නටන්න - ගයන්න හපනුන් දීපේ
බලන්න මහතුනි නගන විලාපේ!

දූවිල්ලටත් ගින්දර ඇවිලෙන කොළඹ පොළවේ විඩාබර නෙතින් මැලවුණු වතින් සිටි ඔවුන්ගේ දර්ශනය තවමත් මා හඬවයි. ඈත ගම්දොර සිට කොළඹ රටට ආ මේ බොහෝ දෙනකුට රටටම කීමට තරම් දුක්‌බර කතාවක්‌ තිබිණි. කාර් බාර්වලින් ඉගිලෙන වයිවාරන්න මහත්තුරු හා නෝනලා කළු කන්නාඩි සහිත වීදුරු පහත් කර ඔවුන් දෙස බලති. ඉහින් කනින් පිරී ගිය බස්‌ රියක යන එන කෙනෙක්‌ද ඔවුන් දෙසට නෙත් හෙළති.

පිටකොටුව දුම්රිය පළ ඉදිරිපිට කලබලකාරී පරිසරය පිළිබඳ ඔබ අප කවුරුත් දනිමු. වැරහැලි හැඳගත් යාචකයන් බිම නිදා සිටින ඒ බිම්කඩේ දරු පැටවුන් තුරුළු කරගෙන බිම වාඩි වී සිටින තරුණ තරුණියන් පිරිස යාචකයෝ නම් නොවූහ. සරසවි බැලුම් ලද භාග්‍යවන්ත දරුවන් ලෙස එදා සමාජ මතු මහලෙහි සිටියෝය. එහෙත් අද සමහරු අම්මලාය. සමහරු පවුල් බරට උර දුන්නෝය. සමහරෙක්‌ දෙදරු මවුවරුය. දෙදරු මවුවරුන්ට අමතරව පියවරුද වූහ. මේ අව් කාෂ්ටකේ සුදු රෙදි පොරවා එක පෙළට වාඩි වී අව්වේ සිටින පිරිසක්‌ද එහි වූහ. යාචකයෙක්‌ද පැමිණ ඔවුන් අසලම බිම වාඩිවී දවල් බත්පත දිගහැර එය අනුභව කරනවාද අපි දුටුවෙමු. ඇතැම් විට මෙහි සැබෑ ගැඹුර නොදත් අයකු මොවුනගේ මේ ක්‍රියාව දැක ඔච්චමයට සිනාසෙන අයුරුද දුටුවෙමි.

මේ තරුණ පිරිස මේ කරන්නේ උපවාසයක්‌ යෑයි කවුරුන්දෝ කියනු ඇසිනි. අප ඔවුන් සමග කතා කරන්නට පටන් ගත්තේ කම්පිත හදවතකිනි.

මොවුහු අන් කිසිවකුත් නොව උපාධිධාරි රැකියා විරහිත පිරිසකි. සෞන්දර්ය උපාධි සහිත මේ උගතුන් පිරිස කොටුව දුම්රිය පළ ඉදිරිපිට කරන දුෂ්කර ක්‍රියාව අපට කියන්නේ මේ රටේ උසස්‌ අධ්‍යාපනයේ කතාන්තරයද? උගතමනා ශිල්පයමයි මතු රැකෙනා යෑයි සිතූ ඔවුන්ට අද ජීවත්වන මඟක්‌ නැති වී තිබේ.

අපේක්‌ෂා භංගත්වයෙන් පිරි ඔවුන්ගේ මුහුණ දුටු කල අප හද තුළ ඇති කළේ අනුකම්පාවට වඩා කෝපයකි. පොලිසියේ ඇත්තෝ බැටන් පොලුවලින් ගසා පන්නා දමන මේ උපාධිධාරීන්ගේ පපු තුළ කැළතෙන ප්‍රශ්න අසන්නට කිසිවෙක්‌ ඒ අසල නොවූහ. මොවුන් රටක කෑල්ලක්‌ ඉල්ලන ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ නොවන බව දනිමු. බලය ඉල්ලා සටන් කරන දේශපාලන කණ්‌ඩායමක්‌ ද නොවන බව පැහැදිලිය. එනිසාම අපි මේ අයගේ ප්‍රශ්න පිළිබඳ කතා කරන්නට ඔවුන් අසලට ගියෙමු.

