ජාතික චින්තනය මගහැර
සංවර්ධනයට වෙන මගක්‌ නෑ


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතුව පැවති ලංකාව එම පාලනයෙන් නිදහස්‌ වී වසර හැටක්‌ ඉක්‌ම ගොස්‌ ඇත. නිදහස ලැබෙන අවස්‌ථාවේ ආසියාවේ ප්‍රබල ආර්ථිකයක්‌ හිමි කරගෙන තිබූ අපේ රට වසර 60 ක්‌ පමණ ස්‌වදේශික නායකයන්ගේ පාලනය යටතේ ආර්ථික පරිහානිය කරා ගමන් කර ඇත. ඒ අවධියේ ඉතා දිළිඳු මට්‌ටමේ සිටි ඉන්දියාව, සිංගප්පූරුව, මලයාසියාව වැනි රටවල් අද ඉතා ඉහළ ආර්ථික තත්ත්වයක්‌ ළඟා කරගෙන තිබේ. අපට බැරිවන්නටත්, ඔවුන්ට පුළුවන් වන්නටත් බලපෑ හේතු සාධක කවරේද යන්න විමසා බැලිය යුතු කරුණකි.

කවර රටක්‌ හෝ සංවර්ධිතව එම රට එම රටේ නිෂ්පාදනවලින් යෑපෙන තමන්ගේම දෙපයින් හිටගත හැකි තත්ත්වයකට පත් කිරීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ එම රටේ මිනිසුන්ට රට ගැන ආදරයක්‌, හැඟීමක්‌ තිබීමය. වෙනත් වචනවලින් කිවහොත් රටේ මිනිසුන්ට ජාතික චින්තනයක්‌ තිබිය යුතු වීමය. අපේ රටේ ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාව රටට ආදරය කරන දේශීය දේ අගය කරන දේශ වාත්සල්‍යයෙන් යුතු පිරිසකි. එහෙත් ඉහළ ස්‌ථරයේ බොහෝ දෙනෙක්‌, විශේෂයෙන් රටේ සංවර්ධනයට යමක්‌ කළ හැකි පිරිස තුළ පවතින පරගැති චින්තනය අපට රටක්‌ වශයෙන් නැඟී සිටීමට ප්‍රබල බාධකයක්‌ වී තිබේ.

නිදහසින් පසු මෙරට බලය ලබාගත් දේශීය ධනේශ්වර පංතිය තුළ මෙම පරගැති චින්තනය හොඳින්ම රෝපණය වී තිබිණි. එය රෝපණය කළේ අධිරාජ්‍යවාදීන්මය. අධිරාජ්‍ය පාලකයන්ට අවශ්‍ය වූයේ ඔවුන් මෙරට අත්හැර යනවිට ඔවුන්ටත් වඩා අධිරාජ්‍යවාදයට කත් අදින කොම්ප්‍රදෝරු ධනේශ්වර පංතියක්‌ මෙරට බිහි කිරීමයි. ඔවුහු එය අකුරටම ඉටු කළහ. ඔවුන් බිහි කළ මිෂනාරි පාසල් මගින් සුද්දන්ටත් වඩා බ්‍රිතාන්‍ය කිරීටයට පක්‍ෂපාත, සුද්දන් ඉදිරියේ දෙකට තුනට නැමෙන නිවට නියාලු පිරිසක්‌ බිහි කිරීමට පදනම දැමීය.

එපමණක්‌ නොව ඔවුන් රට හැර යන විට මෙරට බිහි කළ පාලන තන්ත්‍රය ද, එම කණ්‌ඩායම තුළට බලය ලැබෙනපරිදි සකස්‌ කළේය. ඒ අනුව බලය ලබාගත් දේශීය ධනේශ්වර පංතිය කොතෙක්‌ දුරට ඉංගී්‍රසි අනුකාරකයක්‌ වූවාදයත් ප්‍රථම අග්‍රාමාත්‍යතුමා සකස්‌ කරගත් නිල ඇඳුම වූයේද "ටොෆ් හැට්‌ ටේල් කෝට්‌" දැමූ සර්වානියකි. සර් ජෝන් කොතලාවල අගමැතිතුමා ද එය මහ ඉහළින් පිළිගත්හ. 1956 ආණ්‌ඩු පෙරළියෙන් පසු බණ්‌ඩාරනායක අගමැතිතුමා දේශීය චින්තනයට තැනක්‌ දුන් නිසා එතුමා රෙද්ද බැනියමට බැස්‌සේය. 56 පෙරළිය මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා හැඳින්වූයේ බමුණුකුලය බිඳ වැටීම ලෙසය.

