දකුණේ තැපැල් ඡන්ද අයෑදුම්පත් භාරගැනීමේ කාලය දික්‌කෙරේ

දකුණු පළාතේ පළාත් සභා ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයෑදුම්පත් භාරගැනීමේ කාලය මෙම 28 වැනි දින මධ්‍යම රාත්‍රිය දක්‌වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා නිකුත් කළ නිවේදනය මෙසේය.

මෙම ඡන්ද විමසීමේදී දකුණු පළාත් සභා බලප්‍රදේශයේ පරිපාලන දිස්‌ත්‍රික්‌ක තුළ සේවය කරන ඡන්ද විමසීම් රාජකාරි සඳහා යෙදවීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන්, අත්‍යවශ්‍ය සේවාවල සේවයේ නියුතු නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා, පොලිස්‌ සහ සිවිල් ආරක්‍ෂක බලකාය යටතේ දිවයිනේ සියලු ප්‍රදේශවල ආරක්‍ෂක කටයුතුවල නිරත පුද්ගලයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන බව විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ.

දකුණු පළාත් සභා බලප්‍රදේශයේ ඡන්ද හිමියන් වශයෙන් ලියාපදිංචි එහෙත් දැනට දිවයිනේ වෙනත් පළාත්වල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තැපැල් ඡන්ද පහසුකම් සැලසිය නොහැකි බවත්, එම නිලධාරීන් සඳහා 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 123 වැනි වගන්තිය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාගත හැකි බවත් දන්වන අතර, එබඳු පුද්ගලයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලීම් නොකළ යුතු බව ද දැනුම් දෙනු ලැබේ.

ඒ අනුව අදාළ සහතික කිරීමේ නිලධාරි විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්‍ෂා කර සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්‌ත්‍රික්‌කයේ තේරීම්භාර නිලධාරි වෙත තැපැල් මගින් යෑවිය යුතු බවත් 2009.08.28 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසුව අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රමාද අයදුම්පත් සේ සලකා ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවන බවත් විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v