සිරිකොත ඇතුළේ ගාල ගෝට්‌ටි....

දයාසිරි ඉල්ලා අස්‌වෙයි
රංජිත්ගෙන් රවීට තර්ජන
සුරනිමලට ජොනීගෙන් කෑමක්‌
රේණුකා එළියට ඇද දමයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගිය සතියේ තවත් ඓතිහාසික ජයග්‍රහණයක්‌ ලබා ගත්තේය.... ලංකාවේ දේශපාලන නිරීක්‍ෂකයෝ ඌව පළාත් සභාව ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය හුවා දැක්‌වූවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලැබූ ජයක්‌ ලෙස නොව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් යුද්ධය ජයග්‍රහණය කොට නැවත වරක්‌ රට එක්‌සේසත් කිරීම වෙනුවෙන් ඌවේ ජනතාවගෙන් ලැබුණු නිමල භාග්‍යයක්‌ ලෙසය. ජනාධිපතිවරයා පසුගිය සතිය ගත කළේ එම විජයග්‍රහණයේ ආශ්වාදයෙන් ප්‍රමුදිතවය....

ඉකුත් 08 වැනි සෙනසුරාදා නොහොත් ඌව පළාත් සභාවේ මැතිවරණය පැවතුන දා ජනාධිපතිවරයා කොළඹ අරලියගහ මැඳුරේ සිටිමින් සියලු ඡන්ද කටයුතු නිරීක්‍ෂණය කළේය. ඊට පසුදා උදේ පාන්දර නින්දෙන් පිබිදී ජනාධිපතිවරයා පහත මාලයට පිවිසියේ දවසේ පුවත්පත් කියවීම පිණිසය. ඒ වන විට පුවත්පත් සියල්ලටම උඩින් තබා තිබුණේ ඌව පළාත් සභාවේ සියලුම ප්‍රතිඵල අඩංගු ලියකියවිලි ඇතුළත් ලිපි ගොනුවයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ විජයානන්ද හේරත් සපයා තිබූ එම ප්‍රතිඵල සමාලෝචනය කියවූ ජනාධිපතිවරයා ඊළඟට කළේ ජයග්‍රාහකයන්ට සුබ පැතීමය.... පළමුව ශෂීට සුබ පැතූ ඔහු.... දැන් ශෂී මන්ත්‍රීවරු ඔක්‌කෝමත් එක්‌ක හොඳ දවසක්‌ වේලාවක්‌ බලල දිවුරුම් දෙන එක සූදානම් කරන්න... යෑයි කීය.

සමාලෝචනය

ඉරිදා සවස ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරියට විශේෂ සාකච්ඡාවක්‌ සඳහා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනකුට එන්නට කීවේය. ඒ අනුව පක්‍ෂයේ ලේකම් මෛත්‍රිපාල සිරිසේන සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, හා ශ්‍රීලනිපයේ භාණ්‌ඩාගාරික ඩලස්‌ අලහප්පෙරුම පැමිණ සිටියහ.

ජනාධිපතිවරයා මේ සාකච්ඡාව සඳහා උඩු මහලේ සිට පහළට බහින විටම ඩලස්‌ පැමිණ රථයෙන් බැස මන්දිරියට ගොඩවූවා පමණි. ඔහු පැමිණියේම ලොකු විස්‌තරයක්‌ කියා ගෙනය.

ඔබතුමා රෝයල් එකේ උත්සවයේදී කරපු කතාව හරිම සංවේදී එකක්‌. මට කීප දෙනෙක්‌ම කතා කළා. මේ ජරමර ඔක්‌කොම අස්‌සේ ඔබතුමා දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්‌ විදියට ඒ කතාව හැම තාත්තා කෙනකුටම හිතට දැනෙන විදියට කළා කියලා තමයි හැමෝම කිව්වේ....

මේ අතරතුර ඉතා ඉක්‌මනින් සාකච්ඡාව ඇරැඹිණි.

ජනාධිපති හා සන්ධානයේ නායකයන් මේ ලැබූ ප්‍රතිඵලය සමාලෝචනය කරමින් ඉදිරියේ දී එන මැතිවරණ හා අභියෝග ගැන දීර්ඝ ලෙස කතා බහ කළහ....

රනිල් හැරෙයි

මේ අතරතුර විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ද සෙනසුරාදා උදේ පාන්දර සිටම මැතිවරණ කටයුතු නිරීක්‍ෂණය කරමින් සිරිකොත මැඳුරේ කාලය ගෙවීය. රනිල් සමඟ මේ මෙහෙයුම් කටයුතුවලට කරු හා තිස්‌ස ද සහභාගි වී සිටියහ. ඡන්දය පවතින ප්‍රදේශවල සියලුම ආසන සංවිධායකයන්ට හා අපේක්‍ෂකයන්ට කතා කරමින් විස්‌තර ලබාගත් මේ නායකයෝ ඡන්දය ලැබෙන ආකාරය ඉතා සැලකිල්ලෙන් නිරීක්‍ෂණය කළහ.

මේ අතරතුර දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු කැඳවා වෙනම ම සාකච්ඡාවක්‌ පැවැත්වීමටද රනිල් පියවර ගෙන තිබිණි. එජාපයේ හිටපු මන්ත්‍රීවරු එදින දහවල් සිරිකොතට පැමිණ තමන් ඉදිරියේ ඇති අභියෝග සිය නායකයාට හෙළි කළහ.

