ජනාධිපතිවරණය කලින් තියන්නේ ඇයි කියලා අපි දන්නවා!
පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක

පසුගිය 08 වැනිදා ඌව පළාත් සභාව සඳහා පැවැති මැතිවරණයෙන් එ. ජ. නි. සංධානය බලය හිමිකර තිබෙන අතර, එම මැතිවරණය සඳහා තරග කළ ජනතා විමුක්‌ති පෙරමුණට ජයගත හැකි වූයේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයෙන් එක්‌ මන්ත්‍රීධුරයක්‌ පමණි.

එම මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳවත්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව ප්‍රකාශිත මැතිවරණවලදී ජනතා විමුක්‌ති පෙරමුණ කෙබඳු තීරණයක්‌ ගන්නේද යන්න පිළිබඳවත් අප එම පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් විමසා සිටියෙමු. දිසානායක මහතා අප හා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය - පසුගිය 08 වැනි දා පැවැත්වූ ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ ජනතා විමුක්‌ති පෙරමුණේ විග්‍රහය කුමක්‌ද?

පිළිතුර - එම මැතිවරණ ප්‍රතිඵලය පදනම් කරගෙන දේශපාලන පක්‍ෂවල තත්ත්වය මැනීම සුදුසු වන්නේ නැහැ. මෙම මැතිවරණය ඒක පාර්ශ්වීය මැතිවරණයක්‌ වීම ඊට හේතු වනවා. ජනාධිපතිධුරයේ, පාර්ලිමේන්තුවේ සහ ප්‍රාදේශීය සභාවල බලය උපයෝගි කරගෙන තමයි මෙම මැතිවරණ පවත්වන්නේ. ජනාධිපතිවරයා මොරණරාගල පැලවත්ත ප්‍රදේශයෙත් මහියංගනයේ සහ මහනුවර ජනාධිපති මන්දිරවලත් නතර වී සිටිමින් ගුරුවරුන්, ආබාධිතයන්, වතු කම්කරුවන්, හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයන් 5000 ක්‌ පමණ එම ස්‌ථානවලදී මුණගැසී බුරියානි එකක්‌ සහ වතුර බෝතලයක්‌ ඔවුන් අතර බෙදා දෙමින් රජයේ බලය සහ මුදල් යොදා ගනිමින් මැතිවරණ කටයුතුවල නරත වූවා. ඒ වගේම අමාත්‍යවරු තමන්ගේ සියලු අමාත්‍යංශවල ප්‍රතිපාදන, වාහන, නිලධාරීන් යන සියල්ල මෙම මැතිවරණය සඳහා යෙදවූවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්‌ටරය, බැකෝ යන්ත්‍රය, වතුර බවුසරයේ සිට සියල්ල මෙම මැතිවරණය සඳහා යෙදවූවා. ඒ වගේම තමයි රාජ්‍ය මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතා විමුක්‌ති පෙරමුණට කිසිදු ඉඩක්‌ ලබා දුන්නේ නැහැ. රාජ්‍ය මාධ්‍ය ප්‍රවෘත්තිවලට අමතරව ඌව සටන වැනි වැඩසටහන් නිෂ්පාදනය කරමින් මුළු බලයම මැතිවරණය සඳහා යෙදවූවා. ඒ වගේම තමයි පොලිසිය. අවසානයේදී මැතිවරණ කොමසාරිස්‌වරයාට සිදුවූවා නීති විරෝධී ප්‍රචාරක කටයුතු ඉවත් කිරීම සඳහා පොලිසියට ලබාදුන් මුදල් පවා ඉවත් කර ගැනීමට. ඒ ආකාරයෙන් පොලිසියේ කාර්යභාරය ආණ්‌ඩුවට වාසිදායක ලෙස හැසිරවූවා. ඒ වගේම තමයි 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම තුළින් අවම ප්‍රජාතන්ත්‍රවාදයවත් රැක්‌කේ නැහැ.

එම නිසා ආණ්‌ඩුව ඒකපාර්ශ්වීය ඡන්ද ව්‍යාපාරයක්‌ ගෙන ගිය බව සඳහන් කිරීමට පුළුවන්. මෙම ඡන්දය සමාන සටන්කරුවන් අතර සිදුවූ ඡන්දයක්‌ ලෙස හැඳින්වීමට බැහැ. ආණ්‌ඩුව මෙම මැතිවරණය කළේ අනෙක්‌ පාර්ශ්වයන්ගේ අත පය බැඳ දමා සියලු රාජ්‍ය බලය යොදා ගනිමිනුයි.

