මහ පෙරහැරේ  අතීත විත්ති

වසරකට වරක්‌ පැවැත්වෙන දළදා පෙරහැර වනාහී සිංහල බෞද්ධයාගේ අතීත ශ්‍රී විභූතිය විදහාපාන කැඩපතක්‌ බඳුය. මෙය හෙළදිව මහා සංස්‌කෘතික සංදර්ශනය වන අතර සිංහලයාගේ ජාතික උරුමයන් මේ යයි සිහිපත් කරවන ජාතික සැණකෙළියකි.

දළදා පෙරහැර ආරම්භ වූයේ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීමේ සිද්ධිය සිහිපත් කිරීම සඳහාය. මෙය කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ඒමේදී විවිධ පරමාර්ථ ඔස්‌සේ විවිධ මුහුණුවර ගනිමින් හැඩ ගැසී තිබේ. එම හැඩ ගැසීම ලංකාවේ නටඹුන් නගර පිළිබඳ විස්‌තරයක්‌ ලියු එම්. ඩබ්. කේව් මහතා සඳහන් කොට ඇත්තේ දින ගණනක්‌ තිස්‌සේ පැවැත්වෙන ඇසළ පෙරහැර අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ හැඩ ගැසුනකි කියාය. කෙසේ වෙතත් මහනුවර සමය වන විට එය දෙවියන් උදෙසා, කරනු ලබන්නක්‌ බවට පත්වී තිබේ. ඊට හේතු වන්නට ඇත්තේ දකුණු ඉන්දීය ද්‍රවිඩ රාජ පරම්පරාවකට උඩරට සිංහාසනය උරුම වීමයි. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස එය යළිත් දළදා වහන්සේ මුල්කරගෙන පවත්වනු ලබන එකක්‌ බවට පත්විය.

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් සියම් රටින් මෙරටට උපසම්පදාව ගෙන ඒමේදී ඒ සඳහා මෙහි වැඩමවන ලද මහා සංඝයා වහන්සේලාට දෙවියන් උදෙසා උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන නුවර පෙරහැර දක්‌නට ලැබුණි. එයින් බෞද්ධයන් කොන්වී සිටින අයුරු දුටු සියම් ජාතික උපාලි මාහිමියනුත් සරණංකර හිමියෝත් නුවර පෙරහැර දළදා වහන්සේ සම්බන්ධකර පවත්වන්නක්‌ බවට පත්කරන ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බුදුන් පෙරදැරි කොට දෙවියන් ඊට පසුකොට පෙරහැර යන ලෙසට රාජ නියෝග පැනවුණ නිසා දේවාල පෙරහැර වලට පෙරටුව දළදා පෙරහැර සම්බන්ධ කරන ලදී. එය සිදුවූයේ ක්‍රි.ව. 1756 දී පමණය.

තත්ත්වය එසේ වුවත් පෙරහැර කිරීම බෞද්ධ සිරිතක්‌ විනා හින්දු සිරිතක්‌ නොවේ. කලිඟු රට දන්ත පුරයේ සිට දළදා වහන්සේ ලක්‌දිවට වැඩම වූ පසු එහි දළදා වහන්සේට පැවැත්වූ පුද පූජා මෙහිද පැවැත්වීම ඇරැඹුණි. එදා කළිඟු= රට දළදා වහන්සේ වැඩ සිටි විහාරය පිහිටි තැන අද ඇත්තේ ජගත්නාථ කෝවිලයි. (ඔරිස්‌සාවේ පුරි නගරයේ ජගත්නාථ කෝවිල) මෙම කෝවිලේ වර්තමානයේ වාර්ෂිකව පවත්වන උත්සවයේ සිරිත් විරිත් බෞද්ධ ඌරුවට හැඩ ගැසී ඇති බව මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් මහතා සඳහන් කොට ඇත. එසේ වී ඇත්තේ මුලින් පැවැති බෞද්ධ බලපෑම නිසා බවද එතුමා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මුලදී දඹදිවදී කෙරුන දළදා පූජෝපහාර ක්‍රම දළදාව ලංකාවට වැඩමවීමත් සමගම මෙරටද පැතිරී ඇත. කිත්සිරිමෙවන් රජතුමා දළදාව දැකීමට කෝලාහල කළ ජනයාට දළදා වහන්සේ දැක ගැනීම සඳහා දළදා වහන්සේ පෙරහැරෙන් මහමෙව්නා උයනට වැඩම කළ අයුරු දළදා සිරිතේ මෙසේ දැක්‌වේ. "එසඳ (එ) සොඳ රජ ගමෙණ පමණ නැති රජ සිරිත් තොස්‌ව ගොස්‌ ඵුස්‌ස රථය කුමුදුවන් පැහැ දන් සොමි වදන් සොඳ ගමන් අසුන් යොදා විමල සේ සේසතින් නිමල කර සරහා ලෝ සියල් දුක්‌ හල කොමල ලෙල පැහැ වතල. මහමෙවුනා උයන්හි මිහිඳු හිsමියන් සදහම් දෙසු වෙහෙරට සැපත් වී" යනුවෙනි.

