කැලෑ නීතිය රජයන
මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාවලිය


එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය ආරම්භකර අවුරුදු 3 කට පමණ පසුව එනම් 1948 වර්ෂයේ දෙසැම්බර් මස 10 දින එක්‌සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එම මණ්‌ඩලය මගින් සම්මත කරනු ලැබූ අතර වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා මිනිස්‌ අයිතිවාසිකම්වලට අදාළ මූලික ලියවිල්ල ලෙස වගන්ති 30 කින් සමන්විත එම ලියවිල්ල පිලිගනු ලබයි. එක්‌සත් ජාතින්ගේ මණ්‌ඩලයට අයත් සෑම රටක්‌ විසින්ම පිළිපැදීමට බැඳි ඇති ලෝකයේ සෑම දෙනාටම හිමි අන්සතු කළ නොහැකි උල්ලංඝනය නොකළ යුතු මෙම ලියවිල්ලේ සඳහන් වගන්ති 30 සමහරුන් විසින් මානව හිමිකම් නීතියේ උල්පත ලෙස හඳුන්වා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් සහ කොටි සංවිධානය විනාශ කර ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම වැළැක්‌වීම සඳහා ගත් සියලු ක්‍රියාමාර්ග ව්‍යවර්ථ වීමෙන් පසුව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්‌වරිය වූ නවතීදන් පිල්ලේ සමහර බටහිර රටවල් සමග එකතුවී ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කරමින් මිනිස්‌ අයිතිවාසිකම් නමැති මෙවලම පාවිච්චි කරමින් ලක්‌ රජයට එහි දේශපාලන නායකත්වයට සහ යුද හමුදාවට විරුද්ධව ප්‍රබල සටනක්‌ දියත් කරන ලදී.

මේ තත්ත්වය දේශීය සහ ජාත්‍යන්තර සමාජයේ වාද විවාදවලට භාජන වී ඇති හෙයින් සහ නිරතුරුවම මාධ්‍ය විසින් උපුටා දක්‌වන බැවින් මානව හිමිකම්වලට අදාළ ජාත්‍යන්තර සංවිධානවල හැසිරීම ගැන සොයා බැලීම වැදගත් වේ. ඒ සඳහා එවැනි සංවිධානවල ආරම්භය සංයුතිය සහ ක්‍රියාකාරිත්වය ගැන යම් අවබෝධයක්‌ තිබීම අත්‍යවශ්‍ය වේ. එසේ හෙයින් මෙම ලිපියේ විෂය පථයට අවශ්‍යවන ප්‍රමාණයටවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල ආරම්භය සිදුවී ක්‍රියාත්මක වන ආකාරය සැකවින් විමසීම වටී.

ජාතීන්ගේ සංගමය දෙවන ලෝක යුද්ධය අවසානයේදී මින් ඉදිරියට එවැනි යුද්ධයක්‌ ඇතිවීම වැළැක්‌වීමේ පරමාර්ථයෙන් සහ රටවල් 50 ක සහභාගිත්වයෙන් 1945 අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ සැන්ප්‍රැන්සිස්‌කෝ නුවර පැවති ජාත්‍යන්තර සමුළුවෙන් පසුව 1945 ජුනි 26 දින එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත කරගත් අතර ඒ යටතේ 1945 ඔක්‌තෝබර් මස 24 දින එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බිහිවිය. පළමු ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව 1919 වර්ෂයේදී ද මෙම පරමාර්ථයෙන්ම ජාතීන්ගේ සංගමය නමින් ජාත්‍යන්තර සංවිධානයක්‌ පිහිටුවාගත් නමුත් පළමු ලෝක යුද්ධයෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිවලට වඩා ඉතා විශාල ජීවිත සහ දේපළ හානි සිදු කරමින් සහ ලෝක ඉතිහාසයේ දරුණුම මානව හිමිකම් උල්ලංඝණයන් සිදු කරමින් ඉතාම විනාශකාරී දෙවන ලෝක යුද්ධය සිදුවු බවද අප අමතක නොකළ යුතුය.

එක්‌සත් ජාතින්ගේ සංවිධානය

ප්‍රධාන කාර්යාලය ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ පිහිටුවා මහා ලේකම්වරයෙකු යටතේ පවත්වාගෙන යන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඇති රටවල් සංඛ්‍යාව 192 කී. රටවල් රාශියක අනුබද්ධ ආයතන පිහිටුවා ඇති එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය කාර්ය මණ්‌ඩලයේ 40,000 ක්‌ පමණ සේවය කරයි. ඒ අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලොව විශාලම ජාත්‍යන්තර සංවිධානය වන අතර ඒ මත පැවරී ඇති වගකීමද එතරම්ම විශාලය. මෙම වගකීම ඉටු කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉටු කරනු ලබන කාර්ය භාරයද විශාලය. එම කාර්යභාරය කාර්යක්‍ෂමව ඉටු කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය විසින් මහා මණ්‌ඩලය, ආරක්‌ෂක මණ්‌ඩලය ආර්ථික සහ සමාජික මණ්‌ඩලය භාරකාර මණ්‌ඩලය, අන්තර් ජාතික අධිකරණය හා මහ ලේකම් කාර්යාලය වශයෙන් ප්‍රධාන ආයතන 6 ක ස්‌ථාපිත කර ඇත. එක්‌සත් ජාතීන්ගේ සියළුම කටයුතු ඉටු වන්නේ මෙකී ආයතන 6 හරහා වන අතර ඒවාට අමතරව එක්‌සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන රාශියක්‌ ද පිහිටුවා ඇත. එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදල UNICEF එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන UNDP ලෝක ආහාර වැඩ සටහන WFP සරණාගතයන් සඳහා එක්‌සත් ජාතීන්ගේ මහා කොමසාරිස්‌ UNHCR ආදිය ඒවා අතර වේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය

එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය ආරම්භකර අවුරුදු 3 කට පමණ පසුව එනම් 1948 වර්ෂයේ ෙදැසැම්බර් මස 10 දින එක්‌සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එම මණ්‌ඩලය මගින් සම්මත කරනු ලැබූ අතර වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා මිනිස්‌ අයිතිවාසිකම්වලට අදාළ මූලික ලියවිල්ල ලෙස වගන්ති 30 කින් සමන්විත එම ලියවිල්ල පිලිගනු ලබයි. එක්‌සත් ජාතින්ගේ මණ්‌ඩලයට අයත් සෑම රටක්‌ විසින්ම පිළිපැදීමට බැඳි ඇති ලෝකයේ සෑම දෙනාටම හිමි අන්සතු කළ නොහැකි උල්ලංඝනය නොකළ යුතු මෙම ලියවිල්ලේ සඳහන් වගන්ති 30 සමහරුන් විසින් මානව හිමිකම් නීතියේ උල්පත ලෙස හඳුන්වා ඇත.

එම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පෙරවදනේ සඳහන් කර ඇත්තේ මෙවැනි මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක්‌ එළිදැක්‌වීමට සිදුවු හේතුන් අතර පහත සඳහන් ඒවාද වන බවයි. එනම්

(
I) මානව සමාජයේ නිදහස, යුක්‌තිය සහ සාමය යන දේවල මූලික පදනම වන්නේ මිනිසුන්ගේ සහජ අභිමානය සහ වෙන් නොකළ හැකි සම අයිතිවාසිකම් පිළිගැනිම.

(
II) මානව අයිතිවාසිකම් නොතැකීම හෝ අවඥවට ලක්‌ කිරීම හේතුවෙන් මිනිස්‌ සංහතියේ හෘද සාක්‌ෂිය කම්පනයට පත්කළ දරුණු ම්ලේච්ඡ කෲරකම් සිදුවීම

(
III) ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරිමට අත්‍යවශ්‍යවීමද වේ.

මානව අයිතවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කිරීමෙන් පසුව එක්‌සත් ජාතීන් විසින් මානව හිමිකම් පිළිබඳව සම්මුති මග පෙන්වීම් හා ප්‍රකාශන 70 කට වැඩි සංඛ්‍යාවක්‌ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතරින් 1966 වර්ෂයේදී සම්මත කර ගන්නා ලද ආර්ථික, සමාජිSය හා සංස්‌කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය හා සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ඉතා වැදගත් වේ.

මානව හිමිකම් කවුන්සිලය

ලෝක මානව අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීම සඳහා වූ කාර්යය පහසුවීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය විසින් 2006 මාර්තු 15 දින ඊට සම්බන්ධ ආයතනයක්‌
charter body ඉදාහ වශයෙන් මානව හිමිකම් කවුන්සිලය UNHRC පිහිටුවන ලද අතර 1946 වර්ෂයේදී පිහිටුවා ක්‍රියාත්මක වෙමින් තිබූ මානව හිමිකම් කොමිසමේ කාර්යභාරය මානව හිමිකම් කවුන්සිලයට හිමිවිය. සාමාජික සංඛ්‍යාව 47 කින් සමන්විතව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ක්‍රියාත්මක අන්තර් රාජ්‍ය සංවිධානයක්‌ වු මෙම කවුන්සිලය පිහිටුවීමේ මූලිකම පරමාර්ථය වූයේ ජාත්‍යන්තරව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්‌ෂා කිරීම තවදුරටත් ශක්‌තිමත් කිරීමය. මෙය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ කාර්යාලයෙන් OHCHR බාහිර ආයතනයකි.

1993 වර්ෂයේදී ඇති කරන ලද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ තනතුරු එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය මගින් සම්මත කරන ලද යෝජනාවක්‌ අනුව පිහිටුවන ලද අතර ඊට පදනම් වී ඇත්තේ වියානා නුවර පැවති මානව හිමිකම් පිළිබඳ මහා සමුළුවේදී සම්මත කරන ලද යෝජනාවකි. 1951 දී පිහිටුවන ලද සරණාගතයන් සඳහා වූ එක්‌සත් ජාතින්ගේ මහ කොමසාරිස්‌ කාර්යාලය
UNHCR සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ කාර්යාලය OHCHR එකක්‌ හැටියට සලකා ලියන ලද ලිපි රාශියක්‌ මෑතකදී පුවත්පත්වල පළවී තිබුණ නමුත් ඒ ආයතන දෙක එකිනෙකට වෙනස්‌ ආයතන දෙකක්‌ බව සැළකිල්ලට ගත යුතුය.

