"සරච්චන්ද්‍ර අපේ හද බස
කුමුදු විල පොබැයූ සරා සඳ"


(මෙම අගෝස්‌තු 16 වැනිදාට යෙදෙන 13 වැනි අනුස්‌මරණය නිමිත්තෙනි.)

විසිවන සියවසේ මෙරට ජනිත ප්‍රාඥයන් අතර මීට වසර දහතුනකට පෙර අප අතරින් වියෝ වූ මහාචාර්ය එදිරිවීර රංජිත සරච්චන්ද්‍රයන්ට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. එතුමන්ගේ බහුරූපී පෞද්ගලිකත්වය පිළිබඳ සංගෘහිත චිත්‍රයක්‌ මවාගනු රිස්‌සෝ සරච්චන්ද්‍රයන් සතු වූ සමය සමයාන්තර දැනුම, භාෂා භාෂාන්තර පරිචය, ශාස්‌ත්‍ර ශාස්‌ත්‍රාන්තර ඥනය මතු නොව නිසග ප්‍රතිභාව ද මැනවින් අවශෝෂණය කළ යුක්‌තාහුය. එකී සුලකුණු පිළිබඳ විවිධ පැතිකඩ එතුමන්ගේ ගුණානුස්‌මරණ ලිපි ලේඛන තුළින් ගත වූ වසර දහයකට වැඩි කාලවකවානුවක අප විසින් හඳුන්වා දී ඇති අතර, මෙම ලිපිය සම්පාදනය වන්නේ සරච්චන්ද්‍රයන්ගේ භාෂා නිපුණත්වය පිsළිබඳව කෙටි හැඳින්වීමක්‌ කරනු පිණිසය.

භාෂාවක්‌ වූ කලී කිසියම් ජනතාවකගේ සංස්‌කෘතික අනන්‍යතාව ප්‍රකට කරවන මුඛ්‍ය අංගය වේ. චිරාත් කාලයක්‌ මුළුල්ලේ ජනතාවක්‌ අත්පත් කරගන්නා දැනුම, අත්දැකීම පමණක්‌ නොව අනුභූතීන් ද අනාගත පරපුරට දායාද කර බෙදා හරිනු ලබන්නේ ද භාෂාව ඇසුරිනි. මෙනයින් ජාතියක සංස්‌කෘතික අනන්‍යතාව අනාගත පරපුරට පවරා දීමේ මහඟු කාර්යය පැවරී ඇත්තේ භාෂාවට බැව් පැහැදිලිය. අප රට සාහිත්‍යධරයන් අතර මෙකී උතුම් කටයුත්තේ නිමග්න වූ ප්‍රවීනයෝ එමට වූහ. ඔවුහු අතරින් සරච්චන්ද්‍රයන් තරම් තම ලේඛන කටයුතුවලදී විෂය හා තේමාවට අනුගතව සිංහල බස හැසිරවූ අවශේෂ ලේඛකයන් ඇතොත් ඇත්තේ අතලොස්‌සක්‌ පමණි.

සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණාත්මක බස්‌ වහර පිළිබඳ විමසීමේදී අප ප්‍රථමයෙන්ම දතයුතු කරුණක්‌ වන්නේ එතුමන් සතු වූ අනුපම භාෂා සංවේදිතාවයි. භාෂා සංවේදිතාව යනු හුදෙක්‌ භාෂා රැසක්‌ දැන සිටීම හෝ ඒවායේ ඓතිහාසික පරිණාමය, වියරණය කටපාඩමින් දැන සිටීම පමණක්‌ නොවේ. සන්නිවේදන කාර්යද උදෙසා බස සුඛනම්‍ය සේ හැසිරවීමේ කුසලතාවය.

