අවිද්‍යාව, විද්‍යාව හා විමුක්‌තිය

බුදු දහම අනුව හා ජීවිතය හා ලෝකය පිළිබඳ යථාර්ථය, යථා තත්ත්වය ඇති තතු ඇති හැටියෙන්ම දැන දැක පසක්‌ කිරීම, මිනිසාට උරුම වී ඇති මේ සංසාරික වූ අසාර අතෘප්තිකර දුක්‌ සහිත පැවැත්මෙන් මිදෙනු පිණිස අවශ්‍යයෙන්ම උපකාරී වන්නේය. එසේ ඇති තතු ඇති සැටියෙන් දැක්‌ම නම් යථා භූත ඥාන දර්ශනයයි. මෙහිදී මූලික වශයෙන් බුදු සමයෙහි පිළිගැනීම වන්නේ සංසාරික සත්ත්වයා ඇති තතු ඇති සැටියෙන් දැක්‌මට අසමත්ව ඇති බවයි. හෙතෙම රාගයෙන් මත්ව සිටී. මෝහයෙන් මුලාවී සිටියි. එබැවින් විකෘතියම රැඳී සිටියි. එහි මැ බැසගෙන සිටියි. බුදු බවට පත් අවස්‌ථාවේදීම මේ පුහුදුන් ප්‍රජාව ඇති තතු ඇති සැටියෙන් දැක්‌මට අසමත්ව සිටින අයුරු බුදුරදුන්ට පෙනී ගියේය.

"මවිසින් අවබෝධ කරන ලද මේ දහම ගැඹුරුය. දැක්‌මට, අවබෝධයට දුෂ්කරය. ශාන්තය, ප්‍රනීතය, තර්කයෙන් දත නොහැකිය. සියුම්ය. පණ්‌ඩිතයන් විසින් ම දත යුතුය.... මේ මිනිස්‌ ප්‍රජාව නම් පස්‌කම් සුවයෙහිම සතුටු වන්නීය. එහිම අලුනීය. එයටම යටවී සිටින්නීය. එබඳු වූ මේ ප්‍රජාවට වූ කලී මේ (පටිච්ච සමුප්පාද) දහම දැක්‌ම දුෂ්කරය. මවිසින් දුකසේ වටහාගත් දහම දැන් පැවසීමෙන් පලක්‌ නැත. රාග ද්වේශාදීන්ගෙන් පෙළුනා වූ මේ ප්‍රජාවට මාගේ දහම අවබෝධ කරගත නොහැක්‌කේය. උඩුගං බලා යන්නා වූ නිපුණ වූ ගැඹුරු වූ දුකසේ පසක්‌ කළ යුතු වූ මේ දහම රාගයෙන් රත්වූ අවිද්‍යාවෙන් වැසුනා වූ සත්ත්වයෝ නොදක්‌නාහුය."

මේ අනුව කෙලෙස්‌ මතින් මත්ව, අන්දව මුලාව සිටින මේ සංසාරික සත්ත්වයා එළඹ සිටිනුයේ විකෘතියකටයි.

මිනිසාට උරුම වී ඇති මේ සංසාරික වූ ප්‍රවෘත්තිය දුක්‌ සහිතය. ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්‌වීම, කැමැති දේ නොලැබීම එම පැවැත්මෙයි. ස්‌වභාවයයි. සැකෙවින් කිවහොත් (උපාදාන වශයෙන්) දැඩිව සිතින් ග්‍රහණය කරගනු ලබන මේ ස්‌කන්ධ සංඛ්‍යාත වූ කායික, මානසික සාධක සියල්ලම අනිත්‍යය, (අනිත්‍ය බැවින්) දුක්‌ සහිතය. මෙය මිනිස්‌ ජීවිතයේ යථාර්ථයයි. ප්‍රකෘතියයි. යථා තත්ත්වයයි. එබැවින් ලෝකයා පිහිටක්‌ නැතිව අසරණව සිටිතැයි" පෙන්වා දෙන ලදී. දුක මිනිසාගේ උරුමය වී ඇති බැවින් මේ පැවැත්ම වූ කලී අසාරය. අතෘප්තිකරය. තුච්ඡය. අපරිපූර්ණය, අර්ථ ශූන්‍යය. මෙකී අසාරත්වය වූ කලී දේශ, කාල, ජාති භේදයෙන් තොර වූවකි. සංසාරික ප්‍රජාව අමාරුවේ වැටී දුක්‌ විඳිමින් සිටියි. ජාති, ජරා මරණාදී අනේක විධ ව්‍යසනයන්ට නිරනුමානවම ගොදුරුවීමට අපට සිදුවී තිබේ. මිනිසා ලබන වින්දනයන් මතුපිටින් සැප ලෙස පෙනී ගිය ද දුක්‌මය. ඒ සියලු වින්දනයන් අනිත්‍ය වන බැවිනි. තාවකාලික වන බැවිනි. එකිනෙක හඹා යන අපේක්‌ෂාවන්ගෙන් මිදිය නොහැකිව අතෘප්තිකරව පීඩාවට බඳුන්ව මුළු මහත් ජීවිතයම ගෙවී යයි. එබැවින් ලෝකයෙහි අන්තයට නොපැමිණ, දුකින් මිදීමක්‌ නැත. විඳින්නාවූ යමක්‌ වේද ඒ සියල්ල දුක්‌මය. මෙය මිනිස්‌ දිවියෙහි ඇති තතුය. යථාර්ථයය. ප්‍රකෘතියය.