කොටි සංවිධානය හා මානව හිමිකම්

1970 දශකයේ අග භාගයේදී ආරම්භ වී දශක තුනකට ආසන්න කාලයක්‌ තුළදී ක්‍රමයෙන් ව්‍යාප්ත වූ කොටි සංවිධානය විසින් ලංකාව පුරාම ජීවත් වූ යුද්ධයට කිසිම අයුරකින් සම්බන්ධ නැති ලක්‌ෂයකට ආසන්න නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන ලදී. ඒ අතර බෞද්ධ භික්‌ෂුන් සහ මුස්‌ලිම් පූජකවරුද වූහ. සිංහල හා මුස්‌ලිම් ජන කොට්‌ඨාසයන් උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පන්නා දමන ලද අතර ඔවුන්ට අයිතිව තිබුණු නිශ්චල චංචල දේපළ සියල්ල පැහැර ගන්නා ලදී. නැතිනම් විනාශ කරන ලදී. තවද කොටින්ගේ දේශපාලන විරුද්ධවාදීන් පමණක්‌ නොව විරුද්ධ අදහස්‌ ඇති දේශපාලන පක්‌ෂද සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. ඉන්පසුව රටෙන් තුනෙන් එකක පමණ ප්‍රදේශයක්‌ බලහත්කාරයෙන් අත්පත් කරගෙන නිල නොවන රාජ්‍යයක්‌ පවත්වාගෙන යන ලදී. තම ත්‍රස්‌ත බලයට යටත් එකී ප්‍රදේශවල කිසිම බයකින් සැකයකින් හෝ දඬුවමකින් තොරව ලක්‌ෂ සංඛ්‍යාත ජනතාවකගේ මානව හිමිකම් නිර්දන ලෙස උල්ලංඝනය කරමින් දශක තුනක පමණ කාලයක්‌ කොටි සංවිධානය එම ප්‍රදේශවල ම්ලේච්ඡ පාලනයක්‌ ගෙන ගියේය.

කොටි සංවිධානයේ මෙම විනාශකාරි ක්‍රියා කලාපය හේතුවෙන් ලෝකයේ සමහර රටවල් එය ත්‍රස්‌ත සංවිධානයක්‌ ලෙස පිළිගත් නමුත් 1993 වර්ෂයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ ධුරය ආරම්භ වීමෙන් පසුව කොටි සංවිධානයේ මෙම මානව හිමිකම් උල්ලංඝනය මැඩ පැවැත්වීමට හෝ පාලනය කිරිමට මානව හිමිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ නිසි බලධාරියා වූ මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් ගන්නා ලද ඵලදායි පියවරක්‌ නොවීය. අවුරුදු 30 ක්‌ තුළ ශ්‍රී ලංකාව තුළ සිදුවූ සියළුම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මීට පෙර කොටි සංවිධානයට විරුද්ධව පැවති යුදමය ක්‍රියාමාර්ග තුනේදීම සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සැළකිල්ලට නොගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌වරිය කොටි ත්‍රස්‌ත සංවිධානය සමග ඇතිවූ හතරවන තීරණාත්මක යුද්ධයේ අවසාන මාසය හෝ දෙක තුළ ඇතිවූවා යයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීමට සහ ඒ පිළිබඳව දඬුවම් පැමිණවීමට දක්‌වන උනන්දුව විශ්මය ජනක විය.

කොටි සංවිධානයේ අවුරුදු 30 ක පමණ ඉතිහාසය සලකා බැලීමේදී ඉතාම පැහැදිලිව පෙනී යන කරුණක්‌ වනුයේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පමණක්‌ නොව මානව හිමිකම්වලට අදාළ නීතිරීති සම්මුති හෝ මග පෙන්වීම් කිසිවක්‌ පිළිබඳව ඔවුන් තඹ දොයිතුවක සැළකිල්ලක්‌ නොදැක්‌වූ බවය.

ජන සංහාර සහ වාර්ගික පළවා හැරීම

කොටි සංවිධානය ඔවුන්ගේ අවුරුදු 30 ක පමණ පාලන කාලය තුළ ඔවුන් යටතේ සිටි ජනතාව පමණක්‌ නොව ලංකාවේ දකුණු ප්‍රදේශවල සිටි සිවිල් වැසියන් ද සිය දහස්‌ ගණනින් ඝාතනය කරමින් මහා ජන සංහාරයක්‌ කර ජනයාගේ මූලිකව අයිතිවාසිකමක්‌ වූ ජීවත්වීමට තිබූ අයිතිය ඔවුන්ට අහිමි කරන ලදී. ඔවුන්ගේ පාලක ප්‍රදේශවල සිටි අන්‍ය ජාතීන්වලට අයත් ජනතාව ඔවුන් පදිංචි ඉඩ කඩම්වලින් පළවා හැර වාර්ගික පළවා හැරීමක්‌ කරන ලදී. තම පාලන ප්‍රදේශය තුළ නීතිය (ස්‌වාධීනව සහ අපක්‌ෂපාතීව) ක්‍රියාත්මක වීමකින් තොරව පිස්‌තෝල කල්ලි ප්‍රයෝජනයට ගනිමින් ලඝූ ආකාරයට ජනතාවට දඬුවම් පමුණුවන ලදී. තම පාලනයේ පවතින ප්‍රදේශවලට ඇතුළුවීමට ගමනා ගමනය කිරීමට ඉන් පිටවීමට හෝ පදිංචිවී සිටීමට ඉඩකඩ ලබා නොදීමෙන් ඔවුන්ගේ මිනිස්‌ අයිතිවාසිකම් කඩ කරන ලදී.

