භීෂණයට ඉඩ දිය යුතු නැත

අද මේ රටේ සියලුම ජන කොටස්‌ විසින් භුක්‌ති විඳිනු ලබන යම් නිදහසක්‌ වේද එහි ගෞරවය මුලින්ම හිමි විය යුත්තේ ත්‍රිවිධ හමුදා ප්‍රමුඛ පොලිසියට බව අපි දනිමු. ආරක්‌ෂක අංශවල සාමාජිකයන්ගේ අසාමාන්‍ය පරිත්‍යාගයන් හා අප්‍රමාණ කැපවීම් නොවන්නට අපි තවමත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයේ ප්‍රාණ ඇපකරුවන් නොවෙමුද? එනිසාම ජනතාව ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියට දැක්‌වූ ගෞරවය හා කෘතවේදීභාවයද ඉමහත්ය. එහෙත් අද එකී ආරක්‌ෂක අංශවලට අයත් පොලිසිය සම්බන්ධයෙන් ජනමනස තුළ කැකෑරෙන විරෝධයක්‌ අපි දකිමු.

මෙහි ආසන්නතම සිද්ධිය ඉකුත් 13 වැනිදා අඟුලාන ප්‍රදේශයෙන් වාර්තා විය. අඟුලාන ප්‍රදේශයෙහි සිටි තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට පහරදී අනතුරුව වෙඩි තබා ඝාතනය කර ඇතැයි අඟුලාන පොලිසියට එරෙහිව බරපතල ජනතා විරෝධයක්‌ නැඟුණි. ප්‍රදේශයේ ජනතාව එම ඝාතන පිළිබඳව පොලිසියට චෝදනා කරති. රැස්‌වූ පිරිස්‌ පොලිසියට පහර දුන් බව ද වාර්තා විය.

පොලිසියේම උසස්‌ නිලධාරීන් මැදිහත්ව ජනතාව සන්සුන් කර සිද්ධියට අදාළ අඟුලාන පොලිසියේ නිලධාරීන් කීපදෙනෙක්‌ මාරු කර ඇතැයි ද වාර්තා විය. සිද්ධිය පිළිබඳව විමර්ශනය කර නීතිය අනුව කටයුතු කරන බව රජය ද කියයි. එහෙත් පොලිසිය හෝ පොලිසියේ උසස්‌ නිලධාරීන් මැදිහත්ව සිදුවන බොහෝ අකටයුතු පිළිබඳව කෙරෙන විමර්ශන හා නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කා තුළත් ඇත්තේ යහපත් අත්දැකීම් නොවේ.

තවමත් ප්‍රශ්නාර්ථයක්‌ව තිබෙන මාලබේ තොරතුරු තාක්‌ෂණ ආයතනයේ ඉගෙනුම ලබන නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස්‌ පහරදීමේ සිද්ධිය පිළිබඳ චෝදනා එල්ල වී සිටින උසස්‌ පොලිස්‌ නිලධාරියා, ඔහුගේ බිරිඳ හා පුතාට එරෙහිව ගත් පියවරක්‌ තිබේද? පහර කෑමට ලක්‌වූ සිසුවාගේ මව විවෘතව කරන චෝදනා ඉතා බරපතලය. ඇය සඳහන් කරන පරිදි මෙම අර්බුදයට මුල්වූ බව කියන සිසුවාගේ මවද ඇගේ දරුවාට වධහිංසා කර ඇත. පොලිස්‌ උෂ්ණය වැදීමෙන් වුවද මවකට එබඳු කුරිරු ප්‍රතිචාරයක්‌ දරුවකුට දැක්‌විය හැකි යෑයි අපි නොසිතමු.

මේ චෝදනාවල ඇත්ත නැත්ත තීන්දු කළ යුත්තේ අධිකරණයයි. එහෙත් තවමත් සියල්ල සුළඟේ පාවෙමින් තිබීම පුදුම සහගතය. විමර්ශන සිදු කෙරෙන බවක්‌ ද ඇසෙයි. එහෙත් ප්‍රතිඵලයක්‌ නොපෙනේ. අපට තිබෙන තදියම කුමක්‌දැයි පොලිසිය සිතනවා විය හැකිය. අපවත් කුදලාගෙන ගොස්‌ සලකන්නට තරම් මෛත්‍රී සිතක්‌ද පොලිසියට ඇතිවීමටද ඉඩ තිබේ. එනිසාම අපි අනෙක්‌ සිදුවීම දෙසට හැරෙමුෘ.

