සංගක්‌කාරගේ අභියෝගය

කෝඩුකාර නායක සංගක්‌කාර තම පළමු පූර්ණ තරගාවලිය නිමා කළා. ඒ පකිස්‌තානය සමගින්.

20-20 ලෝක ක්‍රිකට්‌ තරගාවලියේදීත් අවසාන මහා තරගය කරා ශ්‍රී ලංකාව මෙහෙය වූ සංගක්‌කාර පකිස්‌තානයට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගත්තා. ඒ 2-0 ක්‌ ලෙසින්. එතැනින් නොනැවතී සංගක්‌කාර එක්‌දින තරගාවලියේ ජයග්‍රහණය කරාද ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවූවා. ඒ, 3-2 ක්‌ ලෙසින්. ඒ අනුව සංගක්‌කාරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු ටෙස්‌ට්‌ තරගාවලියත් එක්‌දින තරගාවලියත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. ලෝක කුසලාන 20-20 තරගාවලියේ අවසන් තරගයේදී පකිස්‌තානය හමුවේ ලද පරාජයේ වාඩුව පිරිමසා ගැනීම පිණිස පැවැති 20-20 තරගය මේ සටහන තබන අවස්‌ථාව වන විටත් අවසන්ව තිබුණේ නැහැ. එය ශ්‍රී ලංකාව ජයගත්තේ නම් පකිස්‌තානය තම සංචාරයේ සියලු අංශවලින් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූවා ලෙස ඉතිහාසගත වේවි. නැතිනම් 20-20 ක්‍රිකට්‌ තරග සඳහා තමන් තුළ ඇති නිසඟ හැකියාව මෙවරද පකිස්‌තානුවන් ප්‍රදර්ශනය කරා වෙන්න ඇති.

පකිස්‌තානය තම තරග සංචාරය නිම කරන්නටත් පෙර ශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ සම්ප්‍රාප්ත වුණා. ඒ ඩැනියෙල් විටෝරිගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායම. ටෙස්‌ට්‌ තරග දෙකකට සහ ඉන්දියාවත් සහභාගි වන තුන් කොන් එක්‌දින තරගාවලියකට නවසීලන්තය ශ්‍රී ලංකාවේදී සහභාගි වෙනවා. මේ ක්‍රිකට්‌ සැණකෙළියේ සොඳුරු ඵල නෙළාගැනීම සංගක්‌කාර ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ අරමුණ වන බව නිසැකයි. ඒ සඳහා නායක සංගක්‌කාරගේ සහයට මහේල, සනත්, මුරලි, ඩිල්ෂාන් ප්‍රමුඛ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයනුත් ඇන්ජලෝ, චාමර, තිලාන් තුෂාර, කුලසේකර ඇතුළු නවක ක්‍රීඩකයනුත් සැදී පැහැදී සිටිනවා. ඇවැසි වෙන්නේ ඒ සහය ලබා ගෙන පකිස්‌තාන කණ්‌ඩායම දමනය කළේ යම් සේද, එසේම නවසීලන්තය සහ ඉන්දියාව දමනය කිරීමයි.

පකිස්‌තානය ටෙස්‌ට්‌ තරගාවලින් පරාජය කළ ශ්‍රී ලංකාව එය 2-0 ක්‌ ලෙස ජය ගත්තේ පළමු තරග දෙක විශිෂ්ට ලෙස ජය ගනිමින්. එහි අවසන් තරගයේදී පකිස්‌තානය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියද අවසානයේ ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තා. ඒ නායක සංගක්‌කාරගේ විශිෂ්ට ශතකයත් සමගින්. ඔහුට අනගි සහයක්‌ වූනේ නවක ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්‌. එසේ පකිස්‌තානයට ලබන්නට තිබූ ජයග්‍රහණයේ වාසියත් ශ්‍රී ලංකාව තමන් දෙසට හරවා ගෙන තරගාවලියේ කිසිදු ටෙස්‌ට්‌ තරගයක ජය පකිස්‌තානයට ලබා නොදෙන්නට ශ්‍රී ලංකාව වග බලා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්‌ගේ අවසාන ටෙස්‌ට්‌ තරගයද වූ එය එලෙසින් නිමා කිරීමට හැකිවීම සමුගන්නා වාස්‌ට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමෙන් හිමි වූ තිළිණයක්‌ වුණා. අවසානයේ වාස්‌ගේ ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පැටිකිරිය එලෙස කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේදී නිමා වුණේ ඔහුගේ දෙනෙතට වැටුණු කඳුළු කැටයක්‌ද සඟවා ගනිමිනි.