උපාධිධාරීහු ත්‍රස්‌තවාදී කොටසක්‌ද? නැත. මොවුනට රස්‌සාවක්‌ දීම අපරාධයක්‌ දැයි අපි අසනු කැමැත්තෙමු. දෙනෝදාහක්‌ දෙනා නිකමට බලා ඔච්චමට සිනා සී යන මේ පිරිස හද තුළ හිරකරගෙන සිටින ප්‍රශ්නය ඇසීමට අපට සිත්වූයේ මන්දැයි නොදනිමු.

සෞන්දර්ය උපාධිධාරීන් රැකියා ඉල්ලා උපවාස කරන කොටුව දුම්රිය පළ ඉදිරිපිටට ගිය අපට අසන්නට, දකින්නට ලැබුණේ එකිනෙකට නොදෙවෙනි අඳෝනාය. උපාධියක්‌ ගත් මේ පිරිස මෙලෙස දුක්‌විඳීම එක අතකට අපරාධයකි. නොතැනක හෝ වරදක්‌ සිදුව ඇත. කුසට නිසි අහරක්‌ නොමැතිව, වැරහැලි ඇඳ දරුවන්ද කරපින්නාගත් උපාධිධාරීහූ අපි දුටුවෙමු. මොවුන් යාචකයන් බවට පත් කළේ කවුරුන්ද?

"අපි අවුරුදු හතරක්‌ ඉගෙන ගත්තේ සංගීතය. ඒ සංගීතය විෂයට අදාළව උපාධිය කළා විනා එහිදී ගණිතය අපට ඉගැන්වූවේ නෑ. සිංහල භාෂාව ඉගැන්නුවෙත් නෑ. නමුත් අපි අපේ විෂය පථය හොඳට දන්නවා. ඒ විෂය උපරිම ලෙස ප්‍රගුණ කළා. අපිට පුළුවන් සංගීතයට අදාළ ප්‍රශ්නවලට ඇස්‌දෙක පියාගෙන උත්තර ලියන්න. නැටුමට අදාළ වන්නම ලියන්න. චිත්‍ර ඇස්‌දෙක පියාගෙන වුණත් අඳින්න අපිට පුළුවන්. පොදු විභාගයක්‌ හරහා ගුරු වෘත්තියට උපාධිධාරීන් බඳව ගන්න කොට අපි අසමත්වීම අපිට නම් පුදුම නෑ. අඩුම තරමේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිංහල භාෂාව, ගණිතය, බුද්ධිමය ගැටලු ඉගැන්වූවා නම් අපිටත් සමත් වෙන්න තිබුණා. අපි කියන්නේ අපිට ගැලපෙන විභාගයක්‌ තියන්න කියලා අපිව ගුරු වෘත්තියට ගන්න. කොටුව දුම්රිය පළ ඉදිරිපිට උපවාස කරන උපාධිධාරීන් අප සමග කියා සිටියේ ඒ ටිකය.

මේ උපාධිධාරීන්ගේ කඳුළු කතා අපමණය. මාතර, වැලිගම එම්. ටී. චන්දිමා නිල්මිණිගේ පියා ධීවරයෙකි. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී කොළඹට ආවේ දැඩි ආර්ථික අපහසුතා මැදය. නාට්‍ය හා රංග කලාව හදාරා උපාධිය ගත් ඈ මුහුදේ දුක්‌ විඳින පියාට සරමක්‌ කමිසයක්‌ අරන් දීමට ඇඟිලි ගැන්නේ විශ්වවිද්‍යාලයට පැමිණි පළමු දිනේ සිටය. ඇයගේ මල්ලිට, නංගිට අයියට බරක්‌ නොවී සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඇය අදටත් කන්නේ අඳින්නේ අයියා ත්‍රිරෝදය එළවා සොයන මුදලිනි. තම තාරුණ්‍යය විශ්වවිද්‍යාලයේ නැටුම් අතර දිය වී යද්දී පියාද පසුගිය මස ඔවුන් අතැර යළි නොඑනෙ ගමන ගියේය. උපාධිය අනේ තබාගෙන අද කොටුව දුම්රියපළ ඉදිරිපිට හඬන්නේ කාගේ වරදින්දැයි අපි නොදනිමු.

