අපේ අරමුණ මේ දූෂිත රජය පලවා හැරීමයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා

පසුගිය මහ මැතිවරණ සහ ඉදිරි මහ මැතිවරණවලට මුහුණදීමට ඇති සූදානම සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සමඟ "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂය මැතිවරණවලින් අඛණ්‌ඩව ලබන පරාජයේ රහස තවමත් ඔබේ පක්‍ෂය හඳුනාගෙන නැති බව ඌව පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් සනාථ වෙනවා නේද?

පිළිතුර - එක්‌ දිනයකදී පැවැත්විය යුතු මැතිවරණ මාසෙන් මාසෙට සලාක ක්‍රමයට පවත්වන්නේ රාජ්‍ය සම්පත් සහ ශක්‌තිය යොදවා ඒවා ජයග්‍රහණය කිරීම සඳහා බව පසුගිය පළාත් සභා මැතිවරණ දෙස බලන විට පුංචි දරුවකුට වුවද සනාථ වන කරුණක්‌. පසුගිය 8 වැනිදා පැවැති මේ ඡන්දයේදී සමස්‌ත ඡන්දදායකයන්ගෙන් සියයට පනහක්‌ පමණ ඡන්දය පාවිච්චි කරන්න ඡන්ද පළට පැමිණ නැහැ.

පසුගිය ඡන්දයේදී එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය අවම කරගෙන තිබෙනවා. ආණ්‌ඩුවේ සියලු දූෂණ හා වංචනික ක්‍රියා හමුවේ එවැනි තත්ත්වයකට පත්වීමට හැකි වීම ගැන අප සතුටු වෙනවා. සාමාන්‍යයෙන් ජනතාව මෙවැනි මැතිවරණයකදී කල්පනා කරන්නේ සාධාරණ පාලන තන්ත්‍රයට නැඹුරුවයි. 2001 වසරේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව බලයට පැමිණ මාසයකින් හෝ දෙකකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා. ඒ මැතිවරණයෙන් එවකට ජනාධිපතිනිය නියෝජනය කළ අත්තනගල්ලත්, වත්මන් ජනාධිපති නියෝජනය කරන හම්බන්තොට, බෙලිඅත්ත ඇතුළු සියලු පළාත් පාලන ආයතන අපි ජයග්‍රහණය කළා.

අද රාජපක්‍ෂ පවුල් ගහ රට පුරා පතුරුවමින් මැතිවරණ ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. පසුගිය කාලය පුරාවට ඌව පළාතේ ජනතාවට සහන නොදුන් ආණ්‌ඩුව මේ මැතිවරණයේදී රාජපක්‍ෂ පවුලේ ඥතියෙක්‌ ඉදිරිපත් කර දිව්‍යලෝකයක්‌ ඌවට මවා පෙන්නුවා. නමුත් ජාතික මැතිවරණයකදී මේ සෙල්ලම් කරන්න බැහැ. අපි දිගටම කටයුතු කරගෙන පැමිණියේ ජාතික මැතිවරණයක්‌ ඉලක්‌ක කරගෙනයි.

ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දේශපාලනමය බලකොටුව දකුණයි. ඒ තත්ත්වය මත දකුණු පළාත් සභා අභියෝගයට එක්‌සත් ජාතික පක්‍ෂය මුහුණ දෙන්නේ කොයි ආකාරයට ද. ඔබේ ප්‍රකාශයට අනුව මම හිතන්නේ පරාජය දැනටමත් භාරගෙන සිටින බවයි.

පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධානතම ඉලක්‌කය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි. නමුත් දකුණු පළාත් සභා මැතිවරණ අභියෝගය ඊට පෙරහුරුවක්‌ ලෙස අප යොදා ගන්නවා.

මේ ආණ්‌ඩුව මහජන මුදල් කෝටි ගණනින් කාබාසිනියා කරමින් පළාත් සභාවෙන් පළාත් සභාවට මැතිවරණ පැවැත්වීමේ මහා රංගනයේ අවසන් ජවනිකාව දකුණයි.

