විද්වත් හමුව

නව කෘෂි ආර්ක රටාවක පදනම
ඌවෙන් පටන්ගන්න පුළුවන්!
මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර

එදා නොදියුණු ලංකාව තුළ ඌව සශ්‍රීක පළාතක්‌ විය. වී ගොවි තැනින් රටට ම බත සැපයූ මේ පළාතේ මැණික්‌ මිලදී ගැනීම සඳහා බොහෝ රටවලින් වෙළෙන්දොa ආ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එහෙත් මෙදා දියුණු ශ්‍රී ලංකාව තුළ ඌව අන්ත දිළිඳු පළාතකි. එහි සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග පහසුකම් සියල්ල අද පිරිහී ගොස්‌ තිබේ. ඉතිහාසයේ සශ්‍රීකව පැවති ඌව පළාතට මෙවන් ඉරණමක්‌ අත්වූයේ ඇයි? අතීත ශ්‍රී විභූතියෙන් මේ පළාත යළි සංවර්ධනය කළ නොහැකිද?

කෘතහස්‌ත ඉතිහාසඥයකු වන මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීරයන් පළකරන අදහස්‌ කිහිපයකි මේ.

අපේ රටේ ඉතිහාසය තුළ ඌව පළාතට හිමිවන විශේෂත්වය කුමක්‌ද?

ඌව පළාත සලකුණු කළේ ඉංග්‍රීසින් විසිනුයි. නැගෙනහිර, ඌව, සබරගමුව, දකුණ කියන පළාත් ඉංග්‍රීසින් විසින් ලංකා සිතියමේ ඉරි ගහල ලකුණු කළේ රටේ පාලනය පහසු කිරීම සඳහායි. විශේෂයෙන්ම කන්ද උඩරටට ඇතුල්වීම සඳහා තමයි මෙලෙස පළාත් වෙන්කළේ. මෙයින් කළේ කාලාන්තරයක්‌ තිස්‌සේ සරුසාර භූමි භාගයක්‌ව පැවති රුහුණු ප්‍රදේශය බෙදා වෙන් කිරීමක්‌.

රුහුණ ලෙස එදා හැඳින්වූවේ මහවැලි ගගෙන් දකුණ සමනළ කන්දෙන් දකුණ කළු ගඟෙන් හෝ බෙන්තර ගඟෙන් දකුණ යන ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ වරායවල් ගණනාවක්‌ තිබණා. දකුණේ මේ ප්‍රදේශ හරහා සරුසාර ගංගා ගලා බැස්‌ස, ගල්ඔය නදිය, කුඹුක්‌කන් නදිය, කිරිඳි ඔය, වළවේ ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ සහ ගිංගඟ ඒවායි. රුහුණු ප්‍රදේශයේ මේ ගංගාවල් මුහුදට වැටෙන තැන්වල සරුසාර තොටුපළවල් තිබුණා. මේ තොටුපළවල් සමග අන්තර්ජාතික වෙළෙම සම්බන්ධවෙලා තිබුණා. මේ නිසා රුහුණ වැදගත් පාලන ප්‍රදේශයක්‌ වුණා.

පසු කාලයේ මේ රුහුණ කොටස්‌වලට බෙදුන. මහවැලි ගඟයි ගල්ඔය නදියටයි මෙහා ප්‍රදේශය රුහුණ ලෙස හැඳින්වුණා. කළුගඟ සීමාකරගෙන තිබුණු රුහුණ බෙන්තර ගඟට සීමා වුණා. ඉංග්‍රීසි කාලෙ, පෘතුගීසි කාලෙ, ලංදේසි කාලෙ වෙනකොට අද ඌව නමින් හැඳින්වෙන ප්‍රදේශය වෙන් වෙනවා. අද ඌවට වලවේ ගංගා නිම්නය, කිරිඳි ඔය නිම්නය, කුඹුක්‌කන් ඔය නිම්නය හා ගල්ඔය නිම්නය අයිතියි. ඌවට මේ ගංගා සමග අන්තර්ජාතික වෙළෙම හා සම්බන්ධ වැදගත් තොටුපළවල් රාශියක්‌ තිබුණ. කිරින්ද, අම්බලන්තොට එනම් වලවේ ගඟ වැටෙන තැන. මෙය ගොඩවාය ලෙසයි හැඳින්වෙන්නෙ. ගොඩවාය ක්‍රිස්‌තු පූර්ව ගණන්වල සිට ලංකාවේ සරුසාර වරායක්‌. චීනය හා රෝමය අතර වෙළෙම කෙරුණ සේද මාවතේ වැදගත් වරායක්‌ ලෙස ගොඩවාය සැලකුණා. චීනයේ සිට රෝමයට යන නැව්වල සේද පටවාගෙන අග්නිදිග ආසියාවේ මලයාව සුමාත්‍රාව ආදී වරායවල් හරහා මලක්‌කාවට පැමිණුනා. මලක්‌කාවෙන් බස්‌නාහිරට තිබෙන්නෙ ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය හරහා රතු මුහුදෙන් ඇතුළුවීමට විශාල දුරක්‌ යන්න වෙනවා. ඒ නිසා එම පාරේ ඉතා හොඳ වරායක්‌ ලෙස ජනප්‍රිය වෙලා තිබුණෙ මේ ගොඩවාය. ඒ නිසා මේ අවශ්‍යතා සඳහා ගොඩවාය වරායට චීන නැව් රෝම නැව් පැමිණියා. වලවේ ගංගා නිම්නයේ හමුවන නිල් මැණික්‌ ලෝක ප්‍රසිද්ධ වෙන්න මේ නැව් ගමනාගමනය ප්‍රධාන හේතුවක්‌ වුණා.