රුවන්වැල්ලේ උපන් තවත් උපාධිධාරිනියක්‌ අපට හමුවිය. ඇය අද කල වයස ඉක්‌ම වූ උපාධිධාරිනියකි. උපාධිය ගෙන විවාහ වී දෙමාපියන්ට බරක්‌ නොවී ජීවත් වීමට පෙරුම් පිරූ ඇය මුළු පවුලටම බරකි. තාත්තා ගොවි තැනෙන් සොයන සොච්චම් මුදලින් දැවැදි ගත හැකිද? දැවැදි නැති මා රැගෙන යන සත්පුරුෂයා කවුරුදැයි ඇය අපෙන් ඇසුවාය. "දුප්පත් අපි දුප්පත් කමින් ගොඩ එන්න හිතාගෙන ඉගෙන ගත්තා. අන්තිමේදී වයසට ගිහින්. උපාධිය අතේ තියන් ගුරුවරු වෙන්න හීන දකින අපිට මැරෙනවා ඇරෙන්න වෙන මුකුත් ඉතුරු වෙලා නෑ." ඇය නෙත් අගට ගැලූ කඳුළු බිඳු අතින් පිසමින් අසන්නේ උගත්කමට දෙන දඬුවම මෙයදැයි විමසමින්ය.

"ලංකාවේ ඕනෑම තැනක පාසලක උගන්වන්න අපි සූදානම්. උතුර නැගෙනහිර වුණත් කමක්‌ නෑ. දැන් අපි මේ ආරම්භ කරලා තියෙන උපාවාසයට රජය නිසි පියවර නොගත්තොත් මාරාන්තික උපවාසයකට යනවා. අපිට වෙන කරන්න දෙයක්‌ ඉතුරුවෙලා නෑ." රැකියා විරහිත සෞන්දර්ය උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පී. ඒ. එස්‌. මුතුකුමාරණ එසේ කීවේය.

"මේ දරුවන් අරගෙන උපවාසයට ආවේ අපිට රස්‌සාවක්‌ ඕන නිසයි. අපි දුප්පත්. දුප්පත් අපිට රස්‌සාවක්‌ ඕනේ. උපාධිය ගන්න ගොඩක්‌ මහන්සි වුණා. ඉඩ කඩන් උගස්‌ තියලා කහට කෝප්පය බිබී අපි අකුරු කළේ. මාව විවාහ කරගත් මගේ මහත්තයටත් හරිහමන් රස්‌සාවක්‌ නෑ. මේ දරුවට මාස පහයි. දරුවවත් අරගෙන මම මෙතැනට ආවේ උපාධියට හරියන රස්‌සාවක්‌ වෙනුවෙන් මේ කරන සටනට උදව්වෙන්න. අපේ ප්‍රශ්න කාට කිව්වත් වැඩක්‌ නෑ. අපිට උදව් කරන්න. මේ උපාධිධාරීන්ගේ රස්‌සා ප්‍රශ්නය වෙනුවෙන් අන්ධ නිලධාරින්ගේ ඇස්‌ අරින්න. පින්සිද්ධ වෙයි. මාලබේ ජයන්ති රත්නායක හඬමින් කියා සිටියේ ඒ ටිකය.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ගේ ප්‍රශ්න එමටය. ඇතැමුන්ගේ ප්‍රශ්න පුවත්පතේ ලිවීමට බැරිය. නම් ගම් සහිතව පත්තරවල ඔවුනගේ ප්‍රශ්න ලිවීම හරහා චරිත ඝාතනය වීමට ඉඩ ඇත. එනිසා ඒවා අපි නොලියා සිටින්නෙමු. උපාධිධාරීන්ගෙන් කිහිපදෙනකු මානසික රෝගීන් බවට පත්ව ඇතැයි අප සඳහන් කරන්නේ වගකීමෙනි. තත්ත්වය එය නම් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් උපාධිය ලබා පිටව යන අයට වන අසාධාරණය බරපතලය. උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමනි, අධ්‍යාපන ඇමැතිතුමනි, අධ්‍යාපන බලධරයිනි. මේ උපාධිධාරීන්ට සාධාරණය ඉෂ්ට කළ මැනවි. උපාධිධාරීන්ගෙන් රටට වැඩක්‌ විය යුතුය. මේ උපාධි ලැබූවන්ගෙන් වැඩක්‌ නොමැති නම් වැඩක්‌ ගත හැකි අධ්‍යාපනයක්‌ හඳුන්වාදිය යුතුය.

