|

දඹුලූ ක්‍රීඩාංගණයේ වාර්තා බිඳ හෙළමින්
ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
සනත් වෙනුවට ඉනිම ඇරඹූ මහේල තරගයේ වීරයා වෙයි
මංගල ධර්මප්‍රේම දඹුල්ලේ සිට
ඊයේ
දිනයේදී රංගිරි දඹුලු ක්‍රීඩාංගණය වර්ණවත් කළ මහේල ජයවර්ධන
ශතකය ලබා ගැනීමෙන් අනතුරුව. ඔහු සමගින් පළමු කඩුල්ල වෙනුවෙන්
ලකුණු 202 එක් කළ උපුල් තරංගද පසෙකින් සිටියි...
ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර ඊයේ (03 දා)
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි
එක්‌දින ක්‍රිකට් තරගයෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ වාර්තා
කිහිපක් පිහිටුවමින් ජයගෙන තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය
ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ඊයේ සනත් ජයසූරිය වෙනුවට ඉනිම ඇරඹූ මහේල ජයවර්ධන දඹුල්ල
ක්‍රීඩා පිටියේ පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය
වාර්තා කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වීරයා
සම්මානය දිනාගත්තේය.
මීට පෙර සනත් ජයසූරිය දඹුල්ලේදී ලකුණු 107 ක් රැස් කර තිබූ
අතර ඊයේ මහේල සිය 11 වැනි එක්‌දින ශතකය වාර්තා කරමින් ලකුණු
123 ක් රැස් කිරීමට සමත්විය.
මහේල පන්දු 108 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් සහ එක් හයේ
පහරක් එල්ල කිරීමට සමත්විය.
මහේලට අනගි සහයක් ලබා දුන් ආරම්භක පිතිකරු උපුල් තරංග යළිත්
ලකුණු අතරට පිවිසෙමින් පන්දු 96 කදී හතරේ පහර 9 ක් සහිතව
ලකුණු 76 ක් වාර්තා කළේය.
ඊයේ පාකිස්‌තානය පන්දුවාර 50 දී කඩුලු 8 ට ලකුණු 288 ක් ලබා
මෙතෙක් පන්දුවාර 50 දී දඹුල්ලේ වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය
වාර්තා කළ නමුත් ලකුණු 289 ක ඉලක්‌කයක් හඹා ගිය ශ්‍රී ලංකාව
එම වාර්තාව තමන් සතු කර ගනිමින් පන්දුවාර 46.3 කදී කඩුලු 4 ට
ලකුණු 289 ක් ලබා තරගයෙන් ජය ගත්තේය.
මීට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව 2004 දී දඹුල්ල
ක්‍රීඩාංගණයේදී පන්දුවාර 50 දී කඩුලු 4 ට ලකුණු 282 ක් ලබා
තිබුණි. ඊයේ ශ්‍රී ලංකාව හඹා ගිය ලකුණු 289 ක ඉලක්‌කය ශ්‍රී
ලංකාව ශ්‍රී ලංකාවේදී හඹා ගොස් ජයගත් ඉහළම ඉලක්‌කය ලෙසද
වාර්තා වෙයි.
සනත් ජයසූරියට උදරාබාධයක් වැළඳීම හේතුවෙන් ඊයේ තරංග හා මහේල
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර ඔවුන් අතර මුල්
කඩුල්ල වෙනුවෙන් ලකුණු 202 ක් වාර්තාවීම විශේෂ සිදුවීමක්
විය.
මහේල සහ තරංග අතර වාර්තා වූ මෙම සම්බන්ධතාවය දඹුල්ල
ක්‍රීඩාංගණයේ මුල් කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සම්බන්ධතාවය
ලෙස වාර්තා පොතට එක්‌වෙයි. මෙය ශ්‍රී ලංකාව තුළදී එක්‌දින
තරගයකදී මුල් කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සම්බන්ධතාවද
වෙයි.
දඹුල්ල ක්‍රීඩාංගණයේදී වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු
යවන්නන්ටද සාර්ථකව ප්‍රහාර දියත් කරමින් අමතක නොවන ඉනිමක්
ක්‍රීඩා කළ මහේල අසීරු ඉලක්‌කයක් හඹා යැමට තරංග සමග දියත් කළ
පිතිප්‍රහාරය විශිෂ්ට විය.
තරංග සහ මහේල දැවී යැමෙන් පසු පිටියට පිවිසි තිලාන් සමරවීර
ලකුණු නොලබාම දැවී ගිය නමුත් නායක සංගක්‌කාරට එක්‌වූ තිළිණ
කණ්‌ඩම්බි ලකුණු 56 ක සම්බන්ධතාවයක් තැබීමෙන් පසු කණ්‌ඩම්බි
ලකුණු 32 කට පිටියෙන් ඉවත් විය.
කුමාර් සංගක්‌කාර නොදැවී ලකුණු 37 ක් සහ චාමර කපුගෙදර නොදැවී
ලකුණු 08 ක් රැස් කරමින් තරගයේ 47 වැනි පන්දු වාරයේදී ශ්‍රී
ලංකාව ජය කණුව පසු කළේය.