මේ නිසා මෙම මැතිවරණයේ ප්‍රතිඵලය මත අනෙකුත් දේශපාලන පක්‍ෂවල බලය තක්‌සේරු කිරීමට බැහැ. කෙසේ වුවත් ජනතා විමුක්‌ති පෙරමුණේ ඡන්දවල අඩුවීමක්‌ තිබෙනවා. එම තත්ත්වය ඉදිරියේදී වෙනස්‌ කර ගැනීම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය, ගොවි ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, කුඩා තේ වතු හිමියන්, ධීවර ප්‍රජාව කේන්ද්‍රකරගත් ප්‍රචාරක, උද්ඝෝෂණ වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුය යන ස්‌ථාවරයේ ජනතා විමුක්‌ති පෙරමුණ සිටිනවා.

ප්‍රශ්නය - ආණ්‌ඩුව රාජ්‍ය මාධ්‍ය පක්‍ෂග්‍රාහී ලෙස යොදා ගැනීම, ජනතා විමුක්‌ති පෙරමුණට අවාසිදායක ඡන්ද ප්‍රතිඵලයක්‌ ලැබීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක්‌ බව ඔබ සඳහන් කළා.

එහෙත් අතීතයට සාපේක්‌ෂව බැලූවිට මේ වන විට ජනතා විමුක්‌ති පෙරමුණ සතුව ගුවන් විදුලි නාලිකා සහ ප්‍රධාන පුවත්පත් පවා තිබෙනවා. එම පසුබිම තුළ ඔබගේ චෝදනාව පිළිගන්න බැහැ නේද?

පිළිතුර - එම මාධ්‍යයන්ට සහ පෞද්ගලික අංශයේ මාධ්‍යයන්ට කටයුතු කළ හැකි සීමාවක්‌ තිබෙනවා. ඒ වගේම මාධ්‍යවේදීන් බියට පත්කර මාධ්‍යවේදීන් ඝාතනය කර රජයට එරෙහි මතයක්‌ පළකිරීම තර්ජනය මගින් පාලනය කර තිබෙනවා.

ඒ වගේම විවිධ මාධ්‍ය ව්‍යාපාරයන් විවිධ ණය වරදාන, විවිධ ණය සහන, ඒ වගේම ආදායම් බදු සහන ආදී වූ විවිධ වරදාන දෙමිනුත් පෞද්ගලික මාධ්‍ය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරමින් සිටිනවා. මෙම හේතූන් නිසා මේ වන විට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ බලපෑමක්‌ කළ හැකි මට්‌ටමේ සිටින්නේ රාජ්‍ය මාධ්‍යයන් පමණයි.

ප්‍රශ්නය - 1994 ට පසුව ඉතිහාසය ගෙන බැලුවත් ජනතා විමුක්‌ති පෙරමුණ සිංහල ජනතාව වෙත සමීප වී තිබෙන්නේ බෙදුම්වාදයට සහ කොටි ත්‍රස්‌තවාදයට එරෙහි වූ සටන් පාඨ ඔස්‌සේ බව පැහැදිලිව සඳහන් කළ හැකි කාරණයක්‌ වනවා.

එහෙත් ඌව පළාත් සභා මැතිවරණය පවත්වන අවස්‌ථාව වන විට ආණ්‌ඩුව කොටි ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම මගින් ජනතා විමුක්‌ති පෙරමුණ අභිබවා යැමත්, ඒ සමඟම ජනතා විමුක්‌ති පෙරමුණ මාක්‌ස්‌වාදී මූලධර්ම වෙත ගමන් කිරීමත් මැතිවරණ පරාජයට ප්‍රධාන හේතුව වී තිබෙනවා නේද?