සංසාරික වූ මේ පැවැත්ම දුක්‌ සහිත වුවද තණ්‌හාවෙන් මත්ව, අන්දව, මුසපත්ව, සිටින මේ පුහුදුන් ප්‍රජාවට එම දුක සැපතක්‌ සේ පෙනේ. එබැවින් ඔවුහු එයම සොය සොයා යති. මේ පැවැත්ම අසාරය. එහෙත් කෙලෙස්‌ මතින් මත් වූ මිනිස්‌සු එම අසාර ධර්මයන් සාරත්වයෙන්ම සලකා ගන්නෝය." ආසාර වූ සංසාරයෙහි සාරයන් සොයන දුක්‌ සහිත සසර සැපතක්‌ සොයන මේ ප්‍රජාව නම් එළඹ සිටිනුයේ විකෘතියකටයි. ඔවුනට ප්‍රකෘතිය පහදා දීම පහසු නොවේ.

ප්‍රකෘතිය, යථාර්ථය, යථා තත්ත්වය නොවේ නම් ඇත්ත ඇති සැටියෙන් නොදැන විකෘතියකට එළඹ සිටින මිනිස්‌සු අසාර්ථක වූ අර්ථ ශූන්‍ය වූ සෙවිල්ලක සමස්‌ත මානව ඉතිහාසය මුළුල්ලේම නිබඳවම නිරතවැ සිටිති. ඔවුහු සසර උපදිති. ඉපදීම ස්‌වභාවකොට ඇති ඔවුහු උපදින දේම සොය සොයා යති. (ඉපදීම දුකය, එයින් දුකට පත්ව සිටින මිනිස්‌සු එබඳුම දුක්‌ සහිත වූ දේ සොය සොයා යති.) ඒ සොයන්නේ අනෙකක්‌ නොව අඹු දරුවන්ය. දැසි දසුන් ය. එළු කුකුළන්ය. ඇතුන්ය, අසුන්ය, රන් රිදීය, මසු කහවනුය. (මෙකී නොකී අපමණ වූ උපදින සුළු දේවල්ය.) ඒ මිනිස්‌සු ජරාවට මහලු වියට පත්වෙති. ජරාව ස්‌වභාවකොට උරුම කොට ඇති ඔවුහු එබඳුම ජරාවට පත්වන දේ සොය සොයා යති. (ජරාව දුකය, ඉන් දුකට බඳුන්ව සිටිමින් එබඳුම වූ ජරාවට පත්වන දේ සොය සොයා යති.) ඒ සොයන්නේ අඹුදරුවන්ය. දැසි දසුන්ය. අපමණ වූ ජරාවට පත්වන සුළු දේය. මිනිස්‌සු ලෙඩ වෙති. ලෙඩවීම ස්‌වභාවකොට උරුමකොට ඇති ඔවුහු එබඳුම වූ ලෙඩවන දේ සොය සොයා යති. (ලෙඩවීම දුකයි, ඉන් දුකට පත්ව සිටිමින්ම එබඳුම ලෙඩවන සුළු දේ සොය සොයා යති. ) ඒ සොයන්නේ අඹුදරුවන්ය. දැසි දසුන්ය. අපමණ වූ ලෙඩවන සුළු දේය. මිනිස්‌සු මරණයට පත්වෙති. මරණය ස්‌වභාවකොට, උරුමකොට ඇති ඔවුහු එබඳුම වූ මැරෙන සුළු දේම සොය සොයා යති. (මරණය දුකය, ඉන් දුකට පත්ව සිටිමින්ම එබඳුම මරණයට පත්වන සුළු දේම සොය සොයා යති.) ඒ සොයන්නේ අඹුදරුවන්ය. දැසි දසුන්ය. අපමණ වූ මරණය උරුම කොට ඇති දේය. මෙලෙසින්ම තමන් සෝකය උරුමකොට සිටිමින් එබඳුම වූ සෝකය උරුම කොට ඇති දේ සොයන්නෝය. තමන් කෙලෙස්‌ දහමින් මැඩී සිටිමින් එබඳුම වූ (සංකීලේස ධර්ම) කෙලෙස්‌ සහගත වූ දේම සොයන්නෝ යෑයි අරිය පරියේසන සූත්‍රය පෙන්වා දෙයි.