දේපළ දැරීමේ අයිතිය සහ ආගම් ඇදහීමේ නිදහස

කොටි සංවිධානය පාලනය කල ප්‍රදේශවල ද්‍රවිඩ ජාතිකයන්ට හැර වෙනත් කිසිම ජාතියකට අයත් කෙනෙකුට දේපළ අයිතිය, දැරීමට ඇති අයිතිය අහිමි කරනු ලැබීය. හිතුවක්‌කාර ලෙස අන්‍ය ජාතීන් සතුව තිබු දේපළ ඔවුන්ට අහිමි කරනු ලැබීය. ආගමික පූජකයන් සහ ආගමික සිද්ධස්‌ථාන විනාශ කිරීමෙන් නොනැවතී තම ආගමේ පුද සිරිත් පවත්වන ජනතාව සිය ගණනින් ඝාතනය කරමින් තමුන්ට කැමැති ආගමක්‌ ඇදහීමට ජනතාවට තිබූ මූලික අයිතිය අහෝසි කරන ලදී.

බාල වයස්‌කාරයන් යුද්ධයට බඳවා ගැනීම

කොටි සංවිධානයේ යුධ කටයුතු සඳහා සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව බාලවයස්‌කාර දරුවන්ද ඔවුන්ගේ කැමැත්තට විරුද්ධ බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් ඔවුන්ගේ මිනිස්‌ අයිතවාසිකම් ඔවුන්ට අහිමි කරන ලදී. 1980 දශකයේ පමණ සිට කොටි සංවිධානය එක්‌සත් ජාතීන්ගේ මූලික ප්‍රඥප්තිය හා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියද කඩ කරමින් මහා පරිමාණයෙන් බාල වයස්‌කරුවන් යුද්ධය සඳහා බඳවා ගත් අතර ඔවුන්ගෙන් සමහරුවන්ගේ වයස අවුරුදු 10 කටත් අඩුවිය. ඒ සඳහා කොටින් විසින් ළමා ගොවිපළවල් පවා පවත්වාගෙන යන ලදී. එලිෆන්ට්‌ පාස්‌, වැලිඔය සහ මුලතිව් හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි කොටින්ගේ වැඩි ප්‍රමාණයක්‌ ළමා සොල්දාදුවන් වූ අතර එලිෆන්ට්‌ පාස්‌ යුද්ධයේදී පමණක්‌ ළමා සොල්දාදුවන් 500 කට අධික ප්‍රමාණයක්‌ මියගිය බව ප්‍රකට කරුණකි. මේ ක්‍රියාවලියේ කොටි සංවිධානය නිරතව සිටියේ එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදල ඹබසජැෙ සමග ළමයින් නිදහස්‌ කරන බවට ගිවිසුම් ගසමින් ඒවා කඩකරමින් ජාත්‍යන්තර ආයතනය සහ විදේශ රාජ්‍යයන් ප්‍රසිද්ධියේම රවටමින්ය. 2003 වර්ෂයේ සිට තම බාලවයස්‌කාර දරුවන් පැහැරගෙන ගොස්‌ ළමා සොල්දාදුවන් ලෙස ඔවුන් යොදවා ගෙන ඇති බවට දෙමවුපියන් විසින් කරන ලද ලිත පැමිණිලි පමණක්‌ 6000 කට වැඩි බව ඹබසජැෙ ආයතනය තම සංඛ්‍යාලේඛන වලින් පෙන්වා දී ඇත.

රාජ්‍ය පාලනයට සහභාගිවීම

මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදීමෙන් ජනතාවට තම නියෝජිතයන් තෝරා පත් කරගෙන රාජ්‍ය පාලනයට හවුල් වන්නට ඔවුන්ට තිබූ අයිතිය කොටි සංවිධානය විසින් අහිමි කරන ලද අතර සර්වජන ඡන්දය පාවිච්චි කිරීමට ඔවුන්ට තිබූ අයිතිය පැහැර ගන්නා ලදී. මහජන ඡන්දයෙන් තේරි පත්වූ මහජන නියෝජිතයන් පමණක්‌ නොව රාජ්‍ය නායකයන්ද මරාගෙන මැරෙන බෝම්බ කරුවන් යොදවා ඝාතනය කරන ලදී.

රැකියාව කිරීමේ අයිතිය

රාජ්‍ය සේවයේ යෙදී සිටි ජනතාව ඝාතනය කරමින් තමන්ට කැමැති රැකියාවක්‌ තෝරා ගැනීමට ඔවුන්ට ඇති මුලික අයිතිය උදුරා ගන්නා ලදී. වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගණකාධිකාරින් හෝ රාජ්‍ය පාලකයන් බවට පත්වී තම අනාගතය දීප්තිමත් කර ගැනීමට අධ්‍යාපන කටයුතුවල යෙදුන දරුවන්ගේ මනස විකෘති කර ඔවුන් සොල්දාදුවන් ලෙස බඳවා ගෙන එම දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමවුපියන්ගේ අනාගත සිහින බොඳකර ඔවුන්ට කැමැති ජීවන මාර්ගයක්‌ තෝරා ගැනීමට ඔවුන්ට තිබූ අයිතිය පැහැර ගන්නා ලදී.