පිළිතුර - විශේෂයෙන්ම එක්‌ අවස්‌ථාවකදී රටේ ප්‍රමුඛතම ප්‍රශ්නය බවට ත්‍රස්‌තවාදය පත්වී තිබුණා. රට බෙදා වෙන් කිරීම සඳහා ත්‍රස්‌තවාදී සහ දේශපාලන යන ක්‍ෂේත්‍රයන් දෙක තුළ බෙදුම්වාදීන් කටයුතු කරමින් සිටියා. එය අපේ සංවර්ධනයටත්, අපේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාවගේ සහෝදරත්වයටත්, රටේ ඉදිරි ගමනටත් ප්‍රධාන බාධාවක්‌ බවට පත්වී තිබුණා.

1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පැමිණියේ සාමය පිළිබඳ සඳහන් කරමිනුයි. 1998 දී ඇය පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ යාපනය අල්ලාගෙන යුද්ධය කියාගෙන. 1999 දී පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා ඇය වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරය ප්‍රධාන හේතුවක්‌ වූවා.

ඒ වගේම 2001 දී රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වූයෙත් සාමය කියාගෙන. සෘජුව සඳහන් නොකළත් 2005 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ යුද්ධය කියාගෙන තමයි. මෙම කරුණුවලින් පැහැදිලි වනවා ගත වූ දශක දෙකක පමණ කාලය තුළ එක්‌සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට බලයට පත්වීම සහ පැවැති වාතාවරණය වාසිදායක වී තිබෙන බව. එම තත්ත්වය කිසිසේත්ම ජනතා විමුක්‌ති පෙරමුණට හිතකර වන්නේ නැහැ.

එම පසුබිම තුළ තමයි බෙදුම්වාදයට සහ ත්‍රස්‌තවාදයට එරෙහිවීම අපගේ ප්‍රධාන සටන් පාඨය වූයේ. කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා අප අතුරු මාර්ගවල ගියා. එම නිසා තමයි අපි සංධාන ගොඩනැඟුවේ. එම නිසාම තමයි අපි 2005 දී ජනාධිපතිවරයාට සහාය දුන්නේ. එම නිසාම තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව බිඳ වැට්‌ටුවේ. එම නිසාම තමයි අපි සුනාමි සහන මණ්‌ඩලයට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් ආණ්‌ඩුවෙන් එළියට එන්නේ. එම නිසාම තමයි අපි මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ. අපි ගෙන ගිය වැඩපිළිවෙළ මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා. අපේ පැත්තෙන් විශාල දේශපාලන ජයග්‍රහණයක්‌ අත්කරගෙන තිබෙන බව අප විශ්වාස කරනවා. ඒ කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත් කිරීම. නමුත් එපමණකින් රට බෙදා වෙන් කිරීමේ ෙච්තනාවන් පරාජයට පත්වී නැහැ. යළිත් රට බෙදා වෙන්කිරීමේ දේශපාලනය, දේශපාලන කරලියට එමින් තිබෙනවා. ඒ පළාත් සභා සහ පළාත් සභාවලට වැඩි බලතල ලබාදීම හරහා. පළාත් සභාවත් එයට වැඩි බලතලත් කිසිසේත්ම ලබා නොදිය යුතුය යන ස්‌ථාවරයේ අප සිටිනවා.

එහෙත් මේ රට බෙදුම්වාදය පරාජය කිරීම සඳහා පුළුල් වුවමනාවක්‌ ඉටුකළ යුතු වනවා. ඒ තමයි සාමජ සාධාරණත්වය. මේක අතිශය අසාධාරණ සමාජයක්‌. ඈත ගම්මානයක කෙනකුට හදවත් සැත්කමක්‌ කිරීමට සිදුවුවහොත් මාස 8 ක්‌ පෝලිමේ ඉන්න සිද්ධ වෙනවා. නමුත් මුදල් තිබෙන කෙනකුට පැය 2 න් සැත්කම කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. මෙබඳු අසමානතාවන් විශාල ප්‍රමාණයක්‌ සමාජයේ තිබෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණ බිහි කළේ මෙම සමාජ අසාධාරණය දුරුකිරීම සඳහායි.

