|

ලංකාව නිසා ලෝක ධාතුවත්
වෙනස්‌වේද?
නිදහස ලැබූ දායින් පසු ලංකාවට පැවති සියලු අභියෝග අභ්‍යන්තර
අභියෝග විය. නිදහසින් පසු මුල් දශක 3 තුළදී ලංකාවේ ඉදිරි ගමනට
බාධාවක් වූයේ නොයෙක් මෝඩ දේශපාලන මතිමතාන්තර හා මතවාදයන්
නිසාය. ඒ දේශපාලන මතවාදයන් නිසා ලංකාවේ පාලකයන් තමන්ගේම කකුලට
වෙඩි තබා ගැනීම වැනි තීරණ ගත්තේය. යන්තම් 1977 න් පසු ඒ යුගය
ගෙවී ගියේය. එක් ප්‍රශ්නයක් ඉවර වන විට තවත් ප්‍රශ්නයක් අපේ
හිස මත පතිත විය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයයි. මීට මාස කීපයකට පෙර
යන්තම් ඒ ප්‍රශ්නයත් ඉවර විය. කුමරන් පද්මනාදන් හෙවත් "KP"
අල්ලා ගැනීමෙන් සනිටුහන් වන්නේ ද ලංකාවට පිළිලයක් වූ ඒ දෙවන
මහා අභ්‍යන්තර අභියෝගයෙනුත් ලංකාව ජයගෙන ඇති බවයි.
අභ්‍යන්තර අභියෝග ඉවර වනවාත් සමග ලංකාවට නිදහස ලැබුණායින් පසු
මුල් වතාවට බාහිර අභියෝගවලට මුහුණදීමට සිදුවිය. පසුගිය මාස
කීපය තුළ ලංකාවට බාහිරින් පැවති විශාලතම අභියෝගය වූයේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදිය යුතුව තිබූ ණය
මුදල ප්‍රමාද කිරීමේ ප්‍රශ්නයයි. කොටි සංවිධානය සම්බන්ධයෙන්
තමන්ට වුවමනා වූ දෙය ලංකාවේ පාලකයන් නොකළ නිසා එයට දඬුවමක්
හැටියට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක් විසින් මාස 3 කට
වඩා වැඩි කාලයක් ඒ ණය මුදල ප්‍රමාද කරන ලදී. අවසානයේදී අපට ඒ
ණය මුදල ලබාගැනීමට හැකි වූයේ ඉන්දියාව ප්‍රමුඛ අපේ මිත්‍ර
රටවල් ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බලපෑම් කළ
නිසාය. අපට ඒ ණය මුදල ලබාගැනීමට හැකිවීමට තවත් හේතුවක් වූයේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් බටහිරින් එන දේශපාලන
බලපෑම්වලට යට වීමට දැක්‌වූ අකමැත්තයි. එය පිහිට වූ දා සිටම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු බොහෝදුරට දේශපාලනීකරණයෙන් තොරවූ
ආයතනයක් විය. දේශපාලන බලපෑම්වලට යටවී කටයුතු කිරීමේ
පුරුද්දක් එහි නිලධාරීන්ටත් නැත. ලංකාව සම්බන්ධයෙන් ඔවුන් වෙත
ආ බලපෑම් නොතැකීම කවුරුත් පැසසිය යුතු කරුණකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධයෙන් පැවති ප්‍රශ්නය
අවසානයේදී ලංකාවට වාසිදායක ආකාරයට විසඳුනි. ඒ ප්‍රශ්නය ඉවර වන
විට දැන් ලංකාවට බටහිරින් තවත් අභියෝගයක් එල්ල වී ඇත. එය
යුරෝපා සංගමයේ රටවලින් ලංකාවට ලැබෙන බදු සහනය තවදුරටත්
ලබාදෙනවා ද නැතිනම් අහෝසි කරනවා ද යන ප්‍රශ්නයයි. මේ
සම්බන්ධයෙන් මේ දිනවල පරීක්‍ෂණයක් කෙරීගෙන යයි. මෙහි තීන්දුව
ප්‍රකාශ වන්නේ ඔක්‌තෝබර් මාසයේය. ඉන් පසු අවසන් තීන්දුවක්
දීමට යුරෝපා සංගමයේ රටවල් රැස් වන්නේ දෙසැම්බර් මාසයේය.