එක්‌සත් ජාතික පක්‍ෂය ජය පරාජය හුරු පුරුදු පක්‍ෂයක්‌. මේ පක්‍ෂය විනාශ කිරීමට රාජපක්‍ෂලාට හැකියාවක්‌ නැහැ. ඊට කිසි විටත් අප ඉඩ තියන්නේ නැහැ. එදා 1956 දී එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මේ පක්‍ෂය විනාශ කරන්න උත්සාහ කළා. නමුත් අපි ශක්‌තිමත්ව ඉදිරියට පැමිණියා.

එක්‌සත් ජාතික පක්‍ෂය නැමැති මිනි පෙට්‌ටියට අන්තිම ඇණය ගැසුව බව එදා බණ්‌ඩාරනායක මැතිතුමා ප්‍රකාශ කළා. නමුත් ජය පරාජය පිළිගෙන එක්‌සත් ජාතික පක්‍ෂය නිසි දැක්‌මක්‌ දර්ශනයක්‌ අනුව ඉවසීමෙන් කටයුතු කළ නිසා නැවත කෙටි කලක්‌ තුළ බලයට පැමිණීමට හැකිවුණා. ඒ ඉතිහාසය අපේ පාක්‍ෂිකයන්ට අමතක වී නැති බව මට විශ්වාසයි. කවුරු මොනවා කීවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වඩා ජනපදනමක්‌ අද එක්‌සත් ජාතික පක්‍ෂයට තිබෙනවා. ග්‍රාමීය මට්‌ටමින් අප ශක්‌තිමත්.

ප්‍රශ්නය - ග්‍රාමීය මට්‌ටමින් එක්‌සත් ජාතික පක්‍ෂය ශක්‌තිමත් බව ඔබ ප්‍රකාශ කළත් මට එය පිළිගන්න බැහැ. 1994 දී පැවැති මහා මැතිවරණයෙන් රටෙන්ම ඔබේ පක්‍ෂය පරාජයට පත්වන විට ග්‍රාමීය ප්‍රදේශයක්‌ වන මහියංගනය පමණක්‌ එ.ජා.ප ය ජයග්‍රහණය කළා. පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයේ දී ඒ ආසනය ද අහිමි වුණා. ඒ තත්ත්වය මත ග්‍රාමීය මට්‌ටමෙන් පක්‍ෂය ශක්‌තිමත් බව පවසන්නේ කුමන පදනමක සිටද?

පිළිතුරු - ලංකාවේ තිබෙන පළාත් අතර ඌව ඉතාම නොදියුණු පළාතක්‌. පසුගිය කාලේ ඌව පළාත සන්ධානය පාලනය කළත් ජනතාවට සෙතක්‌ සැලසුණේ නැහැ. මේ තත්ත්වය මත කෙසේ හෝ ඌව ජයගත යුතු යෑයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්‌ඩුව අවබෝධ කරගෙන රාජපක්‍ෂ පවුලේ පුරුකක්‌ ඌවට ඉදිරිපත්කොට ඌවේ ජනතාවට සුරංගනා ලෝකයක්‌ මවා පෙන්නුවා. මේ සියලු තත්ත්වයන් මත පොරොන්දුවලට රැවැටී මහියංගණය ජනතාවත් සංන්ධානයට ඡන්දය පාවිච්චි කළා. මීළඟ ජාතික මැතිවරණයේදී මහියංගණයත් එක්‌සත් ජාතික පක්‍ෂය ජය ගන්නා බව අපට විශ්වාසයි.

එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව ආණ්‌ඩුවට එකතුවුණු මන්ත්‍රීවරු පසුපස එ. ජා. ප. පාක්‍ෂිකයන් යන්නේ නැහැ. එය බිබිල මැතිවරණ කොට්‌ඨාසයෙන් ඔප්පුකර තිබෙනවා. අපේ පක්‍ෂයේ සිටි ප්‍රබලයකුගේ පුතෙක්‌ ඌව පළාත් සභාවටම සන්ධානයෙන් ඉදිරිපත් වුණා. නමුත් ඔහු පරාද වුණා. අපේ පාක්‍ෂිකයෝ ඒ ක්‍රියාව අනුමත කරනවා නම් ඉහත අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවිය යුතුයි. පක්‍ෂය හැර ගොස්‌ ශ්‍රීලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධාන ධුර ලබා සිටින සියලු දෙනාට ඉදිරි මැතිවරණයක දී මේ පාඩම අපේ ජනතාව උගන්වයි.