ටෙස්‌ට්‌ තරගවලින් අනතුරුව ශ්‍රී ලංකාවත් පකිස්‌තානයත් දඹුල්ලට ගියේ එක්‌ දින තරගාවලියේ පළමු තරග තුන සඳහා සහභාගි වෙන්න. සැමදා පිතිකරුවන්ට අවාසිදායක යෑයි සැලකෙන දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරග දෙකේදීම වැඩි ලකුණු ප්‍රමාණයක්‌ වාර්තා වුණේ නැහැ. පන්දු යවන්නන්ගේ පාරාදීසයක්‌ බඳු වූ එම තරග දෙකේ වීරයන් වීමේ වැඩි ගෞරවයක්‌ සුපුරුදු පරිදි පන්දු යවන්නන්ට හිමි වුණා. ශ්‍රී ලංකාව මෙම තරග දෙකම ජයගත් අතර එහි පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී පකිස්‌තානය ලකුණු 288 ක්‌ රැස්‌ කළා. එය දඹුලු ක්‍රීඩාංගනයේ කණ්‌ඩායමක්‌ ලැබූ ඉහළම ලකුණු ප්‍රමාණය වූ අතර ශ්‍රී ලංකාවේ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරියගේ සහායද එම තගරයේදී ශ්‍රී ලංකාවට නොලැබී තිබුණු නිසා තරගය පකිස්‌තානය ජය ගනු ඇතැයි විචාරකයන් අනාවැකි පළ කරනු ලැබුවා. ඒ නිසාම ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා සනත්ගේ ස්‌ථානයට උසස්‌ වීමක්‌ ලැබුවේ හිටපු නායක මහේල ජයවර්ධන. ලකුණු - ක ඉලක්‌කයක්‌ හඹා යාමේ කණ්‌ඩායමේ අභියෝගය සහ දිගු කලක සිට ලකුණු අතරට ඒමේ දැඩි පිපාසයකින් පෙළෙමින් සිටි මහේලට ඒ තරගය අමරණීය එකක්‌ම වුණා. උපුල් තරංග සමග එක්‌ව පළමු කඩුල්ල සඳහා දඹුලු ක්‍රීඩාංගණයේ වාර්තාගත සබඳතාවයක්‌ පිහිටු වූ මහේල එම ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයකු ලැබූ ඉහළම ලකුණු ප්‍රමාණයද වාර්තා කළා. පන්දු 108 ක්‌ තුළ හතරේ පහර 14 ක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 123 ක්‌ රැස්‌ කළ මහේල දැවී ගියේ එම තරගයේ ජයග්‍රහණය පමණක්‌ නොව තරගාවලියේ ජයග්‍රහණය සඳහාද ශ්‍රී ලංකාවට අවශ්‍ය මග හෙළි පෙහෙළි කර දීමෙන් අනතුරුවයි.