එහෙත් 1977 ආණ්‌ඩු පෙරළියත් සමඟම බලයට පත් යෑංකි ඩිකී යෑයි විරුදාවලි ලත් ඡේ. ආර්. ජයවර්ධන මහතා 56 ඉස්‌මතු වූ දේශීය චින්තනය විනාශ කොට යළි පරගැති චින්තනය වපුරාලීය. ඔහු රෙද්ද බැනියම ඇන්දත් කටයුතු කළේ අධිරාජ්‍යවාදීන්ගේ සුවච කීකරු ගෝලයකු ලෙසය.

1970-77 අතර කාලයේ බලයේ සිටි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය දේශිය චින්තනයෙන් පෝෂණය වූ තැනැත්තියකි. එම නිසා ඇය රට කෘෂිකර්මාන්තයෙන් හා කර්මාන්තවලින් නඟාසිටුවා දේශීය ආර්ථිකයක්‌ ගොඩනැඟීමට උත්සාහ ගත්තාය. මේ නිසා රටේ ජනතාවට අත්‍යවශ්‍ය නොවන භාණ්‌ඩ පිටරටින් ගෙන්වීම නතර කළ අතර මෙරට වගා කළ හැකි අත්‍යවශ්‍ය භෝග ගෙන්වීම සීමා කළාය. මෙරටට අවශ්‍ය මෙරට වගා කළ හැකි දේ මෙහිම වගා කිරීමට ජනතාව පෙළැඹවූවාය. මිදි, ඇපල් ආදිය ගෙන්වීම මුළුමනින්ම නතර කළාය. එහෙත් මෙරට ඇතැම් ජනමාධ්‍ය මගින් මෙම වැඩපිළිවෙළට අකුල් හෙළීය. මිදි, ඇපල් නොගෙන්නවීම මහත් අපරාධයක්‌ ලෙස එම මාධ්‍ය ප්‍රචාරය කළේය. මඤ්ෙඤාක්‌කා විෂ වී මිය යන අය ගැන ඇතැම් පත්තර පිටු ගණන් වාර්තා පළ කළේය. අනාධිමත් කාලයක්‌ තිස්‌සේ මෙරට මිනිස්‌සු මඤ්‍‍ෙඤ්ක්‌කා අනුභව කළහ. දැනුදු අනුභව කරති. කවුරුත් ඒවා කා ජීවත් වුණා මිස මිය ගියේ නැත. එහේ අපේ ඇතැම් පත්තර වාර්තා කළේ එසේය.

පිටරටින් සීනි ගෙන ඒම සීමා කොට ඒ වෙනුවට ආදේශයක්‌ ලෙස හකුරු සාදා ගැනීම සඳහා ගැමියකුට පොල්ගස්‌ දෙකක්‌ මැද ගැනීමට බලපත් ක්‍රමයක්‌ හඳුන්වා දුන් විට එම යෝජනාව ගෙන ආ එවකට මුදල් ඇමැති වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ආගම් ද්‍රොහියෙක්‌ ලෙස එම මාධ්‍ය මගින් හුවා දැක්‌වීය. එක්‌තරා පුවත්පතක්‌ මෙය ලබුගෙඩි අකුරෙන් ප්‍රධාන පුවත ලෙස පළ කළේ පෙරේ රා" කියා රජය ජනතාව සුරාවට පොළඹවන බව කීමටය. මෙසේ වූයේ ඇයි. එම මාධ්‍යකරුවන් හා දේශපාලකයන් තුළ මුල් බැසගෙන ඇති පරගැති චින්තනය නිසාමය. ඡේ. ආර්. වැපිරූ එම පරගැති චින්තන බීජය කොතෙක්‌ බලවත් වුයේද යත් මැතිනියගෙන් පසු බලයට ආ ඇගේම පක්‍ෂයේ ඇතැම් අය පවා විදේශවලට ආවැඩීමට පටන් ගත්හ.

සුද්දන් අපේ ජනතාව පරගැත්තන් බවට පත් කිරීමට ගත් උත්සාහයක්‌ කොතරම් දුරට සාර්ථක වූයේද යත් අපේ පොදු ජනතාව පවා විදේශවලට පුදන මට්‌ටමකට පත් වූහ. මේ නිසාම අපේ ව්‍යවහාරයෙන් පවා වෙනස්‌ විය. මෙතෙක්‌ පැපොල්, අඹ යෑයි හැඳින්වූ රසවත්ම අඹ "රට අඹ" ලෙස හැඳින්වීමට පටන් ගත්හ. පිටි බහුල ඉතා රසවත් වට්‌ටක්‌කා වර්ගය "රට වට්‌ටක්‌කා" විය. මේ ලෙස "රට දෙල්, "රට පේර", "රට පුවක්‌" වශයෙන් හොඳම දේවල් හැඳින්වීමට රට කොටස යොදා ගත්හ. එසේ කළේ හොඳම දේවල අගය වැඩිවන්නේ රටින් ගෙනා බව කීවොත් යෑයි සිතීය. පසුගිය වකවානුවේ වෙළෙඳ දැන්වීම් පවා සකස්‌ කළේ රටින්ගෙනා බව කියෑවෙන ලෙසය. "රටින් ගෙනා අගනා කිරි" ලෙස හිරිකිතයක්‌ නැතිව පුන පුනා වර්ණනා කළේ, කරන්නේ, පරගැති බව නිසාමය.