ලංකාවේ ඇඟලුම් සියල්ලම පාහේ මිලදී ගන්නේ ඇමරිකාව හා යුරෝපා
සංගමයේ රටවල්ය. වටිනාකමින් ගත් කල ලංකාවේ නිෂ්පාදිත
ඇඟලුම්වලින් බාගයක් ඇමරිකාවටත් ඉතිරි බාගය යුරෝපා සංගමයට යන
බවත් කිව හැක. මේ ඇඟලුම් කර්මාන්තයෙන් දිවයින පුරා රැකියා තුන්
ලක්‍ෂයක් පමණ නිර්මාණය වී ඇත. 2006 ජනවාරියේ සිට ලංකාවට
GSP+ නමැති විශේෂ බදු සහනය ලැබීම
නිසා ලංකාවේ ඇඟලුම් පමණක් නොව තවත් බොහෝ නිෂ්පාදන යුරෝපා
සංගමයට යන්නේ සම්පූර්ණයෙන්ම බදු රහිතවය. ඒ නිසා ඒ රටවල ජීවත්වන
මිනිසුන්ට ලංකාවේ බඩු වෙනත් රටවලින් එන බඩුවලට වඩා ලාබදායී
බවක් දැනේ. මේ හේතුවෙන් පසුගිය අවුරුදු කීපය තුළ ලංකාවෙන්
යුරෝපා සංගමයට යෑවෙන නොයෙක් අපනයනවල විශාල වර්ධනයක් දක්‌නට
ලැබිණි. ලංකාවෙන් යුරෝපා සංගමයට යවන මුළු අපනයන වලින් 50% කට
වැඩියෙන් ඇත්තේ ඇඟලුම්ය. යුරෝපා සංගමය විසින් සංවර්ධනය වෙමින්
පවතින රටවලට බදු සහන ලබාදීමට විශේෂ ක්‍රම 3 ක් ඇත. ඉන්
පළමුවැන්න වන්නේ රටවල් 100 කට වැඩි ගණනකට ලැබෙන සාමාන්‍ය
GSP ක්‍රමයයි.
GSP යන අකුරු 3 න් කියවෙන්නේ
Generalised Systemof Preferences යන්නයි.
මෙය සිංහලෙන් "සාමාන්‍ය බදු සහන ක්‍රමය" හැටියට පරිවර්තනය කළ
හැක. මේ සාමාන්‍ය GSP ක්‍රමය යටතේ
අදාළ රටවල්වලට ඉතා අඩු බද්දකට යුරෝපා සංගමය තුළට භාණ්‌ඩ අපනයනය
කිරීමට හැකි වනු ඇත. මීට අමතරව EBA
ක්‍රමය නමින් තවත් බදු සහන ක්‍රමයක් ඇත. මේ බදු සහන ලැබෙන්නේ
ලෝකයේ තිබෙන දුප්පත්ම රටවලට පමණි. මේ ක්‍රමය යටතේ
සම්පූර්ණයෙන්ම බදු රහිතව යුරෝපා සංගමයට භාණ්‌ඩ අපනයනය කිරීමට
හැකිය.
නමුත් ලංකාව අද ලෝකයේ දුප්පත්ම රටවල් අතරට ගණන් ගැනෙන්නේ නැත.
