කුඩිල්ලක්‌ හදන්නම් කොටු ගේ ලොකු වෙන්ට
නෑනේ වරෙන් ගෝහාලේ කුද හන්ට
තරම දැන හදන බින්තැන්නේ ගෙවල්

යනුවෙන් සිය නෑනාට අදිරි කරන තරුණයා තම බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා කුඩිහැල්ලක්‌ තනන්නේ නෑනා සහේට ගේන්ටය. බින්තැන්නේ වෙල්ලස්‌සේ පැඟිරන් මහගේ රඳන්නේ කුඩියක්‌ ගන්ට කල වයස හරියන කල්ය. කුඩිය ගන්ට පෙර කුඩිහැල්ලක්‌ හදා ගැනීම කාගේත් සිරිතකි. කුඩිය බිරිඳය. ඇයට සෙවණ දෙන ගෙය කුඩිහැල්ලය. සමහර ඊට කුඩිල්ල යෑයිද වහරකි. බින්තැන්නේ ගැටව් නාඹර අවදියේම කුඩාවට හෝ උන්සිය පොළක්‌ හදා ගනිති. උන් දෙන්නාට ලගින්ට පොළක්‌ හෙවත් ගෙයක්‌ හදා ගන්නවාට ඇතැම්විට බින්තැන්නේ ඇත්තන් කියන්නේ උන්සිය පොළක්‌ හදා ගන්නවා යනුවෙනි. පෝඩ් ගෙවල් වල සිංහල උළු සමනන සිරිතක්‌ ඇතත් අනෙක්‌ උන්නේ ගෙවල වහළ ඉලුක්‌ හෙවිල්ලන එක එදා මෙදා තුර සිරිතක්‌ව පවතී.

කුඩියක්‌ ගෙනාවාම ලගින්නට කොටු ගෙයක්‌ හෙවත් කාඹරයක්‌ තිබිය යුතුය. ඒ නිසාවෙන් මඩු ගේ එක්‌කලා කොටු ගේ හදන මොවුන් කොටුගේට යා වෙන්ට උයන ගේ ඉදිකරන්නේ අගුපිළටත් එක්‌ක ඉඩ කඩ ඇතුන්ය. අගුපිළ වගේම මේ ගෙවල්වල ඇල මුගුලක්‌ ද තිබෙයි. ගෑනුන් දොට්‌ට පිළට යන්නේ ඇල මුගුලටය.

ඔයි ඇලමුගුලට මදක්‌ ඔබ්බෙන් ගෙට පරිබාහිරව කිලි පැලක්‌ හදන එකක්‌ අවනියමෙට නැතුං කළ යුත්තකි. ගැහැනුන් නැති ගෙයකට කිළිs පැලක්‌, මල්වර පැලක්‌ නැතුවට කාන් නැත. ඇලමුගුල කියන්නේ පිළිකන්නය. කුඩිහැල්ලක හෙවත් කුඩියක්‌ සහේ ගේන්ට හදන ගෙයක කොටු ගෙයකුත්, එතුළ කොට්‌ට පිලක්‌ හෙවත් ඇඳ පිලිකුත් තිබිය යුතුවාක්‌ මෙන්ම කොටු ගෙට යාව උයන ගෙයකුත් ඇලමුගුලකුත්, කිළි පැලකුත් තිබිය යුතු වේ.

ආදියේ බින්තැන්නේ වෙල්ලස්‌සේ ගෙවල් හැදුවේ මණ්‌ඩි වශයෙනි. එක පරපුරක අයියා මලෝ, අක්‌කා නගෝලාගේ ගෙවල් එකම මැඩිල්ලක්‌ හෙවත් මිදුලක්‌ වටා හදන අතර ගෙවල් පිහිටියේ මැඩිල්ල වටා අර්ධ කවාකාරවය. දූ බෑනලා හෙවත් දූ පුතාලා මෙන්ම පුතා දූලාත් අලුතෙන් පැල් ගැහෙන්ට වුණාම උන්ගේ ගෙවල් මේ ආකාරයට මහගේ දෙපැත්තෙන් ඉදිකර ගන්නේ පොදු මැඩිල්ලක කේන්ද්‍ර කර ගෙනය. එවිට එම ගෙවල් කිහිපයකට ඇත්තේ එක මිදුලකි. හවස්‌ මානේ ගිනි මැලයක්‌ ගසා එක්‌ රොක්‌වන ගෙවල් මණ්‌ඩියේ දරු දැරියන්ට කිරි අම්මලා කිරි අප්පලා ජන කවියක්‌ ජනකතාවක්‌ කියා දෙති. නැතහොත් තේරවිල්ලක්‌ කියති.

