සුපිරිසිදුයි වන්දනාව - කතරගම් පුර වරුණ - 06
මාළිගාවිල පුදබිමේ අසිරිය


මෙරටට හිමි ඓතිහාසික ප්‍රෙෘඪත්වය හා නිතර කියෑවෙන ප්‍රදේශ අතුරින් රුහුණු පුරවරයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවන බව මේ ලිපි පෙළ ආරම්භයේම සනිටුහන් කළෙමු. ඒ අනුව රුහුණු පුරවරයෙහි සුපිරිසිදු වන්දනාවක යෙදෙන ඔබට "කතරගමට" පිවිසෙන්නට පෙරාතුව රුහුණු පුරවරය පුරා විසිරී ඇති බෞද්ධ සිද්ධස්‌ථාන රැසක වගතුග දක්‌වන්නට තීරණය කළෙමු. සැබැවින්ම රෝහණ පුරවරයෙහි සංචාරය කරන කිසිවකුටත් එක්‌ දිනක්‌ තුළ මේ කිසිදු බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ වන්දනා කිරීමේ අවස්‌ථාවක්‌ නොලැබෙන බව අපි විශ්වාස කරමු. ඒ එපමණකටම වූ බෞද්ධ සිද්ධස්‌ථාන රැසක්‌ රෝහණයෙහි ඇති බැවිනි.

මේ චාරිකාවේ අද අපි වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්‌කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්‌කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක්‌ පමණ ගමන් කළ තැන්හි හමුවන "මාළිගාවිල" පුදබිමට ඇතුළු වෙමු.

වර්තමානයෙහි මාළිගාවිල අයත් වන්නේ මොණරාගල දිස්‌ත්‍රික්‌කයටයි. ඉහත කී ප්‍රදේශයේ අක්‌කර 40 ක පමණ භූමි ප්‍රදේශයක්‌ මේ පූජනීය පින් බිමට අයත් ය.

මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්‌කාක වංසයෙහි උපන් මහා තිස්‌සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන්ය . ඒ මතුද නොව එහිම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම්වලින් හඳුන්වා ඇත්තේ ද මෙකී විහාරයම බවත් කියෑවේ. එමෙන්ම මාළිගාවිලට ප්‍රසිද්ධියක්‌ ගෙන දෙන්නා වූ මාළිගාවිල හිටි පිළිමය හා ඊට මදක්‌ එපිටින් පිහිටා ඇති යෝද බෝධි සත්ත්ව ප්‍රතිමාව පුරාතණයේ එකම ආරාම සංකීර්ණයක්‌ වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. මාළිගාවිල හිටි පිළිමය උසින් අඩි 34 කි. එහි උරහිස්‌ අතර පළල අඩි 10 ක්‌ පමණ වේ. හුණු ගලින් නිමවා ඇති මෙම සුවිසල් පිළිමය වෙනත් ස්‌ථානයකදී නිම කිරීමෙන් පසු දැනට පිහිටුවා ඇති ස්‌ථානයට ගෙනැවිත් ඊටම සරිලන ආසනයක ප්‍රතිෂ්ඨාපනය කිරීමම එකල ශ්‍රී ලාංකිකයන් සතු වූ විස්‌මිත හැකියාවත් ඉස්‌මතු කරන්නක්‌ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි.

මාළිගාවිල ඒ අවට ප්‍රදේශයේ කොතැනකවත් මේ සා විශාල පිළිමයක්‌ නෙළීමට හැකි තරමේ හෝ වෙනත් කාර්යයකට යොදා ගත හැකි අන්දමේ ගල් කඳු හෝ ගල් කැටයක්‌ සොයා ගැනීමට නැත. මේ හේතුව නිසාම එකල විසූ ජනයා අතරත් පසුකාලීනවත්, මෙය සෘද්ධියෙන් මෙන් නිමවන ලද්දක්‌ බවට විශ්වාසයක්‌ ගොඩනැඟී තිබිණි. මහාවංශයෙහි පවා එය සනිටුහන්ව ඇත්තේ එපරිද්දෙනි. එහෙත් ඒ දවස ශ්‍රී ලාංකිකයන් සතුව පැවැති උසස්‌ ශිල්පීය ඥනය හා ශක්‌ති සම්පන්න බව මොනවට පැහැදිලි කරන සාක්‍ෂියක්‌ ලෙස මෙය දැක්‌විය හැකි බව මුලින් කී මත බැහැර කරන ඉතිහාසඥයන් පවසති.

මාළිගාවිල ප්‍රතිමාව නැගෙනහිර දිශාවට මුහුණලා පිහිටා ඇත. එම දිශාවේ ප්‍රතිමා ගෘහයේ සිට යාර 900 ක්‌ පමණ ඈතින් සුප්‍රසිද්ධ දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමාව පිහිටා ඇත. මෙය ද මාළිගාවිල පුරාණ අරියකර විහාර සංකීර්ණයට අයත් වුවකැයි සැළකේ. රෝහණ රාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම මාළිගාවිල පිහිටි ප්‍රදේශ ජනතාවගෙන් තොර භූමි ප්‍රදේශයයන් බවට පත් විණි. අළුත්වැව සෝරත හිමියන්ගේ බෞද්ධ රෝහණය කෘතියෙහි දැක්‌වෙන පරිද්දෙන්, ජනශූන්‍ය වූ භූමි ප්‍රදේශයේ මාළිගාවිල වැනි සම්භාවනීය බෞද්ධ සිද්ධස්‌ථාන ආරක්‍ෂා කර ගැනීම සඳහා භික්‍ෂූන් වහන්සේ පවා නොමැති විය. අනතුරුව වසර සිය ගණනකට පසු අරියකර විහාරය සම්පූර්ණයෙන් ම නටබුන් ගොඩක්‌ බවට පත් වන්නේය.