එසේ වුවත් ගජබා රජ සමයේ පෙරහැර කිරීම ආරම්භ වූ බව "සීලප්පදිකාමේ" නම් ද්‍රවිඩ කාව්‍ය ග්‍රන්ථයකට අනුව පෙනේ. ගජබා රජ සොළී රට ජය ගෙන එන ගමනේදී පත්තිනි දේවියගේ ආභරණ ලංකාවට ගෙනා බවත් ඒවා තැන්පත් කොට පත්තිනි දේවිය වෙනුවෙන් දේවාලයක්‌ ලංකාවේ කරවූ බවත් එම ග්‍රන්ථයේම දැක්‌වේ. එසේම ඒ රජතුමා සොළී රට ජය ගැනීම සිහිවීම සඳහාත් පත්තිනි දේවියට ගෞරව කිරීම සඳහාත් පෙරහැරක්‌ පටන්ගත් බව සිලප්පදිකාමේ හි දැක්‌වේ. ගජබා රජු රජ කළේ ක්‍රි. ව. 2 වෙනි සිය වසේය. (ක්‍රි. වූ 112 - 134) දළදා වැඩමවීම සිදු වුයේ ඊට පසුව එනම් කිත්සිරිමෙවන් රජු දවසය. (ක්‍රි. ව 303 - 331) ඒ අනුව සිතිය හැක්‌කේ ගජබා රජ දවස ඇරඹුන වාර්ෂික පෙරහැර දළදා වහන්සේ වැඩමවූ පසු දළදා හිමියන් උදෙසා පවත්වනු එකක්‌ බවට පරිවර්තනය වූ බවය.

මෙලෙස ඇරැඹුන පෙරහැර වාර්ෂික රාජකීය උත්සවයක්‌ ලෙසින් කෝට්‌ටේ සමය දක්‌වාම පැවැතී ඇත.

කෝට්‌ටේ සමයේදී සිදුවූ යුරෝපීය ආක්‍රමණ නිසා රටේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය හේතු කොට පෙරහැර කිරීම නැවතුණි. යළිත් එය ආරම්භ වන්නේ මහනුවර සමයේ දීය.

මහනුවර සමයේ මුලින්ම පෙරහැර කෙරුනේ දෙවියන් සම්බන්ධ උත්සවයක්‌ ලෙසය. සතර දේවාලයන්හි කප් සිටුවා ආරම්භ වන පෙරහැර දින ගණනක්‌ පවත්වා ඇත. මෙවැනි පෙරහැරවල් ගණනාවක්‌ පිටිසර දේවාල සම්බන්ධ කරගෙන පැවැත්විනි. එම සියළු පෙරහැරවලින් ප්‍රධානව කෙරුණේ අගනුවර පැවැත්වූ පෙරහැරයි. එදා රටේ සියලු ශ්‍රී විභූතීන් දේව මෙහෙය සඳහා අගනුවරට රොක්‌ වූ බව "රොබට්‌ නොක්‌ස්‌" සඳහන් කොට ඇත.