ස්‌වකීය භාෂා නිපුණත්වය මුවහත් කර ගැනීමේදී සරච්චන්ද්‍රයන් අපේ මව්බසට ආශ්‍රයභූත වූ පාලි, සකූ ඈ බස්‌හි එන වදන් සිංහලට යොදා ගෙන ඇත්තේ මනෝරම්‍ය වූ අයුරිනි. "පුතු සෙනේ මස්‌ නහර හම සිඳ - ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද..." යනුවෙන් ප්‍රබන්ධිත සිංහබාහු නාටකයේ එන තේමා ගීතය වුවද ඊට කදිම නිදසුනක්‌ වේ. එමතුද නොව අපේ චිරන්තන සම්භාව්‍ය කවි සමයේ එන වදන් සරච්චන්ද්‍රයන් යොදා ගන්නේ "ඖචිත්‍ය සිද්ධාන්තය" අකුරටම පිළිපදිමිනි.

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන් සඳහන් කරන අන්දමට "ඇතැම් විට පැරණි කවි සමයෙහි එන ඇතැම් කාෙව්‍යාක්‌ති පාදක කොට ගෙන නව කාව්‍ය සංකල්පයන් නිර්මාණය කිරීමෙන් රසිකයා විසිතුරු ලොවකට ගෙනයැමට ද සරච්චන්ද්‍රයෝ සමත් වෙති." මුළු මහත් ජීවිතයම ශාස්‌ත්‍රයට කැප කළ උද්දාල බමුණ කවි කල්පිත කත තම දෑස්‌ ඉදිරියේ ප්‍රාදූර්භූත වූ විගසින් කෙතරම් චිත්ත විපර්යාසයකට පත් වන්නේද යන්න දැක්‌වීම සඳහා සරච්චන්ද්‍රයන් උපයුක්‌ත කරගන්නා බස එම සංකල්පය උද්දීපනයට ඉවහල් වන අන්දම පහත දැක්‌වෙන "පෙමතො ජායතී සොකෝ" නාට්‍යයේ ගීතයෙන්ම පසක්‌ කරගත හැකි වේ.

මා නිසා නෙත් මිණි පහන් තුළ

දල්වනුය පෙම් දැල්ල නොනිවා

එකලු කරනුය මහද මැදුරක

අරක්‌ ගෙන ඇති අඳුර දුරලා

අනේක භාෂා ප්‍රවීණත්වය සරච්චන්ද්‍රයන්ගේ බස්‌ වහර හැඩගැස්‌වීමට දායක වූ අන්දම දැක්‌වීම සඳහා තවත් උදාහරණයක්‌ මෙහිලා දක්‌වනු කැමැත්තෙමි. සරච්චන්ද්‍රයන්ගේ නවකතා අතුරින් "මළගිය ඇත්තෝ" හා "මළවුන්ගේ අවුරුදු දා" යන කතාද්වය වූ කලී ඔහුගේ මට සිලිටි ගීතාත්මක බස්‌ වහර පිළිබඳ අගනා නිදසුන් සේ බොහෝ විචාරකයෝ පෙන්වා දෙති. එම කතා දෙකම ලියෑවී ඇත්තේ ජපාන පසුබිමේ බැව් අපි දනිමු. සංස්‌කෘතීන් දෙකකට අයත් පුරුෂයකු හා ස්‌ත්‍රියක අතර හටගන්නා ප්‍රේමයේ භාවාතිශය හැඟීම් නිරූපිත එම කතාවන්හි සරච්චන්ද්‍රයන් පාඨකයා ජපාන පරිසරය වෙතට ගෙන යන්නේ නිරායාසයෙන් මෙනි. ඒ සඳහා ජපන් බසෙහි යෙදුම් හා කාෙව්‍යාක්‌ති යොදා ගන්නේ නිරායාසයෙන් මෙන්ය. පහත දැක්‌වෙන කොටස වෙත අපි මොහොතකට අවධානය යොමු කරමු.

"ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තාම උසුලාගෙන යන්නේ ස්‌ත්‍රීන් යයි මට හැඟී ගියේය. පැරණි කවීන් කියූ පරිදි සියුමැලි යනගි අතුමෙන් නැමී ඔවුහු කෙතරම් ලාලිත්‍යයෙන් ඒ බර උසුලත්ද? ඔවුන් කතාබහ කරන ලීලාවෙහි, තේ කෝප්පයක්‌ බත් බඳුනක්‌ අතට ගන්නා හැටියෙහි මේ ශිෂ්ඨාචාරය පිළිබිඹු වී පෙනේ."