සන්ධානය මේ දවස්‌වල එක එක නියෝජිතයෝ හරහා අපට පණිවිඩ පිට පණිවිඩ එවනවා. අපිව බිලීබාගන්න ලොකු උත්සාහයක්‌ තියෙනවා. ඒත් අපි අහුවෙන්නේ නැහැ.... අපේක්‍ෂකයෝ කීහ.

සෙනසුරාදා රාත්‍රියේ ඌව, වව්නියාව හා යාපනය ඡන්දවල ප්‍රතිඵල රනිල් කල්තියාම දැක බලා ගත්තේය. ඒ අනුව පසුදා උදේ ප්‍රතිඵල සමාලෝචනයක්‌ කිරීමට ද රනිල්ට අවශ්‍ය විය. කරුට හා තිස්‌සට මේ සඳහා ආරාධනා කළ රනිල් ඔවුන් සමඟ කේ්‍රම්බ්‍රිඡ් ටෙරසයේදී සමාලෝචන රැස්‌වීමට වාඩි වුණේය.

පසුගිය පළාත් සභා මැතිවරණවලට සාපේක්‍ෂව මේ පාර අපට බදුල්ලෙන් ඡන්ද 20500 කුත් මොණරාගලින් ඡන්ද 18500 කුත් අඩු වෙලා. ඒක අපි පිළිගත යුතුයි. අපේ අඩුපාඩු තියෙනවා. 2001 දී අපි අපේ ආණ්‌ඩුව යටතේ පවත්වපු මැතිවරණයේදී හම්බන්තොටදී විතරක්‌ පොදු පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 23% ට බැස්‌සුවා. අත්තනගල්ල ප්‍රාදේශීය සභාව පවා ජයගත්තේ චන්ද්‍රිකා ජනාධිපති පුටුවේ ඉද්දී. නමුත් 2004 වන විට ඒ තත්ත්වය වෙනස්‌ වුණේ ඇයි කියලා අපි හොයන්න ඕන... රනිල් කීවේය....

මොණරාගල ආසන 3 යි. එක ආසනයකින් 25000 ට බැගින් 75000 ක්‌ දෙනා මේ පාර ඡන්දය පාවිච්චි කරලා නැහැ. ඒ 75000 ක්‌ ඡන්දය නොදී තමයි මෙයාලා මේ ලොකුම ප්‍රතිශතය මොණරාගලින් ලැබුවා කියල උදම් අනන්නේ... තිස්‌ස කීවේය....

රනිල් සරත් හමුව..

එම සමාලෝචනය ඉවර වී රනිල් ඉරිදා දහවල් විශේෂ ගමනක්‌ ගියේය. රනිල් සමඟ කරු හා තිස්‌ස ද එම ගමනට සහභාගි වූහ. ඔවුහු ගියේ කළුබෝවිල දයා ගමගේට අයත් නිවසක තිබූ මහා දානමය පින්කමකටය.

මෙම දානමය පුණ්‍යකර්මයට බෙල්ලන්විල විමලරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර හිටපු අගවිනිසුරු සරත් . එන්. සිල්වා මහතා ද පැමිණ සිටියහ.

මෙහිදී කාගෙ කාගේත් අවධානයට ලක්‌වූ කරුණ වූයේ රනිල්, සරත් එන්. සිල්වා සමඟ බොහෝ වේලාවක්‌ පැත්තකට වී කරනු ලැබූ සතර කන් මන්ත්‍රණය පිළිබඳවය. පිරිස දිවා ආහාරය ද එතැනදී ගනු ලැබූහ.

සඳුදා උදේ අරලියගහ මැඳුරේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්‌වීමක්‌ ද පැවැත්විණි. මේ සඳහා සියලුම ශ්‍රීලනිප සංවිධායකයන් කැඳවා තිබිණි. ජනාධිපති මහින්ද මෙතනදී සිය සංවිධායකයන් දැනුවත් කළේ ඉදිරියේදී එන මැතිවරණවලදී වැඩ කළ යුතු ආකාරය පිළිබඳවය.

පසුගිය ඌව මැතිවරණයේදී අපේ සංවිධායකයෝ හුඟ දෙනෙක්‌ එහේ ගිහින් කැපවෙලා වැඩ කළා. මහන්සි වුණා. ඒ අය මම දන්නවා. ඒ අතරේ තවත් සමහරු ඌව ගියේ සංචාරකයෝ වගේ. එයාල සැප ගන්න විනෝද ගමන් ගියා. එහෙම ගිය අයවත් මම දන්නවා. මම එයාලට කියනවා පක්‍ෂයේ වැඩවලදී බොරු කරන්න එපා කියලා.

මේ අයුරින් දිගු අවවාදාත්මක කතාවක්‌ කළ ජනාධිපතිවරයා අන්තිමේදී සංවිධායකයන්ට දිවා ආහාරයට ආරාධනා කළේය.

අනිත් අය කෑමට යන අතරේ දකුණු පළාතේ සංවිධායකවරු විතරක්‌ රැඳිල ඉන්න....මට තව ටිකක්‌ කතා කරන්න තියෙනවා....

මේ දකුණු පළාතේ සමහරු කියනවා පළාත් සභා ඡන්දෙට "මගේ අය" කියල පිරිසක්‌ දාල ඉන්නවා කියලා... ඒක වැරැදි මතයක්‌. මම කවුරුවත් මගෙ අය කියල දාල නැහැ.... මේ ඉන්න ඔක්‌කොම මගේ අය. ඔක්‌කොම ජනාධිපති මහින්දගේ නියෝජිතයෝ. ඒක නිසා එක එක්‌කෙනා වෙන් කරලා ගන්න හදන්න එපා.... මගේ මිනිස්‌සු කියලා වැරැදි මත පතුරවන්න හදන්න එපා... එහෙම නේද පියසේන... ජනාධිපති වරයා එසේ විමසුවේ පියසේන ගමගේ ඇමතිවරයා දෙස බලමින් ඔහුගෙන් හගිස්‌සවමිනි....