ලංකාව අද ගණන් ගැනෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක්
හැටියටය. එම නිසා අපට EBA
ක්‍රමය
යටතේ බදු සහන ලබාගැනීමට නොහැකිය. ලංකාවට බදු සහනයක් ලැබී
ඇත්තේ GSP+ යන නමින් ඉතා මෑතකදී
එනම් 2006 ජනවාරියේ සිට ඇති කරන ලද නව බදු සහන ක්‍රමයක්
යටතේය. මේ GSP+ ක්‍රමය යටතේ බදු
සහනය ලැබීමට පෙර ලංකාවට ලැබුණු සහනය වූයේ සාමාන්‍ය ඨීඡ ක්‍රමය
යටතේ ලැබුණු සහනය පමණි. එනම් 10% ක පමණ බද්දක් ගෙවා යුරෝපා
සංගමයට අපනයනය කිරීමට හැකි වීමේ සහනයයි. එකල 10% ක බද්දක්
ගෙවූවත් ලංකාවේ විශාල ඇඟලුම් හා වෙනත් නිෂ්පාදන ප්‍රමාණයක්
යුරෝපා සංගමය තුළට අපනයනය කරන ලදී. නමුත් 2006, මුල සිට
සම්පූර්ණ බදු සහනය ලැබීම නිසා ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය
විශාල වශයෙන් වැඩි විය.
GSP+ යනු හුදෙක්‌ම වෙළදාමට සම්බන්ධ
බදු සහන ක්‍රමයකි. නමුත් මෙය දැන් ලංකාව හමුවේ ඇති විශාලතම
දේශපාලන අභියෝගය බවට පත්වී ඇත. අප නිදහස ලැබුවායින් පසු
වෙළෙදාම දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වූ මුල්ම අවස්‌ථාව මෙය
යෑයි කිව හැක. ඔක්‌තෝබර් මාසයේ යුරෝපා කොමිසම විසින් ලංකාවේ
GSP+ බදු සහනය සම්බන්ධයෙන් ගන්නා
තීන්දුව මත මේ රටේ කම්කරුවන් දස දහස් ගණනකගේ රැකියා රදා පවතින
නිසා මේ GSP+ නමැති බදු සහන ක්‍රමය
ඉතිහාසය ගැන මදක් සොයා බැලීම වටී. යුරෝපා සංගමය විසින්
සංවර්ධනය වෙමින් පවතින රටවලට බදු සහන ක්‍රමය දශක කීපයක්
මුළුල්ලේ පවත්වාගෙන ගොස් ඇත. එය මුලින්ම තිබුණේ තල දෙකක්
වශයෙනි. ඉන් එක් තලයකදී අදාළ රටවල් 10% ක පමණ සුළු බද්දක්
ගෙවයි. අනෙක් තලයේදී දුප්පත්ම රටවල් කිසිදු බද්දක් නොගෙවා
යුරෝපා සංගමයට අපනයනය කරයි. මෙවැනි බදු සහන ක්‍රම ඇති කරන
ලද්දේ සංවර්ධනය වෙමින් පවතින රටවලට උදව්වක් හැටියටය. මෙයට
දේශපාලනයක් ගෑවී තිබුණේ නැත.
උදාහරණයක් වශයෙන් EBA ක්‍රමය යටතේ
සම්පූර්ණ බදු රහිතව අපනයනය කිරීමේ සහනය ලබා ගැනීමට අවශ්‍ය
වන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් අදාළ රට "දුප්පත්
රටක්" හැටියට සහතික කිරීම පමණි. ඒ සහතිකය යුරෝපා සංගමයට
ඉදිරිපත් කළ විට EBA බදු සහනය ලැබේ.
සාමාන්‍ය GSP ක්‍රමයට ද කිසිදු
දේශපාලන බලපෑමක් තිබුණේ නැත. ධනවාදී යුරෝපය විසින් සමාජවාදී
කියුබාවටත් ඒ සාමාන්‍ය GSP ක්‍රමය
ලබාදෙනු ලැබේ. බටහිර රටවල් සමග නොයෙක් දේශපාලන ගැටුම් ඇති
කරගත් සිම්බාබ්වේ, සෝමාලියාව, සූඩානය වැනි රටවලටත් සාමාන්‍ය
GSP ක්‍රමය ලැබේ.
යුරෝපා සංගමය විසින් ලබාදෙන මේ බදු සහන ක්‍රමයන්වලින් සාමාන්‍ය
GSP ක්‍රමය හා
EBA ක්‍රමය බොහෝදුරට දේශපාලනයෙන් තොර යෑයි කිව හැක.
ලංකාව ද ඒ ක්‍රම 2 න් එකක් යටතේ සිටියේ නම් අද මේ මුහුණදී ඇති
ප්‍රශ්නය නැත.