ප්‍රශ්නය - ග්‍රාමීය මට්‌ටමේ සිටින මේ පාක්‍ෂිකයන් හා රටේ තරුණ කොටස්‌ පක්‍ෂය වටා ඒකරාශි කර ගැනීම සඳහා අද වනතුරුත් ඔබේ පක්‍ෂයට විධිමත් වූ වැඩපිළිවෙළක්‌ නොමැති බවයි මගේ හැඟීම. මේ මතය සමඟ ඔබට එකඟවිය හැකිද?

පිළිතුර - ඔබ කියන කතාවේ සත්‍යයක්‌ තිබෙනවා. නමුත් ගමත්, නගරයත් තරුණ පරපුරත් එක්‌සත් ජාතික පක්‍ෂය නැමැති මහා වෘක්‍ෂය වටා ඒකරාශි කිරීමේ වැඩපිළිවෙළක්‌ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට අප සැලැසුම් සකස්‌ කොට තිබෙනවා. සියල්ල ඉවසා දරාගෙන සිටිමින් ඒ වැඩපිළිවෙළ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටීමට කැමතිsයි.

තරුණයන්ට දිගු කාලයක්‌ බලා සිටිය නොහැකියි. ඔවුන්ගේ සිතුම් පැතුම් සමඟ ඒ අරමුණු ඉටුකර ගැනීම සඳහා ඔවුන් යම් යම් තීන්දු තීරණවලට පැමිණෙනවා. මේ සියලු තත්ත්වයන් සැලැකිල්ලට ගෙන එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එකතුවන සියලු තරුණ තරුණියන්ගේ අනාගතය මීළඟ එ. ජා. ප. රජයක්‌ යටතේ සුරක්‍ෂිත කර දෙන සහතිකය මත විශ්ව විද්‍යාල මට්‌ටමේ සිට තරුණ තරුණියන් පක්‍ෂය වටා ඒකරාශි කිරීමේ දැවැන්ත වූ කාර්යය අප ඉතා කෙටි කාලයක්‌ තුළ ආරම්භ කරනවා.

1994 සිට අද දක්‌වා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය රට පාලනය කළා. නමුත් රටේ කිසිදු ප්‍රගතියක්‌ නැහැ. රණවිරුවන් ලැබූ යුද ජයග්‍රහණය නැත්නම් මේ ආණ්‌ඩුව මේ වනවිටත් කඩාගෙන වැටිලා. යුද ජයග්‍රහණ නිසා ආණ්‌ඩුව පණ ගැටගසාගෙන සිටිනවා.

අද දූෂණය, වංචාව, හොරකම ආණ්‌ඩුවේ ඉහළ සිට පහළට ක්‍රියාත්මක වෙනවා. සෑම ව්‍යාපාරයකින්ම කොමිස්‌ ගහනවා. ආණ්‌ඩුවේ සිටින ඇතැම් පිරිස්‌ මේ ක්‍රියාවන්ට දැඩිලෙස විරෝධය පළකර සිටිනවා. මෙහි පිපිරීම අත ළඟ විය හැකියි. තරුණ තරුණියන්ට රැකියා නැහැ. ජනතාවට කුසට අහරක්‌ නැහැ. වියදම වැඩිවෙලා. ආදායම් මාර්ගවල වැඩිවීමක්‌ නැහැ. මේ තත්ත්වය මත දිනෙන් දින ජනතා ප්‍රශ්න උග්‍ර තත්ත්වයට පත්වෙනවා. ආණ්‌ඩුවේ පැවැත්ම පිළිබඳ කල්වේලා දාලා සුරංගනා ලෝක මවාගෙන සිටියත් එය කොයි මොහොතේ කඩාගෙන වැටෙයිද කියා කියන්න බැහැ.

ප්‍රශ්නය - පසුගිය මැතිවරණ ඉතිහාසය දෙස බලන විට ද්‍රවිඩ ජනතාවගෙන් බහුතරයකගේ ඡන්දය එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබුණු බවක්‌ පෙනෙන්නට තිබෙනවා. නමුත් මෙම මස 8 වැනිදා පැවැති වවුනියා සහ යාපනය නගරය සභා මැතිවරණයේදී එම නගර සභාවල එකම ආසනයක්‌වත් එජාපයට හිමිවුණේ නැහැ නේද?

