කලා සටහන්

සුපිපි මනරම් ආකාස කුසුම්

සිනමාවට තව තවත් තහංචි හා වාරණ යෝජනා කෙරෙන කලා විදූෂකයන්ගේ නග්න ජවනිකා නරඹමින් භ්‍රමණය වන සිනමා කලා රසිකයන්ට දුලබ ප්‍රාතිහාර්යක්‌ වන් සිනමා නිර්මාණයක්‌ නැරඹීමේ භාග්‍ය ලදිමි. ඒ වූ කලී ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද "ආකාස කුසුම්" නමැති රමණීය සිනමා කාව්‍යයයි. සැබැවින්ම එය සිංහල සිනමා මරුකතර සිහිල් කරන්නට ම සුපිපි ආකාස කුසුමක්‌ මැයි.

ප්‍රසන්න විතානගේ යනු සමකාලීන සිනමාකරුවන් අතර ධී ශක්‌තියෙන් මෙන්ම අපූර්ව ප්‍රතිභාවෙන් ද පිරිපුන් ශ්‍රී ලාංකික සිනමාකරුවෙක්‌ ලෙස ජගත් කීර්තියට ද පාත්‍ර වූවෙකි. සමාජ යථාර්ථයේ හා සමාජ චලනයේ ප්‍රතිවිපාක ලෙස දෝලනය වන ගැහැනිය හා මිනිසා දෙස දයාර්ද්‍රව බැලීමට තරම් සංවේදී සිනමාකරුවෝ අද ඉතා විරලයහ. ප්‍රසන්න ඒ විරල සංවේදී ගුණයෙන් හා විවේක බුද්ධියෙන් යුතු මහා සම්ප්‍රදායේ සිනමාකරුවකු බව ආකාස කුසුම් අපට කියයි.

මම මෙහිදී චිත්‍රපටය පිළිබඳ විවේචනයකට නොයමි. ඒ සඳහා වෙන අවස්‌ථාවක්‌ තෝරා ගත යුතුය. එහෙත් දිගු කලකට පසු අපූර්ව සිනමා කෘතියක්‌ නැරඹීමෙන් ලද ආශ්වාදයත් චමත්කාරයත් මගේ මේ සටහනට නිමිති විය. අප මහත්සේ ආදරය කරන ඉන්ග්මාර් බර්ග්මාන් වරක්‌ සඳහන් කළ පරිදිම "සිනමාව යනු මිනිස්‌ ආත්මය විනිවිද යන ප්‍රබල ආලෝක ධාරාවක්‌ වන් සියුම් අවියකි. ප්‍රසන්න ඒ ආලෝකය නමැති අවිය භාවිත කරමින් මිනිස්‌ අධ්‍යාත්මයෙහි ආලෝකය හා අඳුර අප අබියසට රැගෙන එන අපූර්ව නිර්මාණ කරුවෙකි. එමගින් සිනමා ප්‍රාතිහාර්ය පාන්නෙකි.

මනුෂ්‍යත්වයේ සංකීර්ණ බව ගූඨ බව හා ඉරණම විසින් පුද්ගලයන්ට කෙරෙන බලපෑම් ද ප්‍රසන්න අනාවරණය කරන්නේ හරියටම කොට්‌ට උරයක්‌ කණපිට හරවන්නාක්‌ මෙනි. ප්‍රසන්නට මොන ආකාරයේ අවලාද නැගුවත් ඔහුගේ අධ්‍යාත්මයේ මුල් මේ මහපොළවට ඇද තිබෙන බව ඒ නිර්මාණ සියුම්ව විඳින කවර රසිකයකු ට වුවද ප්‍රත්‍යක්‍ෂ වන්නකි. රූපමය ආඛ්‍යානයක විචිත්‍ර ආශ්වාදයත් ජීවිතයෙහි ගැඹුරත් සිනමාව ලෙස පසක්‌ කර ගත් සිනමාකරුවකුගේ විලාසය ප්‍රසන්න අපට පෙන්වා දී තිබේ.

ප්‍රසන්නගේ විවාදාත්මක නිර්මාණයක්‌ වූ "පුරසඳ කළුවර" මගේ මතකයට එයි. එයට හිමි වූ දේශීය අවලාද අභිබවා ජගත් සිනමාවේ පැසසුම් ලද අයුරු රසිකයෝ දනිති. යුද්ධය විසින් බිඳ දමන ලද අපගේ සංස්‌කෘතික අධ්‍යාත්මය කෙතරම් බිහිසුණු ලෙස වල්මත්වී තිබේද යන්න ප්‍රසන්නගේ ප්‍රශ්නය විය. යුද ආධිපත්‍යයේ හිස එයින් සලිත වන බව ඇත්තය. එහෙත් සිනමාකරුවකු ලෙස ප්‍රසන්න දැක්‌වූ නිර්භය විලාසයත් ඔවුන්ගේ සෞන්දර්යය දැක්‌මත් සිනමා රසිකයන්ට ලැබුණු ත්‍යාගයක්‌ නොවේද?

