
ආයුධ අතට ගන්න එපා ඒ
යුගය දැන් අවසන්
මඩු මහා මංගල දේශනයේදී
අගරදගුරු හිමිපාණෝ කියති
නෝමන් පලිහවඩන
"ආයුධ අතට ගන්න එපා. ඒවා පරිහරණය කළ යුගය අවසන් වී ඇතැයි
පෙරේදා (15 වැනිදා) මඩු වන්දනා කඳවුරේ මහා මංගල්‍ය දේශනය
පවත්වමින් අගරදගුරු අතිඋත්තම මැල්කම් රංජිත් හිමිපාණෝ
ප්‍රකාශ කළහ. මෙම මඩු මහා මංගල්‍යයට කිතුණු බැතිමතුන් අති
විශාල පිරිසක් සහභාගි වූ අතර භික්‌ෂූන් වහන්සේලා මෙන්ම
දේශපාලනඥයන් ඇතුළු අන්‍ය ආගමික පිරිස් ද සහභාගිවීම විශේෂ
සිද්ධියකි. මෙම මංගල්‍ය දේව මෙහෙය පෙරේදා උදේ 6.30 ට
සිදුවූ අතර, කොළඹ හිටපු අගදරගුරු ඔස්‌වල්ඩ්
ගෝමිස් හිමිපාණන් ද, මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හා
යාපනේ රදගුරු තෝමස් සවුන්ද්‍රනායගම් ඇතුළු මීසම් රැසක
පූජා ප්‍රසාදිවරුන් සහ කන්‍යා සොහොයුරියන් හා සොහොයුරන්
මෙම උත්සවයට සහභාගි වූහ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි බසින් මෙම
දේව මෙහෙය පැවැත්විණි. යළිත් වතාවක් මඩු මංගල්‍යයට
සහභාගිවීම සඳහා දේවමාතාවන්ට යාඥා කළ යුතු බව ද කන්නලව් කළ
යුතු බව ද කී අගරදගුරුතුමන් මෙසේ සඳහන් කළේය.
"අපි මෙහි පැමිණියේ දෙමළ - සිංහල - මුස්‌ලිම් ජාති බලලා
නෙමෙයි. මොන ආගම ඇදහුවත් ඔහුට හෝ ඇයට සාමය පතන්න. වෛරය,
ක්‍රෝධය ඉවරයි. අපි අත්වැල් බැඳගෙන ජීවත් වෙමු. දේශපාලන
නායකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මිනිසුන්ගේ එකමුතුකම
ඇතිකරගන්න පියවර ගන්නා ලෙසයි. මින් මතු දෙවියන්ට පිටුපාන
කෙනෙක් පොලෝ තලයේ සාපලද්දෙකු වෙනවා. දෙවියන්ට පිටුපාන
කෙනකු අසරණ වෙනවා. ඇයි මේ බෙදීම. ආත්මාර්ථකාමිත්වය එකිනෙකා
වැරැදි පැත්තට ගෙනියනවා. ඇයි මේ බෙදීම. උතුරේ යුද්ධය
පසුගිය අවුරුදු තිහ ඇතුළත ලේ ගලාගෙන ගියේ අපේ මිනිස්‌කම,
ආගමික ජීවිතය තේරුමක් නැති බවට පත්වූවා. දැහැමිකමක් නැති
සමාජයක් බිහිවූ නිසයි. ශ්‍රී ලංකා මුස්‌ලිම් , දෙමළ,
සිංහල වේවා වෛරය කියන පිළිකාව අයින් කිරීම ලේසි නැහැ.
මිනිසාගේ ඇතුලාන්තය වෙනස් කිරීම සඳහා කිතුනුවන් වශයෙන්
අපි අතර භේදයක් නැහැ. සියලු දෙනාම දේව ජනතාව. මින්පසු ඔබේ
දුක ඔබේ සහෝදරයාට පහර දෙන්න එපා. ආගම දහම පිළිනොගෙන කට
වචනයට සීමාකරගෙන ආගම තමන්ගේ අතකොලුවක් කරගෙන ඇයි මේ
බෙදීම. ඇයි යුද්ධයක් ඇතිකරගන්නේ. උතුරේ ඉඳලා දකුණට පසුගිය
කාලයේ ලේ ගලාගෙන ගියා. අපේ මිනිස්‌කම, ආගමික ජීවිත
තේරුමක් නැති බවට පත්වුණා. අද ශ්‍රී ලංකාවේ විනයගරුකකම
පිරිහිලා. තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීමේ හැකියාව දුර්වල
වෙලා. අපචාරය, අපරදිග සංස්‌කෘතිය, ශීලාචාරකම නැතිවෙලා.
ශ්‍රී ලංකාව තුළ අපි නුදුටු සමාජ ක්‍රමයක් බිහිවී
තිබෙනවා. එමනිසා අපි අදහන ධර්මයට පළවැනි තැන දිය යුතුයි.
අද මේ මඩු මංගල්‍යයට අති විශාල පිරිසක් සහභාගි වී
සිටිනවා. එය ඉතාමත් සතුටට හේතුවක්. මෙම මංගල්‍යය
පැවැත්වීමට රජයේ පූර්ණ සහයෝගය ලැබී තිබෙනවා. අද මේ
ස්‌ථානයට පැමිණීමට නොහැකි පිරිසක් ඉන්නවා. ඔවුන් කඳවුරු
තුළ සිටි අයයි. ඒ උදවිය අවස්‌ථාව නිසා ඒ පැතිවලට ගොස්
සිටියා. අද ඔවුන් කඳවුරුවල ජීවත් වෙනවා. ඒ උදවියත් මේ
මංගල්‍යයට සහභාගි වුණා නම් ඉතා වැදගත්. වගකිවයුතු
සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිනවා මේ ජනකොටස් ඉක්‌මනට ඔවුන්ගේ
ගම්බිම්වල පදිංචිකරවීමට ක්‍රියා කළ යුතුයි කියලා. සිංහල,
දෙමළ බෙදුම දළුලා ගොස් අන්තිමේදී හදවත් වෛරයෙන් පිරුණා.
ඊට හේතුව දැහැමිකමක් නැති සමාජයක් බිහිවූ නිසයි.
"බයිබලයේ සඳහන් ෆායිඩ් තමන්ගේ සහෝදරයාව අමු අමුවේ මරා දමා
තිබෙනවා. ඊට හේතුව ඊර්ෂ්‍යාවයි. ඔහුගේ අරමුණ මම තනිවම
ජීවත්වෙනවා යන හේතුවයි.
මෙම මඩු මහා මංගල්‍යයට සහභාගි වූ සියලු දෙනාටම ආශිර්වාදය
දෙනු ලැබීය. යුද්ධයෙන් පසු සිදුවූ මහා මඩු මංගල්‍යය මෙයයි. |