ඌව - වෙල්ලස්‌ස ජන සංහාරය

              

ලංකාවේ ඉතා සාරවත්වූද, ජන ආඨ්‍ය වූද ඌව වෙල්ලසස්‌ ප්‍රදේශය, උඩරට රජුන්ට සෙවන සැලසු ප්‍රදේශයක්‌ වූ අතර නිදහස පතා විදේශීන්ට විරුද්ධව සටන් ඇරඹූ ජනනායකයන්ගෙන් පිරි අඩවියක්‌ද විය.

1815 දී මෙතෙක්‌ නිදහස රැකගත් උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය පාලනයට නතුවීමෙන් පසු එකී රාජ්‍යයේ රදළ ප්‍රධානීන්ද, භික්‌ෂුන් වහන්සේලාද, වැසියාද, අදෘශ්‍යමාන රජකුට යටත්වීම ගැන කළකිරුණහ. උඩරට ගිවිසුමට එකඟවීමෙන් පසු, මහනුවර සිට ප්‍රත්‍යන්තයේ පිහිටි සූරියගොඩ විහාරයට පියනැඟු එහි විසූ භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් කියන ලදැයි ජනවහරේ පවතින පහත සඳහන් කව බෞද්ධ භික්‌ෂූන් වහන්සේ උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය රජකුට පැවරීම ගැන කළකිරුණු අයුරු පැහැදිලි කෙරේ.

අනේ කුහුඹිය නේ
තොපටත් රජෙක්‌ ඇත් තේ
අපට නම් නැත් තේ
අපේ කරුමේ අපට වන් නේ

රජෙක්‌ ලැබුණෝති න්
එදාට කිරිබත් කන්න න්
පෙරහැර කරන්න ත්
සාදු නාදෙන් ගිගුම් දෙන්න න්

උඩරට ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර, ඌව වෙල්ලස්‌ස ප්‍රදේශයේ ජනතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නැගී සිටියාහ. බොහෝ බ්‍රිතාන්‍ය ලේඛකයෝ මෙම සටන "කැරැල්ලක්‌" ලෙස හැඳින්වූවද 1817-1818 ඌව - වෙල්ලස්‌ස සටන ඇරඹුණේ, ඔවුන්ගේ නිදහස ආරක්‌ෂා කිරීමට නොව නැතිවූ නිදහස ලබා ගැනීමටය. මේ අනුව 1817-18 ජනතා නැගීසිටීම නිදහස්‌ අරගලය සනිටුහන් කළ බව පැහැදිලිය.

බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්‍යවරයකවූ, හෙන්රි මාර්ෂල්, ලියා තැබුවේ 1817 ඔක්‌තෝබර් මස කැරැල්ල ඇරඹුණේ බ්‍රිතාන්‍යයනට විරුද්ධව කිසිදු කුමන්ත්‍රණයක්‌ උඩරට රාජ්‍යයේ වැසියන් අතර නොවු බවය. බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව තිබූ විරුද්ධතාවය, සංවිධානයවීමට රුකුල්වූ අතර ඉක්‌මනින් බ්‍රිතාන්‍ය හමුදා උඩරට රාජ්‍යය අතහැර යා යුතු බවට අපේක්‌ෂා කළ බවය.

උඩරට රාජධානියට පත් කළ ආදායම් කවිසුරු සයිමන් සෝයර්ස්‌ සඳහන් කළේ වෙල්ලස්‌ස ප්‍රදේශයෙන් හටගත් කැරැල්ල හදිසියේ හටගත් එකක්‌ බවත් අන්‍ය ප්‍රදේශවල ජනතාව සහ රජය පුදුමයට පත්වූ බවත්ය.

කෙසේ වූවද 1815 ජුලි මස 20 වැනි දින ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් විසින් යටත් විජිත ලේකම් තැන වෙත යෑවූ නිල ලිපියෙහි අනුව, ඌව -වෙල්ලස්‌ස ජනතාව තවමත් කැලෑ වැදී සිටින බව දැන්වීය. 1816 නොවැම්බර් මස 05 වැනිදා යටත් විජිත ලේකම් වෙත දැන්වූ ලිපියෙහි ආණ්‌ඩුකරු දැන්වුයේ බ්‍රිතාන්‍ය පාලනයට උඩරට වැසියා අකමැති බවත්, සමහර භික්‌ෂුන් වහන්සේලා බ්‍රිතාන්‍ය පාලනය කෙළවර කිරීමට ක්‍රියා කලාපයක්‌ ගෙන යන බවත්ය.