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය

පාසල් යන වයසේ සිටි දරුවන් සහ උසස්‌ අධ්‍යාපනය ලැබීමට සූදානම්ව සිටි ළමයින් බලහත්කාරයෙන් සොල්දාදුවන් ලෙස බඳවා ගෙන ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ලද අතර, පාසල් හා උසස්‌ අධ්‍යාපන ආයතනවල කටයුතු කෙළින්ම හෝ වක්‍ර ආකාරයෙන් කඩාකප්පල් කරමින් ඉගෙනුම ලැබීමට ජනතාවට ඇති අයිතිය ඔවුන්ගෙන් උදුරා ගන්නා ලදී. නමුත් කිසිම ලැඡ්ජාවක්‌ නොමැතිව කොටි සංවිධානයේ නායකයන්ගේ දරුවන්ට නියමිත පරිදි උසස්‌ අධ්‍යාපනය පවා ලබා දීමට කටයුතු කරන ලදී.

එ.ජා. මානව හිමිකම් පිළිබඳ

මහ කොමසාරිස්‌ට නොපෙනුන දේ

මේ අනුව සලකා බැලූ විට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ එක්‌සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයට පසුව ඇතිකර ගන්නා ලද ආර්ථික, සමාජීය, සංස්‌කෘතිය අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සහ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ද කොටි සංවිධානය විසින් අමු අමුවේ උල්ලංඝනය කර ඇති අයුරු පැහැදිලිය. මේ තත්ත්වය එ. ජා. මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌වරියට පෙනුනේ නැත.

කැලෑ නීතිය

කොටි ත්‍රස්‌ත ක්‍රියා මගින් අදාළ කාලය තුළ ඔවුන් විසින් ඝාතනය කරන ලද ජන සම්පතට අමතරව රටේ ජාතික ධනය සහ සම්පත් විනාශ කිරිම් ද රටේ ආර්ථික මර්මස්‌ථාන විනාශ කිරීම් ද ඔවුන් විසින් විශාල පරිමානයෙන් කරගෙන යන ලදී. මෙම ත්‍රස්‌ත ක්‍රියා ක්‍රමයෙන් වර්ධනය වූ අතර එහි වර්ධනය කොතරම් ද කිවහොත් ශ්‍රී ලංකාව තුළ ඕනෑම තැනක ඕනෑම වේලාවක තමුන්ට අවශ්‍ය ඕනෑම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ කිරිමට තරම් කොටි බලවත් විය. ඊට අමතරව ලංකාවෙන් පිටත වුවද තමන්ට ඕනෑම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ කළ හැකි බව ඔප්පු කරමින් ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නායකයා වූද ලොව දෙවන විශාලම යුද හමුදාව තම අණසක යටතේ පැවතියා වූ ද, ඉන්දියානු රාජ්‍ය නායකයා වන්නියේ සිට දුරස්‌ථ පාලකයක්‌ මගින් ඝාතනය කිරීමට තරම් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය ප්‍රබල විය.

කුමන තත්ත්වයක්‌ යටතේ හෝ මෙවැනි කනගාටුදායක පරිසරයක්‌ රටක ඇති වී එය දිගටම පැවතීමට ඉඩදිය නොහැකි බව රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු මතය වූ නමුත් එය නතර කිරීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක්‌ නොවීය. ද්‍රවිඩ ජනතා ප්‍රශ්නවලට කිසිම සම්බන්ධතාවක්‌ නොමැති ආගමික සිද්ධස්‌ථාන විනාශ කරන විට, පූජකවරුන් මරා දමන විට, අහිංසක පොදු ජනතාව ගැවසෙන ස්‌ථාන ඉලක්‌ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැර දහස්‌ ගණන් අහිංසක ජනතාව මරා දමන විට, පොදු ජනතාව මෙම තත්ත්වය සාමයෙන් බැරි නම් යුද්ධයෙන් හෝ අවසන් කළ යුතු බවට පොදු මතයක සිටි නමුත් මහජන ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය කනගාටුදායක ලෙස අසමත් විය. ඒ තත්ත්වය හැමදෙනාම හෙළා දැක්‌ක නමුත් සහ ප්‍රජාතාන්ත්‍රික සමාජයක වැඩිදෙනාගේ කැමැත්ත අනුව කටයුතු සිදුවිය යුතු නමුත් ඔවුන්ගේ මතයට හිමි තැන ඔවුන්ට හිමි නොවීය. නැත්නම් කුඩා කණ්‌ඩායමක්‌ විසින් වුවමනාවෙන් ම ඔවුන්ගේ මතය යටපත් කරන ලදී. මේ ත්‍රස්‌ත ක්‍රියාකාරකම් ජනතාවගේ මානව හිමිකම් මහා පරිමාණයෙන් විනාශ කිරිම් ලෙස මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌වරිය දුටුවේ නැත.