රටක මිනිසුන්ගේ දේශීය චින්තනය ගොඩනැඟෙන්නේ මව් බසත් සමඟය. මව් බසටත් තමන්ගේ ජාතියටත් ගරු නොකරන මට්‌ටමට අපේ මිනිසුන් පත් කිරීමට සුද්දෝ සමත් වූහ. මේ නිසා අතීතයේ පැවැති අභිමානය නැති කොට හොඳට වැඩක්‌ කළොත් "හරියට සුද්දා කළා වාගේ ඇති" "සුද්දා වගේ වෙලාවට ඇති" ආදි ලෙස කීමට ද පුරුදු කළහ. එහෙත් ඇත්ත කියතොත් සුද්දත් ම්ලේච්ඡයන් ලෙස සිටින අවධියේ අපේ මිනිසුන් නියම වේලාවට, තිතට, වැඩ කිරීමට පුරුදුව සිටියහ. නැකතකට වැඩක්‌ ආරම්භ කිරීමේ චින්තනය බිහි වූයේ හරියටම වේලාවට වැඩ කිරීමට දැක්‌වූ උනන්දුව නිසාය.

සිංහල භාෂාව පිළිබඳව අපේ මිනිසුන් තුළ පැවැති අභිමානය ද නැත්තටම නැති කළේය. මෙය අපේම උදවියට කොතෙක්‌ බලපා ඇත්දැයි තේරුම් ගැනීමට අපට ලැබෙන මංගල ආරාධනා පත්‍ර ගැන අවධානය යොමු කිරීම ප්‍රමාණවත්ය. ලෝකයේ වෙනත් රටවල මිනිසුන් සිය ජීවිතයේ වැදගත් අවස්‌ථාවල කටයුතු සඳහා යොදා ගන්නේ මව් බසය. එහෙත් අපේ අය ජීවිතයේ ස්‌වර්ණමය අවස්‌ථා වන විවාහ මංගල්‍යයට ආරාධනා පත්‍රය ලියන්නේ ඉංගී්‍රසියෙනි. තමා සිටින්නේ ඉහළ සමාජ ස්‌ථරයක බව වක්‍ර ලෙස අනෙක්‌ අයට හුවා දැක්‌වීම සඳහා ඉංගී්‍රසියෙන් මංගල ආරාධනා පත්‍රය ලියනවා විය හැකිය. එහෙත් එය එකද විදේශිකයකුටවත් යවන්නේ නැත. යවන්නේ ගමේ ගොඩේ නෑ දැ හිත මිතුරන්ටය. එසේ නම් ඇයි මේ පරබසක්‌ ඒ සඳහා යොදා ගන්නේ, වෙනකක්‌ නොව අප පරගැතිවී සිටින මට්‌ටමයි ඒ පෙන්වන්නේ.

එපමණක්‌ නොව ලොව අනෙක්‌ ජාතීන් තමාගේ වර්ගයේ දෙදෙනෙක්‌ මුණ ගැසුණු විට කතා කරන්නේ තමාගේ භාෂාවෙනි. එය ඔව්හු ආඩම්බරයක්‌ ලෙස සිතති. එහෙත් අපේ ඉහළ මධ්‍යම පංතියේ දෙදෙනෙක්‌ පිටරටකදී පමණක්‌ නොව මෙරටදී ද මුණගැසුන විට කතා කරන්නේ ඉංගී්‍රසියෙනි. මෙය අපේ නිලධාරි පැළැන්තිය තුළ ද මුල් බැසගෙන ඇති පුරුද්දකි. බොහෝ නිලධාරීන් සාමාන්‍ය මිනිසුන් ඉදිරියේදී වරද්ද වරද්දා හෝ ඉංගී්‍රසියෙන් කතා කිරීමට උත්සාහ ගන්නේ ඔවුන් තුළ ඇති හීනමානය නිසා නොවේද?

මේ ලෙස සිය බසට, සිය රැසට ඇළුම් නොකරන පරගැති චින්තනයම කරපින්නාගෙන සිටින පිsරිස එයින් මුදවා නොගෙන රට සංවර්ධනය කරා ගෙන යැම අපහසු කරුණක්‌ වනු ඇත.


විඡේරත්න අතුරුපාන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v