සමාජ සාධාරණත්වය තමයි අපගේ ස්‌ථාවරය. කෙනකුට එය මාක්‌ස්‌වාදය කියා අර්ථකථනය කිරීමට පුළුවන්. එය තමයි අප සිටිය ස්‌ථාවරය. 1965 දී අපගේ පක්‍ෂය ගොඩනඟන විට මෙරට තුළ ශක්‌තිමත් බෙදුම්වාදී ව්‍යාපාරයක්‌, සන්නද්ධ ව්‍යාපාරයක්‌ තිබුණෙත් නැහැ. අනික ජනතා විමුක්‌ති පෙරමුණ බෙදුම්වාදය පරාජය කිරීමේ අරමුණ පමණක්‌ ඇතිව ගොඩනැඟූ දේශපාලන ව්‍යාපාරයක්‌ නොවෙයි. එය ගොඩනැඟුවේ සාධාරණ සමාජයක්‌, නිවහල් මිනිසෙක්‌, නිවහල් දේශයක්‌ යන ස්‌ථාවරයේ සිට ගෙනයි. දැන් එම අරමුණු ඉටුකර ගැනීම සඳහා දොරටු විවර වී තිබෙනවා.

ප්‍රශ්නය - මහ මැතිවරණයකදී මන්ත්‍රී ධුරයක්‌ හිමිකර ගැනීම සඳහා පළමුවෙන්ම අවම වශයෙන් 5% ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගත යුතුව තිබනෙවා. පසු ගිය කාලය තුළදී පැවැති පළාත් සභා මැතිවරණවලදී ජනතා විමුක්‌ති පෙරමුණ එම ප්‍රතිශතය ලබාගෙන තිබුණේ අවස්‌ථා කිහිපයකදී පමණයි.

මෙම පසුබිම තුළ ඉදිරියේදී පැවැත්වීමට ඉඩ තිබෙන මහ මැතිවරණයත්, ජනතා විමුක්‌ති පෙරමුණට අවාසිදායක වීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර - මහ මැතිවරණයක්‌ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලබන වසරේ අප්‍රියෙල් මාසයේදීයි. ඒ සඳහා තවත් මාස 8 ක කාලයක්‌ තිබෙනවා. මෙම කාලය තුළ විශාල දේශපාලන වෙනස්‌කම් සිදුවීමට ඉඩ තිබෙනවා. අද වන විට ආණ්‌ඩුව රජයේ සේවකයන්ට නිසි පරිදි වැටුප් ගෙවා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම මෑත ඉතිහාසය ගෙන බැලුවොත් වැඩිපුර වගාබිම් අත්හැර දමා තිබෙන්නේ පසුගිය කාලය තුළදීයි. විශේෂයෙන්ම පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, කුරුණෑගල වැනි ප්‍රදේශවල ඉඩම්වලින් දෙකෙන් පංගුවක්‌ වගාකර නැහැ. ඒ වගේම තවත් ප්‍රදේශයක්‌ දැඩි නියඟයකට මුහුණ දී තිබෙනවා. මේ වසර තුළදී පමණක්‌ 92,000 ක පිරිසක්‌ රැකියාවලින් ඉවත්කර තිබනෙවා. 30,000 ක්‌ උපාධිධාරීන් විරැකියාවෙන් පෙළෙනවා. වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා සටන් කළ මඩකලපුවේ තරුණයන් අද රැකියා ඉල්ලා මඩකලපුව ඔරලෝසු කණුව යට උපවාස කරනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් තමන්ගේ අතදරුවන් ද වඩාගෙන ඇවිත් කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාස කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාර පවත්වාගෙන ගිය බොහෝ දෙනකුගේ ආදායම් තත්ත්වය ඇහිරී තිබෙනවා.

මෙම සියලු කරුණුවලින් පැහැදිලි වනවා දැවැන්ත කඩා වැටීමක්‌ සිදුවී තිබෙන බව. මෙම තත්ත්වය තුළ නිසි කලට මැතිවරණ පැවැත්වුවහොත් ආණ්‌ඩුව දුෂ්කරතාවකට පත්වන බව පැහැදිලියි. ඒ තුළ මේ රටට අලුත් මඟපෙන්වීමක්‌ කිරීමට අප සූදානම්. ඒ මතින් අපට ප්‍රතිඵලදායක බලයක්‌ හිමිවේය කියා අප විශ්වාස කරනවා.

ප්‍රශ්නය - දකුණු පළාත් සභා මැතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරණයත් පැවැත්වීමේ සූදානමක්‌ පවතින බව වාර්තා වනවා.

