මරණයේ වගකීම?

ගාල්ල නගර සභාවේ විපක්‍ෂ නායක (එ.ජා.ප.) දුෂ්‍යන්ත සෙනවිරත්න මහතා ඔහුගේ දියණියන් දෙදෙනා ඉදිරිපිටම මරා දමා තිබේ. 1970 න් පසු මේ ආකාරයෙන් වෙඩි පහරට ලක්‌ව, මහ පාරේ, මහ දවල්, දහස්‌ ගණන් ජනයා ඉදිරිපිට ඝාතනය කෙරුණු දහස්‌ ගණනක්‌ දෙනා අතරට දුෂ්‍යන්ත සෙනවිරත්නගේ නම ද එක්‌වී ඇත. පුරුදු පරිදි ඝාතකයන් ගැන තවමත් කිසිදු ආරංචියක්‌ නැත. ඝාතකයන් නැති මෙබඳු මරණ චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ ද සිදු විය. ආර්. ප්‍රේමදාස රජය යටතේ ද සිදු විය. අද ද සිදු වෙයි. වැදගත්ම කාරණය ඒවා හෙටත් සිදුවීම වළක්‌වා ගැනීම ය. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය ගැන ආණ්‌ඩුවට අමුතුවෙන් පන්ති පැවැත්විය යුතු නැත. මිනිසුන් මහින්ද රාජපක්‍ෂට ඡන්දය දී ජනාධිපති ධුරයට පත් කළේ කොටි සංවිධානය තුරන් කිරීම සහ බඩගින්න නැති කිරීම යන කාරණා වෙනුවෙන් පමණක්‌ම නොවේ. නිසි ආයුෂ විඳ පරලෝකප්‍රාප්ත වීමේ අයිතිය ආරක්‍ෂා කර ගැනීමටත් එක්‌ක ය. මේ මරණයේ වගකීම ආණ්‌ඩුව විසින් භාරගනු ලැබිය යුතු බව ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ එ.ජා.ප. මන්ත්‍රී වජිර අබේවර්ධන මැතිතුමා කියයි. ඒ මොන මළ ඉලව්වකටදැයි අපි ප්‍රශ්න කරමු. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් සිටි කාලයේදී සටන් විරාම ගිවිසුම ප්‍රයෝජනයට ගනිමින් කොටින් විසින් මරණ ලද මේ රටේ හොඳම රහස්‌ ඔත්තුකරුවන් හතලිස්‌ පස්‌දෙනාගේ ජීවිත පිළිබඳ වගකීම එදා එ.ජා.ප. ආණ්‌ඩුව භාර ගත්තේද? රිචඩ් සොයිසාගේ සිරුර මොරටුවේ මුහුදු වෙරළින් හමුවීමේ වගකීම ප්‍රේමදාස ආණ්‌ඩුව භාරගත්තේද? පුවත්පත් කලාවේදී රෝහණ කුමාර ඝාතනයේ වගකීම චන්ද්‍රිකා රජය භාර ගත්තේද? ප්‍රභාකරන්ගේ මරණයේ වගකීම නම් ආණ්‌ඩුවට භාරගත හැකි ය. එසේ නැතිව පාරේ සිටින අහිංසක පියකුට වෙඩි තබා පැන ගිය ඝාතකයන් පිළිබඳ වගකීම ආණ්‌ඩුව භාරගත යුතුය යන උමතු සිතිවිල්ල අපට නම් ඇති වන්නේ නැත.

එහෙත් ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ගැන සොයා ගැනීමට තවමත් නොහැකි වීමේ අකාර්යක්‍ෂමතාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරගත යුත්තේ යම් සේද, දුෂ්‍යන්ත සෙනවිරත්නගේ ඝාතනයට සම්බන්ධ මිනීමරුවන් මාස ගණනක්‌ යනතුරුත් සොයාගත නොහැකි වුවහොත් අන්න ඒ ප්‍රමාදයේ වගකීම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරගත යුතු ය. අපගේ වැටහීම නම් මිනිසකුගේ මරණය ළඟ එන පළාත් සභා ඡන්දයක්‌ වෙනුවෙන් උගස්‌ තැබීම පහත් ක්‍රියාවක්‌ බවයි. විශේෂයෙන් දුෂ්‍යන්ත සෙනවිරත්න යනු එසේ උගස්‌ තැබීමට තරම් නොවටිනා මිනිසෙක්‌ නොවේ. ඔහු මහතකු ලෙස ජීවත් වී ඉතා කනගාටුදායක ලෙස මළේ ය.

පාරේ යන මිනිසුන් කණුවලට හේත්තු කර වෙඩි තැබීමේ සංස්‌කෘතිය මෙරටට පුරුදු කරන ලද්දේ සමගි පෙරමුණු ආණ්‌ඩුව විසින් හැත්තෑඑකේ කැරැල්ලේදී ය. ප්‍රේමදාස ආණ්‌ඩුව යටතේ එය වැඩි දියුණු විය. චන්ද්‍රිකා ආණ්‌ඩුව යටතේ එය කර්මාන්තයක්‌ වශයෙන් ම වැඩි දියුණු විය. අද වන විට මිනිසකු ඝාතනය කිරීම ඉතා ලාබෙට කළ හැකි ය. ස්‌ථිර රස්‌සාවක්‌ නැති, එනිසාම ස්‌ථිර අරමුණක්‌ ද නැති, දුෂ්ට හිතක්‌ හා තුවක්‌කුවක්‌ පමණක්‌ ඇති කෙනකුට අවශ්‍ය පෙළැඹවීම ලැබුණොත් ඉතා ලෙහෙසියෙන් මිනිසකු මැරිය හැකි ය. සරත් අඹේපිටිය විනිසුරුතුමා ඝාතනය කරන ලද්දේ රුපියල් හැත්තෑපන්දහසක්‌ වැනි සුළු මුදලකට බව ඔබ දන්නෙහිද? ඔහු මරවන ලද්දේ ඒ විනිසුරුතුමා ඇසූ කුඩු නඩුවක විත්තිකරු විසින් නඩු තීන්දුව දීම වළක්‌වනු පිණිස ය.

ආණ්‌ඩුව පාතාලය අතුගා දැමීමට සැරසෙන බව දැනගන්නට තිබේ. එය නිම වනවාත් සමඟම මෙබඳු මනුෂ්‍ය සංහාර ද නිමවනවා ඇත. වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා මේ අවස්‌ථාවේදී කළ යුත්තේ පාතාල ඝාතකයන් ගැන තමනුත් සොයා මේ සංස්‌කෘතිය නිම කිරීම පිණිස ආරක්‍ෂක අංශවලට උදව් කිරීම ය. වගකීම ගැන පොලිසිය බලා ගත්තාවේ.
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v