ප්‍රසන්නගේ ආකාස කුසුම් නිසැකයෙන්ම සිනමාවේ සියලු වියරණයද තාක්‍ෂණය ද පිරිසිඳ දත් ජීවිතාවබෝධයෙන් පැසුණු සෞන්දර්යාත්මක සිනමා ප්‍රකාශනයකි. එහි සියුම් සංවේදී ගුණය විටෙක අපගේ දෑසට කඳුළක්‌ ද නංවයි. ස්‌ත්‍රීත්වයේ සුකුමාරත්වය ද එය වටා විහිදී ඇති සංස්‌කෘතික පීඩනය ද සන්ධ්‍යා රාණිගේ ආත්මය පෙලන අයුරු අපි කම්පිතව බලා සිටිමු.

ජීවිතයේ අර්ථය කුමක්‌දැයි ඒ ගැහැනිය නගන ප්‍රශ්නයට ඔබට පිළිතුරක්‌ තිබේදැයි මම නොදනිමි. නිළි රැජිනක්‌ ලෙස අහසට නැගෙන ස්‌ත්‍රියගේ සුකුමාර ගුණය ප්‍රචණ්‌ඩ ලෙස වනසා දමා හපයක්‌ බවට පත් කරන ලද සමාජ බලවේගය දෙසට ප්‍රසන්න අප රැගෙන යයි. සන්ධ්‍යා රාණි නම් වූ හුදෙකලා ගැහැනිය හෙළන හැම කඳුළකටම හේතුවක්‌ තිබෙන බව අපට හැඟෙයි. ජීවිතය මොනතරම් ප්‍රහේළිකාවක්‌ ද?

සන්ධ්‍යා රාණිගේ ජීවිත යාත්‍රාව වෙරළක්‌ නැති සයුරක්‌ දිගේ ඇදී යන අයුරු අපි බලා සිටිමු. කුතුහලය, දුක, වේදනාව, වෛරය යනාදි සියලු මිනිස්‌ හැඟීම් හා හැසිරීම් වෙන වෙනම අපි තේරුම් ගනිමු. සන්ධ්‍යා රාණි උත්ප්‍රාසයෙන් කියන එක්‌ වදනක්‌ අපට ඇසෙයි. "ඒ", "මිනිහ" යන තනි වචනයකි. අපට කවදා හෝ ඒ "මිනිහා" හඳුනා ගත හැකිද? ගැහැනියගේ ප්‍රාර්ථනා ලොව ඒ "මිනිහා" වටා දෝලනය වන අයුරු අපි දකිමු. සත්තකින්ම මිනිහාගේ අනන්‍යතාවට අපට දිය හැකි නිර්වචනය කුමක්‌ද?

ආකාස කුසුම්හි එන සන්ධ්‍යා රාණි මුළු මහත් සමාජයෙන්ම අසා සිsටින එම ප්‍රශ්නයට පිළිතුරක්‌ සොයා ගත හැකිද? ප්‍රසන්න සිය සිනමාව තුළින් මනුෂ්‍යත්වයේ ගැඹුරු පත්ලටම කි බසින ගමන්ම එහි සෝකීය රිද්මයත් අපට ඇසෙන්නට සලස්‌වන සිනමාකරුවෙකි. ඔහුගේ සිනමා ශෛලිය හා ප්‍රකාශන ශක්‌තිය දැන් එහි උපරිම තලයටම එළැඹී ඇතැයි මට සිතුණේ ආකාස කුසුම් නැරඹීමෙන් පසුවය. සත්තකින්ම ප්‍රසන්න සිනමා අධ්‍යක්‍ෂවරයකුගේ වෙසින් සිටින රමණීය කවියෙක්‌ ලෙස මම දකිමි.

ආකාස කුසුම් ප්‍රසන්නගේ මෙන්ම මාලිනී ෆොන්සේකා නමැති අග්‍රගන්‍ය නිළි රැජිනගේ ද කලා පෞරුෂයෙහි කූට ප්‍රාප්තිය ලෙස මම දකිමි. ලෝකයේ කවර යුගයක වුවද මාලිනි වැනි ප්‍රතිභාන්විත නිළියකගේ පහළවීම දුර්ලභ බව මගේ විශ්වාසයයි. ආකාස කුසුම් හැම අංශයකින් ම පරිසමාප්ත රමණීය සිනමා අත්දැකීමක්‌ බව දැනට මම ලියා තබමි.

ගාසු
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v