරාණ සිංහල වෙදකම ඉතා දියුණු විද්‍යාත්මක ඥාන සම්භාරයකින් නිර්මාණය වුවක්‌ ලෙස අවිවාදයෙන් වර්තමානයේ වුව බොහෝ දෙනා පිළිගනී. එහෙත් ඒ තුළද අන්තර්ගත විවිධ අභිචාර හා අධි විශ්වාසයන් එහි සූක්‍ෂම භාවයට හා නිර්වද්‍ය භාවයට පමණක්‌ නොව සමාජය තුළ යහ පැවැත්මට කොතරම් දුරට ඉවහල් වනවාද යන්න සාකච්ඡා කළ යුතුය.

සිංහල වෛද්‍ය ශාස්‌ත්‍රයේ සර්වාංග වෙදකම, අක්‌ෂිරෝග වෙදකම, විෂ වෙදකම, බාලරෝග වෙදකම, කැඩුම් බිඳුම්, වෙදකම, ආදී ලෙස විවිධ අංශවලට වෙන්වූ වෛද්‍ය ක්‍රමයක්‌ දක්‌නට ලැබේ. මේ කුමන වෛද්‍ය ක්‍රමයකදී වුවත් ප්‍රතිකාර කිරීමේදී අතීත වෛද්‍යවරයා දූතලකුණු, පෙරමග නිමිති, අංග ලකුණු, සිහින, අරිටු ලකුණු ආදිය පිළිබඳව විමසිලිමත් විය යුතු බව යෝගරත්නාකරයේ" දැක්‌වේ. රෝගියා වෙත වෛද්‍යවරයා කැඳවාගෙන යැම සඳහා පැමිණෙන දූතයාගේ ලකුණු දැකීමෙන් වෛද්‍යවරයා ඔහු සමග යැම ඵලදායක වේද, නොවේද යන්න තීරණය කිරීමට ඔහුට හැකියාව ලැබිණි.

සිංහල වෙදකමේ අභිචාර ලක්‍ෂණ පලවන අවස්‌ථාවක්‌ ලෙස අංග ලකුණු විනිශ්චය දැක්‌විය හැකිය. වෛද්‍යවරයා කෙටි මන්ත්‍රයක්‌ මැතුරූ කල ආතුරයා සිය ශරීරයේ ස්‌පර්ශ කරන ස්‌ථානය අනුව මෙබඳු අධි විශ්වාසයකට වෛද්‍යවරයා පැමිණේ.

කම්මුල තුන් මසෙක නළලත යෙල මසෙක
බැව යුග තව දිනෙක කටගත සත් දිනෙක
ඇසගත පස්‌ දිනෙක නැහැගත තුන් දිනෙක
දිවගත එම දවස මරුවෙයි යනු නිසැක"

එමෙන්ම සිහිනයෙන් රත්පැහැ නිල්පැහැ රෙදි අඳිනු දැකීම, විවාහ උත්සව දැකීම. පිසූ මස්‌ අනුභවය දැකීම, ගඟක ඔරුවකින් යනු දැකීම, ආදිය ආතුරයාට විපත් ඇති කරවන බව පැරණි පොත පත් සඳහන්ය. එමෙන්ම ආතුරයා මෙබඳු දේ දැකීමද අශුභය. ඒවා අරිටු ලකුණු ලෙස සිංහල වෙද පොත්වල සඳහන්ය.

උදාව එන එ රිවි මඬල -

දිලි තෙදරැස්‌ නැතිව නිමල

මැදින් සිදුරුවත් දුටු කළ -

යම පුරයට යෙයි නොපැකිල"

මේ ආකාරයට අධිවිශ්වාස හා අභිචාර බෙහෙවින්ම දක්‌නට ඇත්තේ සර්ප විෂ වෛද්‍ය ශාස්‌ත්‍රයේය. එහිදී කාල හෝරා අනුව දෂ්ඨ කළ සර්පයා දැනගැනීමට ද දුතයා අනුව ආතුරයාගේ ජීව ආයුධ නිර්ණය කිරීමටද වෛද්‍යවරයා අධිවිශ්වාස භාවිත කර ඇත.



වරලෙස උනා එන බව දැන කසමින්නේ

උතුරේ සිටගෙන මයි පවසන්නේ

වමේ පයින් බිම සාරයි දන්නේ

එසේ දුවොත් දෙපැයින්ම නසින්නේ."