අනේ සර්... .ඕවට මාව අල්ල ගන්න එපා. මම නම් කොතනකවත් එහෙම කතා කියල නැහැ. කාවවත් හඳුන්නලත් නැහැ....

නැහැ නැහැ... මම මේ ඔයා කිව්වා කියල කිව්වා නොවෙයි. ඔයා ඉස්‌සරහා හිටපු නිසා නිකන් ඇහුවා විතරයි... ජනාධිපතිවරයා සිනහ වෙමින් කීවේය....

ජනපති - චන්ද්‍රිකා හමුව

පසුගිය සතියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමඟ එකට එක ළඟ වාඩිවී සතුටු සාමීචියේ යෙදී සිටින්නට ද හදිසියේම අවස්‌ථාවක්‌ ලැබිණි. ඒ ඉකුත් සඳුදා සවස කොළඹ බණ්‌ඩාරනායක සමරු රඟහලේ පැවැති අභිනව අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන්ගේ පදවි සම්ප්‍රාප්තිය පිළිබඳ වූ උත්සවයකදීය... ජනාධිපති මහින්දට එහිදී අසුන් පනවා තිබුණේ හිටපු ජනාධිපතිනියගේ අසුනට යාබද අසුනය.

තම මුහුණට මූණ ගැසෙන හමුවන දන්න නොදන්නා සියලුමදෙනා සමඟ විවෘතව සිනහ වී මුවපුරා කතා බහ කිරීම සාමාන්‍යයෙන් ජනාධිපති මහින්දගේ සිරිතය. මේ හදිසි හමුවේ චන්ද්‍රිකා කෙරෙහි අනුගමනය කළේද එම සාමාන්‍ය ප්‍රතිපදාවයි.

කොතරම් අමනාපයෙන් සිටියත් ඒ සිනහවට පිටුපාන්නට චන්ද්‍රිකාටද නොහැකි විය. ඕ ද බලා සිටියවුන්ට කිසිදු වෙනසක්‌ නොපෙනෙන සේ ජනාධිපතිවරයා සමඟ මුවපුරා සිනා සී කතා බහ කරනු දුටු බොහෝ දෙනෙකු විමතියට පත්වූහ.

මෙම උළෙලට මේ දෙදෙනාට අමතරව විපක්‍ෂ නායක රනිල්, ජයලත්, රවී, ජොන්ස්‌ටන්, නියෝමාල්, මිල්රෝයි, දයාශ්‍රිත ඇතුළු දේශපාලනඥයෝ පිරිසක්‌ ද සහභාගි වී සිටියහ.

නාමයෝජනා

එදින සවස එක්‌සත් ජාතික පක්‍ෂයේ දකුණු පළාත් සභාවේ නාමයෝජනා කැඳවීමක්‌ ද තිබිණි. ඊට අයෑදුම්පත් ඉදිරිපත් කළ 89 දෙනකුගේ අයදුම්පත් පරීක්‍ෂාවට ලක්‌කළේ ගාමිණි ජයවික්‍රම, කරු හා තිස්‌සගේ මූලිකත්වයෙන් යුතු කමිටුවකිනි. කුමන බාධක තිබුණත් තමන් මෙවර දකුණේදී සන්ධානයට හොඳ තරගයක්‌ දෙන බව අපේක්‍ෂකයෝ බොහෝ දෙනෙක්‌ ප්‍රකාශ කළහ.

මේ අතරතුර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ද දකුණට නාමයෝජනා ඇතුළත් අයදුම්පත් පරීක්‍ෂාවට ලක්‌ කෙරුණේ පසුගිය සතියේය. මෙම පළාත් සභා නාමයෝජනා පත් අතර හිටපු පොලිස්‌ නිලධාරීන්, තරුණ නීතිඥයන්, හමුදා නිලධාරීන් පමණක්‌ නොව කලා ලෝකයේ නම නිතර කියෑවෙන නළු නිළියන්ගේ නම් ද තිබිණි. ඒ අතර අනර්කලි ආකර්ශා ගේ නම ද තිබීම ගැන බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගත්හ.

ජනාධිපති මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ පසුගිය සතියේ සිටියේ රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක නතර වීය. ඔහු බලන්නට ආණ්‌ඩුවේ හා විපක්‍ෂයේ දේශපාලනඥයෝ රැසක්‌ම ඒ රෝහලට ඇදී ආහ.

හිටිවනම රෝහල වෙත කරුණා අම්මාන්ද පැමිණියේය. ඔහු හෙට්‌ටිගේ ළඟට එන විට එජාපයේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාද එතැනය. කරුණා දේශපාලනමය කරුණු රැසක්‌ මෙහිදී වජිර හා හෙට්‌ටිගේ සමඟ කතා කළේය....

යුද්දේ ඉවරයි. දැන් ඉදිරියේදී රටේ තියෙන ප්‍රශ්න විසඳන්න නම් සිංහල මිනිස්‌සුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල හරි හරියට පදිංචි වෙන්න ඕනෑ. සිංහල අයට උතුරේ නැගෙනහිර ඉඩම් ගන්න ක්‍රමයක්‌ හදන්න ඕන.... කරුණා කීවේය...