"සියුමැලි යනගි අත්තක්‌ මෙන් නැමී" යනු කෙතරම් සුන්දර යෙදුමක්‌ද?

සරච්චන්ද්‍රයන්ගේ විපුල කාව්‍ය ගුණයෙන් පරපෝෂිත බස්‌ වහර මැනවින් ප්‍රකට වන්නේ එතුමන්ගේ දෘශ්‍ය කාව්‍ය තුළින් බව ප්‍රකට කරුණකි. මේ පිළිබඳ කොතෙකුත් ඇගයීම් පළවී ඇති බැවින් ගුණදාස අමරසේකරයන්ගේ නිරීක්‍ෂණ කීපයක්‌ පමණක්‌ මෙහිලා සඳහන් කරමු.

"සරච්චන්ද්‍රයන් දෘශ්‍ය කාව්‍ය විශාල සංඛ්‍යාවක්‌ ලියා ඇති බස පිළිබඳ සලකා බලන විට එය දහතුන්වැනි සියවසින් පසු දිගින් දිගටම පැවත එන අපගේ කවි බසෙහි සම්පිණ්‌ඩනයක්‌ ලෙසට දැකීම නිවැරදි වෙයි. එදා මෙදා පැවත ආ වියත් කවියේ බස මෙන්ම ජන කවියේ බස ද සරච්චන්ද්‍රයන් විසින් සිය නාට්‍ය මගින් එක්‌තැන් කර ඇතැයි අපට කිව හැකිය. මෙය බොහෝ දෙනකු විසින් වටහා ගෙන ඇති බවක්‌ නොපෙනේ. මේ ලෙසින් බලන විට අද්‍යතන කවිය සඳහා උචිත බසක්‌ සෙවීමේ යෙදී සිටින වත්මන් කවීන්ට සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය තෝෂ්ඨාගාරයක්‌ වෙයි.

දහතුන්වැනි සියවස සිට පැවත එන ඒ කවි බස මෙසේ කරළිය මත තබා වත්මන් සහෘදයා වෙත ඉදිරිපත් කිරීම නිසා එක්‌තරා වැදගත් කාර්ය දෙකක්‌ සරච්චන්ද්‍රයන් අතින් ඉටු වී ඇතැයි මම සිතමි. එකක්‌ නම් ඒ බස සජීවී, කවීන් විසින් සෝචනය කළයුතු බසක්‌ බව විදහා පෑමයි. අපට දෙන ලද අධ්‍යාපනය විසින් මෙන්ම ඊනියා නුතන උගතුන් විසින් ද අපට කියා දෙන ලද්දේ සියවස්‌ කීපයක්‌ පැරණි ඒ බස මළ බසක්‌ බවයි. භාවෝද්දීපනය කළ නොහැකි වනි ශක්‌තියෙන් තොර වූ බසක්‌ බවයි. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය ඒ මිථ්‍යාව සුණු විසුණු කරන්නක්‌ විය. ඒ බස භාවෝද්දීපනය සඳහා සුදුසු නොමළ බසක්‌ පමණක්‌ නොවේ. ඇතැම් ක්‍ෂේත්‍ර අරභයා වත්මන් සහෘදාභ්‍යන්තරයෙහි භාවෝද්දීපනයක්‌ ඇති කිරීමට නම් මේ බස විනා අන් බසක්‌ නොමැති බව ද සරච්චන්ද්‍රයන් විසින් ඉතා ව්‍යක්‌තව පෙන්නුම් කරන ලදී.

සරච්චන්ද්‍රයන් විසින් සිය නාට්‍ය මගින් ඉටුකරන ලද දෙවන කරුණ නම් මේ බස යොදාගත යුතු ආකාරය වත්මන් පරපුරට පෙන්වා දීමයි. ඊට මූලික හේතුව සරච්චන්ද්‍රයන් අග්‍රගණ්‍ය කවි ශක්‌තියෙන් යුතු කවියකු වීම යෑයි මම සිතමි. ශ්‍රී රාහුල හිමියන්ගෙන් පසු සිංහල වියත් වහරෙහි ව්‍යඤ්ජන ශක්‌තිය අතැඹුලක්‌ සේ පිරිසිඳ ගත් කවියා සරච්චන්ද්‍ර වෙයි.