ප්‍රථම තරග දෙකේදීම දුර්වල පිතිහරඹයක් දියත් කළ පාකිස්‌තානය
ඊයේ සටනක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් ලබාගත් අතර නසීර්
ජම්ෂෙඩ් හැර සෙසු පිතිකරුවෝ සිය යුතුකම් කොටස ඉටු කළහ.
යුනිස් ඛාන් (44) සහ කම්රන් අක්‌මාල් (45) දෙවැනි කඩුල්ල
වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවයක් තැබූ අතර නවක ක්‍රීඩක
උමාර් අක්‌මාල් හොඳම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 65 කදී හතරේ
පහර 5 ක් සහ හයේ පහර 2 ක් සහිතව ලකුණු 66 ක් ලබා ගත්තේය.
අෆ්රිඩි (32), රසාක් (30) සහ නවීඩ් උල්හසන් (නොදැවී 30)
වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පාකිස්‌තානු ලකුණු පුවරුව ලකුණු
288 දක්‌වා ඉහළ නැංවීමට දායක වූහ.
ඊයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රථම වරට ප්‍රහාරයකට ලක්‌වූ
අතර මුරලිදරන් සහ මැතිව්ස් කඩුලු 2 බැගින්ද කුලසේකර, තුෂාර සහ
දිල්හාර එක් කඩුල්ල බැගින්ද බිඳ හෙලූහ.
අසීරු ඉලක්‌කයක් හඹා යැමේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි
ජයග්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටීම තම අරමුණ වූ බව තරගයේ
වීරයා වූ මහේල ජයවර්ධන පැවැසීය.
ජයසූරිය අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් පුහුණුකරු සහ නායකයා
තමන්ට ඉනිම ඇරඹීමට ආරාධනා කළ බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෙස තමා
එම අභියෝගය භාරගත් බවත් එය ඉටු කිරීමට හැකිවීම සතුටට කරුණක්
බවත් මහේල පැවැසීය.
ඉදිරි තරගවලදී ඉනිම ඇරඹීමට අදහසක් නැතත් රට වෙනුවෙන් අවශ්‍ය
ඕනෑම විටකදී එම කාර්යය ඉටු කිරීමට තමා සුදුසුකම් බවත් මහේල
පවසයි.
පාකිස්‌තානු නායක යුනිස් ඛාන් පැවැසුවේ ලකුණු 288 ක් රැස්
කරගෙන තිබියදීත් පරාජය වීමට සිදුවූයේ නව පන්දුවෙන් කඩුලු ලබා
ගැනීමට නොහැකි වූ නිසා බවයි.
"මහේල හා තරංග විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. අපේ පන්දු රැකීම
දුර්වල තත්ත්වයක තිබුණේ. මුල් කඩුල්ල බිඳ හෙළීමට නොහැකි වීම
පරාජයට හේතුවුණා" යෑයි යුනිස් ඛාන් පැවැසීය.
ලකුණු පුවරුව
පාකිස්‌තානය
නසීර් ජම්ෂෙඩ් ඇ.තිලාන් ප.තුෂාර 01
කමරන් අක්‌මාල් ඇ.සංගක්‌කාර ප.මැතිව්ස් 45
යුනිස් ඛාන් දු.දැ.ගියා 44
ෂොයෙබ් මලික් ඇ.සංගක්‌කාර ප.දිල්හාර 12
උමාර් අක්‌මාල් ප.මුරලිදරන් 66
ෆාවඩ් අලාම් ඇ. සහ ප.මැතිව්ස් 13
ෂහිඩ් අෆ්රිඩි ප.මුරලිදරන් 32
අබ්දූල් රසාක් ඇ.මහේල ප.කුලසේකර 30
නවීඩ් උල්හසන් නොදැවී 30
මොහොමඩ් අමීර් නොදැවී 04
අතිරේක 11
පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 288
කඩුලු වැටීම - 1-09, 2-80, 3-101, 4-107, 5-149, 6-190, 7-226,
8-266
පන්දු යෑවීම - කුලසේකර 10-0-74-1 තුෂාර 10-0-46-1 දිල්හාර
10-1-62-1 මැතිව්ස් 10-0-41-2 මුරලිදරන් 10-0-64-2
ශ්‍රී ලංකාව
උපුල් තරංග ක.මු.කළා ප.අඡ්මාල් 76
මහේල ජයවර්ධන ඇ.අලාම් ප.රසාක් 123
කුමාර් සංගක්‌කාර නොදැවී 37
තිලාන් සමරවීර ඇ. සහ ප.අඡ්මාල් 00
තිලිණ කණ්‌ඩම්බි ප.අමීර් 32
චාමර කපුගෙදර නොදැවී 08
අතිරේක 13
එකතුව පන්දුවාර 46.3 කදී කඩුලු 4 ට ලකුණු 289
කඩුලු වැටීම - 1-202, 2-210, 3-212, 4-268
පන්දු යෑවීම - අමීර් 9.3-1-45-1 රසාක් 9-0-62-1 උල්හසන්
7-0-41-0 අෆ්රිඩි 6-0-45-0 අඡ්මාල් 9-0-54-2 මලික් 6-0-37-0
|