අසමත් රාජ්‍යය

අසමත් රාජ්‍යයක්‌ යනු කුමක්‌ද යන්න විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් කුමන ආකාරයකට අර්ථ දැක්‌වවුද, කොටි සංවිධානය විසින් කෙළින්ම වගකිව යුතු රටේ දීර්ඝ කාලීනව ත්‍රස්‌තක්‍රියා නොකඩවා සිදුවීම, භූමියෙ සමස්‌ත ආධිපත්‍යය රජය සතු නොවීම. මානව හිමිකම් උල්ලංඝනයන් ඉහළ අනුපාතයකින් සිදුවීම, අවතැන් වුවන්ගේ අනුපාතය ඉහළ මට්‌ටමක තිබීම, රට අත්හැර යන්නවුන්ගේ අනුපාතය ක්‍රමයෙන් වැඩිවීම, මහජන ආරක්‍ෂාව සහතික කිරීමට රජය අපොහොසත්වීම වැනි කරුණු නිසා ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්‌ බවට පත්වීමේ නියම අවදානමක්‌ ද මේ වන විට මතු වෙමින් තිබිණි. මේ තත්ත්වය මතුවෙමින් තිබුණේ සමහර බටහිර ගැති ආයතන ඔවුන් විසින්ම සාදාගත් නිර්ණායක භාවිත කරමින් ලයිබීරියාව, රුවන්ඩාව හෝ සියොරා ලියොන් වැනි රටවලට ද වඩා අන්ත ආකාරයට ශ්‍රී ලංකාවේ තත්ත්වය විස්‌තර කරමින් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්‌ බවට හංවඩු ගසා තිබූ අවස්‌ථාවක ය. මෙවැනි තත්ත්වයක්‌ යටතේ පොදු ජනතාවගේ ඡන්දයෙන් පත් වූ රජයකට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක්‌ තිබිණි. එකක්‌ රටේ ජනතාව, ආර්ථිකය සහ ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් තවදුරටත් විනාශ කිරීමට ඉඩ නොදෙමින්, රටෙන් කොටසක්‌ කඩාගැනීමට කොටින්ට ඉඩ දීම හෝ යුදමය වශයෙන් ත්‍රස්‌තවාදය පරාජය කිරිම ඒ ක්‍රියා මාර්ග දෙකයි.

රජයේ යුතුකම, වගකීම සහ අයිතිය

ඉහත සඳහන් ක්‍රියාමාර්ග දෙක අතරින් පළමුව සඳහන් කළ ක්‍රියා මාර්ගය අනුගමනය කිරීමට ජනතාවගේ ඡන්දයෙන් පත් වූ රජයකට නීත්‍යනුකූලව හෝ සදාචාරාත්මකව අයිතියක්‌ හිමි නොවේ. එසේ නම් රජය විසින් අනිවාර්යයෙන්ම ත්‍රස්‌තවාදය පරාජය කර රට, ජනතාව, ඔවුන්ගේ මිනිස්‌ අයිතිවාසිකම් සහ එහි සම්පත් බේරා ගත යුතු අතර, ඒ සඳහා රජයට අයිතියක්‌, වගකීමක්‌ මෙන්ම යුතුකමක්‌ ද තිබේ. එම අයිතිය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ බැඳී සිටින රජයට එකී යුතුකම හා වගකීම ඉටු කිරීමට නොහැකි නම් එය ව්‍යවස්‌ථානුකූලව රජයක්‌ වන්නේ නැත.

එසේ හෙයින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගනිමින් ජනතා පරමාධිපත්තිය මත යහ පාලනයක්‌ ගෙන යැම සඳහා රජය එකී යුතුකම සහ වගකීම ඉටු කිරීම අනිවාර්ය වෙයි.

කොටි සංවිධානයේ නැගීම

ලෝකයේ බිහි වූ ත්‍රස්‌ත සංවිධාන අතරින් දරුණුම, ම්ලේච්ඡම සහ ප්‍රබලම ත්‍රස්‌ත සංවිධානය කොටි සංවිධානය බවට විවාදයක්‌ නොමැත. සිවිල් ජනතාව ඉලක්‌ක කරමින් ඔවුන් සිදුකළ බෝම්බ පිපිරවීම් තුළින් සහ දුම්රිය, බස්‌රථ, කාර්යාල, කර්මාන්තශාලා, බැංකුවලට ප්‍රහාර එල්ල කිරීම නිසා මියගිය ජනතාව සහ තුවාල ලබා සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත් වූ ජනතාව ද ලක්‍ෂ ගණනකි. විදේශීය පුහුණුව පවා ලබා ඇති ප්‍රබල පාබල, ගුවන්, නාවික සහ පොලිස්‌ හමුදාවකින් සමන්විතව සිටි කොටින්ට ලොව මොනම දියුණු රටකටවත් නොමැති මරාගෙන මැරෙන කළු කොටි හමුදාවක්‌ ද විය. දැනට හෙළිදරව් වී ඇති විස්‌තර අනුව සහ හමුදාව විසින් සොයාගෙන ඇති අවි ආයුධ අනුව ගුවන් යානා, සබ්මැරීන්, ගුවන් යානා නාශක සෑම් මිසයිල්, විශාල කාලතුවක්‌කු සහ ශ්‍රී ලංකා හමුදාවට පවා නොතිබුණු මහා පරිමාණ යුද්ධයක්‌ කිරීමට පමණක්‌ අවශ්‍ය වන සමහර නවීන යුද අවි වලින් පමණක්‌ නොව, රසායනික අවිවලින් ද සන්නද්ධව සිටි කොටි ලංකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක්‌ තම ත්‍රස්‌ත පාලනයට නතු කරගෙන සිටි අතර, බදු අයකරමින් ගුවන් විදුලි මධ්‍යස්‌ථාන පවත්වාගෙන යමින් නිල නොවන රාජ්‍යයක්‌ ලෙස කටයුතු කළේය. එම නිල නොවන රාජ්‍යය තුළ මානුෂික අයිතිවාසිකම් හෝ මූලික නිදහස යන ඒවාට කිසිම තැනක්‌ නොතිබුණු නමුත් කොටි සංවිධානය තහනම් කළේ ලෝකයේ රටවල් 30 ක්‌ පමණකි. ද්‍රවිඩ ජනතාවට කිට්‌ටු සම්බන්ධතාවක්‌ තිබූ ඉන්දියාව 1992 දී කොටි සංවිධානය තහනම් කළ නමුත් මානව හිමිකම් ගැන ලොකුවට කතා කරන කැනඩාව සහ යුරෝපීය සංගමය ඒ සඳහා 2006 වර්ෂය දක්‌වාම බලා සිටින ලදී. බ්‍රිතාන්‍යය ඒ සඳහා 2001 දක්‌වා බලා සිටි අතර, ඇමරිකාව 1997 දී කොටි සංවිධානය තහනම් කරන ලදී. අඩුම වශයෙන් එවැනි ක්‍රියාමාර්ග යෝජනා කරමින් මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා සහයෝගය දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමක්‌වත් කිරීමට එ. ජා. මානව හිමිකම් මහ කොමසාරිස්‌ කාර්යාලයට කිසිම වුවමනාවක්‌ නොවීය.