මේ අනුව සැකෙවින් කිවහොත් සසර ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට බඳුන්ව එයම උරුමකොට සිටින මිනිසා තව තවත් සොය සොයා යන්නේද එබඳුම වූ දුක්‌ සහිත දේවල්මය. මෙය අනාර්ය පර්යේෂණය ලෙස බුදු සමය හඳුන්වයි. මෙසේ දුකට පත්ව සිටිමින් දුකම සෙවීම වූ කලී රාග, ද්වේශ, මෝහාදී කෙලෙස්‌ මතින් මත්ව ප්‍රකෘතිය නොදැක විකෘතියට එළඹ සිටීමේ ප්‍රතිඵලයයි. ඉපදීම දුකය, ජරාව දුකය, ලෙඩවීම දුකය, මරණය දුකය, එලෙස දුක්‌ සහිත තත්ත්වයක සිටිමින් තව තවත් එබඳු දේම සොය සොයා යැම එක්‌තරා උමතුවකි. ලෝකයා අතෘප්තිකරව තණ්‌හාවේ දාස භාවයට පැමිණ සිටීම උමතුවට හේතුවය. එ නයින් සමස්‌ත පෘථග්ජන ලෝකයම උන්මත්තක යෑයි බුදු දහම පෙන්වා දෙයි. උන්මත්තකයාට වූ කලී යථා තත්ත්වය, ප්‍රකෘතිය නොපෙනේ. හෙතෙම විකෘතියකම සිටියි.

සත්ත්වයා, පුද්ගලයා, ජීවය, ආත්මය, හෙවත් මම යනුවෙන් සම්මුති වශයෙන් දැක්‌වෙනුයේ ස්‌කන්ධ ධාතු ආයතනාදී ධර්ම සමුදායක්‌ පමණකි. යම් සේ විවිධ අංගෝපාංගයන්ගේ සමවාය රථය යෑයි කියනු ලැබේද, එසේම ස්‌කන්ධාදීන්ගේ සමවාය සත්වයා යෑයි කියනු ලැබේ. " කෙලෙස්‌ මතින් මත්ව සිටින මිනිසා රූපය මගේය. මට අයත් යෑයි සිතයි. මම වෙමි. මේ රුවින් මා නියෝජනය වේ යෑයි සිතයි. රුව මගේ ආත්මයයි. මම ආත්මය වේ යෑයි සිතයි. මෙලෙසින්ම වින්දන සංඛ්‍යාත වූ වේදනාව අරබයාද හැඟීම් (මතකයෙන් දැනුම් සංඛ්‍යාත වූ සඤ්ඤාව අරබයාද අධිෂ්ඨාන (ෙච්තනා) සංඛ්‍යාත වූ සංඛාර අරබයාද විවිධ විජානනයන් (සිත්) සංඛ්‍යාත වූ විඤ්ඤාණය අරබයා ද පූර්වෝක්‌ත පරිදි මගේය මම වෙමි. මගේ ආත්මය වේ යෑයි සිතයි." මෙය අයෝනිසෝ මනසිකාර නම් වේ. ප්‍රකෘතිය නොදැක මෙනෙහි නොකර නුවණින් සිතීම එහිදී සිදුවන බව බුදුදහම පෙන්වා දෙයි. එසේ ඒ ඒ ස්‌කන්ධයන් අරබයා මෙය මගේ යෑයි සළකා ගන්නේ තණ්‌හාව නිසාය. මේ මම වෙමැයි සළකා ගන්නේ මානය නිසාය. මේ මාගේ ආත්මය යෑයි සලකා ගන්නේ දෘෂ්ටිය නිසාය. මෙකී විකෘතියෙන් බැහැරවනු පිණිස බුදු දහම මග පෙන්වයි.

