sAs~krNy : n`rq nQX~XAk

එකමත් එක රටක සබුද්ධික සිනමාව

"එකමත් එක රටක" නාට්‍යානුරූපී උඩුපෙළ කතාවක්‌ සහිත, ගැඹුරු දාර්ශනික යටිපෙළක්‌, සහිත, සිනමාත්මක සිතුවම්පටයක්‌ බව කිව යුතුය. රූප භාෂාව මනා ලෙස හසුරුවන සනත් සංකේත හැසිරවීමේදී ද සමත්කම් දක්‌වයි. ඔහුගේ එම උත්සාහයට ලාල් වික්‍රමආරච්චිගේ කැමරාව මනා සහයෝගයක්‌ දක්‌වා ඇත. කථාවේ රිද්මයට සරිලන ආකාරයට රූප රිද්මය හැසිරවීමට නම්, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා සමග කැමරා අධ්‍යක්‍ෂවරයා ඒකාත්මික විය යුතුය.

ස්‌වභාවික සෞන්දර්යය සමග චරිතයද, එම චරිත වටා ගෙතුණු කථාවද, බද්ධ කිරීමට ලාල් මනා සංයමයකින් යුතුව කැමරාව මෙහෙයවා ඇත. කඳුකරයේ මීදුම් සහිත සීතල දේශගුණය, අපේ ඇඟටද දැනෙන සේ සෙලියුලොයිඩ් පටිය මත රූප තැන්පත් කිරීම, සැබැවින්ම අගය කළ යුතුය.

ලාල්ගේ කැමරාකරණය මෙන්ම, රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්‌කරණයද ප්‍රශංසනීයය. අධ්‍යක්‍ෂවරයා විසින් මුළු කෘතිය පුරාවට නොබිඳී පවත්වාගෙන ඇති සිනමාත්මක රිද්මය, සංස්‌කරණයේදී ද එලෙසින්ම පවත්වා ගන්නට රවීන්ද්‍ර ගුරුගේ හොඳින්ම සමත්වී තිබේ.

කථාවක්‌ කියන්නට යැමේදී බොහෝ විට, ඇහැට ඇඟිල්ලෙන් ඇන කථාව කීමේ ශෛලියට අපගේ බොහෝ අධ්‍යක්‍ෂවරු බිලිවී ඇති නමුත්, අගය කළ යුතු ඉහළ පරිණතභාවයක්‌ සනත් පෙන්නුම් කරයි. ඔහු අපට කතාව කියනවාට වඩා බොහෝ කොටස්‌ අපට උකහාගන්නට ඉඩ සලස්‌වයි. එයට රවීන්ද්‍ර ගුරුගේ ගේ දක්‍ෂ සංස්‌කරණය ද මනාව උපකාරී වී ඇත.

රවීන්ද්‍ර තම කතුර සියුම්ව භාවිත කොට ඇත. තිරය මත රූප රාමු රැඳෙන්නේ අවශ්‍ය කාල මානයටම පමණි. සමහර අවස්‌ථාවලදී ප්‍රේක්‍ෂකයාට තම හැඟීම් පවත්වා ගැනීමට අවශ්‍ය කාලයට ඉඩනොදී කෙරෙන ඡේදනයන් අතරින් පතර දක්‌නට ලැබුනද සමස්‌තයක්‌ ලෙස රූප ඡේදනය නිසි ලෙස සිනමාත්මක ප්‍රකාශනය සමග බද්ධ වී ඇත.

එකමත් එක රටෙක ජීවත්වන, දෙපා වලංගු නැති කුදු, විරූපී මුහුණක්‌ ඇති මෙම මිනිසා, ඌණ සංවර්ධිත රටවල ජන සමාජයන් සංකේතවත් කරයි. සංවර්ධිත රටවල නිර්ණායකයන්ට අනුව අප ඌණ සංවර්ධිත වුවත්, යහගුණ, සාරධර්ම, අධ්‍යාත්මික මානව සබඳතා අතින් අප ඉතාමත්ම පොහොසත් වෙමු. අපගේ ජන සමාජයන් තුළ ශිෂ්ඨභාවය, සමාජ සම්මතයන් සහ නීතියද රීතීන්ද, සම්ප්‍රදායන්ද, සෑහීමකට පත්විය හැකි මට්‌ටමකට, යම් ක්‍රමවත් බවකට අනුකූලව, ක්‍රියාත්මක වෙයි. මේ සම්ප්‍රදායික සමාජයක්‌ තුළ වේගවත් විපර්යාස නැත. අතට අල්ලා ගත නොහැකි දුරස්‌ථ ඉලක්‌ක වෙත නොදුවන නිසා, හැල හැප්පීම් අඩු ඒකාකාරී ජීවන රටාවන් සමාජය තුළ පැතිර පවතී. මේ කුදු මිනිසාගේ දෛනික ජීවිතයද ක්‍රමවත්ය. එමෙන්ම ඒකාකාරීය.