ශ්‍රී ලංකාවේ දැනට රැකියා විරහිත වියපත්ම උපාධිධාරීන් සිටින්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බව බොහෝ දෙනක්‌ නොදනිති. සංගීතය, චිත්‍ර මූර්ති, නාට්‍ය හා රංගන කලාව පිළිබඳ ප්‍රාමාණික විෂය දැනුමක්‌ සහ ප්‍රායෝගික දැනුමක්‌ තිබෙන මෙම පිරිස සංඛ්‍යාත්මකව එක්‌දහස්‌ දෙසීය පනහක්‌ පමණ වෙති. මොවුන් මෙරට රජයේ පාසල්වලට බඳවා නොගන්නේ මන්ද? රටේ ජාතික ධනය වැය කර උගන්වා උපාධි පිරි නමන ඔවුන්ගෙන් රටට ඵලක්‌ නැද්ද?

ශ්‍රී ලංකාවේ දැනට පාසල් 9662 ක්‌ තිබේ. මේ පාසල් අතරින් 328 ක්‌ ජාතික පාසල්ය. ශිෂ්‍යයන්ගේ ගණන ලක්‌ෂ හතළිස්‌ දෙකකි. ගුරුවරු දෙලක්‌ෂ දාහත් දහසකි. මේ ගුරුවරුන් ගත් කල ඔවුනගෙන් කී දෙනෙක්‌ ඉගැන්වීමේ කාර්යයට සුදුසුදැයි අපිs නොදනිමු. මේ ගුරුවරුන් අතර අභ්‍යාසලාභී ක්‍රමය යටතේ එවකට ජනාධිපති වූ ප්‍රේමදාස මහතා විසින් පත්වීම් ලබාදුන් ජනසවිලාභී ගුරුවරු 12,000 ක්‌ ද සිටිති. මොවුන්ගෙන් පිරිසක්‌ තවමත් ස්‌ථිර සේවයට බඳවා ගැනීමට බාධාවක්‌ වී ඇත්තේ ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය අසමත්ව සිටීම යෑයි පසුගියදා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දැනට රජයේ සහ රජයේ අනුමත පාසල්වල උගන්වන ඇතැම් ගුරුවරුන් උගන්වන්නේ මොනවාදැයි ඇතැම්විට ඔවුන් පවා නොදන්නා බව අපි දනිමු. ටියුෂන් පංති නොවන්නට මේ රටේ අධ්‍යාපනය ලබන දරුවන්ට දෙවි පිහිට මිස වෙනින් පිහිටක්‌ නොවීමටද ඉඩ තිබිණි. ටියුෂන් ගුරුවරයා යහමින් මුදල් ගනිමින් දිසාපාමොක්‌ චරිතයට පණ දෙන්නේ රජයේ පාසල්වල සිටින උකටලී ගුරුවරයා නිසාමය.

මේ අතර විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගන්නා උගත් පිරිස පසුගිය දශක පහ, හයේම කළේ බෝඩ් උස්‌සාගෙන මහමඟ උද්ඝෝෂණ කිරීමය. පොලිස්‌ රාළහාමිලා බැටන් පොල්ලේ සවි ශක්‌තිය බැලීමට උපාධිධාරීන්ට තඩි බෑවේද මෙවන් ගුරු හිඟයක්‌ රට තුළ තිබියදීය. උපාධිධාරියා මහ කරදරයක්‌ ලෙස දුටු රාජ්‍ය නායකයන් සිටි රටක උපාධිධාරියාට උරුම වූයේ මරණය ය. 88 - 89 භීෂණ කාලය මේ රටේ උපාධිධාරියා මුහුණ දුන් කාලකණ්‌ණිම කාල පරිච්ඡේදය යෑයි කීමේ පදනමක්‌ද ඇත.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා උපාධිධාරීන්ට සැලකූ රාජ්‍ය නායකයෙකි. ජනතා විමුක්‌ති පෙරමුණද උපාධිධාරීන්ට සැලකූ දේශපාලන පක්‌ෂයකි. ජනතා විමුක්‌ති පෙරමුණේ පදනමද විශ්වවිද්‍යාලය ය.