මෙවැනි මැඩිල්ලක්‌ වටා ඇති ගෙවල් මණ්‌ඩි කිහිපයකින් ගම්මණ්‌ඩියක්‌ නිර්මිත විය. එම ගම් මණ්‌ඩියේ ප්‍රධානියා ගමණ්‌ඩිය. ගෙවල් මණ්‌ඩියකට සමෝසෙට තියෙන මැඩිල්ලට එක්‌වන පැටා බැටූන් දවස පුරාම සමුහෙට කෙළිති. කිරි අම්මා, කිරි අප්පා, අත්තා, මුත්තා නැන්දම්මා, මාමණ්‌ඩි වගේ නෑ පරපුරේ උන් සමුහෙට මේ අන්දමට ගෙවල් ඉදි කර ගෙන සිටීම නිසාවෙන් එක උන්හිටි පොළක උයන ගේ ළිප ඇවිළුණේ නැතිනම් අනෙක්‌ ගෙවල්වලින් උන්ගේ ගෙදර අඩුව පිරි මැහේ. මේ අන්දමට එක මැඩිල්ලට උන්සිය පොළවල් ඉදි කර ගෙන ඉන්ට බැරිව ගියේ කාලයක්‌ සමග වරිගේ ඇත්තන්ගේ බෝ වීම වැඩි වීමත්, හේන් ගොවිතැන සඳහා ගමෙන් ඈතට යාමට සිදු වීමත්, එක යායට හේන් කැපීමට කැලෑ බිම් නැති වීමත් නිසාය.

කැලෑබද ගම්මානවල ඉදි කරන්නේ අප පෙර සඳහන් කළ පරිදි ලී කණු සිටුවා වරිච්චි බැඳ මැටි තබා සකස්‌ කර ගත් ගෙවල්ය. එවැනි ගෙවල් හැදීමට කියන්නේ ගේ ගොඩනගනවා යනුවෙනි. නමුත් ඇතැම් ගම්මානවල ඇති පැති එවුන් (පෝඩ්යාරේලා) පෝඩ් ගෙවල් බඳිති. පෝඩ් ගෙවල් යනු පොහොසතුන්ගේ ගෙවල්ය. පෝඩ්යාරේලාගේ ගෙවල්ය.

එවැනි ගෙවල් ගඩොලෙන් හෝ කළු ගලෙන් බඳින ඒවාය. ගෙයක්‌ බඳිනවා කියන්නේ ගෙයක්‌ බිත්ති බැඳ ඉදි කිරීමටය. ගෙයක්‌ බැඳීමට අවශ්‍ය අන්න පන්නේ ටික හොයා හමනන එක ලේසි පාසු දෙයක්‌ නොවේ. අන්නපන්නේ ටික හොයා හමන්ට ගොහුන් ඇතැමෙක්‌ අමාරුවේ වැටෙති. එහෙම අට්‌ටන් වෙන්නේ ඇඟිල්ලේ තරමට වඩා ඉදිමෙන්ට ගොහුන්ය. එවැනි ඇබැද්දියකට පත්වුණ ගැමියෙකු ගැන ගැමියන් දොඩන්ට වූයේ. බොටා, අරෙයි තිසාමි බුඩා ගමණ්‌ඩි පෝඩියාරේ ගේ බඳිනවා දැකලා ඒකත් ගෙයක්‌ බැඳ දෙන්ට බාසට කියලා. මොනා ඉතින් බාසා කිව්ව අන්න පන්න ටික හොයා හමන්නන්ට ගොහුන්, ගල් ගඩොල් ටිකයි ලී දඬු ටිකයි ළං කේ ගත්තා ඉතරයි. කුලි මලි ගෙවා ගන්ට බැරුන් අරෙයි පහුන් දා ගොන් බානයි, කරත්තෙයි මට්‌ටයාට දීලා කාසි ගත්තා හෙමයි. ආ... හත්තණ්‌ඩේ මසිනා ඔහේ තමයි පිඩියේ හැටියට අමුඩේ ගහන් නැතුං ලොකු වැඩ කේන වුන්ට වෙන දේ ආ......

නැතුං වෙන මොනා බොටා? කලවැද්දෝ වැළ කනකොට කෝඳුරුවෝ හැප්පිලා මැරෙනවා හෙමයි නේ ආ....

නැතුං මලේ ඔව්වා කාට කාටත් හොඳ මට්‌ටු. අහස්‌ පාට්‌ට පාත්වන ගානට (ගහෙන් කුරුම්බා ඇට්‌ටි වැටෙන ගානට) වින්නැහි හඹා එන බැද්දේ ඇත්තෝ විච්ච කොට සිහි බුද්ධියෙන් වැඩ කේන්ට ඕනෑයි. දැන් බලාපකොයි, යකාට පුක නැති වුණා වගේ ඔයි බුඩාට වෙච්ච දේ. මෙදා පාර ඔයි බුඩාට බාසට ගෑනිත් දෙන්ට වෙයි හෙම ආ..... බැද්දේ ඇත්තන් ගේ දොර ඉදිකිරීම සඳහා මුළු සේසතම වැය කොට ණය තුරුස්‌ වීම නොකරයි. ඔවුනට පරිසර හිතකාමි ලස්‌සන ගෙයක්‌ වියදමින් තොරව අඩු ශ්‍රමයකින් ගොඩ නගා ගත හැකිය.