1934 දී මහැදුරු පරණවිතාන ශූරීන් මේ ප්‍රදේශයට පැමිණි කළ බිමට ඇද වැටී පසින් යට වී තිබූ මාළිගාවිල පිළිමයත් දඹේගොඩ පිළිමයත් දකින්නට ලැබිණි යෑයි කියෑවේ. ඒ වනවිටත් පිළිමයන් කැබැලිවලට කැඩී තිබුණු බවක්‌ ද පැවැසේ.

මාළිගාවිල පිළිමය නිම කැර තිබුණේa හුණුගල් විශේෂයකින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. මේ හේතුවෙන් ම පිළිමයේ ඉතා සියුම් අංග ලක්‍ෂණයන් පවා ඉස්‌මතු කරලීමට හැකියාව ලැබී ඇති බව සඳහන් ය. ප්‍රතිමාවේ මතු පැවැත්මට හානියක්‌ව ඇත්තේ ද මේ හුණුගල් තාක්‍ෂණයයි. කළුගල් මෙන් දැඩි පාෂාණයක්‌ නොවන බැවින් පරණවිතාන ශූරීන් සොයා ගන්නා මොහොතේදී එය කැබැලි වශයෙන් කැඩී බිඳී යැමට හේතු වී ඇතැයි පැවසේ.

පසු කලෙකදී මෙම ප්‍රතිමාව අග්ගබෝධි රජතුමා විසින් නිම කරන ලද විලාශයෙන්ම වත්මන් පරපුරට දැක ගැනීමට හැකි අයුරින් ස්‌ථාපනය කිරීමෙහි විශිෂ්ට මෙහෙවර ඉටු කළේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශිෂ්ට උත්සාහයෙනි. කැඩී බිඳී ගොස්‌ තිබූ කැබිලි නව තාක්‍ෂණය ඔස්‌සේ එකලස්‌ කරනලද නමුත් ඒ සා විශාල පිළිමයක්‌ නැවත ඔසවා ස්‌ථාපනය කිරීම අපහසු කටයුත්තකි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු යෝධ දොඹකර යන්ත්‍ර ඒ සඳහා මාළිගාවිලට ගෙන යැමට ප්‍රධාන මාර්ගයේ සිට නව මාර්ගයක්‌ තනන්නට ද සිදුවිණි. ඒ දවස කැඩී බිඳී තිබූ සුවිසල් ප්‍රතිමාව අද දවසේ එදා මෙන් නැඟී සිටින්නේ කිසිදු ඇද පලුද්දක්‌ නොමැතිවය. වෙනකක්‌ තබා ඒ දවස කළ පිරිද්දීම් පවා ඉතා සමීපයට යන්නෙකුට හැර දැකගත නොහැකිය. ප්‍රතිමාවේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී විශිෂ්ට දායකත්වයක්‌ දක්‌වා ඇත්තේ මාපලගම විපුලසාර හිමියන් ය. මේ සියල්ල පිළිබඳව අවබෝධ කරගන්නට ජනතාවගේ අධ්‍යයනය පිණිස ඒ හා සබැඳි වාර්තා හා ඡායාරූප රැසක්‌ද වෙති.

මාළිගාවිල විහාර සංකීර්ණය පිහිටා ඇති ප්‍රදේශය මහාවංශයෙහි සඳහන්ව ඇත්තේ "කාණාගාම" ලෙසින් ය. මෙහි ගිලනුන් සඳහා වූ ශාලා පරිශ්‍රයක්‌ තිබූ බව ද ඊට කාණාගාම නම යෙදී ඇත්තේ දෙනෙත් අඳ පිරිස්‌ වාසය කළ හෙයිනි යෑයි ද විවිධ මත පළ වේ. මහාවංශය පවා ඉඟි පළකරන්නේ එවැනි මතයකට යොමු වන පරිද්දෙනි.

ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වුවද වර්තමානයෙහි ප්‍රතිමාවේ ආරක්‍ෂාව පිණිස ඉදිකෙරුණු ප්‍රතිමා ඝරය දක්‌නට නැත. එමෙන්ම මෙහි ගඩොල්වලින් නිර්මාණය කරන ලද අණ්‌ඩාකාර වහලක්‌ ද තිබී ඇති බවක්‌ පෙනෙන්නට ඇතැයි ඉතිහාසඥයන්ගේ මත පළ කරති.

ලබන සතියේ තවත් පුදබිමක අසිරිය විඳින්නට යමු.

උදේශ ගමගේ
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v