දුටුගැමුණු සහ සද්ධාතිස්‌ස යුගයේදී වී වගාව ඌවේ ඉතා දියුණු තත්ත්වයක පැවැතුණා. දිගාමඩුල්ල ලෙස හැඳින්වුණෙ ඌව වෙල්ලස්‌ස ප්‍රදේශයයි . ප්‍රධාන වශයෙන් තැනිතලාවක්‌ වූ මේ ප්‍රදේශයේ කාවන්තිස්‌ස රජ සමයේදිත් විශාල ජනගහනයක්‌ සහිත ප්‍රදේශයක්‌. අනුරාධපුරයේ සිට මාගම දක්‌වා එකදිගට ජනපද තිබූ බව වංශකථාවල දැක්‌වෙනවා.

ඉතිහාසයේ මෙතරම් වැදගත් සශ්‍රීක පළාතක්‌ව පැවති ඌව අද අපේ රටේ දිළිඳුම පළාතක්‌ වී තිබෙන්නේ ඇයි?

එය මේ ප්‍රදේශයට මුහුණදීමට සිදුවුණ දුෂ්කර අභියෝග ගණනාවක්‌ නිසා ඇතිවුණ තත්ත්වයක්‌. දොළොස්‌ අවුරුද්දක්‌ තිස්‌සේ පැවති නියංසාය එක හේතුවක්‌. වලගම්බා රජ සමයේ බ්‍රාහ්මණ තිස්‌ස නම් පුද්ගලයකු ඇති කළ කැරැල්ලක්‌ මර්දනය කළ පසු ඇති වුණු සාගතය බැමිණිටියා සාය නමින් හැඳින්වුණා. බුදුදහම ඉතාමත් දියුණුව පැවති ඒ සමයේ රහතුන් වහන්සේලා පවා සිටි බව පැවැසෙනවා. ගම්බිම් පිටින් වියෑළී ගොස්‌ මහා නියඟයක්‌ පැතිරී සතුන් පවා දහස්‌ ගණනින් මියගිය බව වංශකථාවල සඳහන් වෙනවා. ගස්‌වල කොළ, පොතු පවා අනුභව කර ජීවිතය රැකගැනීමට ජනතාවටත් භික්‍ෂූන් වහන්සේටත් සිදු වූ බව එහි දැක්‌වෙනවා. භික්‍ෂූන් වහන්සේ තම තමන්ගේ ගුරු පරම්පරාවලින් එන කට පාඩමින් ධර්මය රැකගෙන ආ පිළිවෙත් පිළිපදිමින් ඉතා දුෂ්කර දිවියක්‌ ගෙවූ බව අටුවා කථාවල සඳහන් වෙනවා. මේ දොළොස්‌ වසරක මහා නියඟයෙන් ඌව පළාත මුළුමනින්ම විනාශ වූ බව ඉතිහාසයේ දැක්‌වෙනවා.

ඊළඟ දුෂ්කර සමය ඇරඹෙන්නේ මහා පරාක්‍රමබාහු රජ සමයේ රුහුණේ ඇතිවුණු කැරැල්ලෙන්. දළදා වහන්සේ රාජ්‍යත්වය හිමි පුද්ගලයා සතුව තිබිය යුතු බැවින් පරාක්‍රමබාහු රජුට රුහුණ ආක්‍රමණය කරන්න සිදුවුණා. මේ ආක්‍රමණයෙන් රුහුණෙ සිටි ජන නායකයෝ විශාල වශයෙන් ඝාතනය වුණා. එකොළොස්‌ වැනි සියවසේ සිදුවුණ මේ ආක්‍රමණයෙන් විශාල වශයෙන් ජනතාවත් ඔවුන්ගේ කෙත්වතු බව බෝගාදියත් විනාශ වුණා. දොළොස්‌වැනි සියවසේ මාඝ ආක්‍රමණයෙන් පස්‌සේ මේ ප්‍රදේශ වනගත වුණා. යළි මේ ප්‍රදේශවල යම් දියුණුවක්‌ ඇතිවුණේ ගම්පල හා නුවර යුගයන්හිදියි.