තමන්ගේ තත්ත්වය අවබෝධ නොකරගෙන අනුන් කරන පරිදි කරන්න. වාලේ වැඩ කරන්නට ගොස්‌ අමාරුවේ වැටුන කෙනෙකු ගැන ඇතිවුණ කතා බහ තුළින් අපේ ජන සංස්‌කෘතිය මැනවින් දිස්‌වේ. තමන්ගේ තත්ත්වයේ හැටියට වැඩ නො කරන්නා හිනාවට ලක්‌ කරන ගැමියා පිඩියේ හැටියට අමුඩේ ගැහිල්ලක්‌ ගැන කියන්නේ ඔහු ලබා ඇති ජන විඤaCදාණය විදහා දක්‌වමිනි. පිඩියට වැඩියෙන් ලොකුවට අමුඩ රෙද්ද ගතහොත් අමුඩය ඇඳීම අසීරු වේ. එමෙන්ම වඩා කුඩාවට ගතහොත් අමුඩ හීරුවෙන් හෙළුව නො වැසේ. ලොකු උන් කරන වැඩ පුංචි උන් කරන්ට යැමෙන් සිදුවන්නේ ද අමාරුවේ වැටීමකි. වැළ වරකා බහුලව තිබෙන වෙල්ලස්‌සේ බින්තැන්නේ ඇත්තන් මෙහිදී බැවහැරයට ගෙන ඇත්තේ බින්තැන්නේ වෙල්ලස්‌සේ සම්බන්ධතාව තුළින් ලබා ගත් උරුමේවාසිකම් විදහා දක්‌වමින් විය යුතුය.

කාලයක්‌ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ රජ දහනක්‌ ව තිබුණ බින්තැන්නේ යකුන් පිළිබඳ පවතින විශ්වාසය අති මහත්ය. සාමාන්‍යයෙන් යකුන් මස්‌ මාංශ කෑමට ගන්නා විශාල ආහාර කොටසක්‌ ගිල දමන වුන්ය. යකා ජීවත් වන්නේ කන්ටය. මිනී කන්ටය. කන්ටම උපන් යකාට කට තිබුණත් වැඩක්‌ නැති වන්නේ අවශ්‍යම දෙය නැති වීම නිසාය. කන්ට උපන් එකාට අවශ්‍යම දෙය නැති වුවහොත් කෑ ඒවා පහරන්ට බැරිව මහත් අමාරුවක වැටේ. ඒ විදිහේ අමාරුවේ වැටුන යකෙක්‌ අරභයා හැදුන පිරුළක්‌ උපයෝගී කරගෙන ගෙයක්‌ හදන්ට ගොස්‌ කරත්තයත් ගොන් බානත් නොමැති වීමෙන් තිසාමි බුඩාට ගොවිතැන් බත්වලින් නිසි ප්‍රයෝජනයක්‌ ගැනීමට නොහැකිවන බව ගැමියා කීවේ පාරම්පරික ජන විඤaCදාණය උපයෝගී කර ගෙනය.

ඔයි කියන තාලේ ලොකු ගෙවල් නැතුවට බින්තැන්නේ ඇත්තන් හදන ඇතැම් ගෙවල් තුළ ද ගෙයකට අවශ්‍ය අංගෝපාංග දක්‌නට ඇත. කිළි පැල හෙවත් මල්වර පැල එයට නිදසුනකි. පිළිකන්නට මඳක්‌ ඈතින් කෙහෙල් පඳුරු දෙහි වැල් අස්‌සේ වහන්පිහාවට කිළි පැල හදාපි ඕනෑ වෙන්නේ ගෑනුන්ටය. පිළි හොඳ වුණාම දින දෙක තුනක්‌ උන් ලගින්නේ කිලි ගෙය තුළය. කුඩම්මැහියන් මල්වර වුණාම වෙන් කර තබන්නේ මේ ආකාරෙටම හැදූ මල්වර පැලකය.

එපමණක්‌ නොව ඇතැම් ගෙයක දරු ප්‍රසූතය සඳහා ගෙයි තුළ තිඹිරි ගෙයක්‌ ද වෙන් කර ඇත. දරු ප්‍රසූතියෙන් පසු දින කිහිපයක්‌ යනතෙක්‌ ඇඟ දොවා ගැනීමටද ඔළුවේ වත්කොරා ගැනීමට ද හැකිවන සේ ගෙයි මැද හතරැස්‌ වළක්‌ හාරා පතුළට හා වටේට ගල් යොදා වතුර බැස යැමට කාණුවක්‌ සහිත ඉදි කළ කිළි වළ නාන කාමරයකින් ඉටු කර ගත හැකි කාර්යයන් කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.

සඳරුවන් ලොකුහේවා

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v