ලොවට හෙළිකළ යුතු කරුණු

කොටි සංවිධානය සතුව තිබූ අවි ආයුධ පිළිබඳ තවම හරි තක්‌සේරුවක්‌ කර නොමැත. ඔවුන් සතුව තිබූ යුද උපකරණවලින් යම් ප්‍රමාණයක්‌ දැනට සොයාගෙන ඇති නමුත් විශාල ප්‍රමාණයක්‌ අවි ආයුධ හමුදාව විසින් දිනපතා සොයා ගනිමින් පවතී. මේ සියල්ල පිළිබඳව නියම ගණන් හිලව් හෙළිදරව් වූ විට ඔවුන් සූදානම් වූයේ රටේ කොටසක්‌ කඩා ගැනීමට ද එසේ නැත්නම් විදේශීය රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල උපකාරයෙන් මුළු රටම අල්ලා ගැනීමට ද යන්න හෙළිවනු ඇත. මෙසේ සොයා ගන්නා සියලුම අවි ආයුධ ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක්‌ සාදා ඒවා ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්‍ෂකයන් ඇතුළු බටහිර රටවලට පෙන්වා එම ආයුධ කුමන රටවල නිෂ්පාදනය ද ඒවා මිලදී ගැනීමට කොපමණ මුදලක්‌ වැය වන්නේ ද යන්න පිළිබඳ ගණන් හිලව් දැක්‌වීමට රජයට හැකි නම් කොටින්ගේ මෙකී නොකී සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් පසුපස ඇත්ත වශයෙන්ම සිටින්නේ කව්ද යන්න ලෝකයාට හෙළිවනු ඇත.

ලොව පුරා කොටි සංවිධානය කාර්යාල

කොටි තහනමට අසු නොවූ අනිකුත් සියලු රටවල්වල නිදහසේ කටයුතු කිරීමට කොටි සංවිධානයට නිදහස තිබුණු අතර, බොහෝ රටවල රාජ්‍ය නියෝජිතයන් සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පවා කොටි ප්‍රදේශවලට ගොස්‌ නිරතුරුවම ඔවුන් සමඟ සාකච්ඡා පවත්වමින් කොටි සංවිධානයට නිල තත්ත්වයක්‌ ලබා දීමට කටයුතු කරන ලදී. එම කටයුතු සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල රජයට සිදුවීම කනගාටුවට කරුණකි. කොටි සංවිධානය විදේශීය රටවල් රාශියක තම කාර්යාල පවත්වා ගෙන යමින් මිනිස්‌ අයිතිවාසිකම් කෙළසීම සඳහා ආයුධ ලබා ගැනීම ආදිය සඳහා ප්‍රසිද්ධියේ කටයුතු කළ අතර කොටි සංවිධානයට ජාත්‍යන්තර වශයෙන් ආයුධ සැපයීමේ ප්‍රධානියා වූ කුමාරන් පද්මනාදන් හෙවත් ණග ඡග විසින් පවත්වා ගෙන ගිය ඉන් එක්‌ කාර්යාලයක්‌ පිහිටා තිබුණේ වර්තමාන එ. ජා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌වරියගේ රටවන දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග් නුවර වීම ද වැදගත් කරුණකි.

කොටි නඩත්තු කිරිමට රජයට සිදුවීම

මේ අතර කොටි සංවිධානය යටතේ පැවතුණු ප්‍රදේශවලින් දේශිය ආර්ථිකයට කිසිම දායකත්වයක්‌ නොලැබුණු නමුත් සහ නීත්‍යානුකූලව පත් වූ ලංකා ආණ්‌ඩුවට එම ප්‍රදේශය තුළ මොන අයුරකින් හෝ පාලනයක්‌ නොතිබූ නමුත්, එම ප්‍රදේශවල කොටින් ඇතුළු සියලු ජනතාවගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ගමනාගමනය සහ රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය. එසේ දකුණේ ජනතාවගෙන් නඩත්තු වූ කොටි සංවිධානය ඌරගේ මාළු ඌරගේ පිට තබා කපන ආකාරයට දකුණේ ජනතාව සහ ආර්ථිකය ඉවක්‌ බවක්‌ නොමැතිව විනාශ කළේය.