ජනතා විමුක්‌ති පෙරමුණ එම මැතිවරණයට අපේක්‌ෂකයකු ඉදිරිපත් කරනවාද? එසේ නොමැති නම් සංධානයක්‌ ගොඩ නඟා පොදු අපේක්‌ෂකයකු ඉදිරිපත් කරනවාද?

පිළිතුර - පළමුවෙන්ම ආණ්‌ඩුව ප්‍රකාශ කළ යුතුයි. තවත් වසර දෙකක්‌ තිබියදී ඊට පෙර මැතිවරණයක්‌ කැඳවන්නේ ඇයිද කියන කාරණය පිළිබඳ. ජනාධිපතිවරයාට 2011 නොවැම්බර් 17 දක්‌වා බලයේ සිටීමේ හාකියාව පවතිනවා. එසේ බලයේ සිටීමේ හැකියාව තිබියදී ඔහු මැතිවරණයක්‌ කැඳවන්නේ ඉදිරියේදී ඇති වන අභියෝග පිළිබඳ දන්න නිසයි. ඒ අනුව පැහැදිලි වනවා අර්බුදයක ඉන්නේ කවුද කියන එක.

ඒ වගේම ඉදිරි වසර වලදී ඔහුට රට සංවර්ධනය කළ හැකි නම්, නීතිය ස්‌ථාපිත කළ හැකි නම් මේ රට සදාචාරසම්පන්න කළ හැකි නම් ඇයි ඔහු වසර 2 කට පෙර මැතිවරණයකට යන්නේ.

අනෙක්‌ කාරණය ජනාධිපතිවරයාට තවත් ධුර කාලයක්‌ සඳහා මැතිවරණයකට යන්න සදාචාරත්මක අයිතියක්‌ නැහැ. 2005 ජනාධිපතිවරණය අවස්‌ථාවේදී අප මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දුන්නේ පළමු ධුර කාලයෙන් පසු නැවත ජනාධිපතිවරණයකට යන්නේ නැහැ කියන කොන්දේසිය පිට. ඒ වගේම මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඔහු මේ රටට වැඩදායක ලෙස ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන බව සඳහන් කර තිබෙනවා. ඔහු ජනමතයට අනුව කටයුතු කරනවා නම් ඔහුට තවත් ජනාධිපතිවරණයක්‌ පවත්වන්න ඉඩක්‌ නැහැ. ජනමතය අනුව ඔහු යළිත් ජනපතිවරණයක්‌ නොපැවැත්විය යුතුයි. අපි රට පුරා ඒ සඳහා උද්ඝෝෂණයක්‌ ගෙන යනවා.

ප්‍රශ්නය - ඔබ එසේ ප්‍රකාශ කළත් ආණ්‌ඩුව ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම සඳහා සූදානම් වන බව පැහැදිලි කාරණයක්‌ වනවා.

අපි අහනනේ එම මැතිවරණයේදී ඔබ ගන්න තීන්දුව කුමක්‌ද කියන එකයි.

පිළිතුර - ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම කිසිසේත්ම සුදුසු නැහැ. එය ජනවරමට පටහැනියි. ඒ උද්ඝෝෂණය තමයි ජනතා විමුක්‌ති පෙරමුණ ගෙන යන්නේ. එහි ප්‍රතිඵල බලමු.

එහෙත් ජනාධිපතිවරණයක්‌ පැවැත්වුවහොත් අවස්‌ථා ගොඩක්‌ තිබෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණ තනිවම තරග කිරීම, ජනතා විමුක්‌ති පෙරමුණ හා ඒකබාද්ධ වූ පොදු අපේක්‌ෂකයකු ඉදිරිපත් කිරීම, ඒ වගේම ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට එරෙහිව පොදු ව්‍යාපාරයක්‌ ගොඩ නැඟීම, ආදී සලකා බැලිය යුතු කරුණු කාරණා ගණනාවක්‌ තිබෙනවා. මේ මොහොත වන විට ජනතා විමුක්‌ති පෙරමුණ එම කරුණු පිළිබඳ විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින්, යම් යම් එකඟතාවන්ට පැමිණෙමින් ගමනක්‌ ආරම්භ කර තිබෙනවා.

සාකච්ඡා කළේ එරික්‌ ගාමිණී ජිනප්‍රිය

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v