සංස්‌කෘතික පොලිසිය සහ සංස්‌කෘතික ලණු!

ආතර් සී. ක්‌ලාක්‌ විද්වතා විසින් ලියන ලද "2001 ස්‌පේස්‌ ඔඩිසි" නමැති චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ලෝක ප්‍රකට ස්‌ටැන්ලි කුබ්රික්‌ සිය මරණයට පෙර කළ අවසන් චිත්‍රපටය "අයිස්‌ වයිඩ් ෂට්‌" ය. ලෝක සිනමාවේ ස්‌මාරකයක්‌ වන මේ චිත්‍රපටයේ ධාවන කාලයෙන් 75% ක්‌ම නිරුවතින් සිටින ගැහැනුන් සහ පිරිමින්ගෙන් පිරී පවතින්නේ ය. ඒ චිත්‍රපටයට සහභාගි වූ ගැහැනුන් සහ පිරිමින් ගණන තුන්-හාරසියයක්‌ පමණ වුවද ඒ කිසිවකුගේත් රහස්‌ අංගෝපාංග නො පෙන්වීමට කුබ්රික්‌ පරෙස්‌සම් විය. මේ නිසා "අයිස්‌ වයිඩ් ෂට්‌" (Eyes Wide shut) චිත්‍රපටය ඞ වර්ගයේ හෙවත් වැඩිහිටියන්ට පමණක්‌ වෙන් වූ චිත්‍රපටයක්‌ ලෙස ශ්‍රේණිගත කිරීමට එය ප්‍රදර්ශනය කළ කිසිදු රටකට වුවමනා වුණේ නැත.

"වැඩිහිටියන්ට පමණක්‌" ලේබලය යටතේ ප්‍රදර්ශනය කෙරෙන සියලු චිත්‍රපට තහනම් කළ යුතු ය යනුවෙන් සිනමාකරුවන්ගේ සංස්‌කෘතික පොලිසිය ලෙස සැලකෙන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලය සහ ඇතැම් මූලධර්මවාදීන් තීරණය කළ විට කුබ්රික්‌, යාන් තාඩාර්, අන්ද්‍රො වයිඩා, රොමාන් පොලාන්ස්‌කි වැනි උත්තම චිත්‍රපටකරුවන්ගේ නිර්මාණ කිසි කලෙකත් සිනමා ශාලා තුළ නැරැඹීමට නොහැකි වන බව සිතා අපි මහත් සේ ප්‍රකම්පිත වූයෙමු. එහෙත් මේ තහනම යොදන ලද්දේ ගැහැනුන්ගේ සහ වනචර පිරිමින්ගේ කාම දර්ශන ප්‍රදර්ශනය කිරීම එකම අරමුණ කරගත් ඇගේ වෛරය 1,2,3,4,....... වැනි චිත්‍රපට සඳහා බව පමණක්‌ ඇසීමෙන් අපි මහත් සේ සතුටු වූයෙමු. මෙවැනි චිත්‍රපට නිෂ්පාදනය කරන අය ද, අධ්‍යක්‍ෂණය කරන අය ද, අනංග රංගනයට දායක වන නළු නිළියන් ද මහ උළු ගෙදර කොහු තැලීමට යෑවිය යුතු බව අපගේ ද අදහස ය. ඒ හැරෙන්නට උසස්‌ ගණයේ ලිංගික තේමා ඇතුළත් චිත්‍රපටවලට අත නොතැබිය යුතු ය. තව එක උදාහරණයක්‌ කියමු. පසුගිය ඔස්‌කාර් උළෙලේ හොඳම චිත්‍රපට අතරට නම්වුණ "ද රීඩර්" (රන්ජන් රාමනායකගේ ලීඩර් හෙම නොවේ.) චිත්‍රපටයේ තේමාව නාසි වද කඳවුරක සිටි කාන්තාවක්‌ සහ පසුව ඇය හා සම්බන්ධ වන වයස අවුරුදු පසළොසක්‌ පමණ වන යෞවනයකු අතර ඇතිවන ක්‍රියාකාරකම් මත ගෙතී තිබේ. මෙවැනි චිත්‍රපටයක්‌ තහනම් කිරීමට කෙනෙක්‌ කටයුතු කළොත් එය රාජාපරාධයකි.

කෙසේ වුවද අද අපගේ මාතෘකාව වන්නේ එය නොව කැබිනට්‌ නොවන සංස්‌කෘතික ඇමැති පියසිරි විඡේනායක මහතා විසින් ගරු ජනාධිපතිතුමාත්, නියම සංස්‌කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාත්, සංස්‌කෘතික ලේකම්තුමාත් රටින් බැහැර ගිය විට පුවත්පත්වලට නිකුත් කරන ලද ප්‍රකාශයකි. සියලු ටෙලිනාට්‍ය, ටෙලි චිත්‍රපට, වෙළෙඳ දැන්වීම් යනාදිය ද රැඟුම් පාලක මණඩලය යටතට ගන්නා බව. චන්ද්‍රිකා රූපවාහිනි සේවාවන් මගින් පෙන්වන සියලු දේ ද රැඟුම් පාලක මණ්‌ඩලය මගින් අනුමත විය යුතු බව ද විඡේනායක සංස්‌කෘතික ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳ කෙටුම්පත නීතිපතිට ඉදිරිපත් කර ඇති බව කියන හෙතෙම එය කෙරෙන තුරු නොසිට හදිසි ගැසට්‌ නිවේදනයක්‌ මගින් අවශ්‍ය නෛතික විධිවිධාන ලබාගන්නා බව කියමින් ඉක්‌මන් වෙයි.

