
සූකර උණ පැතිරෙන නිසා
ඉන්දියාවේ මුම්බායි හා පූනෙයි යන්න එපා
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි
අජිත් අලහකෝන්
අත්‍යවශ්‍ය හේතුවක් සඳහා හැර ඉන්දියාවේ මුම්බායි හා
පූනෙයි ප්‍රදේශවලට යැමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය
ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම ප්‍රදේශවල මේ දිනවල සූකර උණ රෝගය පැතිර යන බවද
ඉන්දියාවේ මහ රාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් නව ඉන්ෆ්ලූවන්සා
රෝගීන් විශාල සංඛ්‍යාවක් සහ මරණ විසිතුනක් පමණ වාර්තා වී
ඇතැයි ද එනිසා එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසට මෙසේ
ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව
එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
නව ඉන්ෆලුවන්සා රෝගීන් හැත්තෑ දෙනකු මේ වන විට ශ්‍රී
ලංකාවෙන් වාර්තා වී ඇතැයි ද ඉන් 87% ක් රෝගය පැතිර ගිය
රටවල සිට මෙරටට පැමිණි අය බවද කී එම ප්‍රකාශකයා ඉතිරි අය
එම රෝගීන් සමග සමීපව ඇසුරු කළ අය බවද කීය.
මෙම රෝගය ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර පැතිරීම වැළැක්‌වීම
සඳහා කලාපය තුළ පවතින තත්ත්වය පිළිබද රටේ ජනතාව
සුපරීක්‌ෂාකාරි වීමේ අවශ්‍යතාව පැන නැඟී ඇතැයි ද ඒ අනුව
සෞඛ්‍ය අමාත්‍යාංශය හා වසංගත රෝග අංශ විසින් නිර්දේශිත
පිළිවෙත් කීපයක් අනුගමනය කරන ලෙසට ජනතාවට අවධාරණය කර
සිටී.
අත්‍යවශ්‍ය හේතුවක් සඳහා හැර අන් සෑම අවස්‌ථාවකදීම
ඉන්දියාවේ මුම්බායි හා පූනෙයි ප්‍රදේශවල සංචාරය කිරීමෙන්
වළකින ලෙස ද බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ
පවත්වාගෙන යන සෞඛ්‍ය ඒකකය මගින් සිදු කරන පිරික්‌සුම්
කටයුතු සඳහා සහාය ලබා දෙන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය
ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊට අමතරව මෙම නව ඉන්ෆ්ලුවන්සා රෝගය වළක්‌වා ගැනීම සඳහා ඉතා
හොඳින් නිතර දෑත් සෝදා පවිත්‍ර කිරීම, ප්‍රතිශ්‍යාව ඇති
විට වරක් පාවිච්චි කර ඉවත් කරන ටිෂූ කඩදාසි සහ අත්ලේන්සු
ආරක්‌ෂිත ලෙස බැහැර කිරීම සිදුකරන ලෙස ද අමාත්‍යාංශය ඉල්ලා
සිටී.
විදේශ රටක සංචාරයකින් හෝ තහවුරු කරන ලද නව ඉන්ෆ්ලුවන්සා
රෝගියකු සමග සමීප ඇසුරකින් දින හතක් තුළ රෝග ලක්‌ෂණ උණ
සමග ස්‌වසන ආසාදනයන් වැනි රෝග ලක්‌ෂණ ඇති වූවොත් හැකි සෑම
අවස්‌ථාවකම කොළඹ අයි. ඩී. එච්. රෝහලට ද නැති නම් ළඟම ඇති
ප්‍රධාන රජයේ රෝහලට හෝ වාර්තා කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා
සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම රෝගය පිළිබඳ යම් පැහැදිලි කර
ගැනීමත් අවශ්‍ය නම් වසංගත රෝග විද්‍යා අංශයේ පහත දුරකථන
අංක වලින් කාර්යාල වෙලාව තුළදී සිදුකර ගත හැකි බවද ප්‍රකාශ
කර සිටී.
011-2695112, 0112681548, 0114740490 හෝ 0114740491 යන
දුරකථනවලින්ද කාර්යාල වෙලාවන් පසුව අයි.ඩී.එච්. රෝහලේ
0112411284 දුරකථනයට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව
සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී. |