ඉන්පසු නැවත වැදගත් සිදුවීමක්‌ වුණේ 1638 දෙවැනි රාජසිංහ රජු සමයේ සිදු වූ වැල්ලවාය රන්දෙණිවෙලේ සටනයි. කොන්ස්‌ටන්ටයින් ද සා නම් පෘතුගීසි සෙන්පතියා සමග පෘතුගීසි සේනාවක්‌ බදුල්ල ආක්‍රමණය කරන්න පැමිණියා. බදුල්ල ආක්‍රමණය කළ ඔවුන් වැල්ලවාය ප්‍රදේශයට පැමිණියා. ඒ වනවිට රජ කළ දෙවැනි රාජසිංහ රජු වැල්ලවායට සේනාවක්‌ යෑව්වා. පෘතුගීසි සෙන්පතියාගේ සේනාවේ ලංසක්‌කාර නමින් සිංහල සේනාවක්‌ද සිටියා. ඔවුන් පෘතුගීසින් සමග එක්‌ව සිංහලයන්ට එරෙහිව සටන් කළ සිංහල හේවායො. එම හේවා පන්නයට නායකත්වය දුන් කොස්‌මෝ කුලතුංග නමැති සෙනෙවියා එහිදී තම සෙනවියන්ට හා හේවායන්ට දීර්ඝ ආයාචනයක්‌ කරමින් පෘතුගීසින් සමග එක්‌ව තම ජාතිය වැනසීම දැන් නතර කළ යුතු බවත් මේ පෘතුගීසින් පන්නා දැමීමට දැන් රජුට සහයෝගය දැක්‌විය යුතු බවත් කියා සිටියේය. පෘතුගීසි හමුදාව සමග වැල්ලවායේ රන්දෙණිවෙලට පැමිණි මේ සිංහල හේවා පන්නයේ සියලු දෙනා තම නායකයාගේ අදහසට එකඟ වුණා. මේ වනවිට දෙවන රාජසිංහ රජුගේ සිංහල සේනාව රන්දෙණිවෙල අවට කඳුවල කඳවුරු බැඳගෙන සිටියා. එදින මහවැසි සහිත දිනයක්‌. ඒ අවස්‌ථාවේදී පෘතුගීසි සෙන්පතියා හමුවූ කොස්‌මෝ කුලතුංග සෙනවියා සිංහල හමුදාව තමුන් වට කොට ඇති නිසාත් වර්ෂාව නිසා වෙඩි බෙහෙත් තෙමී ඇති නිසාත් සිංහල හමුදාවට යටත් වෙමු යෑයි යෝජනා කර තිබෙනවා. ඔහු ඊට අකැමැති වූ නිසා කැමැති නම් ඔහු ආරක්‍ෂා සහිතව කොළඹට පිටත් කර හරින්නටත් මේ සිංහල සෙනවියා යෝජනා කර තිබෙනවා. මෙහිදී ඒ සියල්ල ප්‍රතික්‍ෂේප කළ පෘතුගීසි සෙන්පතියා තමන් පැමිණියේ යටත්වීමට හෝ පලායැමට නොව යුද්ධ කිරීමට යෑයි පවසා සිංහල සේනාව සමග යුද වැදී තිබෙනවා. එම සටනේදී පෘතුගීසින් සමග පැමිණි සිංහල හේවා පන්නයන් සිංහල රජුගේ සේනාව හා එක්‌වී පෘතුගීසීන් සමූල ඝාතනය කර තිබෙනවා. 1638 දී සිදුවූ මේ මහා සටනින් බදුල්ලත් වැල්ලවායත් මග දෙපස විනාශ වී තිබෙනවා.

මේ වන විට කන්ද උඩරට හා ඌව අතර වෙළෙමේ වැඩිපුර නිරතව සිටියේ මුස්‌ලිම්වරු. ඔවුන් පෘතුගීසීන්ගේ සහ ලන්දේසීන්ගේ හේවායන් වශයෙන්ද කටයුතු කර තිබෙනවා. 1818 ඌව වෙල්ලස්‌ස කැරැල්ලට පසුබිම් වන්නේ බදුල්ලේ ආදායම් බදු එකතු කිරීමට සිටි සිංහල ජාතිකයා ඉවත් කර ඉංග්‍රීසින් ඊට මුස්‌ලිම් ජාතිකයකු පත්කිරීමයි. ඌව පළාත මුහුණදුන් තවත් අතිශය දුෂ්කර අවස්‌ථාවක්‌ ලෙස මේ කැරැල්ල හඳුන්වන්න පුළුවන්.