පිළිතුර - යාපනය සහ වවුනියා නගර සභා මැතිවරණය පැවැත්වුවත් එක්‌සත් ජාතික පක්‍ෂයට එහි සංවිධාන කටයුතු කිරීමට අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. අපට ඒ ප්‍රදේශවලට යැමට අවසරය දුන්නේ ඡන්දයට දින කිහිපයක්‌ තිබියදීයි. ආණ්‌ඩුවට අවශ්‍ය ආකාරයට එහි කටයුතු සිදු කෙරුණා. ඒ සියල්ල කරලත් ඡන්දය පාවිච්චි කළේ 25% පමණයි. 75% ඡන්දය ප්‍රතික්‍ෂේප කළා. ජාතික මැතවරණයකදී මේ තත්ත්වය වෙනස්‌වන බවට අප තුළ පූර්ණ විශ්වාසයක්‌ තිබෙනවා. ඒ නිසයි අප ජාතික මැතිවරණයක්‌ ඉල්ලා සිටින්නේ. එදාට අපේ ශක්‌තිය අපි පෙන්වනවා.

ප්‍රශ්නය - දකුණු පළාත් සභා මැතිවරණය ඉතාම තීරණාත්මක එකක්‌. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණයේ ජය පරාජයට මේ මැතිවරණය විශාල බලපෑමක්‌ එල්ල කරනවා. ඉතිහාසයෙත් එවැනි ආරම්භයක්‌ ලබාදී තිබෙනවා. මේ සියලු තත්ත්වයන් මැද දකුණේ ජනතාවගේ කැමැත්ත ලබාගැනීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන නව වැඩපිළිවෙළ කුමක්‌ද?

පිළිතුර - දකුණු පළාත වෙනුවෙන් අපි ඉලක්‌ක සහගත වැඩපිළිවෙළක්‌ ඉදිරි දින කිහිපයේ සිට ක්‍රියාත්මක කරනවා. ඉතා දක්‍ෂ අපේක්‍ෂක කණ්‌ඩායමක්‌ අපට සිටිනවා. ඔවුන් තෝරා ගැනීමේ කටයුතු මේ වනවිටත් අවසන්. එවැනි කණ්‌ඩායමක්‌ වෙන කිසිදු පක්‍ෂයකට නැහැ.

රාජපක්‍ෂ පවුල්වාදය දකුණේ සෑම ප්‍රදේශයකම පතුරුවන බව අප දැන සිටිනවා. ඊට සාර්ථකව මුහුණ දී ජනතා බලයෙන් රාජපක්‍ෂ පවුල්වාදය පරාජය කීරීම අපේ අරමුණයි.

දකුණු පළාතේ සෑම නිවසකටම අපි පැමිණෙනවා. ආණ්‌ඩුවේ දූෂණය, වංචාව, හොරකම, පගා ගැහිල්ල මේ සියල්ල හෙළිකරමින් ජනතා වේදිකාවක්‌ ගොඩනැඟීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා. දකුණේ ජනතාව ආණ්‌ඩුවේ මුසාවාදයන්ට රැවැටෙන්නේ නැති බව එක්‌සත් ජාතික පක්‍ෂයට විශ්වාසයි.

ප්‍රශ්නය - දකුණට දක්‍ෂ අපේක්‍ෂක කණ්‌ඩායමක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයයෙන් ඉදිරිපත් කරන බව ඔබ ප්‍රකාශ කළත් ඔබේ කණ්‌ඩායමේ දක්‍ෂයන් ලෙස හැඳින්වූ හිටපු විපක්‍ෂනායකවරයා පවා අද ප්‍රතිවාදී කණ්‌ඩායමෙන් තරග කරනවා. මේ තත්ත්වය මත පරාජය හෝ අවමකර ගත හැකිවෙයිද?