දැන් ප්‍රශ්නය තිබෙන්නේ සෞන්දර්යය විශ්වවිද්‍යාලය පිළිබඳවය. ඒ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් 1250 ක පිරිසක්‌ කොටුව දුම්රිය පළ ඉදිරිපිට උපවාසයක නිරත වෙති. වැස්‌සේ තෙමෙමින්ද අව්වට වේලෙමින්ද උපවාසය කරන මොවුන් අසල කිරිබොන වයසේ දරුවෝද වෙති. උගත්කම යාචක මට්‌ටමට වැටෙන තුරු නිදා සිටින බලධාරීන් මොවුනට සාධාරණය ඉෂ්ට නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයකි. නමුත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා සිටින මේ 1250 ක පිරිසට රජයේ පාසල්වල ගුරු පත්වීම් ලබාදීමට නොහැකි යෑයි අපි නොසිතමු. මේ උපවාසයේ යෙදී සිටින පිරිස්‌ අද (16 වැනිදා) වනවිටත් කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාසයේ යෙෙදී සිටිති. දැනට දින 14 ක්‌ ඔවුහු මේ සටනේ නිරත වෙති.

1995 අපොස උසස්‌ පෙළ විභාගය සමත් කළ පිරිසක්‌ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට බඳවාගනු ලැබුවේ 2000 වසරේදීය. ඒ අධ්‍යාපන හා ප්‍රායෝගික පරීක්‌ෂණ මතය. 2005 මැයි 01 වැනිදා මොවුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන විට ඒ අයට වයස අවුරුදු තිහකි. 2005 සිට උපාධිය සහිතව රස්‌සා සොයමින් ගත කළ පසුගිය වසර හතර අවසන් වී ඇති මේ මොහොතේ ඔවුන්ගේ වයස අවුරුදු තිස්‌ හතරකි. ඇතැමෙකු වයස අවුරුදු තිස්‌නවයද පසුකර අවසන්ය.

සෞන්දර්ය විෂයට අයත් සංගීතය, නාට්‍ය හා රංග කලාව, චිත්‍ර හා මූර්ති නොදත් පිරිස්‌ පාසල්වල නොසිටින්නේ යෑයි යමෙකුට කීමට හැකිද? ජාතික යෑයි කියන පාසල් 328 හි නම් සෞන්දර්ය විෂයයට ප්‍රමාණවත් සුදුසුකම් සහිත ගුරුවරු සිටිති. සුපිරි පංතියකට සුපිරි ගුරුවරුද ගමට අභ්‍යාසලාභී සහ උකටලී ගුරුවරු ද යෑවීම මෙරට අධ්‍යාපනයේ ස්‌වභාවයයි. පංති පරතරය එදාට මෙන්ම අදට ද පොදු බව මෙරට ක්‍රියාත්මක අධ්‍යාපන රටාව තුළින් හඳුනාගැනීමට බැරි කමක්‌ නැත.

එනිසා දැන්වත් මෙරට පාසල්වලට ගුරුවරු බඳවා ගැනීමේදී ඉගැන්වීමට සමත් ඇසූපිරූ, උගත්, බුද්ධිමත් පිරිසක්‌ තෝරා ගන්නා ක්‍රමයක්‌ සැකසිය යුතුය. එහි මුල් පියවර ලෙසින් සෞන්දර්ය විශ්වවිද්‍යාලවලින් හා විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ගන්නන් ඉගැන්වීමට සමත් නම් ඔවුනට පත්වීම් ලබාදීමේ ජාතික වැඩසටහනක්‌ ක්‍රියාත්මක කළ යුතුය.

අධ්‍යාපන විද්‍යාපීඨ ක්‍රමය මඟින් බිහිවන ඩිප්ලෝමා ගුරුවරුන් ඉගැන්වීමට සමත් දක්‍ෂ පිරිසක්‌ බව මේ රටේ ගුරුවරු පමණක්‌ නොව ශිෂ්‍යයන්ද හොඳින් දන්නා කාරණයකි. අධ්‍යාපන විද්‍යා පීඨ ක්‍රමය ඇති කළේ එවකට අධ්‍යාපන ඇමැති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතාය.