සරච්චන්ද්‍රයන් ගේ විචාර ග්‍රන්ථයක සිරස්‌තල පවා මනරම් කාෙව්‍යාක්‌ති මගින් ඉදිරිපත් වන්නේ කාව්‍ය වූ කලී වාචිකාර්ථය ඉක්‌මවූ ව්‍යංග්‍යාර්ථයම බැව් සිහිගන්වමිනි. "කල්පනා ලෝකයේ" එතුමා යොදා ඇති සිරස්‌තල ඒ සඳහා නිදසුන්ය. "හෙට එච්චර කළුවර නෑ", "වල්මත්වී හසරක්‌ නුදුටිමි", "ලොකු පුතා නොහොත් බන්දුලගේ පරාවර්තය" වැනි එතුමාගේ නවකතා නාම පවා දක්‌වා ඇත්තේ එපරිද්දෙන්ය. තමා අමතන පාඨක ශ්‍රාවක පිරිස හොඳින් දැන හැඳින ඔවුන්ගේ සුඛාවබෝධය උදෙසා ගැඹුරු අදහස්‌ වුවද ඉතා සරලව දැක්‌වීමට සරච්චන්ද්‍රයන් සතු වූ නිසග හැකියාව ප්‍රකට කරවන නිදසුනක්‌ සේ එතුමන් විසින් රචිත "ධර්මිෂ්ඨ සමාජය" නමැති කෘතිය දැක්‌විය හැකිය. ධනවාදී "ලිබරල් ආර්ථිකයේ" අනිටු විපාක හුවාදක්‌වමින් ලියෑවුණු එම කෘතිය තුළින් සරච්චන්ද්‍රයන්ගේ අපේක්‍ෂාව වූයේ ජනතාවට "මිහිබට තව්තිසාවක්‌" පහළ කෙරෙමි" යි පොරොන්දු වෙමින් මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකය තුළ මංමුළා වූ ජනතාවගේ නැණැස පහදා දීමය. මංමුලාවට බඳුන් වී ඇත්තේ බුද්ධිමත් වූ අතලොස්‌සක්‌ පමණ වූ ජනතාව නොව රටේ අතිමහත් බහුතරය වූ සාමාන්‍ය ජනතාවය. එබැවින් එකී බහුතරයගේ ඥාන ප්‍රදීපය දල්වනු උදෙසා ලියෑවුණු එම කෘතියට උපයුක්‌ත කරගෙන ඇත්තේ. ඔවුන්ට ගෝචර වන බස්‌ වහරක්‌ මිස ශාස්‌ත්‍රීය ලේඛනයක දක්‌නා ව්‍යක්‌ත භාෂාවක්‌ නොවේ. ඒ බැව් "අද ලාංකික සමාජය බහුතර ජනතාවට ක්‍ෂේම භූමියක්‌ නොව, අභය භූමියක්‌ නොව සොර බිය, සතුරු බිය, රෝග බිය හා රැකියා බියෙන් පිරුණු බැද්දක්‌ වී ඇත. මහ පාරට බැස යන විට පවා ජීවිතය පරදුවට තබා යා යුතුය...." වැනි යෙදුම් පිරික්‌සීමෙන් පෙනේ.

එකී කෘතියේ බොහෝ පරිච්ඡේද ආරම්භයට පෙර දක්‌වා ඇති "සංවර්ධනයේ ගීතය", "මහ රැජිනට බැති පෙමින් "ජීවන වියදම ඔන්න බැස්‌සුවා" වැනි කව් පොදු ජන මනසට ගැලපෙන අන්දමින් සරල ව්‍යවහාරික බසින් ලියා ඇති බව අප අමතක කළ යුතු නොවේ.