2006 ජනවාරි මාසයේ සිට GSP+ නමැති
අලුත් බදු සහන ක්‍රමය හඳුන්වා දීමට පෙර යුරෝපා සංගමය විසින්
නොයෙක් විශේෂ බදු සහන ක්‍රම පිළිබඳ අත්හදා බැලීම් කරන ලදී.
ඔවුන්ට අවශ්‍ය වූයේ දුප්පත්ම රටවල් ගනයට වැටෙන්නේ නැති, නමුත්
සංවර්ධනය වන රටවල් ගනයට වැටෙන රටවලට විශේෂ දේවල් වලට විශේෂ
තෑගි ලබාදීමයි. මේ අරමුණ ඇතුව ඔවුන් විසින් වඩාත්ම පරිසර
හිතකාමී නිෂ්පාදන ක්‍රම අනුගමනය කරන රටවලට විශේෂ බදු සහනයක්
ලබාදෙන ලදී. මේ ක්‍රමය යටතේ සාමාන්‍ය GSP
ලබන රටවල් 10% ක බද්දක් ගෙවන්නේ නම් පරිසර හිතකාමී සහතිsකය
ලැබූ රටවලට ගෙවීමට සිදුවන්නේ 8% ක බද්දක් පමණි. ඒ ක්‍රමයට
අමතරව ඉතා හොඳ කම්කරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටවලට තවත්
බදු සහන ක්‍රමයක් ඇති කරන ලදී. ඒ යටතේ ද සාමාන්‍ය 10% බද්ද 8%
ට අඩු කරන ලදී. පරිසර හිතකාමී හා කම්කරු හිතකාමී යන සහතික 2 ම,
ලබාගන්නේ නම් අදාළ රටට ගෙවීමට සිදුවන්නේ 6% ක බද්දකි.
මේ ආකාරයට වඩාත් පරිසර හිතකාමී හා කම්කරු හිතකාමී රටවලට
වැඩියෙන් ප්‍රතිලාභ ලබාදීමෙන් ඒ හොඳ පුරුදු සංවර්ධනය වන රටවල්
අතර ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණ වූවා විය හැක. ලංකාව ද
GSP+ බදු සහනය ලබාගැනීමට පෙර
මුලින්ම ඉල්ලුම්පත් ඉදිරිපත්කොට ඇත්තේ කම්කරු හිතවාදී හා පරිසර
හිතකාමී රටවලට ලැබෙන බදු සහනය ලබාගැනීමටය. නමුත් මේ අතරතුර
යුරෝපා සංගමය විසින් තවත් අත්හදා බැලීමක් කරන ලදී. එනම් ලෝකයේ
දුප්පත්ම රටවල් ගනයට වැටුනේ නැතත් විශාල වශයෙන් මත්කුඩු
ජාවාරම් කර්මාන්තයක් හැටියට පැවති රටවල් මත්කුඩු නිෂ්පාදනයෙන්
බේරා ගැනීම සඳහා එම රටවලට පූර්ණ බදු සහනයක් ලබාදීමයි. මේ
මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රමය යටතේ විශාල වශයෙන් මත්කුඩු
නිෂ්පාදනය කරන ලතින් ඇමරිකානු රටවල් කීපයක් වන බොලීවියාව,
කොලොම්බියාව, කෝස්‌ටාරිකාව, ඉක්‌වදෝරය, ගෝතමාලාව,
හොන්ඩියුරාස්, නිකරගුවා, පැනමා, පේරු, එල්සැල්වදෝරය හා
වෙනිසියුලාව යන රටවලට මේ සහනය ලබාදෙන ලදී. මෙයින් යුරෝපා සංගමය
බලාපොරොත්තු වූයේ එම රටවල භාණ්‌ඩ බදු රහිතව යුරෝපයට අපනයනය කළ
හැකි නිසා ඒ රටවල අලුත් කර්මාන්ත බිහිවී ජනතාව ක්‍රමයෙන්
මත්කුඩු නිෂ්පාදනයෙන් ඈත් වනු ඇති බවයි. නමුත් 2002 දී පමණ
පාකිස්‌තානයත් මේ මත්කුඩු නිවාරණ බදු සහන ක්‍රමයට ඇතුළත් කිරීම
නිසා ඉන්දියාව, ලෝක වෙළෙඳ සංවිධානය World
Trade Organisation(WTO) තුළ නඩු මඟට බැස පාකිස්‌තානය
එයට ඇතුළත් කිරීම නිෂ්ප්‍රභා කෙරුවේය. තවද එම මුළු බදු සහන
ක්‍රමයටම එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානය විසින් තීන්දුවක් ප්‍රකාශ
කරන ලදී. එමනිසා යුරෝපා සංගමයට මත්කුඩු නිවාරණ බදු සහනය පමණක්
නොව පරිසර හිතකාමී හා කම්කරු හිතවාදී බදු සහන ද අහෝසි කිරීමට
සිදුවිය. GSP+ නමැති මේ අලුත් බදු
සහන ක්‍රමය ඇති කරන ලද්දේ කලින් මත්කුඩු නිවාරණ ක්‍රමය යටතේත්
කම්කරු හිතවාදී හා පරිසර හිතවාදී ක්‍රමය යටතේත් සිටි රටවල
උන්නතිය සඳහාය.