මම නම් දන්න විදියට ඔයාලයි ඔය තේසවලාමේ නීතිය නිසා කවදාවත් එහේ ඉඩකඩම් නම් සිංහල අයට ගන්න බැහැ. ඒකනේ අපිට තියන ප්‍රශ්නේ... වජිර කීවේය...

අපි ඒකට ක්‍රමයක්‌ හදන්න ඕන. කරුණා කීවේය.

බලන්න.... වෙනම රාජ්‍යයක්‌ දිනාගන්න සටන් කරපු නායකයෙක්‌ අද කතා කරන විදිය. මේකනේ මේ රටේ අද වෙන්න ඕන.... හෙට්‌ටිගේ කීහ.

මේ අතරතුර ආර්ය සිංහල ඇඳුමෙන් සැරසුන ප්‍රතාපවත් පෙනුමක්‌ ඇති එක්‌තරා පුද්ගලයෙක්‌ද හෙට්‌ටිගේ බලන්නට එතැනට පැමිණියේය.... ඔහු නම් දකුණු පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රතාපසිංහය. ඔහුද දකුණු පළාත් සභා ඡන්දයට සන්ධානයෙන් ඉල්ලන්නට ඉල්ලුම්පත් බාරදී සම්මුඛ පරීක්‍ෂණයකට පෙනී සිට අවශ්‍ය ලියකියවිලි බාරදී ඒ ගමන්ම මෙතනට ආවේ හෙට්‌ටිගේ ද බලා ආපසු යැමටය....

මේ ඇඳුමට ඔබ හරි ප්‍රතාපවත්නේ... කියමින් එතැන සිටි අය ප්‍රතාපසිංහට විහිළු කරන්නට වූහ.

ජානිපෙ

ජාතික නිදහස්‌ පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සාකච්ඡාවක්‌ පසුගිය 11 වැනිදා විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ මූලස්‌ථානයේදී පැවැත්විණි. මෙහිදී පළමුවෙන්ම කෙරුණේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සමාලෝචනය කිරීමය. ජානිපෙ නියෝජිතයෝ මෙහිදී හුඟක්‌ම උනන්දු වූයේ ජනතා විමුක්‌ති පෙරමුණ ලබා තිබෙන පසුබෑම විග්‍රහ කිරීමටය. තිබූ මන්ත්‍රී ධුර හත එකකට අඩුවීම ගැන ඔවුහු විවිධ සමාලෝචන ගෙන ආහ.

ජවිපෙ මීට කලින් මැතිවරණවලදී අඩුම ගානේ 3 වන තැනවත් දිනා ගන්න සමත් වුණා. නමුත් අද මෙයාලා බදුල්ලේදී අරන් තියෙන්නේ 4 වැනි තැන. නන්දන කීය.

ඔව්... අද ජවිපෙ නායකයෝ තම සාමාජිකයන්ට කියනවා පන්ති සටන ඔහොම තමයි කියලා.... ගුණසේකර මන්ත්‍රීවරයා කීය.

ජවිපෙ නායකයෝ කරපු වැරැදිවලට අද ජනතාව නිසි පිළිතුරු දීල තියෙනවා. අපි ඕවා ගැන කතා කරල කාලෙ නාස්‌ති කරන්න ඕන නැහැ. අපි දකුණේ දී ඊළඟට මොකද කරන්නේ කියන කාරණය ගැන කතා කරන්න බලමු... විමල් වීරවංශ කීවේය.

ජවිපෙ

එදිනම එනම් 11 වැනිදා ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල රැස්‌වීම ද පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඔවුන් මුලින්ම කතා කළේ අද රටේ දේශපාලන තත්ත්වය ගැනය.

ජනාධිපතිවරණයකට යන්න සූදානම් වෙන්න කියලා ජනාධිපති මන්ත්‍රීවරුන්ට කිව්වා කියලා පත්තර වාර්තා කරලා තියෙනවා. එදා 2005 දී කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලයි. දැන් මෙයා ආයෙමත් ජනාධිපතිවරණ තියලා ඒ ජනතා පොරොන්දුව අමු අමුවේම උල්ලංඝනය කරනවා. සෝමවංශ කීවේය.

එයා අපි සමඟ අත්සන් කරපු ගිවිසුමේත් එම ප්‍රකාශය තියෙනවා. ටිල්වින් කීය.

දැන් මෙයාල කියන්නේ රට හදන්න තවත් කාලයක්‌ දෙන්න කියලනේ... ලාල්කාන්ත කීය.

මෙයාල මැතිවරණ තියන්නේ නියමිත වෙලාවට නොවෙයි. තමන්ට අවශ්‍ය වෙලාවට. නියමිත කාලය පහුවෙලා මැතිවරණ තියනවා වගේම නියමිත කාලයට පෙර තියන එකත් ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. අනුර දිසානායක කීය.

කොහොමටත් රජය ප්‍රජාතන්ත්‍රවාදය තකන්නේ නැහැනේ... ටිල්වින් කීය.

මෙයාලා පාතාලය මර්දනය කරන්නේත් ඒ ඒ අපරාධවල කොන්වල ඉන්න දේශපාලනඥයෝ ගලවගන්න බව පැහැදිලියි. විජිත හේරත් කීය.

මේ පාතාලය මර්දනය කිරීමෙන් වෙන්නේ නියම වග උත්තරකාරයෝ බේරිලා යන එක. අපරාධ පිළිබඳ තොරතුරු ඉතිහාසයේ වැළලෙන එක ලාල්කාන්ත කීවේය.