"රොබට්‌ නොක්‌ස්‌" ලංකාවේ සිරගතව සිටියේ 2 වෙනි රාජසිංහ රජු සමයේය. ක්‍රි. ව. 1660 - 1680 කලා පරිච්ඡේදය රොබට්‌ නොක්‌ස්‌ සිටි අවධියයි. එකල රටේ යහපත සඳහා දේව බැල්ම ලබා ගැනීමට පෙරහැරට යුද්ධ හමුදා සම්බන්ධ කොට ඇත. මෙය පෙරහැරේ වර්ධනයේ විශේෂ අවස්‌ථාවක්‌ බව සඳහන් කළ යුතුය. එදා පෙරහැරේ විශේෂ ලක්‍ෂණයක්‌ වූයේ අද මෙන් මාළිගාවේ සහ දේවාල සතරේ වශයෙන් වෙනම පෙරහැර සංවිධානය නොවී සියුල අංග එකම පෙරහැරක්‌ තුළ සිදු කිරීමය.

එහි මුලින්ම ගමන් කොට ඇත්තේ පෙර විසූ යෝධයන් මෙන් සැරසී නටමින් යන මිනිසුන් කණ්‌ඩායමක්‌ ය. ඊළඟට හේවිසි කණ්‌ඩායම ගමන් කොට ඇත. අනතුරුව දේවාලවල තේවාවට නියමිත කුලවල නළඟණන්ගේ කළගෙඩි සෙල්ලම් විය. ඊට පසුව බෙර වයන්නන් අතර තිදෙනා බැගින් පේළියට සිට අත් අල්ලාගෙන ලාස්‍ය රැඟුමක යෙදුන ස්‌ත්‍රීහු වූහ. ඉන්පසු අලුත් නුවර දෙවියන් වෙනුවෙන් ඇතෙකු පිට නැඟී "හෝල් කොටුව" කර තබාගෙන යන කපුරාල කෙනෙක්‌ හා ඔහුට සේසත අල්ලාගෙන යන තවත් කපුරාල කෙනෙක්‌ විය. කතරගම හා පත්තිනි දේවාලවල කපුරාල ලා දෙදෙනා ඇතු පිට නැඟී ඊළඟට ගමන් කොට ඇත. අනතුරුව මල් විදුනා ගත් ස්‌ත්‍රීන් ද ඔවුන්ට පසුපස දෙදෙනා බැගින් වැදගත් ස්‌ත්‍රී පුරුෂයන් සමූහයක්‌ ද ගමන් ගත්හ. මෙයින් පසුව ඒ ඒ යුද්ධ හමුදා භට කණ්‌ඩායම් හා ඒවා බාර සෙනෙවිවරු ද ගමන් ගත්හ. ඊළඟට රජතු=මා සිය පිරිවරත් සමඟ අසකු පිට නැඟී ගමන් කළහ. අවසාන දිනයේ රන්දෝලිවල රිදී කළ තබාගෙන ගොස්‌ දියකපා ගෙන එනු ලැබේ.

පෙරහැර පෙළගැසුණ මේ ආකාරය දක්‌වා ඇත්තේ රොබට්‌ නොක්‌ස්‌ ය. ඔහු පවසන පරිදි දෙවන රාජසිංහ රජතුමා පෙරහැරේ ගමන් කිරිමට මැලිකමක්‌ දක්‌වා ඇත. ඔහු මෙසේ සඳහන් කොට තිබේ. "මෙපරිද්දෙන් මහ පෙරහැර වීථියෙහි ගමන් ගත් ඉක්‌බිති රජු විසින් මෙහෙයවනු ලැබූ සෙන්පතියෝ ස්‌වකීය හේවාභටයන්ද සමග පෙරහැර පසුපසින් ගමන් කරති. පසුපසෙහි අශ්වාරෝහකව ගමන් කළ නමුදු දැන් දැන් මහ රජු ඊට වැඩි කැමැත්තක්‌ නොදක්‌වන්නේය. (එදා හෙළදිව -ඩේවිඩ් කරුණාරත්න පරිවර්තනය).

මෙසේ පැවැත්වූ පෙරහැර දෙව් කෙලියක්‌ හා යුද පෙළපාලියක්‌ කරවීම බුද්ධාගමට මදිකමක්‌ බව වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පෙන්නා දෙන ලදුව මෙතෙක්‌ සෑම බදාදා දිනවල හා පෝය දිනවල දළදා මාළිගාව තුළ කෙරුණු පෙරහැර ධාතු කරඬුව ද රැගෙන ඇසළ උළෙලේදී දේවාල පෙරහැරට පෙරටුව ගමන් කිරීමට විධිවිධාන සලසන ලදී. රජතුමා ධාතු කරඬුව පිටුපසින් "මහත් රාජර්ථයෙන්, මහත් රාජානුභාවයෙන්, මහත් පෙළහරින් "ගමන් ගත් බව මහාවංශයේ දැක්‌වේ.