ජනතා විමුක්‌ති පෙරමුණේ ස්‌වල්ප කලක්‌ ද ජාතික නිදහස්‌ පෙරමුණේ ස්‌වල්ප කලක්‌ ද ගතකර ඇති විඡේනායක කාගේ හෝ ලණුවක්‌ ගිල දමා ඇති බව අපට පෙනේ. මේ ක්‍රියාව ප්‍රායෝගික නැති බව ඔහුට නො පෙනේ. සියලු කරුණු පසෙකින් තබමු. චන්ද්‍රිකා රූපවාහිනි වැඩසටහන් පාලනය කරන්නේ කෙසේද? චන්ද්‍රිකා රූපවාහිනි වැඩසටහන් ඒ මොහොතේම පිටරටවල සිට පැය 24 පුරා විකාශය කෙරේ. තරුණ විඡේනායක ඇමැතිතුමා කල්පනා කරන්නේ ඒ වැඩසටහන් පටිගත කර රැඟුම් පාලක මණ්‌ඩලයට යොමු කර හය මාසයකට පසු ප්‍රදර්ශනය කිරීමද? ඒ අනුව අද සවස පෙන්වන සී. එන්. එන්., බී. බී. සී., අල් ජසීරා ප්‍රවෘත්ති නරඹන්නට වන්නේ හය මාසයකට පසුය. මේ අනුව රැඟුම් පාලක මණ්‌ඩලයේ සාමාජික සංඛ්‍යාව 2000 ක්‌ පමණ කළ යුතු ය. විඡේනායක ඇමැතිතුමාට චන්ද්‍රිකා තාක්‍ෂණය ගැන දැනුමක්‌ නැති බව පෙනේ. එබැවින් රේඩියෝ නිෂ්පාදනය පිළිබඳ පාඨමාලාවක්‌ හදාරා මුල පටන් ගැනීම යහපති.

විඡේනායක මහතාගේ අනවශ්‍ය හදිසිය නිසා සංස්‌කෘතික අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර මතභේදයක්‌ පවා හටගැනීමට ගියේ ය. ශාලාවල පෙන්වන චිත්‍රපට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලය යටතට ගියත් ටෙලිනාට්‍ය, ටෙලි චිත්‍රපට සහ රූපවාහිනි දැන්වීම් නීතිඥ අනුර ප්‍රියදර්ශන ඇමැතිතුමාගේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට යටත් ය. ඒවා පැහැරගෙන රැඟුම් පාලක මණ්‌ඩලය යටතට ගැනීමට කරන තැත අනුන්ගේ වතුවලින් හොර පොල් කැඩීම හා සමාන ක්‍රියාවකි. එසේ පොල් කඩා අසුවන සොරුන්ගේ අත්පා හතර ඉඩම් අයිතිකරුවන් විසින් බිඳිනු ලැබේ. අනුර ප්‍රියදර්ශන යාපා යනු භාරදුන් වැඩය නිසි ලෙස ඉටු කළ දේශපාලනඥයෙකි. යුද්ධයෙන් අවතැන්වූවන්ට ආහාර සැපයීමේදී ඇතැම් දේශපාලනඥයන් බත් පැකට්‌වලින් රුපියල් 5 බැගින් ගසාකන බව ආරංචි වූ විට ජනාධිපතිතුමා ආහාර සැපයීමේ කටයුත්ත ජනමාධ්‍ය අමාත්‍යාංශයට භාර කළේය. එවිට, බණ්‌ඩාරනායක සමරුහලේ පැත්තක ආසියාවේ ලොකුම මුළුතැන්ගෙය විවෘත කළ අනුර ප්‍රියදර්ශන යාපා දිනකට බත් පැකට්‌ හය ලක්‍ෂයක්‌ පමණ සකස්‌ කරමින් ගුවන් හමුදාව හරහා වහා ඒවා උතුරට යෑවීය. ඒ නිසා උතුරේ අවතැන්වූවෝ දකුණේ උණු බත් අනුභව කළහ. අනෙක්‌ අතට තම තමන්ගේ ආයතනවල ටෙලිනාට්‍ය අනුමත කිරීම සඳහා ස්‌වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය දැනටමත් පරීක්‍ෂණ මණ්‌ඩල පිහිටුවා තිබේ. මේ ආයතන මෙන්ම ස්‌වර්ණවාහිනිය ද, සිරස ද, දෙරණ ද, ටෙලිෂාන් රූපවාහිනිය ද, මැක්‌ස්‌ රූපවාහිනිය ද කුණුහරුප පෙන්වන්නේ නැත.

සංස්‌කෘතික අමාත්‍යාංශය ලෝකයේ හොඳම කෞතුකාගාර තුනක්‌ සීගිරියේත්, කතරගමත්, ගාල්ලේත් ඉදිකර ඇත. විඡේනායකගේ අනවශ්‍ය හදිස්‌සිය නිසා මේ අමාත්‍යාංශයට ද මඩ වදී. එය නතර කළ යුතු ය. ඒ අතර විවිධ පඬියන්ට යටත් නොවී තනිව තීරණ ගන්නා ලෙස අපි ජනපතිතුමාගෙන් ද ඉල්ලමු.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v