උඩරට ගිවිසුමේ පස්‌වැනි වගන්තිය බෞද්ධ විහාර සහ බුද්ධාගමේ ආරක්‌ෂාව නොකඩවා පවත්වා ගෙන යන්නේ යෑයි පොරොන්දු වූවද, මේ සඳහා විධිමත් පටිපාටියක්‌ නොවිය. බ්‍රිතාන්‍ය හමුදාවෝ අස්‌ගිරිය විහාරයට කඩාවැදී ධාතු කරඬු සහ අනිකුත් විහාර දේපළ කොල්ල කෑ අතර ගම්බිම්ද දෙවනත් කළහ. ආණ්‌ඩුකරුගේ අනුමැතිය ඇතිව, උඩරට රජුගේ සම්පත් කොල්ල කෑ අතර තෑගි කමිටුව එම ධනය රිසි සේ බෙදාගත්හ. 1816 සැප්තැම්බර් මස 15 වැනි දින මඩුගල්ලේ උඩගබඩා නිලමේ ද්‍රොහිකම සහ කුමන්ත්‍රණයට වරදකරුවීමෙන් යාපනේ සිරගත කෙරිණි. හෙතෙම සිරයට යැමට පෙර තම බිරිඳට සහ දරුවනට සමුදීමට කළ ඉල්ලීම ද ආණ්‌ඩුකරු විසින් ප්‍රතික්‍ෂේප කෙරිණි. ආණ්‌ඩුකරු, මඩුගල්ලේ උඩගබඩා නිලමගේ නිවස ගිනි තබා ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට ජෝන් ඩොයිලිට නියම කෙරිණි.

1818 පෙබරවාරි - මාර්තු මස වන විට බ්‍රිතාන්‍යයනට විරුද්ධව රටේ ජනතාව නැගී සිටීමක්‌ දක්‌නට ලැබුණි. 1818 පෙබරවාරි මස 21 වැනි දින උඩරට ප්‍රදේශ පුරාම යුද නීතිය පැනවිණි. යටත් විජිත ලේකම්වරයා රොබට්‌ බ්‍රවුන්රිග්ට උපදෙස්‌ දුන්නේ උඩරට ප්‍රදේශ

රැකගැනීමට නොහැකි නම් යුද හමුදාව මුහුදු බඩ ප්‍රදේශවලට ගෙන යායුතු බවය. එහෙත් බ්‍රිතාන්‍යයන්ගේ වාසනාවකට මදුරාසි ආණ්‌ඩුකරු ප්‍රමාද වී හෝ යුද හමුදා ඛාණ්‌ඩ කීපයක්‌ මෙහි එවනු ලැබීය.1815 නැපෝලියන් පරදාලු වොර්ටලු සටනේ යෙදුණු දෙවන අනුකණ්‌ඩයේ 73 වැනි පාබල සේනාංකයද, 19 වැනි පාබල සහ 83 වැනි හමුදාවන්ද එවනු ලැබීය.

ඌව - වෙල්ලස්‌ස ප්‍රදේශවලින් නිදහස්‌ සටන ඇරඹිණි. 1817 නොවැම්බර් මස 27 වැනිදා ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග්, යටත් විජිත කාර්යාලයට දන්වා සිටියේ, ගම්පතිවරුන්ගේ සහ ඔවුන්ගේ නායකයන්ගේ දේපළ විනාශකර, භූමිය නිස්‌සාර කිරීමෙන් මෙම නිදහස්‌ සටන මර්දනය කරන බවය.

නිදහස්‌ අරගලය මර්දනය කිරීම

1817-1818 නිදහස්‌ සටන බ්‍රිතාන්‍ය රජය මර්දනය කළ අයුරු අධ්‍යයනයට දේශීය මූලාශ්‍ර නොමැතිවීම ඉමහත් පාඩුවකි. සටන මර්දනය කිරීම පිළිබඳව කරුණු ලබාගත යුත්තේ, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකරුගේ නිල සන්දේශවලින් සහ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් සහ හමුදා භාරව ගිය වෛද්‍යවරුන්ගේ වාර්තාවන් තුළිනි. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරයා ශ්‍රී වික්‍රමරාජසිංහ රජු 11 ම්ලේච්ඡ සහ ඒකාධිපති රජකු ලෙස 1815 උඩරට රාජ්‍යය ආක්‍රමණය කිරීමට පෙර හංවඩු ගැසුවද 1817-1818 නිදහස්‌ සටන මර්දනය කළ රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරු දුෂ්ට සිහි විකල්, ඒකාධිපතියකු ලෙස සමකාලියන් විසින් සලකනු ලැබීය.

1817.11.07 වැනි දින බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරු යටත් විජිත ලේකම් වෙත යෑවූ තිරු ලිපියෙහි සඳහන් වූයේ කැරැල්ල පැවැති ඌව -වෙල්ලස්‌ස ප්‍රදේශවල ගේ දොර ඉඩකඩම්, හරකා බාන සහ ධාන්‍ය සියල්ලම පුළුස්‌සා විනාශ කර දැමූ බවය. තවද තිබ්බොටුගොඩ ගම අවට සියලුම පලතුරු වෘක්‌ෂද දේපළද විනාශ කළ අතර ගැල් 80 ක්‌ පැටවූ වී අස්‌වනු ද කොල්ල කෑ බවය. ඒ අතර ස්‌ත්‍රීන් 20 දෙනකු සහ ළමයින් මරා දමනු ලැබීය. තණ කොළ බුදිමින් සිටි ගව මහිෂාදීන් ද විනාශ කෙරිණි.

බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරුගේ නියමය පිට, මේජර් මැක්‌ඩොනල්ඩ් විසින් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා මරා දමන ලද අතර මනුෂ්‍යයාගේ දිවිපෙවෙතට අවශ්‍ය ඵල දරන වෘක්‌ෂ සියල්ලම විනාශ කර දැමිණි.