කැරැල්ල මැඬලීමට ආණ්‌ඩුකාරවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කළ පසු ඉංග්‍රීසි සෙබළුන් වඩාත් සාහසිකව සිංහල ජනතාවත් ඔවුන්ගේ දේපළත් මුළුමනින් විනාශ කරන්නට පටන්ගත්තා. සියලු සිංහල නිවෙස්‌ ගිනි තබන්නටත් වයස අවුරුදු 14 වැඩි සිංහලයන් වෙඩි තබා ඝාතනය කරන්නටත් හරකුන් වැනි සතුන් මරා දමන්නටත් කෙත් වතු ගිනි තබන්නටත් යුද නීතිය තුළින් ඉංග්‍රීසි සෙබළුන්ට අණ ලැබුණා. මේ නිසා මුළු ඌවම ගිනි ගත්තා. ඉතිහාසයේ ඌව වෙල්ලස්‌සට විශාලම හානිය සිදුවුණේ මෙහිදීයි.

1818 සිදු වූ මේ විනාශයෙන් පස්‌සේ 1931 වනවිට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වෙලා ජනතා නියෝජිතයො තෝරල තිබුණා. නමුත් ඌව පළාතේ එය ක්‍රියාත්මක කරන්නට බැරිවුණේ එහි යටිතල පහසුකම් කිසිවක්‌ නොතිබූ නිසයි. කිසිදු පාරක්‌ පාසලක්‌ ඒ වනවිට ඌව පළාතේ තිබුණේ නැහැ. 1948 දී නිදහස ලබා රටේ අනෙක්‌ ප්‍රදේශවල යම් තරමක දියුණූවක්‌ ඇති වුවත් ඌව පළාතට එයත් ලැබුණේ නැහැ.

ඉතිහාසයේ ඉතාමත් සශ්‍රීකව තිබුණු මේ පළාතේ ඒ සශ්‍රීකත්වය යළි ළඟකර ගැනීම සඳහා කවර වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුද?

පළමුවෙන්ම මේ පළාතේ බිඳවැටී ඇති යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු වෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග කටයුතු යළි ගොඩනඟන්නට වෙනවා. මේ පළාතේ තිබෙන පැරණි වැව් මුළුමනින්ම ප්‍රතිසංස්‌කරණය කරල කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම ක්‍රමවත් කරන්නට අවශ්‍යයි. ඉතිහාසයේ අපේ රටේ ධාන්‍යාගාරය ලෙස හැඳින්වුණු මේ පළාත යළිත් ඒ තත්ත්වයට පත්කරන්න පුළුවන්.

මේ ප්‍රදේශයේ මැණික්‌ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අතීතයේත් මේ ප්‍රදේශය මැණික්‌ පිළිබඳ ලෝක ප්‍රසිද්ධ වූ පළාතක්‌. වලවේ සහ කිරිඳිඔය නිම්නය මැණික්‌ බහුලයි.

හම්බන්aaaතොට අන්තර්ජාතික වරායක්‌ හැටියට අද බිහිවෙන්නෙ එදා තිබුණු ගොඩවාය වරායයි. අග්නිදිග ආසියාවේ ගොඩබිමට ආසන්න ඉතාම ගැඹුරු මුහුද තිබෙන්නේ මේ ප්‍රදේශයෙයි. එනම් අම්බලන්තොට සිට හම්බන්තොට ප්‍රදේශයයි. එමනිසා විශාල නැව්වලට වුවත් ගොඩබිම ආසන්නයටම පැමිණීමේ හැකියාව මේ වරාය ඉදිවීමත් සමග ලැබෙනවා.

කොළඹ සිට හම්බන්තොටට ඉදිවෙන අධිවේගී මාර්ගය, අන්තර්ජාතික ගුවන් තොටුපල ආදිය නිසා අනාගතයේ ඌවට වාසනාවන්ත කාලයක්‌ උදාවෙන බව පෙනෙන්නට තිබෙනවා. රටට අවශ්‍ය නව කෘෂි ආර්ථික රටාවක පදනම ඌවෙන් ආරම්භ කරන්න පුළුවන්.


සාකච්ඡා කළේ - පාලිත සේනානායක

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v