මේ ආකාරයට එම කතා බහ ද සෑහෙන්න දිගින් දිගට ඇදී ගියේය. ඔවුහු කතා බහ අවසන් කළේ දකුණු පළාත් සභා ඡන්දයට සූදානම් වීම ගැනද බොහෝ දෑ කතා බහ කළ පසුවය.

බදාදා දිනය එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක කාරකාදීන්ට ඉතා කාර්ය බහුල දිනයක්‌ ව තිබිණි. උදෙන්ම කරු, තිස්‌ස හා එස්‌ බී කළුතර දිස්‌ත්‍රික්‌ එජාප නායක ලක්‍ෂ්මන් විඡේමාන්නගේ ආරාධනයකට අනුව කළුතර ගියේ අලුතින්a දිස්‌ත්‍රික්‌ කාර්යාලයක්‌ විවෘත කරන්නටය.

මේ සියලුම දෙනා සඳහා උදේ ආහාරය ටැංජරින් හෝටලයේ සූදානම් කර තිබිණි.

ලක්‍ෂ්මන් ඉතින් කළුතරට අපිව ගෙන්නුවොත් හොඳ තරුපහේ කෑම වේලක්‌ දෙන්න වරද්දන්නේ නැහැ. තිස්‌ස කරුට හා එස්‌. බී. ට ඇහෙන්න ට එසේ කීවේ ලක්‍ෂ්මන් විඡේමාන්නගේ සංවිධාන කටයුතු ඇගයීමකට ලක්‌ කරමිනි........

දේශපාලන මණ්‌ඩලය

බදාදා හවස ඉතා වැදගත් දේශපාලන සාකච්ඡා දෙකක්‌ම එජාපයට තිබිණි. එකක්‌ වුණේ හවස 2.00 ට පැවැත්වුණ දේශපාලන මණ්‌ඩල සාකච්ඡාවයි.

මේ සඳහා කල්වේලා ඇතිවම කරු ප්‍රධාන දේශපාලන මණ්‌ඩල සාමාජිකයෝ සියලුම දෙනා පාහේ පැමිණ සිටියහ. මොවුහු මුලින්ම කතා බහ කළේ ඌව පළාත් සභා මැතිවරණයේ සමස්‌ත ප්‍රතිඵලය ගැනය... එය විශ්ලේෂණය කර වාර්තාවක්‌ සකසන්නට කමිටුවක්‌ ද පත් කෙරිණි.

ඉන් අනතුරුව ලක්‍ෂ්මන් සෙනවිරත්න ලොකු ගෝරනාඩුවකට මුල පුරනු ලැබුවේය. ඔහු එය පටන් ගත්තේ සරත් රණවකගෙන් හිස්‌වුණ කළුතර දිස්‌ත්‍රික්‌ නායක තනතුරට ලක්‍ෂ්මන් විඡේමාන්නව පත් කරන්නට යෝජනා වීමත් සමගය. ඒ හා සමගම ඌව පළාත් සභාවේ විපක්‍ෂයේ වැඩිම මනාපලාභියා වන හරේන් ප්‍රනාන්දුට විපක්‍ෂ නායකකම නොදී උපාලි සමරවීරට දෙන්නටද යෝජනා කෙරිණි.

සරත් රණවකගෙන් හිස්‌වුණ කළුතර පුටුවට පට ගාල ලක්‍ෂ්මන්ව පත් කරනවා. නමුත් තලතට දෙන්න තියෙන රත්නපුර දිස්‌ත්‍රික්‌ නායකකම තවම දෙන්නේ නැහැ.. ලකී කීය.....

ඒක කරන්න කල් යනවා. මොකද එතැන දෙන්නෙක්‌ ඒ තනතුර ඉල්ලනවා. ඡන්දයක්‌ තියන්න වේවි.... කරු කීය.

මොකටද ඡන්ද ...... එතුමිය ඡන්දෙදි මනාප එක්‌ ලක්‍ෂ ගණනක්‌ අරන් තියෙනවා. එතුමියට දීම සුදුසුයි. ජොන්ස්‌ටන් තර්ක කළේය.

එහෙම කිව්වට ඔය තනතුරට දුනේෂ් ගන්කන්දත් මරාගන්න හදනවනේ. එස්‌ බී කීය.

මේ වෙලාවේ තලතා වෙනුවෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා ද කතා කළේය.

ඉන්පසුව උපාලි පියසෝමට ආසනයක්‌ ලබාදීමේ ප්‍රශ්නය ගැනද දිගින් දිගටම කතා කෙරිණි. රවී ජොනී ලකී ඇතුළු පිරිස ඒ පිළිබඳ පක්‍ෂව හා විපක්‍ෂව අදහස්‌ ඉදිරිපත් කළහ.

අවසානයේ මිත්‍ර පක්‍ෂ අතර සන්ධානයක්‌ ගොඩනඟා ගැනීමට යෝජනා සැකසීම සඳහා කමිටුවක්‌ ද පත් කළ දේශපාලන කමිටුව විසිර ගියහ.

ඉන් අනතුරුව එදින සුවිශේෂී සිදුවීම් ගණනාවක්‌ම සිදුවූ එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම හවස 5.00 ට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සිරිකොත මන්දිරයේදී ආරම්භ කෙරිණි.