මෙලෙස පළමු තරග තුනම ජයගැනීමෙන් ලද තරගාවලි ජයත් සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රි තරග සඳහා ශ්‍රී ලංකාව සහභාගි වුණේ යම් සැහැල්ලුවකින් වන්නට ඇති. ඒ සැහැල්ලුවේ කඩතොළු අතරින් පරාජයේ අඳුරු මතකයන් තුනී කර ගන්නට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පකිස්‌තානයට සහය දුන්නා. විශේෂයෙන් එම තරග දෙකේදීම කාසියේ වාසිය පරාජය වූ ශ්‍රී ලංකා නායකයාට දෙවැනියට පන්දුවට පහර දීමට සිදු වීම එම තරග දෙක පරාජය වීම සඳහා බලපෑ මූලිකම හේතු සාධකය වූණා. අවසන් තරගයේ ලද පරාජයත් සමග ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් දිවා රාත්‍රි තරග 10 ම දෙවනුව පන්දුවට පහරදුන් කණ්‌ඩායම පරාජයට පත් වුවා ලෙස ඉතිහාසගත වෙනවා. එකී පරාජයේ රැල්ලෙන් බේරෙන්නට ශ්‍රී ලංකාවට හැකි වුණේ නැහැ. පළමුව පන්දුවට පහර දීමේදී පිතිකරුවන්ට රිසි ලෙස හැසිරීමට ඉඩ දෙන ප්‍රේමදාස ක්‍රීඩාංගණය රාත්‍රියේදී පිතිකරුවන් මකුළු හුයකින් බැඳ තබන්නා සේ හිර කර තැබීමට රාත්‍රියේ පතිත වන පින්නත්, විදුලි ආලෝකයත් එක ලෙස අත්වැල් බැඳ ගත්තා. එහි වාසියෙන් උපරිම ඵල නෙළාගත් ප්‍රතිවාදී පන්දු යවන්නන් වන මොහමඩ් අමීර් සහ රානා නවෙඩ් උල් හසන්ගේ පිතිකරුවන් අන්දමන්ද කරන පන්දුවලින් ගැලවෙන්නට ශ්‍රී ලංකාවට හැකි වුණේ නැහැ. අවසානයේ පකිස්‌තානයේ පරාජයේ ඉඩෝරයට වැටුණු පොද වැස්‌සක්‌ ලෙස එම තරග දෙක වාර්තා පොත්වලට එකතු වුණා. තරගාවලියේ වීරයා ලෙස තිළාන් තුෂාර සම්මාන ලැබූ අතර ටෙස්‌ට්‌ තරගාවලියේ වීරයා වීමේ ගෞරවයද නුවන් කුලසේකර විසින් හිමි කර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල නව අරම්භයක පෙර නිමිති කියා පාමින්. පන්දු යවන්නෙක්‌ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරගාවලියකදී හෝ එක්‌ දින තරගාවලියකදි වීරයා වූයේ නම් ඒ අවස්‌ථා මෑත ඉතිහාසයේ සියයට අනූවකට වඩා හිමි කරගත්තේ මුත්තයියා මුරලිදරන් හෝ චමින්ද වාස්‌. අජන්ත මෙන්ඩිස්‌ද එම වික්‍රමය සිදු කළ දක්‌ෂ නවකයකු වන නමුත් වේග පන්දු යවන්නන් දෙදෙනකු එලෙස සම්මානයට පාත්‍ර වීම පැසසිය යුත්තක්‌ම වෙනවා. එසේම "වොලිබෝල් පීල්ඩර්" ලෙස විරුදාවලි ලැබ සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ තුන් ඉරියව්වෙන්ම ප්‍රදර්ශනය කරන විශිෂ්ට හැකියාවන් ද කිසි ලෙස අඩුවෙන් තක්‌සේරු කරන්න බැහැ. මතු දිනෙක ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බොහෝමයකට උර දෙන බවට කියා පාන මැතිව්සේගේ ක්‍රීඩා ශෛලිය සැබවින්ම ආකර්ශනීය එකක්‌. මැතිව්ස්‌ගේ පමණක්‌ නොව සමස්‌තයක්‌ ලෙස ශ්‍රී ලංකා කණ්‌ඩායමේද ක්‍රීඩා ශෛලිය නව මගකට යොමු වී ඇති බව සංගක්‌කාරගේ නායකත්වයෙන් පසුව විදහා දැක්‌වෙමින් තිබෙනවා. ඇවැසි වන්නේ ඒ ශෛලිය ජයග්‍රහණයේ ශෛලියක්‌ම වීමයි. නවසීලන්තය එහි තවත් අභියෝගයක්‌ පමණයි.

කුෂාන් සුබසිංහ

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v