පිළිතුර - දකුණු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක ඉතා හොඳ මහත්මයෙක්‌. නමුත් එතුමා පක්‍ෂය හැර ගියාට පාක්‍ෂිකයන් එතුමා සමඟ ගියේ නැහැ. ඒ නිසා අප බිය විය යුතු නැහැ. දකුණේ ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් ඉතා සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක්‌ අප දියත් කරනවා.

ප්‍රශ්නය - අලු යට ගින්දර සැඟවී තිබෙනවා මේන් එක්‌සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුදය තවමත් විසඳී නැති බව පසුගියදා පැවැති කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමෙන් පැහැදිලි වෙනවා. ඇත්තටම එදා කෘතාHdධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී මොකක්‌ද සිදුවුණේ.

පිළිතුර - කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ සිදුවන දේවල් හෝ සාකච්ඡා කරන දේවල් වලින් ජනමාධ්‍යට දිය යුතු සහ නොදිය යුතු දේවල් තිබෙනවා. පසුගිය 12 වැනිදා පැවැති එම රැස්‌වීම් වෙනදා මෙන් තීන්දු තීරණ කිහිපයක්‌ ගෙන නිමාවට පත්වුණා. සභිකයන් අතර විවිධ තර්ක විතර්ක ඇතිවුණා.

ප්‍රශ්නය - ඔබ ඔය කියන දේට වඩා වැඩි යමක්‌ එහි සිදුව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක්‌ මතුවුණේ ඇයි.

පිළිතුර - දයාසිරි ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගෙන අස්‌වුණ බව කියනවා. නමුත් ඒ සම්බන්ධව අපේ පුළුල් අවධානය යොමුකර එතුමා සමඟ සාකච්ඡා කර එම හේතු සාධක සම්බන්ධ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට විසඳුමක්‌ ලබාදීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.

දේශපාලනයේදී ඉවසීම තිබිය යුතුයි. එදා ගාමිණී දිසානායක මහතා සමඟ වෙනම කණ්‌ඩායමක්‌ කඩාගෙන ගොස්‌ රාජාලිsයා ලකුණ යටතේ ඡන්දය පවා ඉල්ලුවා. එහි පාඩුව අදටත් තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ හිතන්නේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටත් ඉවසීම නොමැතිව පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ සමඟ ආණ්‌ඩුවට එකතු වෙයි කියලද?

පිළිතුර - කිසි ලෙසකින්වත් නැහැ. දයාසිරි එහෙම කෙනෙක්‌ නොවෙයි. ඔහු ඉතා අවංක දක්‍ෂ තරුණයෙක්‌. ඉවසීමෙන් තවදුරටත් කටයුතු කළොත් ඔහුට හොඳ අනාගතයක්‌ මේ පක්‍ෂය.

ප්‍රශ්නය - පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී පක්‍ෂ නායකත්වය එහි සිටියදීම ඔහුව දැඩි විවේචනයට ලක්‌කොට තිබෙනවා. පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මේ විවේචන ඔබ අනුමත කරනවාද?

පිළිතුර - පක්‍ෂ නායකත්වය මන්ත්‍රීවරයෙක්‌ නිර්දය ලෙස විවේචනය කරනවා නම් එය වැරැදියි. එදා ඒ සිද්ධිය ගැන මං පුද්ගලිකව කනගාටුවෙනවා.

මීට ඉහතදී මා ප්‍රකාශ කළ පරිදි දේශපාලනය කරන අයකුට ඉවසීම හා දරාගැනීමේ හැකියාව තිබිය යුතුයි. යම් යම් කාරණා සම්බන්ධව සිත් වේදනා ඇතිවුණත් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුයි.

ඉතා කෙටි කාලයක්‌ තුළ මේ සියලු ප්‍රශ්න අප සාකච්ඡා කර විසඳුමක්‌ ලබාගන්නවා. අප සියලු දෙනාගේම අරමුණ වී තිබෙන්නේ මේ දූෂිත ආණ්‌ඩුව පලවාහැර එ.ජා.ප. ආණ්‌ඩුවක්‌ බලයට පත්කර ගැනීමයි. ඒ ගමන අප සියලු දෙනා එකමුතුව ආරම්භ කරනවා.

සාකච්ඡා කළේ  පියසේන දිසානායක

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v