සතුරුකම් තවමත් ඉවර නැත

යුද අපරාධ අධිකරණය නමැති මස්‌ කඩය වෙත කුදලාගෙන ගොස්‌ එහි ඇති මස්‌ කොක්‌කේ ශ්‍රී ලංකාව එල්ලීම පිණිස බ්‍රිතාන්‍යය යටත් විජිතවාදීන් විසින් කරන ලද භයානක කුමන්ත්‍රණය පිළිබඳ ලිපියක්‌ කතුවැකි පිටුවට දකුණු පසින් ඇති පිටුවේ අද පළවී තිබේ. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධයේදී රටේ භෞමික අඛණ්‌ඩතාව සහ ස්‌වෛරීභාවය රැකගැනීම සඳහා සටන් කිරීමට අපගේ නීත්‍යානුකූල ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහ සිවිල් ආරක්‍ෂක බළකායට ඇති ශුද්ධ වූ අයිතිය යුද අපරාධයක්‌ ලෙස නිර්වචනය කර ඇති බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයා ගැන වැඩි විස්‌තර මේ ලිපිය කියෑවීමෙන් පාඨකයාට වටහා ගත හැකිය. එබැවින් ත්‍රස්‌තවාදීන්ට වීසා දෙන, ත්‍රස්‌තවාදී නොවන සිංහලයාට වීසා දීමෙන් හැකි තරම් දුරට වැළකී සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයේ සිට එම කාර්යාලය අයත් මහ ආණ්‌ඩුවත් ඇමරිකාව ඇතුළු සෙසු යටත් විජිතවාදීන් ශ්‍රී ලංකාව කෙරේ දක්‌වන සතුරු ආකල්පය ගැනත් කතා කිරීමට මෙය අවස්‌ථාව කර ගනිමු.

චීනය, ඉන්දියාව, පාකිස්‌තානය ඇතුළු යහපත් ආසියාතික රාජ්‍ය කිහිපයකුත් රුසියාව හා කියුබාව වැනි රාජ්‍ය කිහිපයකුත් ලතින් ඇමරිකාවේ රටවල් කිහිපයකුත් හැර මේ මිහිතලය මත පවතින සියලු අධිරාජ්‍යවාදී රාජධානි ශ්‍රී ලංකාවේ ස්‌වාධීන පැවැත්මට එරෙහි ය. එයට හේතුව ආසියාව බලගැන්වීම සඳහා යොදා ගත හැකි හොඳම මර්මස්‌ථානය ශ්‍රී ලංකාව නිසා ය.

මෙය අද ඊයේ සිට නොව 1505 සිටම පවත්නා තත්ත්වයකි. මහින්ද රාජපක්‍ෂගේ ගැමි මුහුණුවරක්‌ ඇති සියයට සියයක්‌ ස්‌වදේශික ආණ්‌ඩුව මේ යුද්ධය ජයග්‍රහණය කරනු ඇතැයි බ්‍රිතාන්‍යය හෝ ඇමරිකාව හීනෙන්වත් කල්පනා කළේ නැත. එක්‌කෝ ලෝකය අවසාන වනතුරු මේ යුද්ධය ඇදී යනු ඇතැයි ඔවුහු සිතූහ. නැතහොත් රට දෙකඩ වී ඊළම බිහිවී යුද්ධය අවසන් වී එතැන් සිට ඊළම සහ ලංකාව අතර දේශසීමා සටන් හටගනු ඇතැයි ඔවුහු කල්පනා කළහ. නැතහොත් මහ ආණ්‌ඩුව දුර්වල කරන කැනේඩියානු පන්නයේ ෆෙඩරල් ක්‍රමයක්‌ මෙහි ඇතිවනු ඇතැයි ඔවුහු කල්පනා කළහ. ඒ කල්පනාවේ නිමග්නව පාටි දමමින් සිටි මහ බලවතුන් පාටිය අවසන් වී ගෙවල් බලා යැමට පිටත් වූ විට මහින්ද රාජපක්‍ෂ යුද්ධය දිනා තිබිණ. දැන් කළ යුත්තේ කුමක්‌ද? වෙලාවේ හැටියට කළ යුතුව තිබූ හොඳම දෙය ශ්‍රී ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනාවක්‌ නිර්මාණය කර යුද හමුදා බැරැක්‌ක තුළට දක්‌කා සාම හමුදාවක මුහුණුවර ගත් අන්තර්ජාතික ආක්‍රමණික හමුදාවක්‌ මෙහි එවීම ය. එහෙත් වාසනාවකට අප අසලින් ඉන්දියාව හා චීනය පිහිටියේ ය. ඒ නිසා අප වෙනුවෙන් කතා කිරීමට කට ඇර ගත නොහැකි අපගේ කොන්ද පණ නැති කරුමක්‌කාර තානාපති සේවයේ අඩුව ද වැසී ගියේ ය. මේ රටවල් දෙක තිබෙන තාක්‌ මෙහි බැසීමට ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය පැකිලෙන බව රහසක්‌ නොවේ.

ඇමරිකාව ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට යෑයි කියමින් ඇෆ්ගනිස්‌ථානයෙන් 75% ක්‌ ද ඉරාකයෙන් 60% ක්‌ ද අළු කළේය. ආත්මයක්‌ නැති බ්‍රිතාන්‍යය සුද්දන් පස්‌සේ යන හිඟන්නන් මෙන් ඇමරිකාව පසුපස යමින් ඔවුන්ගේ ආක්‍රමණවලට උදව් කළේ ය. අල්ඛයිඩාව විසින් ඇමරිකාවට පහර දීමෙන් පසු එරට මුස්‌ලිම්වරුන්ගේ මිනිස්‌ අයිතීන් ඉතා තදින් උල්ලංඝනය කරන ලදී. ඇමරිකානු පොලිසිය විසින් රහසේ ගෙවල්වලට පැන අත්අඩංගුවට ගත් මුස්‌ලිම් තරුණ තරුණියෝ 2000 කට වඩා ඉතා භයානක වධ බන්ධනවලට ලක්‌වූහ. ඇමරිකාව වෙන රටකට දමන සෑම බෝම්බයක්‌ වෙනුවෙන් ම උඩ පිනූ බ්‍රිතාන්‍යය තම අධිරාජ්‍යවාදී නපුංසකභාවය ප්‍රදර්ශනය කරමින් අත්පුඩි ගැසීය. අප හැමදාමත් කියන්නේ මේ අධිරාජ්‍යවාදීන් යුද අපරාධ මස්‌ කොක්‌කේ එල්ලීමට සමත් ආසියාතික සහ අධිරාජ්‍ය විරෝධී සියලු රටවල සභාගයක්‌ බිහි කළ යුතු බවයි. නැතහොත් පෙර කී භයානක රටවල් ත්‍රස්‌තවාදයේ ගින්න යළි පැතිරවීමට කටයුතු කරනවා ඇත. ලෝකය අවදි කරන විප්ලව රැල්ලක්‌ නැවතත් අවශ්‍යව තිබේ. වෙනදා එහි පෙරමුණ ගත්තේ යුරෝපයයි. අද එහි පෙරමුණ ගත යුතුව ඇත්තේ බෙදුම්වාදයට හා ත්‍රස්‌තවාදයට අවංක ලෙසට විරුද්ධ රටවල සභාගයකි.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v