ලකුණක්‌ දෙකක්‌ මදි වී විශ්වවිද්‍යාලය අධ්‍යාපනය අහිමි වන ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපන විද්‍යා පීඨ මගින් ලබාදෙන ගුරු පුහුණු විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන පිරිසටත් ලබාදීම වඩා ප්‍රායෝගික වැඩසටහනකැයි අපි කල්පනා කරමු. එසේ නොකර ඉගැන්වීමට අකැමැති, ඊට නුසුදුසු පිරිස්‌ වෙත රස්‌සා නොමැති නිසා ගුරු පත්වීම් දීමද අනුමත කළ නොහැක්‌කකි. ගුරුවරයා යනු රටක ජීවනාලිය ය. අනාගත දරු පරපුර නිවැරැදි තැනට ගෙන ආ යුත්තේ පාසල් අධ්‍යාපනයෙන්ය. විෂය දැනුම පමණක්‌ නොව විෂය බාහිර කටයුතු පවා ඉගැන්වෙන අධ්‍යාපන ක්‍රමයක්‌ රටට අවැසිය.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ වසර හතරක්‌ ඉගෙන ගන්නා ශිෂ්‍යයකු උපාධිය ගත්පසු ඔහු තමන්ට අයත් විෂයේ ප්‍රාමාණික දැනුම් ඇත්තෙකි. එහෙව් උපාධිධාරියකු වෙනුවට සාමාන්‍ය පෙළ විභාගයේදී චිත්‍රයක්‌ ඇඳි අයකු දරුවන්ට චිත්‍ර උගන් වන්නේ නම් දරුවා පමණක්‌ නොව ඒ ගුරුවරයාට ද එය අවනම්බුවකි. ඇවිදීමට පවා අපහසු ගුරුවරු නටන්නට උගන්වන පාසල් අපි දැක ඇත්තෙමු. නාට්‍ය හා රංග කලාව විෂය මූලිකව හා ප්‍රායෝගිකව ඉගෙන ගත් උපාධිධාරීහු කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණ කරන විට පාසල්වල පංති කාමරයේ සිටින්නේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ හසරක්‌ නොදන්නා ගුරුවරුය. සරිගමපදනි ස්‌වර හත නොදත් අය දරුවන්ට සංගීතය උගන්වනවා බැලීමට නම් මෙරට ගමක පිහිටි පාසලකට යා යුතුය. සෞන්දර්ය විෂය සිත් සමාධි කරවන විෂයකි. මේ විෂය ධාරාව පාසල්වල දරුවන්ට ඉගැන්වීමට ප්‍රාමාණික දැනුමක්‌ ඇති උන් බිහිකිරීමට ස්‌ථාපිත කළ සෞන්දර්ය විශ්වවිද්‍යාලය බෝඩ් ලෑල්ලකට සීමා වන්නේ නම් එය ජාතික අපරාධයක්‌ වන්නේය.

සෞන්දර්ය ආයතනය කැලණි විශ්වවිද්‍යාලයට අයත් පීඨයක්‌ ලෙස පවතිත්දී 2004 දී එය සෞන්දර්ය විශ්වවිද්‍යාලයක්‌ බවට පත් කළේය. ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙසත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ලෙසත් සිටි කාලයේදීය. පාලන තන්ත්‍ර වෙනස්‌ වන විට අධ්‍යාපන ක්‍රමත් ඒ අනුව වෙනස්‌ වීම රටකට හිතකර නැත. අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්‌ අවශ්‍යය. අධ්‍යාපනයට පමණක්‌ නොව සෑම දෙයකටම දේශපාලනයෙන් වෙන්වූ පොදු ප්‍රතිපත්තියක්‌ අවශ්‍යය. මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ට තිබෙන එකම රැකියාව ගුරු වෘත්තිය බව ඒ අයම පිළිගන්නා දෙයකි. පසුගිය කාලයේදී උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවා ගන්නා අවස්‌ථාවේ මේ පිරිසද ඒ තරග විභාගයට ඉදිරිපත් වූහ. නමුත් මොවුන් දන්නේ සංගීතය, නැටුම, රංගනය හා චිත්‍ර ඇඳීම යන කාරණාය. එහෙව් පිරිසකට ගණිත ගැටලුවක්‌ විසදන්න යෑයි කීම ගැටලුවකැයි ද සෞන්දර්ය උපාධිධාරීහු පවසති. සෞන්දර්ය උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ඉක්‌මනින්ම විසඳෙනු දැකීම අපේ පැතුමය.

ශිරාන් රණසිංහ
ඡායාරූප - චන්ද්‍රසිරි වීරසිංහ

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v