තම කුඩා පැලේ ඒකාකාරී නිස්‌කලංක ජීවිතයක්‌ ගත කරන කුදු විරූපී මිනිසා ඉදිරියේ හදිසියේම ධනේශ්වරයේ "බටහිර වියරුව" ප්‍රාදූර්භූත වෙයි. මහා මන්දිරයේ කවුළුවෙන් ඒ ආකර්ශනීය රුව නිරෝෂා මතුවන්නීය. ඔහුගේ සිත ඇගේ රූපකාය වෙත තදින්ම යොමු වෙයි. ඇයට ළංවීමේ, ඇය ලබා ගැනීමේ, අපේක්‍ෂාව ඔහු තුළ වර්ධනය වෙයි.

මේ කුදු මිනිසා, රූප සම්පත්තියෙන් අග තැන්පත් ඇය අත්පත් කර ගැනීමේ අභිප්‍රායෙන් කටයුතු කරද්දී ඔහුගේ ඒකාකාරී වූද, පිළිවෙළක්‌ සහිත වූද, දෛනික ක්‍රියාකාරකම් සියල්ල අවුල් වෙයි. මේ අවුල් වීම අධ්‍යක්‍ෂවරයා මනාව රූප බස හසුරුවමින්, සිනමාත්මකව අපට කියාපායි. කුදු මිනිසා තම ඉලක්‌කයට සමීප වීමට උත්සාහ දරන්නේ තම වස්‌දඬු වාදන හැකියාව කුසලතාව මාධ්‍යය කරගනිමිනි. අප ආත්මීය හැඟුම් ස්‌පර්ෂ කරන, සසල කරවන, වස්‌දඬු රාවය, සනත් ගුණතිලක තම සිනමා ආඛ්‍යානයන් හැසිරවීමට මනා ලෙස භාවිතා කරයි.

නිරෝෂාට සමීපයෑයි සිතන පියානෝව හරහා ඇය ආකර්ෂණය කර ගැනීමට රවීන්ද්‍ර උත්සාහ දරයි. එහෙත් එම සංගීතය ඇය තුළ කිසිදු හැඟීමක්‌ ජනිත නොකරයි. ඒ අතරින් නැගෙන සනත්ගේ වස්‌දඬු රාවයට ඇගේ සසලභාවය මනාව නිරූපණය වෙයි. බටහිර සමාජයෙන් බොහෝ අවස්‌ථාවලදී පෙරදිග සමාජයන්හි ආත්මීය කුසලතාවන්ට, පාරම්පරික දේවලට ආකර්ශනය වෙයි. ඔවුනට ඒවා දුරස්‌ථ දේවල් වන නිසාම ඒවායේ වටිනාකමද ඔවුනට වැඩිය. එබැවින් එම ආකර්ෂණය ස්‌වභාවිකය.

නිරෝෂා ප්‍රබල ලෙස තම චරිතය නිරූපනය කරයි. නිරෝෂාගේ සමස්‌ත රංගනය පමණක්‌ නොව, ඇය තම දෙපාවලින් පමණක්‌ කරන රංගනයද, හොලිවුඩ් නිළියකගේ ප්‍රතිභාවන් අභිබවා යයි. ඇය විවිධ රංගන ඉසවු මැනවින් හඳුනා ගෙන, ඒවා නිසි අයුරින් ස්‌පර්ශ කරයි. පුරුෂයන් අභිබවා යන කාන්තාවකගේ පෞරුෂයන් සියුම්ව ග්‍රහණය කර ගනිමින්, ශක්‌තිමත් ලෙස එමෙන්ම අවශ්‍ය අවස්‌ථාවල, අවශ්‍ය පමණට ලාලිත්‍යයද රඳවා ගනිමින්, පුරුෂ පීඩක කාමශක්‌ති රාජිනියකගේ චරිතය ඇය සාර්ථක ලෙස නිරූපනය කරන්නීය.

