|

මීළඟ දකුණු ආසියානු වොලිබෝල්
රන් පදක්‌කම ශ්‍රී ලංකාවට ගේනවා
ඩිලාන්
ඉන්ද්‍රජිත් සුබසිංහ
ලබන ජනවාරි 29 දා සිට පෙබරවාරි 09 දා දක්‌වා බංගලිදේශයේ
පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී වොලිබෝල්
(පිරිමි) රන් පදක්‌කම දිනා ගැනීම පිණිස ශ්‍රී ලංකා වොලිබෝල්
සම්මේලනය පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි එහි
සභාපති ඩිලාන් පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.
"පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉතිහාසයේ පළමු වතාවට
අපේ පිරිමි සහ කාන්තා කණ්‌ඩායම් දෙකම අවසන් මහ තරග වරම්
ලැබුවා. අපේ පිරිමි කණ්‌ඩායම ඉතිහාසයේ පළමු වරට පාකිස්‌තානය
පරාජයට පත් කළා. ඉන්දියාවත් සමග අවසන් මහ තරගයේදී වට 4 ක්
දක්‌වා සටන් කරලයි අපි අනුශූරයන් බවට පත්වුණේ. එදා ශ්‍රී ලංකාව
දිනාගත්තු රිදී පදක්‌කම මෙදා රන් පදක්‌කමක් කරගන්න අපි බොහොම
සැලසුම් සහගතව කටයුතු කරගෙන යනවා. අපි ඒ සඳහා ක්‍රම වේද 2 ක්
ඔස්‌සේ ක්‍රියාත්මක වෙනවා. ඉන් එකක් තමයි ක්‍රීඩකයන්ට
ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීම. කණ්‌ඩායමේ පුහුණුකරු අපෙන්
ඉල්ලීමක් කරල තියෙනවා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර
ජාත්‍යන්තර තරග අවස්‌ථා 3 ක් ලබාදෙන්න කියලා. අපි ඒ ඉල්ලීම
ඉටුකරන්න සූදානම්" යෑයි ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
ඒ අනුව ලබන සැප්තැම්බර් 26 සිට ඔක්‌තෝබර් 5 දක්‌වා පිලිපීනයේ
පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලියට සහ දෙසැම්බර් පළමු
සතියේ වියට්‌නාමයේ පැවැත්වෙන ස්‌ටින්ග් කුසලාන තරගාවලියට ශ්‍රී
ලංකා කණ්‌ඩායම ඉදිරිපත් කිරීමට වොලිබෝල් සම්මේලය මේ වන විටත්
කටයුතු යොදා තිබේ. අනෙක් ජාත්‍යන්තර තරග අත්දැකීම ලෙසින්
ඉන්දියාවේ හෝ ඉන්දුනීසියාවේ පැවැත්වෙන තරගාවලියක අවස්‌ථාව
ලබාගැනීමට වොලිබෝල් සම්මේලනය මේ වන විට උත්සාහ ගනිමින් සිටියි.
මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්‌ක කරගත් ක්‍රීඩකන් 18
දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මෙම මස ආරම්භයේ සිට මහරගම
තරුණසේවා සභාවේදී ගෘහස්‌ථ පුහුණුවීම්වල යෙදෙන අතර ඉන්
ක්‍රීඩකයන් 12 දෙනකු 15 වැනි ආසියානු ශූරතා තරගාවලියට සහභාගි
කරවා අනතුරුව නැවතත් අදාළ සංචිතය (ක්‍රීඩකයන් 18 ම) නැවතත්
පවත්වාගෙන යැමට සැලසුම් කර ඇත.
ලබන ඔක්‌තෝබර් - නොවැම්බර් මාස වලදී පැවැත්වෙන ඩයලොග් ටෙලිකොම්
ජනාධිපති රන් කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන ක්‍රීඩකයකු
හඳුනාගතහොත් 18 දෙනාගේ ශ්‍රී ලංකා සංචිතය සංශෝධනය කිරීමට
බලධාරීහු බලාපොරොත්තු වෙති.
"ඉන්දියාවේ මෙවර නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්‌ඩායමක්
ඉදිරිපත් කරනවා. පාකිස්‌තානයත් එහෙමයි. බංගලිදේශය අවතක්‌සේරු
කරන්නත් බෑ. මොකද ඉන්දියාවේ හිටපු ජාතික පුහුණුකරුව ඔවුන්
තමන්ගෙ රටට කැඳවලා තියෙනවා. ඒ වගේම සත්කාරක දේශය වශයෙන්
වාසියකුත් බංගලිදේශයට තියෙනවා. අපිත් මෙවර තරග වදින්නේ යොවුන්
ක්‍රීඩකයන් රැසක් සහිත කණ්‌ඩායමක් විදිහට. පසුගිය රිදී
පදක්‌කම් ලාභී කණ්‌ඩායමේ ක්‍රීඩකයෝ 6 ක් පමණයි මෙවර සංචිතයට
ඇතුළත් වෙන්නේ" යෑයිද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරුවන් සම්බන්ධයෙන්ද තම සම්මේලනය
විශාල බලාපොරොත්තු සහ දැඩි විශ්වාසයක් තබා ඇතැයි ඩිලාන්
පෙරේරා මහතා පවසයි.
"ගියපාර පිරිමි රිදී පදක්‌කම දිනා දුන් ප්‍රධාන පුහුණුකරු
සිසිර කුමාර වෙන්ඩකෝන්ව අපි මෙවරත් ප්‍රධාන පුහුණුකරු ධුරයට
පත් කරල තිබෙනවා. ඔහු එදා පෙන්වපු දක්‍ෂතාව අගය කිරීමක්
වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු
මහතාගේ සහයෝගය යටතේ අපි පසුගියදා ඔහුට හංගේරියාවේ විශේෂඥ
පුහුණුවක් ලබා දුන්නා. එය අපේ ඉලක්‌කයට විශාල පිටිවහලක්
වේවි. ඒ වගේම මෙවර කණ්‌ඩායමේ අභ්‍යාසක ලෙස කටයුතු කරන්නේ,
පසුගිsය රිදී පදක්‌කම්ලාභී කණ්‌ඩායමේ නායක කාලික වසන්තප්‍රිය.
ජාතික කණ්‌ඩායමේ වසර 20 ක් රැඳුණු ක්‍රීඩකයකු ලෙස ඔහුගේ
අත්දැකීම් මෙහිදී විශාල වශයෙන් ප්‍රයෝජනවත් වේවි" යෑයි ඩිලාන්
පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සංචිතය -
උස ප්‍රහාරකයන් - සමීර ප්‍රදීප්, ජනිත් සුරත්, ගයාන් මධුශංඛ,
චාමර මිහිරාන්, ටී. එම්. කෝදාගොඩ, චූලානන්ද අබේවර්ධන, නිශාන්
චාමර.
කෙටි පන්දු ප්‍රහාරකයන් - ශමීල් මලින්ද, චානක මධුශංඛ, රුමේෂ්
දිසානායක, තාරක අබේකෝන්, චමින්ද දර්ශන, රුවන් චාමර.
සකසන්නන් - මොරිස් චමින්ද, නිලංග සංජීව, ජීවන්ත රාජපක්‍ෂ.
ලිබරෝ - ලසන්ත අබේරත්න, ඒ. ඩබ්ලිව්. ලක්‌මාල්.
|