දේශපාලන මණ්‌ඩලයේදී කෙරුණු යෝජනා කරු රනිල් වෙත ඉදිරිපත් කරනු ලැබීය. තලතා රත්නපුර දිස්‌ත්‍රික්‌ නායකත්වයට පත් කිරීම, උපාලි පියසෝමට ආසන සංවිධායක කමක්‌ ලබාදීම වැනි යෝජනා දුටු රනිල්ට මුලින්ම ඇති වූයේ කේන්තියකි.

කළුතර දිස්‌ත්‍රික්‌ නායකයා ලෙස ලක්‍ෂ්මන් විඡේමාන්නගේ නාම යෝජනාව ස්‌ථිර කෙරිණි. උපාලි සමරවීරට ඌව පළාත් සභාවේ විපක්‍ෂ නායකකම දෙන්නට තීරණය කෙරිණි. මෙබඳු තීන්දු තීරණ රැසක්‌ම ගැනිණි.

මෙවර කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමට සාමාජිකයෝ පැමිණ සිටියේ ඉතා අඩුවෙනි. හුඟක්‌ පුටු හිස්‌ව තිsබෙනු පෙනිණි.

මේ අතරතුර දයාසිරි නැගිට කතා කරන්නට පටන් ගත්තේය.

මම අද කතා කරන්නේ ඉතාම කණගාටුවෙන්. මම මෙච්චර කාලයක්‌ කොන්ද කෙළින් තියාගෙන පක්‍ෂයට වැඩ කළා. නමුත් කිසිම පලක්‌ වෙලා නැහැ. මේක ඇතුළේ ගන්න තීන්දු තීරණ කිසි දෙයක්‌ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රාදේශීය සභාවක පුරප්පාඩුවක්‌ ඇති වුණාම ඊළඟට පත් කරන්නේ ඊළඟ මනාප ලාභියා. හැබැයි ජාඇලටයි, කුලියාපිටියටයි ඒ ක්‍රමවේදය යොදා ගන්නේ නැහැ. සුදුස්‌සෝ ඉද්දී වෙන අයව පත් කළා.

මම මේ ගැන වජිරට පැමිණිලි කළා. දයා.... මේක අවුලක්‌. කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට දාල විසගමු කිව්වා. නමුත් පත්වීම් කරල ඉවරයි.

මාතර දිස්‌ත්‍රික්‌ නායකකමට ජස්‌ටින් ගලප්පත්ති ඉඳිද්දී සාගලව පත් කළා. අපි කතා කළා විරුද්ධ වුණා. පලක්‌ වුණේ නැහැ. අන්තිමේ ජස්‌ටින් පක්‍ෂය දාල ගියා. නාකයා නිකන් කොමිටි දම දම බලා හිටියා. අද අපේ පක්‍ෂයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දවස ගානේ රජයට යනවා. මට අපේ නායකයා එක්‌ක පුද්ගලික ප්‍රශ්න නැහැ. තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න විතරයි. මම තීරණයක්‌ ගත්තා.... මම තවදුරටත් මේ කැපකිරීම් කර කර මේ සභාවේ ඉඳල වැඩක්‌ නැහැ......

මෙසේ කියමින් දීර්ඝ කතාවක්‌ කළ දයාසිරි අවසානයේ හැඟුම්බරව කතා කරන්නට පටන් ගත්තේය. ඔහුට අවසාන ටික කියන්නට නොහැකි විය. කවුරුත් බලා සිටියේ දයාසිරි හැඟුම්බරව කඳුළු පිසදමන දෙසය.

එහෙත් කිහිපදෙනෙක්‌ එවෙලේ දයාසිරිට විහිළු කරන්නට ද පටන් ගත්හ. රේණුකා හේරත් බකබක ගා සිනා වෙන්නට වූවාය. රංජිත් අතපත්තු.. වහාම එයාගේ නාඩි බලන්න යයි කියමින් සිනාසුණේය..

මෙතැන සත්තු වගේ හැසිරෙන්න එපා.. කෙනෙක්‌ හැඟුම්බරව තමන්ගේ වේදනාව ප්‍රකාශ කරද්දී හිනාවෙන්නේ සත්තු .... තිරිසන්නු..... ජොන්ස්‌ටන් කීය.

රංජිත් ඒ වෙලාවේ කනගාටුව ප්‍රකාශකරමින් තම ප්‍රකාශය ඉල්ලා අස්‌ කර ගත්තේය.

දයාසිරි වතුර ටිකක්‌ බී නැවත කතාව පටන් ගත්තේය. කොන්ද පණ නැති මිනිස්‌සු එක්‌ක මේ සභාවට ඇවිත් මම වැඩ කරන්න කැමැති නැහැ. මීට පස්‌සේ මම මේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට එන්නේ නැහැ.

මේ පත්වීම් කරල තියෙන්නේ හුඟක්‌ කලින්. වජිර ලිපිගොනුවක්‌ අදිමින් ප්‍රකාශ කළේය.

ඔයාගේ ෆයිල් ගැන මම හොඳට දන්නවා. ඔයා ෆයිල් හදන්න දක්‍ෂයි. දයාසිරි කීය.

මෙසේ ඇති වූ කතාබහ මැද දයාසිරි පිටව ගියේය. දයාසිරි පිටව යනවාත් සමගම අල කාරියවසම් කතාව පටන් ගත්තේය.

මම මේක කියන්න ඕන දයාසිරි ඉන්න තැන. අපි පත්වීම් දිල තියෙන්නේ නිවැරැදි පුද්ගලයාට. නමුත් දයාසිරිට තියෙන්නේ මනාප ප්‍රශ්නයක්‌. දයාසිරි කතා කරන්නේ එයාට මනාප හදල දෙන කෙනා ගැන විතරයි. මම දයාසිරිට වඩා මනාප ගන්නවා. එයාව පරද්දනවා. අල කියන්නට පටන් ගත්තේය.