මේ සිදAධිය ඊට වඩා බෙහෙවින්ම බරපතලය. ඝාතනය වී ඇත්තේ තරුණයන් දෙදෙනෙකි. එක්‌ අයෙකු 21 හැවිරිදිය. අනෙක්‌ අය 26 හැවිරිදිය. දැනට වාර්තා වී තිබෙන්නේ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ පැමිණ තරුණයන් අත්අඩංගුවට ගෙන අඟුලාන පොලිස්‌ මුරපොල වෙත රැගෙන ගිය බවත් අනතුරුව ඔවුන්ගේ මළ සිරුරු ගම්වාසීන්ට හමුවී තිබෙන බවත්ය.

අප සඳහන් කළේ දැනට ප්‍රකාශ වී තිබෙන දේවල්වල සාරාංශයකි. සිද්ධිය ඇතුළේ තවත් විචිත්‍ර කතා පුවත් ද ගැබ් වේ. කුමක්‌ වුවත් අවසානය ෙ€දචාචකයකි. අඟුලාන ආනන්දබෝධි විහාරාධිපති හේනේගම අමරනන්ද හිමියන්ට අනුව නම් මෙසේ ඝාතනය වී ඇත්තේ යහපත් ළමයින් දෙදෙනෙකි. නරක ළමයින් වුව ද ඔවුන් ඝාතනය කිරීමට පොලිසියට තබා කිසිම ජගතකුට නොහැකිය.

පොලිසිය වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යන යහපත් ආයතනයක්‌ වුවද පොලිසිවල නීතිය අතට ගත් අයද සිටිති. ප්‍රශ්න ඇතිවන්නේ එහෙයිනි. පොලිසියට අධිකාරි බලයක්‌ ඇතැයි සිතන මුග්ධ පොලිස්‌කාරයන් නිසා අද පොලිස්‌ සේවයම බරපතල අපවාදවලට ද චෝදනාවලට ද ලක්‌ව තිබේ.

පොලිසියේ රාජකාරිය සරල හෝ ලේසි පහසු එකක්‌ නොවන බව අපි දනිමු. පොලිසිය වෘකයන්ගෙන් හෝ රාක්‌ෂයින්ගෙන් පිරුණු එකක්‌ යෑයි අපි නොකියමු. යහපත් මහත්වරු මෙන්ම ආදර්ශවත් පොලිස්‌ නිලධාරීහුද එහි සිටිති. එහෙත් ඉහත සඳහන් කළ පරිදිම වෘකයන් හා දීන බල්ලන් මෙන් හැසිරෙන සමහරු පොලිසියම වනසති.

මේ රටේ නීතිය පොලිසියට හෝ වෙනත් කිසිදු බලවේගයකට යටත් නොවූ එකක්‌ බව ඇත්තය. නීතිය කාකි කෝට්‌වලට වුවද බිය නොවන බවද ඇත්තය. ආණ්‌ඩුවේ වුවද නීති විරෝධී තීරණවලට පක්‌ෂව නීතියෙන් දඩ ගෙවීමට සිදුවූ පොලිස්‌ නිලධාරීන් ගැන නිදසුන් තිබේ. මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනයවීම් පිළිබඳව දඬුවම් ද ලැබී ඇත. එහෙත් ඒ සාමාන්‍ය තත්ත්වය නොවේ.

මානව හිමිකම් හෝ මූලික අයිතිවාසිකම් ගැන සටන් කරන ආයතන හෝ සංවිධාන මේ වර්ගයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක්‌ නඟන්නේ ද නැත. බොහෝ මානව හිමිකම් සංවිධාන මොර දුන්නේ කොටින්ගේ අයිතිය ගැන විනා පොදුජනයාගේ අයිතිය ගැන නොවන බවද අපි දනිමු. නැති බැරි එවුන් පොලිස්‌ සිරමැදිරිවල එල්ලී මියයන අය බවට පත් වුවද ඒවා ජනමාධ්‍යවල කියෑවෙන හෝ ලියෑවෙන පුවත් පමණි.

ගොයම් කන්නේ වැටත් නියරත් නම් තවත් කුමන කතාද? ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම්, මූලික මිනිස්‌ අයිතිවාසිකම් යනාදී කී නොකී බොහෝ දේවල් අපට තිබේ. ඒවා වෙනුවෙන් මොර දෙන අයද සිටිති. එහෙත් ඒ සියල්ල පන්තියකට හෝ ප්‍රභූ පැලැන්තියකට සීමා වන්නේ නම් එබඳු සමාජයක්‌ අතිශයින්ම බිහිසුණු බව අපි කියමු. එවන් භීෂණයකට හිස ඔසවන්නට ඉඩ නොදීම ජනතා රජයක පරම යුතුකම හා වගකීම බවද අපි මතක්‌ කරමු. මාලබෙන් හා අඟුලානෙන් රටට ඒ සහතිකය දෙමු.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v