අත්අඩංගුවට ගත් පොලිස්‌ අධිකාරි
කොටි සමග සම්බන්ධකම් පවත්වලා


හේමන්ත රන්දුණු

ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් පොලිස්‌ අධිකාරි ලක්‍ෂ්මන් කුරේ නමැත්තා ඇමැති ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ඊට අමතරව විවිධ ප්‍රහාර සඳහා කොටි ත්‍රස්‌තවාදීන්ට අයත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම්කට්‌ටල සහ අධිබල බෝම්බ ප්‍රවාහනය කිරීමද මොහු විසින් සිදුකර ඇති බවට ද පොලිසිය සැක පහල කරයි.

මේ අතර මෙම පොලිස්‌ අධිකාරිවරයා කොටි සංවිධානයට වාහන ලබාදෙමින් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවද හෙළිදරව් වී තිබේ.

ඇමැති ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ මහතා අවසන් වරට සහභාගි වූ වැලිවේරියේ පැවැති උත්සවයේ ආරක්‌ෂාව භාරව සිට ඇත්තේද මෙම පොලිස්‌ අධිකාරිවරයා විසින්ය. එම ප්‍රහාරයේදී ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් කීපදෙනකු බරපතල තුවාල ලැබුවද මෙම පොලිස්‌ අධිකාරිවරයා අත්අඩංගුවට ගත් නිරුපද්‍රිතව සිටියේය.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටය පරීක්‍ෂා කිරීමේදී ප්‍රහාරය එල්ල කළ කොටි ත්‍රස්‌තවාදියා සැකකාර පොලිස්‌ අධිකාරිවරයාට අයත් මෝටර් රථය අසල සිටින අයුරු සටහන්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය සඳහා ද සැකකාර පොලිස්‌ අධිකාරිවරයාගේ සහාය ලැබෙන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

මෙම පොලිස්‌ අධිකාරිවරයා යාපනය ප්‍රදේශයේ රාජකාරි කළ කාල සීමාවේදී ද කොටි ප්‍රබලයන් සමග සමීපව කටයුතු කළ බවට චෝදනා එල්ලවී තිබිණි.

ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v