දයාසිරි මගේත් නම කිව්වා. දයාසිරිට වැරැදිලා. ජාඇල ප්‍රශ්නය මාස 6 ක ඉඳල තිබුණා. මට හැමදාම කිව්වේ සංවිධායකයෙක්‌ පත් කරන කොට බලවත් කෙනෙක්‌ පත් කරන්න කියලයි. දයාසිරි අල එක්‌ක තියෙන ප්‍රශ්න වෙනම එයා එක්‌ක බලා ගන්න ඕන අපිව ගාවන්නේ නැතුව. ජයලත් ජයවර්ධන එසේ කියා වාඩිවෙනවාත් සමගම සාගල රත්නායක නැඟිට්‌ටේය.

ජස්‌ටින්ට වඩා මම දක්‍ෂයි. මගේ ඡන්ද ආසනය පුරාම පැතිරිලා තියෙනවා. 2007 දී මට දෙන්න තියෙන නායකත්වය දුන්නේ නැහැ. පක්‍ෂය මට එදා වරදක්‌ කළා. දිස්‌ත්‍රික්‌ නායකත්වයට ජස්‌ටින් සුදුසු නැහැ. ඒක මට හිමි විය යුතු තනතුරක්‌...

ඔයා කොහේද ජස්‌ටින් තරම් දක්‍ෂ. අනේ නිකන් යනවා...... ලක්‍ෂ්මන් සෙනෙවිරත්න කීය.

මේ තර්කය නිසා සාගල එළියට ගියේය. ඒ අතර දයාසිරි නැවත ඇතුළට ආවේය. නැවත ප්‍රශ්නය ඇදිනි.

දයාසිරි මටත් පැමිණිලි කළා. මම ඒ ප්‍රශ්නය ලිතව ඉල්ලලා ලේකම්තුමාට දුන්නා. එහෙම තියෙද්දී මේ පත්වීම හොරට දීපු එක වැරැදියි. ජස්‌ටින් ගියෙත් අපේ නායකයා නිසා.... නායකයා මේවට වග කියන්න ඕන. මිනිස්‌සු පක්‍ෂ දාලා යනවා. තවත් අය කෘත්‍යාධිකාරී මණ්‌ඩලය දාලා යනවා. නායකයා සද්ද නෑ.... ජොන්ස්‌ටන් කීය.

මේවා කතා කර කර ඉඳල හරි යන්නේ නැහැ. ඊළඟට ජනාධිපතිවරණයක්‌ එනවා. ඒකට අපේ අපේක්‍ෂකයා කවුද කියල නම් කරන්න ඕන. ජනාධිපතිවරණයට කලින් තව 3 වතාවයි කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වෙන්නේ. නොවැම්බර්වල ජනාධිපතිවරණය එනවා. කවුද අපේ අපේක්‍ෂකයා... රුක්‌මන් ඇසීය.

අන්න ඒකයි කතාව.... නුවරඑළියේ තිබුණ ඡන්ද අද බදුල්ලේදී නැහැ. වයඹ තිබුණ මුස්‌ලිම් ඡන්දත් ඌවේදී නැහැ. ඌවෙදි ඡන්දය තියෙන දිනයවත් අපේ නායකයාට හරියට කියා ගන්න බැරිවුණා. ඡන්දේ තිබුණේ 8. නායකයා කිව්වේ 18 කියලා. වෙල්ලස්‌සේ ඉතිහාසය කියන්න ගිහිල්ලා ආයෙත් පාරක්‌ නිකන් නෑවා.... ඡන්දෙට මෙයා බදුල්ලේ හිටියේ දින දෙකයි. මොණරාගල දින දෙකහමාරයි. එයා හිටියේ දැදිගම.. මේ විදිහට කරල බැහැ. ඔබ ලබන ජනාධිපතිවරණයට එනවද නැද්ද..... දැන්ම කියන්න. ලක්‍ෂ්මන් කීවේය.

රනිල් සද්දයක්‌ නැත.

හරි.. කවුද කියන්නේ අපේ නායකයා ආවොත් දිනාවි කියලා. දිනාවිද ..........

කිසිවකු හ්ම් කීවේ නැත.

පක්‍ෂය වැටිලා ඉවරයි. කරුණාකරල දැන්වත් විනාශය තේරුම් ගන්න. මෙතැනින් ඉවත් වෙන්න..... ලක්‍ෂ්මන් සෙනෙවිරත්න කීවේය.

මේ කතාබහට පාලිත රංගේ බණ්‌ඩාර ද පැටලැවිsණි. රංගේ බණ්‌ඩාරට උත්තර ලැබුණේ ශාන්ත නම් පුද්ගලයකු සම්බන්ධ කරගෙනය.

මේ අතර රංජිත් මද්දුම බණ්‌ඩාර කතා කළේය.

මැතිවරණයේදී මොණරාගල ඇවිත් අපට උදව් කරපු අයට ස්‌තුතියි. අපි මහන්සි වුණා. නමුත් නායකයා එයාට හිතවත් පත්තර දෙකක්‌ යොදාගෙන අපට පහර ගැහුවා. ඔබ ඡන්දෙට මහන්සි වුණේ නැහැ. මෙහෙම ගියොත් දකුණේදී අපේ තත්ත්වය 10% ට වැටෙනවා. මේ විදිහට දේශපාලනය කරල බැහැ. මම ඔය රවී කරුණානායකටත් එකක්‌ කියනවා. මතක තියාගන්න. ආසනයකට යනකොට ඒකේ සංවිධායකට කියල එන්න.