ද්‍රවිඩ ජනතාවගේ මානව හිමිකම්

ලෝකයේ බලවත්ම රටවල් පමණක්‌ නොව කොටින්ට හිතවත් යෑයි සැලකෙන නෝර්වේ වැනි රටවල් පවා ඉදිරිපත් කළ විසඳුම් සියල්ල ප්‍රතික්‍ෂේප කරමින් ඉහත සඳහන් පරිදි කොටි කටයුතු කළේ ඔවුන්ගේ එකම අරමුණ වූ වෙනම රාජ්‍යයක්‌ බිහිකිරීම ඉටුකර ගැනීමට මිස ද්‍රවිඩ ජාතික සුබසෙත පිණිස නොවේ. නිජභූමි සංකල්පය සහ ස්‌වයං තීරණ අයිතිය වැනි දේවලට මුවා වෙමින් ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉපවූ කොටි එම මුදල්වලින් කොටසක්‌වත් ද්‍රවිඩ ජනයාගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම්වත් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට හෝ සංවර්ධනයට ආයෝජනය කර ද්‍රවිඩ ජාතික සුබ සිද්ධිය වෙනුවෙන් හෝ ඔවුන්ගේ ආර්ථිකය ශක්‌තිමහත් කිරීම වෙනුවෙන් යෙද වූ බවට කිසිම සාක්‌කියක්‌ නොමැත.

කොටි ක්‍රියාකාරකම් නිසා උතුරු - නැගෙනහිර දෙපළාතේ ඉතා දියුණුව පවත්වාගෙන ගිය කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය මහා සහ සුළු පරිමාණ කර්මාන්ත, ගෘහ නිෂ්පාදන කර්මාන්ත ද බිඳ වැටුනු අතර ඉදිරි සංවර්ධන ව්‍යාපාර ආරම්භ කිරීම ද සම්පූර්ණයෙන් ම ඇන හිටියේය. එමගින් ජනතාවගේ විරැකියාව සහ දුප්පත්කම ඉහළ ගියේය. දකුණේ මෙන් නොව එකී දෙපළාතේ කර්මාන්ත. යෑපුම් මට්‌ටමෙන් ඉහළ ගිය බාහිර වෙළෙඳපොළ ඉලක්‌ක කරගත් ඒවා විය. මෙම තත්ත්වය මහ බැංකු වාර්තාවලින් තහවුරු වෙයි. දළ ජාතික නිෂ්පාදනයට 30% කට වැඩි දායකත්වයක්‌ ලබා දුන් එකී දෙපළාතෙන් අද ලැබෙන්නේ 5% ටත් අඩු දායකත්වයකි. එම පළාතවල ආර්ථික කටයුතුවල කඩාවැටීම එයින්ම පැහැදිලි වේ. එමගින් අනිවාර්යයෙන් සිදුවන විරැකියාව සහ දුප්පත්කම වැඩිවීම තුළින් එම පළාත්වල ජනතාවගේ මූලික නිදහස සහ මානව අයිතිවාසිකම් විනාශ වී යන අතර, රටට සම්පත් අහිමිවීමෙන් මුළු රටේම ජනතාවගේ මානව හිමිකම් කඩවේ. එබැවින් මූලික අයිතිය නැතිකරන මානව හිමිකම් කඩකරන සමාජයේ දරණුම හතුරා ත්‍රස්‌තවාදය බව තහවුරු විය.

ත්‍රස්‌තවාදය සිවිල් සමාජයේ දරුණුම හතුරා වේ

මෙවැනි තත්ත්වයක්‌ යටතේ ත්‍රස්‌තවාදය යනු සිවිල් සමාජයේ දරුණුම හතුරා බවත්, මිනිස්‌ අයිතිවාසිකම්වල දරුනුම කඩකරන්නා බවත් පසක්‌ වූ අතර, ශ්‍රී ලංකා ජනතාවගේ මිනිස්‌ අයිතිවාසිකම් විනාශ කරන කොටි ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම අනිවාර්ය විය. ඒ සඳහා බලවත්ව සහ ශක්‌තිමත්ව තදබල ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වූ නමුත් රජය ද ත්‍රස්‌තවාදීන් මෙන් ත්‍රස්‌ත ක්‍රියාවල යෙදී ත්‍රස්‌තවාදය මර්දනය කිරීමෙන් අහිංසක ජනතාවගේ මිනිස්‌ අයිතිවාසිකම් තවදුරටත් කඩවන හෙයින් රජය රටේ පවතින නීතියට අනුකූලව ක්‍රියා කළ යුතු වෙයි. එසේ හෙයින් ත්‍රස්‌ත මර්දන ක්‍රියාවලිය ප්‍රජාතාන්ත්‍රික රජයකට ඉතා අපහසු කාර්යයකි.


නීතිඥ සරත්. එන්. පෙරේරා

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v