ලකුණු අඟන සොඳ ලෙසට බලන්නේ

දකුණු අතින් ඔහු ලමැද කසන්නේ

නැගෙන දෙසේ සිටගෙනම කියන්නේ

දකුණු දෙසේ පොළඟා දැනගන්නේ"



අතීත වෙදැඳුරන් සිද්ධි අධ්‍යයනය මගින් මේ දැනුම් සම්භාරය ලබාගත්තේ වුවත් මේ එකිනෙකක්‌ හා යම් සම්බන්ධයක්‌ ගොඩ නගාගැනීමට ඔවුන් තුළ තිබූ දැනට අවිද්‍යමාන යම් සංකල්පයක්‌ මුලික වන්නට ඇත. දිශාව කාලහෝරාව, අංගචලන හා දේහ ලක්‍ෂණ පමණක්‌ නොව අත දරන විවිධ සංකේත පිළිබඳවද මනා අධ්‍යනයක්‌ ඔවුන් සිදුකර ඇත. එමෙන්ම ඔවුන් සර්පයින්ගේ විෂ හා ඔසු පැලෑටි පිළිබඳව පමණක්‌ නොව සර්පයින්ගේ ජීවන චක්‍රයන් හා උන්ගේ චර්යාවන් පිළිබඳවද ගැඹුරු අධ්‍යයනයක්‌ සිදුකර ඇත. උදාහරණ ලෙස නාගයකුගේ සම්භෝග කාලය, සැපින්නක බිජුහෙලන ප්‍රමාණය, ගැහැණු හා පිරිමි බිජුවල වෙනස, පැටවුන් බිහිවන කාලය, ඔවුන් හිරු දකින කාලය හා හැව ඇරීමේ කාලය ආදියද වෛද්‍ය ග්‍රන්ත්‍රවල සඳහන් ය. සර්පයෙකු ඇස්‌හැර හිරුදුටු දා සිට උග්‍ර විෂ උපදින බව වෛද්‍යවරු කියති. අතීත ගැමියා තමන් ජීවත් වූ ස්‌වභාවික පරිසරයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑ සියලු තැන් සූක්‍ෂමව අධ්‍යයන කළේය. එයින් ඔහුට විශ්වන්තර දැනුමක්‌ ලැබිණි. අද අප ස්‌වභාදහම පිළිබඳ දන්නේ මොනවාද? අප සතෙකු පිළිබඳව හෝ ස්‌වභාවික යම් යම් සංස්‌දිධි පිළිබඳව කොතෙක්‌ අවදානය යොමු කරනවාද? එමෙන්ම ඔවුන් තුළ ස්‌වභාදහම අගයන එමෙන්ම ආරක්‍ෂා කරන යම් යම් පිළිවෙත් ද අධිවිශ්වාසය ස්‌වරූපයෙන්ම තිබිණි. අදමෙන් යමෙකුට දශ්ඨ කළ සර්පයා මරාදැමීමම එකල සිදු නොවුනි. එම සර්පයා යම් වශීකරණයකට භාජන කර ඌ ලවාම විෂ ඇද්දීමට එකල ශිල්ප ශාස්‌ත්‍ර දියුණු විය.

එමෙන්ම ශාකයකින් තමන්ට අවශ්‍ය ඖෂධය ලබා ගැනීමේදී ශාකයට තෙවරක්‌ වැඳ ලබා ගැනීම, මන්ත්‍ර කියා පූජා පවත්වා ලබාගැනීමද බුදුන්ගේ අනිමිස ලෝචන පූජාව සිහි කරවන කෘත ගුණ ඇගයීමක්‌ නොවේද? එමෙන්ම ඇතැම් බෙහෙත් ලබාගත යුත්තේ නැකතකිනි. එයින් එම ක්‍රියාවට යම් ශික්‌ෂණයක්‌ හා ගෞරවයක්‌ ආරූඪකර ඇත. ඇතැම් ඖෂධයකට අවශ්‍ය වන්නේ අදාල ශාකයේ යම් දිශාවකට ගිය මුලක්‌ හෝ දඬු කැබැල්ලකි. මෙහිදී ශාකයට සිදුවන හානිය අවම වේ. අදාළ අංගය පමණක්‌ නෙළා ගැනීමෙන් ස්‌වභාවික පරිසරයට කිසිදු හානියක්‌ සිදු නොවේ. මේ ආකාරයට සිංහල වෙදකමේ ඇති අධි විශ්වාස හා අභිචාර වෛද්‍ය ශාස්‌ත්‍රය තුළ යම් හික්‌මීමක්‌ ගෞරවයක්‌ මෙන්ම තියුණු නිරවද්‍යතාවක්‌ද ඇතිකිරීමට සමත් වී ඇති බව පැවසිය මනාවේ.

බුද්ධික සමන් ගුණවර්ධන
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v