ආශ්‍රව ධර්මයන් සංඛ්‍යාත වූ රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස්‌ සර්ව ප්‍රකාරයෙන්ම ඉතිරි නොකොට නැතිකිරීමෙන් විකෘතියෙන් බැහැරව ප්‍රකෘතිය දැකිය හැකි බව බුදු දහම උගන්වයි. ඒ සඳහා භාවිතාමය වශයෙන් ගමන් කළ යුතු මාර්ගය ද පෙන්වා දෙයි. සීල, සමාධි, ප්‍රඥා යනු විසින් ත්‍රිවිධ ශික්‌ෂාවෙකින් යුක්‌ත ව මෙම අනුපූර්ව ප්‍රතිපදාව කෙළවර වන්නේ සියලු ආශ්‍රවයන් ක්‌ෂය කොට ප්‍රකෘතිය හෙවත් යථාර්ථය දැන දැක පසක්‌ කරලීමෙනි. "තණ්‌හා, මාන, දිට්‌ඨීන් නැතිකොට යෝනිසෝ මනසිකාරයෙන් ස්‌කන්ධාදී ධර්ම සලකාගත යුතු යෑයි ඉගැන්වෙනුයේ එබැවිනි. ඒ අනුව රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්‌කන්ධයන් අරබයා වෙන් වෙන් වශයෙන් නුවණින් මෙනෙහි කිරීම වේ. රූපය මගේ නොවේ. එය මට අයත් නැතැයි මෙනෙහි කිරීම තණ්‌හා ප්‍රහාණයෙන්ද, රූපය මම නොවෙමි. එයින් මා නියෝජනය නොවේ යෑයි මෙනෙහි කිරීම මානය දුරුවීමෙන් ද, රූපය මගේ ආත්මය නොවේ මම ආත්මය නොවෙමැයි මෙනෙහි කිරීම දෘෂ්ටි ප්‍රහාණයෙන් ද වේ. වේදනා ආදී සෙසු ස්‌කන්ධ ධර්මයන් අරබයා ද එලෙසින්ම තණ්‌හාව දුරුවීමෙන් මගේ නොවේ යෑයි ද මානය හැර දැමීමෙන් මම නොවෙමි යනුවෙන්ද, දෘෂ්ටිය දුරුවීමෙන් මගේ ආත්මය නොවේ යනුවෙන්ද, සලකා ගැනීම ප්‍රකෘතිය වෙත එළඹීමය. "විකෘතිය, විකෘතිය ලෙසත්, ප්‍රකෘතිය, ප්‍රකෘතිය ලෙසත් දැකීමය. ඇත්ත ඇති සැටියෙන් දැක්‌මය.

