"වැඩිහිටියන්ට පමණයි"  චිත්‍රපට තහනම් කෙරේ
රැඟුම් පාලක මණ්‌ඩලයට පුළුල් බලතල


අනුර බාලසූරිය

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පවතින සියලූම චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම වහාම තහනම් කිරීමට රජය තීරණය කර ඇතැයි සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඊට අමතරව අශ්ලීල සහ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධව දැනට පවතින නීති දැඩිකර බරපතල දඬුවමකට යටත් කළ හැකි පරිදි නීති සකස්‌ කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බැව් පැවසුවේ සීගිරිය වදුල හෝටලයේදී ඊයේ (27 වැනිදා) සවස පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් යුතු චිත්‍රපට තහනම් කිරීම සඳහා අවශ්‍ය කැබිනට්‌ අනුමැතිය ලබාගෙන කඩිනමින් නීතිරීති සකස්‌ කරනවා.

රූපවාහිනි, ගුවන් විදුලි සහ පුවත්පත් වෙළෙඳ දැන්වීම් සඳහා රැඟුම් පාලක මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරනු ලබනවා. සමාජයට සහ කුඩා දරුවනට අහිතකර ආකාරයෙන් කිසිදු ප්‍රමිතියකින් තොරව ඇතැම් දැන්වීම් ප්‍රචාරය කිරීම නිසා මෙම පියවර ගනු ලබනවා.

අශ්ලීල සහ අසභ්‍ය ප්‍රකාශන ළඟ තබා ගැනීම, විකිණීම, මුද්‍රණය කරන හෝ ඒවාට සම්බන්ධ ලිපි ලේඛන සකස්‌ කිරීම බරපතල දඬුවමකට යටත් කළ හැකි පරිදි නීති සකස්‌ කරනවා.

ජංගම දුරකථන වලට ආගන්තුක තොරතුරු වැළැක්‌වීමට අදාළ ජංගම දුරකථන ආයතන පියවර ගත යුතුයි. ඒ සඳහා කටයුතු කරන ලෙසට ජංගම දුරකථන ආයතනවලින් රජය ඉල්ලීමක්‌ කරනු ලබනවා. ඊට අවනත නොවී කටයුතු කරන දුරකථන ආයතනවල බලපත්‍ර අවලංගු කිරීමට හෝ දඩයකට යටත් කිරීමට අදාළ නීති සකස්‌ කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. මේ සියලු කරුණු සම්බන්ධව විමර්ශනය කිරීමට නීතිඥවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන්ගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ පත්කරනු ලබනවා.

රැඟුම් පාලක මණ්‌ඩලයට වැඩි බලතල ලැබෙන පරිදි ඊට අදාළ පනත සංශෝධනය කිරීමට පියවර ගන්නවා.

පනත සකස්‌ කර අනුමත වීමට කාලයක්‌ ගතවන බැවින් එය අනුමත වන තෙක්‌ පවතින නීතිය යටතේ ක්‍ෂණිකව පියවර ගැනීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර පාසල් ද අප රටේ සංස්‌කෘතියට ගැලපෙන පරිදි පරිපාලන කටයුතු කරගෙන යන ලෙසට රජය එම ජාත්‍යන්තර පාසල් කළමනාකාරීත්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි පියවර ගැනීමට හේතු වූයේ අප රටේ සංස්‌කෘතිය, සමාජය දැඩි විනාශයට පත්වෙමින් තිබෙන නිසා ය.

මෙම මාධ්‍ය හමුවට සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැති පියසිරි විඡේනායක, අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඩබ්ලිව්. සමරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v