ආණ්‌ඩුකරුගේ සහ බිරිඳගේ වෛද්‍යවරයා ලෙස ක්‍රිsයා කළ ජෝන් ඩේව් වාර්තා කර ඇති පරිදි මෙකල සිදුවූ යුද අපරාධ විස්‌තර කිරීමට වඩා සුළුවෙන් කීම මැනවැයි අදහස්‌ කළේය.

ජෝර්ඡ් කැලඩයින් නම් බ්‍රිතාන්‍ය යුද හමුදා වෛද්‍යවරයා විස්‌තර කළ පරිදි තම හමුදාවනට අසුව ඌව - වෙල්ලස්‌ස ප්‍රදේශවල සියලුම බිම් පාළු කර දමා, සිරබාරයට ගත නොහැකි සියලු දෙනාම වෙඩිතබා මරා දමා ඇත. තවද කැලඩයින්ගේ විස්‌තරය අනුව බ්‍රිතාන්‍ය හමුදාවේ 19 වැනි සේනාංකය ගම්වැසි ස්‌ත්‍රීන් දූෂණය කළ අතර මෙම සේනාංකය අන්‍ය සේනාංකවලට වඩා අනාථ දරුවන් රාශියක්‌ මෙරටට දායද කළ බව කියයි.

කපිතාන් අජා ඇන්ඩර්සන් 1817 දී තම කෘතියෙන් හෙළිකර ඇති පරිදි, අප මේ ම්ලේච්ඡයන් සාගතය, අසිපත සහ ගිනිදැල්ල යොදා ගනිමින් ඔවුන්ගේ රැඳුණු ස්‌ථානවලට යමු" යයි ආඩම්බරයෙන් පවසා ඇත.

ඌව - වෙල්ලස්‌සේ ප්‍රදේශයට සංහාරය බල පෑ අයුරු

1817-1818 ඌව වෙල්ලස්‌ස ජනතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නැගී සිටීමෙන් බ්‍රිතාන්‍ය හමුදා විසින් එහි වාසය කළ 10,000 පමණ ජනතාවක්‌ මරා දමන ලදහ. සමහරු ආගිය අතක්‌ නොමැතිවී.

ඌව -වෙල්ලස්‌සේ විහාර බ්‍රිතාන්‍ය හමුදා කොල්ල කන ලදින් එම විහාර පොත් ගුල්වල නැත්පත්වී තිබුණු පුස්‌කොල පොත් 1000 ක්‌ පමණ විනාශ කර දැමීය. මෙහි ප්‍රතිඵලය වූයේ ඌව -වෙල්ලස්‌සේ සාක්‍ෂරතාව නැති වී ගොස්‌ 1886 දී පවා වලපනේ, ඌව වෙල්ලස්‌ස, බින්තැන්න සහ බදුල්ලේ කිසිදු පාසලක්‌ දක්‌නට නොලැබුණි.

නිදහස්‌ සටනේ නායකයන් 53 දෙනකුට විරුද්ධව යුද අපරාධිකරණය ඉදිරියට පමුණුවල ලදින් කැප්පෙටිපොල දිසාව සහ මඩුගල්ලේ ඇතුළු 28 දෙනකුට මරණීය දණ්‌ඩනය දුන් අතර 25 දෙනකු මුරුසි දිවයිනට පිටුවහල් කෙරිනි.

වාරිමාර්ග ඇළ දොළ වල් විනාශ කළ බැවින් ඌව -වෙල්ලස්‌ස නිෂ්පාදන රහිත පාළු ප්‍රදේශ බවට පත්වීය. 1824 දී පවා දක්‌නට ලැබුණේ ගම් 488 ක්‌ පමණි. ජනවහරට අනුව වෙල්ලස යනු වෙල් ලක්‌ෂයකින් සමන්විත ප්‍රදේශයකි. දහතුන් වැනි සියවසේ ඌව හැඳින්වූයේ විසි දහස්‌ රට යනුවෙනි. මේ අනුව එම ප්‍රදේශයේ ගම් දනව් 20,000 වූ බව පෙනේ. බ්‍රිතාන්‍ය හමුදා සංහාරයෙන් පසු මෙකී ප්‍රදේශය ජන ශූන්‍ය, ඵලදාව රහිත ප්‍රදේශයක්‌ බවට පත්විය.

1917 වනතුරු ඌව -වෙල්ලස්‌ස ප්‍රදේශය 1817-1818 දී බ්‍රිතාන්‍ය හමුදා කළ සංහාරයෙන් මිදී නොතිබිණි. දහනව වැනි සියවසේ බ්‍රිතාන්‍ය යටත් විජිතවල එම රජයේ හමුදා කළ සංහාර අතුරින් ඌව - වෙල්ලස්‌සේ කළ සංහාරය සම කළ නොහැකි බව පැහැදිලිය.

ආචාර්ය කේ. ඩී.ජී. විමලරත්න
හිටපු ජාතික ලේඛනාගාර අධ්‍යක්‌ෂ

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v