2006 ජනවාරියේ සිට නව GSP+ ක්‍රමය
ක්‍රියාත්මක වීමට පටන්ගත් අවස්‌ථාවේ ලංකාවට ද එය ලැබිණි.
යුරෝපා සංගමය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඇති කරන
ලද සෙසු බදු සහන ක්‍රම මෙන්ම GSP+
ක්‍රමය ද සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් තොර විය යුතුය. නමුත් එයට
දේශපාලනය රිංගාගෙන ඇත. GSP+ බදු
සහනයට පමණක් දේශපාලනය රිංගා ගත් ආකාරය මම ලබන සතියේ විස්‌තර
කරමි. ලංකාවේ සිටින කවුරුත් වටහාගත යුතු කාරණය වන්නේ ලංකාව අද
මේ මුහුණ දෙන අභියෝගය සුර-අසුර යුද්ධයට සමාන කළ හැකි දෙයක්
බවය. මේ යුද්ධය ලංකාව දිනුවේ නැතිනම් සුර අසුර යුද්ධයේදී මෙන්
ලෝක ධාතුවත් වෙනස් වනු ඇත. කිසිදාක දේශපාලනයක් නොතිබුණු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළට ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන්
දේශපාලනය රිංගා ගත්තේ නම් ඒ නරක පූර්වාදර්ශය මුළු ලෝකයටම
බලපානු ඇත. සිදුවන්නට තිබූ ඒ විනාශයෙන් ලංකාව පමණක් නොව
ලෝකයටත් යන්තම් ගැලවීමට හැකිවිය. මේ යුද්ධයේම දෙවන පෙරමුණ
වන්නේ මේ GSP+ බදු ක්‍රමයයි. මෙයින්
ද ලංකාව ජයගත යුතුය. ලංකාව පැරදුනහොත් ලෝක ධාතුවත් වෙනස් වනු
ඇත. GSP+ සම්බන්ධයෙන් ලංකාව දෙන මේ
සටන ලෝකය බේරා ගැනීමට දෙන සටනක්‌ය. එමෙන්ම මෙය යුරෝපා සංගමය ද
තමන්ගේම ගොන්කම්වලින් බේරා ගැනීමට දෙන සටනක් ද වන්නේය. දශක
3-4 ක් මුළුල්ලේ සංවර්ධනය වෙමින් පවතින රටවලට අපක්‍ෂපාතී
පදනමක් මත බදු සහන ලබාදීමෙන් යුරෝපා සංගමය විසින් කරන ලද
මෙහෙය, වතුරේ ගසාගෙන යන්නට ඉඩ නොදී ඔවුන් ඔවුන්ගේම මෝඩ
තීරණවලින් බේරා ගැනීමේ මහා සංග්‍රාමයකි මේ.
(ඉතිරි කොටස ලබන සතියේ)
සී. ඒ. චන්ද්‍රප්‍රේම |