සිනමාවේ අත පොවන මානයේ සිටින වෙනත් කිසිම නිළියකට, චිත්‍රපටයේ එම භූමිකාව නිරූපනය කළ නොහැකිවන තරමේ ඉහළ රංගනයක ඇය නියෑලෙන බව පැවසීම, ඇයට කරන සාධාරණයක්‌ ලෙස හඟිමි. ඇය මෙම චිත්‍රපටයේ රඟපෑමට එකඟවන තෙක්‌ අධ්‍යක්‍ෂවරයා අවුරුදු දෙකක්‌ බලා සිටි බව අපට දැනගන්නට ලැබිණි. සනත්ගේ

නිවැරැදි සිනමාත්මක ඇස සහ චරිත තෝරා ගැනීමේ පරිණතභාවය එයින්ම තහවුරු වෙයි. හිමිදිරි උදෑසනම තමාගේ සිහින කුමරිය සමග, තම විරුද්ධවාදියා පරිසර සුව විඳින අයුරු දකින කුදු විරූපී මිනිසාගේ සිත වියරු වෙයි. අවුල් මනසකින් යුක්‌තව ඔහු, නිවසේ ඉදිරිපස දොරද නොවසා රැකියාවට පිටත්ව යයි. ඉන් පසුව නිවසින් පිටතට එන ආදරණීය බැල්ල ටදදා ටසරක හදිසියේම කුණු ලොරියට යටවී මිය ගොස්‌, කුණු ගොඩේම වැළලී යයි. අපට නුහූලන ඉලක්‌ක හඹා යැමේ මෙම තරගයේදී, අපට සමීප දේවල් කෙරෙහි, අපගේ අවශ්‍ය අවධානය ගිලිහී යැම නිසා, අප ඉතාමත් ආදරය කරන අපගේ හදවතට සමීප, කොතෙක්‌ නම් දේවල්, මේ වන විට අප අහිමිකරගෙන ඇතිද?

කුදු මිනිසා තරගයෙන් හෙම්බත්වී ඉසුඹු ලන මොහොතක, හදිසියේම සිහින කුමරියගෙන් ආරාධනාවක්‌ ලැබෙයි. ඇය මන්දිරයේ සිට අත වනයි. ඔහුට මෙය අදහාගත නොහැකිය. අමාරුවෙන් අත්පත් කරගැනීමට උත්සාහ දැරූ ඉලක්‌කයට නිරායාසයෙන්ම සමීපවීමේ අවස්‌ථාව එළැඹ ඇත. මෙතෙක්‌ කල් අපේක්‍ෂා කළ ආදරයද ඔහුට පහසුවෙන් පිදෙයි. කෙතරම් ආශ්වාදජනකද?

සනත්ගේ සිනමාත්මක රිද්මය අගය කළ යුතුය. භාවයන් මතු කිරීම, ප්‍රේක්‍ෂක සිත් සතන් නොතලා ඉතා පරිස්‌සමින්, සියුම්ව ස්‌පර්ශ කිරීම ආදිය ඔස්‌සේ ඔහුගේ ප්‍රතිභාව මැනවින් ස්‌ඵුට වේ. චිත්‍රපටයේ විකාශනයේදී යම් යම් අභව්‍ය සිදුවීම් තැන තැන මතු වුවත්, පමණ ඉක්‌මවා යන සිදුවීම් ඉඳහිට තිබුණත්, රූප භාෂාව හැසිරවීමේ ව්‍යක්‌ත බව හා පරිණත බව හමුවේ. එම දුර්වලතාවන් අපට අමතක කොට දැමිය හැකිය. ඒවා කේන්ද්‍රීය තේමාවට හානියක්‌ ද සිදු කොට නොමැත.

එහෙත් එක්‌ කාරණයක්‌ නම් සඳහන් නොකරාම බැරිය. යටි හක්‌ක එලෙසින් ඉදිරියට නෙරා ගිය පුද්ගලයකුට බටනලා වාදනයේ එවන් දක්‍ෂයකු වීමේ හැකියාවක්‌ නම් කිසිසේත්ම නැත. එහෙත් මුඛ්‍ය තේමාවේ ඇති ශක්‌තිමත් භාවය හා සමස්‌ත ප්‍රකාශනයේ ප්‍රබලතාව හමුවේ එම සාධකයද නොසලකා හැරිය හැකි එකක්‌ බවට පත්වෙයි.

සිතුවම්පටයේ ප්‍රවිශ්ටයද, මැදියමද, කූට ප්‍රාප්තියද කාව්‍යාත්මක ලෙස හැසිරවීම අගය කළයුතුය. යහපත් සිනමා කෘතියක්‌ අපට දායාද කිරීම උදෙසා, සනත් ගුණතිලක නම් වූ මෙම ප්‍රතිභාපූර්ණ අධ්‍යක්‍ෂවරයාට, ලාංකේය සිනමා කලාව වෙනුවෙන් අපගේ කෘතඥතා පූර්වක ප්‍රණාමය පුද කරමු.

- ධර්මානන්ද විඡේසිංහ

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v