ඇයි.... මම ඇවිත් බෙදුවේ යූ. ඇන්. පී. එකේ පත්‍රිකා නොවෙයිද.. මම ගියේ පක්‍ෂයේ වැඩවලට.. මම පක්‍ෂය වෙනුවෙන් වැඩ කරන්න ලබන පාරත් එනවා.... රවී කීය.

හොඳයි. ඇවිත් බලමු. එදාට මම හොඳ පාඩමක්‌ උගන්නනවා.

මේ අතර රවී සමරවීර කතාකොට කීවේ නායකයා කරුණාකර ඉවත් වෙන ලෙසය. ඉදිරි මැතිවරණ සඳහා රනිල් ඉදිරිපත් කිරීමේදී එජාපය පරාජයෙන් පරාජයට ලක්‌වන බව හේ කීවේය.

අපේ නායකයා එදත් නායකයා අදත් නායකයා හෙටත් නායකයා ඒක වෙනස්‌ කරන්න කාටවත් බැහැ. රේණුකා හේරත් කීවාය.

ඒ අතර ලක්‍ෂ්මන් සෙනෙවිරත්න හා රේණුකා අතර උණුසුම් වාග් සංග්‍රාමයක්‌ ද ඇති විය. ජොන්ස්‌ටන් මැදිහත්ව රේණුකාව තල්ලු කරගෙන ගොස්‌ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සබාගැබෙන් ඉවතට දැමුවේය. රවී ඇයව බේරා ගන්නට වෙහෙස විය.

තත්ත්වය සමනය කරමින් මේ අතර රනිල් කතා කරන්නට පටන් ගත්තේය. ඔහු කතා කළේ මේ තිබෙන අර්බුද මග හරවා ගෙන පක්‍ෂය ඉදිරියට ගෙන යන ආකාරය ගැනය.

මම අහගෙන හිටියා. ඔයගොල්ලන්aගේ තර්ක විතර්ක ඔය විදිහට බැහැ අපිට ඉදිරියට යන්න.

අපි ආණ්‌ඩුවට විරුද්ධ බලවේග එක්‌රැස්‌ කර ගෙන මේ ගමන යන්න ක්‍රමයක්‌ හදන්න ඕන. මේ ගැන මම චන්ද්‍රිකා එක්‌කත් කතා කළා..

එසේ කියනවිට සභාගැබේ ලොකු විරෝධයක්‌ පැන නැඟිනි.

ඇයි.... මට අයිතියක්‌ නැද්ද චන්ද්‍රිකා එක්‌ක කතා කරන්න. ඇයව පක්‍ෂයට වුණත් ගන්න අපට පුළුවන්.

ඇයව පක්‍ෂයට ගන්නවද...... රංජිත් මද්දුම බණ්‌ඩාර ඇසීය.

ඔව්..... ඇයි මට ඒකට අයිතියක්‌ නැද්ද.

ඔබව නිර්වස්‌ත්‍ර කරල පෝස්‌ටර් ගහපු ඔබේ මූණ විකෘති කරල එක එක ඇඟවල්වලට බට්‌ කරල දහජරා චිත්‍ර හදපු ඔබට මඩ ගහපු චන්ද්‍රිකාල මංගලල එක්‌ක එකට දීග කන්න ඔබට ලැඡ්ජ නැද්ද..... ඔබට අයිතියක්‌ නැහැ. චන්ද්‍රිකාව අපේ පක්‍ෂයට බඳවා ගන්න. ඒකට අපි ඉඩ තියෙන්නේ නැහැ. කරුණා කරල පක්‍ෂය විනාශ කරන්න එපා.

මේ පක්‍ෂය විනාශ කරන්නේ අපි නොවෙයි. මේ ප්‍රතිසංවිධාන කාරයෝ ටික."

කරුණාකරල ඒ ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්න. කියමින් ජොන්ස්‌ටන් බැණ වදින්නට පටන් ගත්තේය.

ඒ අතර සුරනිමල රාජපක්‍ෂ මහහඬින් ජොන්ස්‌ටන් ට බැණ වදින්නට විය. ජොන්ස්‌ටන් වහාම සුරනිමල ළඟට ගියේය.

ඔයාට මොනවද ඕන.. ඔයා හොඳ හෝටලයකින් කාල නැහැ වගේ... ඕනද කන්න හොඳ හෝටලයකින්.

සුරනිමල නිහඬව වාඩි වුණේය. මේ ගාලගෝට්‌ටිය පැය 4 ක්‌ තිස්‌සේ ඇදී ගියේය. ඒ අතර දයාසිරිගේ ඉල්ලා අස්‌වීමේ ලිපිය ද ඉදිරිපත් කෙරිණි.......

මම මේක පිළිගන්නේ නැහැ... රනිල් කීය.

එහෙම නම් මේ වැරැදි නිවැරැදි කරන්න......

එසේ මහ ශබ්ද ගාලගෝට්‌ටි ඇනුම් බැනුම් ගෙරවුම් මැද එජාපයේ තවත් උණුසුම් කෘත්‍යාධිකාරි මණ්‌ඩල

රැස්‌වීමක්‌ ඉවර වුණේ කිසිදු තීන්දුවක්‌ තීරණයක්‌ නැතිවය. අන්තිමේ නටපු තොයිලයකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

නාගසේන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v