"හෙට දවසේ බිල්ල ඔබ හෝ මා විය හැකියි"
තමන්ගේ දොරට තට්‌ටු කරනතුරු නොසිට
පොලිසියේ අපරාධවලට එරෙහිව පෙළගැසෙමු
ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක

අජිත් අලහකෝන්

"හෙට දවසේ පොලිසියේ බිල්ල ඔබ හෝ මා විය හැකියි. එනිසා තමන්ගේ දොරට තට්‌ටු කරනතුරු නොසිට ඊට එරෙහිව පෙළගැසිය යුතුව තිබෙනවා...." යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

ශිෂ්ට සම්පන්න සමාජයක්‌ ගොඩනැගෙන්නේ නීති ප්‍රධානීන් සහ ආයතනික සැකැස්‌මක්‌ තුළිනුයි. වනචාරී යුගයේදී දඬුවම් දීමේ තීන්දු ගත්තේ රැහේ නායකයා විසින්. ශිෂ්ට සම්පන්න සමාජයක්‌ හඳුන්වා දී තිබෙන නිසා පොලිසිය හා අධිකරණය රටේ ස්‌ථාපිත කර තිබෙනවා. ඒත් අද සිද්ධවන්නේ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් යළි වනචාරී යුගයක්‌ වෙත පියමැනීමයි. තොරතුරු තාක්‍ෂණ ආයතනයේ සිසුවාට පහරදීම, අඟුලානේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම හුදෙකලා සිදුවීම් නොවේ. පළමුව අපේ රටේ අධිකරණ තීන්දු තීරණ නොසලකා හැරියේ කවුද? හෙජින් ගිවිසුම පසෙක දමා රජය කටයුතු කළා. අධිකරණයේ වරෙන්තු ඇති මන්ත්‍රීවරුන් සමඟ රාත්‍රි භෝජන සංග්‍රහවල රජයේ ප්‍රධානීන් පෙනී සිටිනවා. ඝාතන චෝදනාවලට ලක්‌වූවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබියදීත් පොලිස්‌ නිලධාරීන් ඒ චූදිතයන්ට අතට අතදී සුබ පතනවා. ඝාතන චෝදනා පත්‍ර ලැබූ අයට ඇමැති තනතුරු ප්‍රදානය කරනවා. මේ දේශපාලකයන් වීරප්පන්ලාගේ නීතිය තම අතට අරගෙන කටයුතු කරනවා. අද රට ක්‍රමානුකූලව අරාජිකත්වය කරා ගමන් කරමින් තිබෙනවා. පාතාලය මර්දනය කරන බව පවසමින් පාතාල නායකයන් තැන තැන ඝාතනය කෙරෙනවා. පාතාලයේ පැවැත්ම යහපත් සමාජයකට අතිශයින් අහිතකර බව සත්‍යයක්‌. ඔවුන් පැහැරගැනීම්, කප්පම් ලබාගැනීම්, ස්‌ත්‍රී දූෂණ, මිනිස්‌ ඝාතන සිදුකර තිබෙනවා. ඒත් කිසිම කෙනෙක්‌ මෙලොව උපදින්නේ තමන් පාතාල නායකයෙක්‌ වෙන බව කියමින් නොවේ. පවතින වැරදි සමාජ ක්‍රමය නිසා මේ අයට විවිධ වෘත්තීන් තෝරාගන්න සිද්ධ වුණා. පාතාලය දුර්වල කළ යුතු බවට දෙගිඩියාවක්‌ නැහැ. ඒත් ඔවුන් මරා දැමිය යුතුද? ජීවත් කළයුතුද කියා තීරණය කරන්නේ කවුද? ඒ තීරණයේ බලය පුද්ගලයන් අතට දිය හැකිද? නීති රාමුවක්‌ රටේ තියෙද්දී ඔවුන්ට ඒ නීතියෙන් දඬුවම් දිය යුතුයි. දේශපාලන රැකවරණය හා අනුග්‍රහය නොමැතිව පාතාලයක්‌ බිහිවන්නේ නැහැ. ඔවුන්ගේ සියලුම ක්‍රියාකාරකම් පිටුපස සමහර දේශපාලකයන් සිටිනවා. මේ පාතාල නායකයන් තනිව ක්‍රියා කරන්නේ නැහැ. ඔවුන් සමඟ විශාල ජාලයක්‌ තිබෙනවා. එනිසා පාතාල නායකයෙක්‌ ඝාතනය කිරීමෙන් සිද්ධ වන්නේ මේ ජාලය යටපත්වීමයි. එම නිසා ඔවුන් ඝාතනය කිරීම නොවේ කළ යුත්තේ. අත්අඩංගුවට ගෙන ලැබෙන තොරතුරු ඔස්‌සේ ඉතිරි සියලු දෙනාත් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමයි.

අද පොලිසියට බොරුවක්‌ කියන එක ගේමක්‌ නොවේ. මේ නිසා සිද්ධවන්නේ පොලිසිය පිළිබඳ ජනතාව තුළ තිබෙන පිළිගැනීම බිඳවැටීමයි. පොලිසියට බොරු නිර්මාණය කිරීමේ ධෛර්යය ඇතිවුණේ කොහොමද? මේ මනෝභාවය පොලිසිය තුළ ඇති කළේ කවුද? නිපුණ නමැති සිසුවා පාතාලයට සම්බන්ධ බව පවසමින් පොලිසියම පාතාලය යොදවාගෙන උද්ඝෝෂණ කළා. ඒ ගැන පරීක්‍ෂණ කෝ. පහරකෑමට ලක්‌වූ අයගේ කටඋත්තර අනුව චෝදනාවට ලක්‌වූවන්ගෙන් තවම කටඋත්තර අරගෙන නැහැ. රජය මුළුමනින්ම මේ අයට රැකවරණය දෙනවා. මේ රැකවරණයේ තවත් එක්‌ ප්‍රතිඵලයක්‌ තමයි අඟුලානේ සිද්ධිය. මෙය රටක යහපැවැත්ම වෙනුවෙන් අතිශයින්ම අහිතකරයි. පොලිස්‌ කොමිසම අද අක්‍රීය වෙලා. පොලිසියේ ස්‌ථානාධිපති සිටිය යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ පළාතේ දේශපාලකයා. පොලිසියේ හෙට දවසේ බිල්ල ඔබද මමද? හෙට ඔබෙත් අපෙත් දොරට ඇවිත් තට්‌ටු කරන පසුබිමක්‌ තිබෙන්නේ. අපි බලා ඉන්නේ අපේ දොරට තට්‌ටු කරන තුරුද? ඊට කලින් අවදිවිය යුතුයි. පෙළගැසිය යුතුයි. ඒ සඳහා ජනතාවට නායකත්වය දෙන්න ජනතා විමුක්‌ති පෙරමුණ සූදානම්.

ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස යන මහත්වරු ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූහ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v