විපර්යාසකරණයන් (හෙවත් විකෘති ලෙස දැකීම) තුන් ආකාරය යෑයි බුදු සමය පෙන්වා දෙයි. හැඟීම් විකෘති වීමය. දැකීම් විකෘති වීමය. සිතීම් විකෘති වීමය. (කෙලෙස්‌ මතින් මත් වූයේ) අනිත්‍ය වූ ධර්මයන් නිත්‍ය සේ දකියි. දුක්‌ සහිත වූ ධර්මයන් සැප සේ දකියි. අනාත්ම වූ ධර්මයන් ආත්ම යෑයි දකියි." ඇත්ත ඇතිසැටියෙන් නොදකියි. නැත්ත ඇති අයුරින්ම සලකා ගනියි. අසුබ වූ ධර්මයන් සුබ වශයෙන් ගනියි. මෙය විකෘතියයි. අනිත්‍ය ධර්මයන් අනිත්‍ය ලෙසින්ම දැකීම, දුක්‌ක ධර්මයන් දුක්‌ ලෙසින්ම දැකීම, අනාත්ම ධර්මයන් අනාත්ම ලෙසින්ම දැකීම, අසුභ වූ ධර්මයන් අසුභ වශයෙන් දැකීම ප්‍රකෘතියට එළඹීමයි. යථාභූතං ඥාන දස්‌සනයයි. විකෘතිය විකෘතිය ලෙසත් ප්‍රකෘතිය ප්‍රකෘතිය ලෙසත් දැකීමයි. මිනිස්‌සු සියල්ලෝමැ සාංසාරික රෝගීහූ වෙති. ජාති, ජරා, මරණාදී එකී රෝගයෙන් මිදෙනු නොහැකිව දුකට පත්ව සිටින ඔවුන් බුදුරදුන් විසින් සුවපත් කෙරේ." මෙ නයින් සමස්‌ත පෘථග්ජන ලෝකයම සාංසාරික රෝගීන්ය. කායික වශයෙන් නිරෝගීව වසර දහයක්‌, විස්‌සක්‌ නොවේ නම් සියයක්‌ වුවද, වසන්නෙකු සිටිය හැකිය. එහෙත් මානසික වශයෙන් නිරෝගීව එක්‌ මොහොතක්‌ වුවද දිවි ගෙවන්නකු මේ පුහුදුන් ලොව නැතැයි" බුදු දහම පෙන්වා දෙයි. ආධ්‍යාත්මික වූ රාගාදී කෙලෙස්‌ දහම් හේතුවෙන් මිනිස්‌සු ආතුරව සිටිති. ඔවුනට සැපතක්‌ නොවේ. ඔවුන් අතර කෙලෙස්‌ මළින් බැහැර වූ ආධ්‍යාත්ම ඇති රහත්හු අනාතුර වූවෝ සුවසේ වසත්." රාගාදී අනේක ප්‍රකාර වූ කෙලෙස්‌ දහමින් ආතුරව සිටින්නවුනට ප්‍රකෘතිය නොපෙනේ. විකෘතියක්‌මැ පෙනෙයි. බලවත්වූ උණ රෝගයෙන් පෙළෙන රෝගියකුට ලෝකය කරකැවෙනු පෙනෙන්නාක්‌ වැන්න.

තමා විසින් තම සිරුරෙන්ම ගන්නා සාරය උපකාර කොට ගෙන නිපදවන හූයෙන් මකුළුවා දැල තනාගනී. හෙතෙම ඒ දැල මැද හිඳින්නේ එයට අසුවන සතුන් අල්ලා සිරුරු සාරය බොයි. නැවතත් දැලටම මැදිව සිටියි. එයටමැ ගෙතී සිටියි. රාගයෙන් රත්වූ පුද්ගලයා ද එසේය. හෙතෙම ද තමන් තමා තුළින් නිපදවා ගත් තණ්‌හා නමැති සැඩ පහරෙහි නැවත නැවතත් වැටෙයි. එය ඉක්‌මවා යැමට අසමත් වෙයි. නුවණැත්තෝ එය ඉක්‌මවා සියලු දුක්‌ හැර ගන්නා හයි බුදුරජාණන් වහන්සේ වදාළහ."

මෙයින්ද කියෑවෙන්නේ කෙලෙස්‌ මතින් මත්වූ මේ ප්‍රජාව විකෘතියකට බැස එයින් මිදී ගත නොහැකිව මං මුලාවැ, දුකට පත්ව සිටින බවය. තණ්‌හාව සම්පූර්ණයෙන් ක්‌ෂය කරලීමෙන් මෙම ඇල්මෙන්, එල්බ ගැනීමෙන් බැහැරව ප්‍රකෘතිය පසක්‌ කරන්නට බුදුසමය උපදෙස්‌ දෙන්නේ එබැවිනි. ප්‍රකෘතිය, යථාර්ථය වූ කලී සදාතනිකය. තථාගතයන් ලොව උපන්නද නූපන්නද ස්‌ථිර ධර්මතාවයන් ධර්ම නියාමයන් වූ එය (පටිච්ච සමුප්පාදය) ලොව පවතියි. එහෙත් එම ස්‌වර්වකාලීන වූ සර්ව දේශීය වූ "සර්වත්‍රගත වූ සර්ව ව්‍යාපී වූ ප්‍රකෘතිය දැකීමට අවිද්‍යා අන්ධකාරයේ නිමග්නව සිටින මේ ප්‍රජාව අසමත්ව සිටින්නීය. කෙලෙස්‌ මතින් මත්වූ ඔවුහු පස්‌කම් සුවයම සොයමින් එයින්ම තෘප්තිය අපේක්‌ෂා කරන්නෝය. දුක්‌ සහිත වූ මේ ලෝකයෙහි කවර සිනහවක්‌ද, කවර සතුටක්‌ද, ජාති, ජරා, මරණාදිය උරුමකොට සිටිමින් සිනහව, සතුට විකෘතියකි. අඳුරෙහි නිමග්නව සිටින ඔබ පහනක්‌ නොසොයන්නේ දැයි බුදුදහම ප්‍රශ්න කරයි." පහන ප්‍රඥාවය, එයින් ආලෝකය ලබන්නෝ ප්‍රකෘතිය, යථාර්ථය ඇති තතු දකිත්.

