සරසවි අර්බුදයේ අලූත්ම අත්දැකීම

මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වරදක්‌ තිබේ. ඒ වරද පටන් ගන්නේ පළාත් සභා ක්‍රමය මේ රටට හඳුන්වා දීමත් සමඟ ය. මෙකී පළාත් සභා යටතේ අධ්‍යාපනය විමධ්‍යගත කෙරුණු අතර ඒ අනුව පළමුවන පන්තියේ සිට උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය පළාත් සභාවට භාර විය. එතැන් සිට එළැඹෙන උසස්‌ අධ්‍යාපනය හෙවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මහාණ්‌ඩුවට භාරවිය. මෙය මීට මාස දෙකකට පෙර අවසන් වූ තිස්‌ අවුරුදු යුද කාලයේදී කිලිනොච්චියෙන් එහා ප්‍රභාකරන් විසිනුත් එයින් මෙහා ඡන්දයෙන් තේරුණු ජනාධිපති කෙනකුත් පාලනය කරනු ලැබුවාක්‌ මෙන් අවුල්සහගත තත්ත්වයකි. මේ රටේ උසස්‌ අධ්‍යාපනයට එක්‌ ඇමැතිවරයකුත් එයින් පහළ අධ්‍යාපනයට තවත් ඇමැතිවරයකුත් සිටිති. පළමුවන ඇමැතිවරයාට භාර විශ්වවිද්‍යාල සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල අවුරුද්දේ දවස්‌ තුන්සිය හැට පහෙන් තුන්සිය හැටක්‌ හෝ ඊට ආසන්න සංඛ්‍යාවක්‌ වසා තබනු ලැබේ. එතැනින් පහළ අධ්‍යාපනය පාසල්වලට දරුවන් දැමීමේදී සිදුවන අක්‍රමිකතා, ගුරුවරුන්ගේ වර්ජන, වැරදි ලෙස මුද්‍රණය කෙරුණු ප්‍රශ්න පත්‍ර යනාදිය නිසා විශාල අවුල් සහගත තත්ත්වයකට මුහුණපා තිබේ. ඇමැතිවරුන් දෙදෙනාම තම ශක්‌ති ප්‍රමාණයටත් වඩා ඉහළින් කටයුතු කිරීමට තැත් කරන බව සත්‍යයකි. එහෙත් ඒ උත්සාහයන් අපතේ ගොස්‌ තිබේ.

රුහුණ සරසවියේ කළමනාකරණ පීඨයට ලියාපදිංචි වීම සඳහා එම විශ්වවිද්‍යාලයීය කැඳවුම අනුව පැමිණි සිසුන් 365 දෙනකුගෙන් සිසුන් 320 දෙනකු ලියාපදිංචි කර සෙසු 45 දෙනා ලියාපදිංචි නොකර ආපසු යවා ඇතැයි ඊයේ (03 දා) "දිවයිනේ" මුල් පිටුවේ පළවී තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක කියන පරිදි හරවා යෑවූ සිසුන් 45 දෙනාට අනාගතයේදී ස්‌ථිර වශයෙන්ම විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ ය. යාපනය විශ්වවිද්‍යාලයට සිසුන් යෑවීමේ තත්ත්වයක්‌ පසුගිය කාලයේදී නොතිබූ බැවින් විශ්වවිද්‍යාල වරම් ලබන ශිෂ්‍යයන්ට රුහුණ විශ්වවිද්‍යාලය හෝ වෙනත් විකල්ප විශ්වවිද්‍යාල ලබාදීමට පියවර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සද්භාවයෙන් ගත් පියවරක්‌ විය. එහෙත් රුහුණ විශ්වවිද්‍යාලය ශිෂ්‍යයන් 45 දෙනකු ආපසු හරවා යෑවීමෙන් ඒ දරුවන් මානසික අගාධයකට ඇදවැටුණු බව පිළිගැනීමට තරම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා අප සමඟ පැවැති දුරකථන සංවාදයකදී නිහතමානී විය.

අපගේ මතය වන්නේ මේ අවස්‌ථාවේදී රුහුණ විශ්වවිද්‍යාලය මෙයට වඩා මානුෂික ස්‌වරූපයකින් කටයුතු කළ යුතුව තිබූ බව ය. රුහුණ විශ්වවිද්‍යාලයට පහසුකම් සැපයිය හැකි ශිෂ්‍ය ධාරිතාවට අනුව ඔවුන් කටයුතු කරන්නට ඇති බව අපිදු පිළිගනිමු.

ආපසු හරවා යෑවූ සිසුන්ට විශ්වවිද්‍යාලය දන්වා ඇත්තේ දෙවැනි අදියරේදී ඔවුන් ගැන "සලකා බලන" බව ය. සලකා බැලීම යන වචනය තරම් හෑල්ලු වූ වචනයක්‌ සිංහල භාෂාවේ තවත් නැත. දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් හෑල්ලු කෙරුණු මේ වචනයේ නියම තේරුම වැඩේ නොකෙරෙන බව ය. එබැවින් රුහුණ විශ්වවිද්‍යාලයෙන් හරවා යෑවුණු දරු පිරිස සලකා බැලීම යන වචනය ඇසුණු සැනින් සියලු අපේක්‍ෂාවන් සුන්කර ගන්නට ඇති. ඔවුන් පාසල් ළමයින්ට වඩා මෝරා ඇති නිසා සියදිවි නසාගැනීම් වැනි දේ සිදු වූ බවක්‌ වාර්තා වී නැත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සහ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අප ඉල්ලන්නේ මේ දරුවන්ට සාධාරණයක්‌ ඉටු කරන ලෙස ය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v