සරච්චන්ද්‍රයන් සතු වූ නිර්මාණශීලී භාෂා නිපුණතාවය ඔහුගේ සෑම ග්‍රන්ථයකින්ම නොමඳව පෙනේ. වරෙක එම බස්‌ වහර, එහි යෙදුම්, පද බෙදීම, වාක්‍ය සංයෝජනය පවා අප තුළ මනෝ රූපයන් උත්පාදනය කරයි සභානුභූතියක්‌ ලබාදීමට සමත් වේ. එතුමන්ගේ පිං ඇති සරසවි වරමක්‌ දෙන්නේ නම් චරිතාපදාන කෘතියේ බස්‌ වහර මීට කදිම නිදසුනකි. විශේෂයෙන්ම එහි එන ශාන්ති නිකේතනය, වංග දේශය හා භාරතීය දර්ශනය යන පරිච්ඡේදය මෙහිලා විමසුම් මනාය. "අසම්පූර්ණ චාරිකා සටහන්" නම් කෘතියේ බස වුවද තේමානුබද්ධව හසුරුවා ඇති අයුරු අපූර්වය.

සරච්චන්ද්‍රයන් භාෂා රාශියක්‌ ප්‍රගුණ කළ භාෂා පරමේශ්වරයකු බව අපි දනිමු. සිංහල මෙන්ම ඉංගී්‍රසි බස ද ව්‍යක්‌තව හැසිරවීමට එතුමෝ සමත් වූහ. පාලි සංස්‌කෘත මතු නොව හින්දි හා වංග බස ද එතුමෝ දත්හ. ජපන් බස පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ එතුමා සතු විය. අපරදිග බස්‌ අතුරෙන් ප්‍රංශ බස පිළිබඳව සරච්චන්ද්‍රයන් සතු වූ පරිචය මා දැන ගත්තේ එතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කරද්දී රාජදුත වාර්තාව (Dසචකදප්එසජ Reචදරඑ) සම්පාදනයේදී "ල මොන්ද්", "ල පිගාරෝ" වැනි ප්‍රකට ප්‍රංශ පුවත්පත් කියවා එම කාර්යයේ නියෑළෙනු දැක ඇති බැවිනි. 1945 දී පමණ ඒ. පී. ගුණරත්නයන් සමඟ සිංහලට පරිවර්තනය කරන ලද ප්‍රංශ කෙටිකතා සංග්‍රහයේ එතුමා සඳහන් කර ඇත්තේ මහත් පරිශ්‍රමයෙන් මුල් ප්‍රංශ පෙළ ද සස මෙම පරිවර්තනය කළ බවකි.

සරච්චන්ද්‍රයන්ට සිංහල බසින් මෙවැනි හාස්‌කම් දැක්‌වීමට හැකි වූයේ මෙරට වියත් බස හා ජනබස පිළිබඳව ඔහු සතු වූ පුළුල් අවබෝධය තම නිසග කවීත්වයට මෙවලමක්‌ කොට ගැනීමට හැකි වූ බැවින් ඔහු ලත් භාෂා භාෂාන්තර දැනුම නිසා. ඒ තුළින් ඥන ගවේෂණ කාර්යයේ යෙදෙමින් අනේකවිධ ඥන සම්භාරයක්‌ අවශෝෂණය කර ගැනීමේ වාසනාව ලද බැවිනි.

එදත් අදත් මෙරට සිංහලෙන් නිර්මාණ කෘති බිහිකරන විශිෂ්ට ලේඛකයෝ සිටිති. ශාස්‌ත්‍රීය කෘති සම්පාදනය කරන වියත්හු සිටිති. ඒ අතර ඉංග්‍රීසියෙන් ශාස්‌ත්‍රීය කෘති ලියන උගත්තු වෙති. නිර්මාණාත්මක කෘති ලියන්නෝ ද වෙති. එහෙත් සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද නිර්මාණාත්මක කෘතීන් මෙන්ම ශාස්‌ත්‍රීය කෘති ලියූ එකම ලාංකික ලේඛකයා වීමේ ගෞරවය අදටත් හිමිවන්නේ සරච්චන්ද්‍රයන්ට පමණි.

පී. බී. ගලහිටියාව

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v