ජාතිය නම් වූ ඉපදීමද, ජරාව නම් වූ මහලු වීම ද, ව්‍යාධිය නම් වූ ලෙඩවීමද, මරණය නම් වූ ස්‌කන්ධයන්ගෙන් බිඳී යැම ද යන මේ දුක්‌ මම නැති කර දෙන්නෙමි යෑයි ලෝකයෙහි කිසිවකුටත් ඇපවීමට හැකියාවක්‌ නැත්තේය යනු බුද්ධ වචනයයි. එම අවවාදය නම් ප්‍රකෘතියට එළඹීම පිණිස මැ වේ. එහෙත් මේ ප්‍රජාව වූ කලී ඒකාන්තයෙන් ඉපදීම මට නොවේවා. මා වෙත එම දුක නොපැමිණේවා. ජරාව මට නොවේවා. මා වෙත ජරාව නොපැමිණේවා. ව්‍යාධිය මට නොවේවා. මා වෙත ව්‍යාධිය නොපැමිණේවා. මරණය මට නොවේවා. මා වෙත මරණය නොපැමිණේවා යි සිතයි. කැමැති දේ නොලබන්නෝ දුකට පත්වෙයි. එම ජාති, ජරා, ව්‍යාධි මරණාදීන් ඇති කල්හි අපේය, මගේ යෑයි සලකා ගත් දරුවන් අපට නැත. අපේය. මගේ යෑයි කී ධජය ද නැත. සැකෙවින් කිවහොත් අපට අපවත් නැත. එබැවින් මම මගේය යන විකෘතියෙන් බැහැර වනු පිණිස බුදු දහම මග පෙන්වයි. මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේය යනු සත්‍යය, යථාර්ථය, ප්‍රකෘතිය වන්නේය. බුදු දහම මග කියනුයේ එයට එළඹීම පිණිසය.

මේ ලෝකය අන්ධය (ඇති තතු නොදන්නෝය) හරි හැටි දක්‌නට සමත් වන්නේ ටික දෙනෙකු පමණකැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. අනිත්‍යාදී වශයෙන් සියල්ල ඇති සැටියෙන් නොදක්‌නා අන්ධයෝ නම් මේ පුහුදුන් මිනිස්‌සුය. පුහුදුන් සාමාන්‍ය මිනිසුන්ගේ චින්තනයත්, චරණයත් යථාර්ථයට පටහැනි වන ආකාරය බුදුසමය නොයෙක්‌ අයුරින් පැහැදිලි කරයි. මෙසේ ජීවිත හා ලෝකය පිළිබඳ සාමාන්‍ය මිනිසාගේ දෘෂ්ටියට පටහැනි දහමක්‌ ලෙස බුදු දහම හැඳින්විය හැකිය. බුදුරදුන් වදාළ පරිදි එය උඩු අතට ගලන ගංගාවක්‌ වැනිය. පටිස්‌තගාමිය. ජීවිතය ලෝකය හා එහි ප්‍රවෘත්තියද පිළිබඳ මූලික අධ්‍යනය ආරම්භ වන්නේ බුදුසමයෙහි එන බන්ධායතන ධාතු විභාගය නම් වූ විශ්ලේෂණය පාදක කොටගෙනය. ඒ අනුව ඉපදීම යනු එකී බන්ධායතන ධාතුන්ගේ පහළවීමයි. ප්‍රතිලාභයයි. මරණය යනු එකී ධර්මයන්ගේ බිඳී යැමයි. සංසාරය යනු එම ධර්මයන්ගේ පටිපාටියයි. නොසිඳී සිදුවන (පටිච්ච සමුප්පන්න වූ) පැවැත්මයි.

මතු සම්බන්ධයි

රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය මගින් ප්‍රකාශිත නිවන් මග (බුදුරජාණන් වහන්සේගේ දේශනා හා අටුවා) ග්‍රන්ථයේ තිස්‌හත්වැනි කලාපයෙන් උපුටා ගැනිණි.

මහාචාර්ය පූජ්‍ය
දේවාලේගම මේධානන්ද හිමි
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v