ඉංගී්‍රසි ආධිපත්‍යයට ලංකාව යටත් වීමෙන් පසු පෙරහැර කිරීම නැවැතිණි. මෙයට නැඟුන බලවත් විරෝධය නිසා යළිත් පෙරහැර කරවීමට ඉදිsරිපත් වූ "එඩ්වර්ඩ් බාන්ස්‌" ආණ්‌ඩුකාර තුමා 1828 දී රජයේ වියදමින් පෙරහැර කරවන ලදී. ඒ සඳහා බලපෑ ප්‍රධාන කරුණ වූයේ මහත් නියඟයක්‌ ඇති වීමයි. ජනතාවගේ මතය වූයේ දළදා පෙරහැර නොකරන නිසා නියඟය පවතින බවයි. ජනතා මතයට හිස නැමීමට බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයාට සිදුවිය. ඔහු පැවැත්වූ එම පෙරහැර සියලුම අංගෝපාංග, චාරිත්‍රවිධි, සම්පන්නව පැවැත්වූ අවසාන දළදා උත්සවය මෙය විය හැකි බව "රංජිත් හෙට්‌ටිමුල්ල" මහතා සිය දළදා විස්‌තරයෙහි සඳහන් කරයි. මෙම පෙරහැරේ සිදුවූ විශේෂත්වය වන්නේ පෙරහැර පහක්‌ නොව එක පෙරහැරක්‌ ලෙස සංවිධානය කිරීමයි. පෙරහැර සංවිධානය කර ඇත්තේ පල්ලේ ගම්පහේ මහ නිළමේය. පෙරහැර පිළිබඳ වාර්තාව 1863 ජුනි 26 දින "තල වතුරේ සියඹලායායේ පුංචිරාල" නම් අයකු විසින් පිටපත් කරන ලද්දකි.

එම විස්‌තරයේ පෙරහැර පෙළ ගැසුන ආකාරය මැනවින් විස්‌තර කර ඇත. පෙරහැරේ විවිධ අංග සඳහා නියමිත ස්‌ථාන එහි දක්‌වා තිබේ. විශේෂයෙන් ප්‍රාදේශීය කොඩි ගෙන යා යුතු අනුපිළිවෙළ පිළිබඳව කරන විස්‌තරය ඓතිහාසික ලේඛනයක්‌ බවට පත්ව ඇත.

මෙම පෙරහැර නිමවූ පසු මහ වැසි වැස දළදා මාළිගයේ පඩිපෙළ ළඟටම වතුර ගැලු බව ඉංගී්‍රසීන් විසින්ම ඡායාරූප සහිතව පළ කර ඇත. එම ගංවතුර "දළදා වතුර" ලෙස ව්‍යවහාරයේ පවතී.

වර්තමානයේ පෙරහැර ස්‌වාධීන පෙරහැරවල් පහක්‌ ලෙස පැවැත්වේ. මුලටම දළදා මාළිගාවේ පෙරහැරත් පසුව පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල සතරේ පෙරහැරවලුත් ගමන් කරති. පළවැනි කුඹල් පෙරහැරේ සිට අවසාන රන්දෝලි පෙරහැර දක්‌වා ක්‍රමයෙන් වර්ධනය වන පෙරහැර අවසාන දිනයේදී සියලු අංගෝපාංගවලින් සමන්විතව පවත්වනු ලැබේ.

පෙරහැර පවත්වාගෙන යැම සඳහා කවර දුෂ්කරතා එළැඹුණත් පැරැණි අංග ආරක්‍ෂා කරන ගමන් නවාංග ද එක්‌ කරමින් එය තවදුරටත් සංවර්ධනය කිරීම ජාතිමාමක හැමගේම වගකීමක්‌ව පවතින බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

විඡේරත්න අතුරුපාන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v