ත්‍රිකුණාමලයට පාපැදි සැණකෙළියක්‌

ඉන්ද්‍රජිත් සුබසිංහ

වෘත්තීය මට්‌ටමේදී තම ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය ලෙස පාපැදිය භාවිත කරන පිරිස්‌ ඇගයීමට ලක්‌ කිරීම සහ පාපැදි ක්‍රීඩා විෂයෙහි ජාතික මට්‌ටමේ සංචිතයක්‌ බිහි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක පළමු අදියර වශයෙන් පාපැදි සැණකෙළියක්‌ සහ තරගාවලියක්‌ සැප්තැම්බර් මස 12 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සංවර්ධන වැඩසටහන, ජාතික මවුන්ටන් පාපැදි සංගමය සහ ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශය එක්‌ව සංවිධානය කරනු ලබන "තුති 25" ලෙසින් නම් කර ඇති මෙම පාපැදි සැණකෙළියට සී. අයි. සී. කෘෂි ව්‍යාපාර සමාගම, ලංකා බැංකුව සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම යන ආයතනය අනුග්‍රහය දක්‌වනු ලැබේ.

මෙම සැණකෙළියට තම වෘත්තීය කටයුතු වෙනුවෙන් පාපැදිය භාවිත කරනු ලබන පිරිස්‌ වන ලියුම් බෙදන්නන්, ලොතරැයි අලෙවිකරුවන්, මාළු අලෙවි කරන්නන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහභාගි වන අතර ඔවුන් වෙනුවෙන් විනෝදකාමී පාපැදි තරග ඉසව් කිහිපයක්‌ සහ වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රීඩකයන් සඳහා ප්‍රධාන පාපැදි තරග ඉසව්වක්‌ සංවිධානය වේ.

මේ සඳහා සහභාගි වන වෘත්තිය මට්‌ටමෙන් පාපැදිය භාවිත කරනු ලබන්නන් තම වෘත්තියට අදාළ නිල ඇඳුම හෝ එයට අදාළ උපකරණ කට්‌ටල සමගින් පැමිණිය යුතු බව සංවිධායකයෝ දන්වා සිටිති.

වයස අවුරුදු 19 න් පහළ බාලක පාපැදි තරගය ත්‍රිකුණාමල නගරය කේන්ද්‍ර කරගනිමින් වට ධාවන තරගයක්‌ ලෙස ක්‍රියාත්මක වේ. මෙහිදී දක්‍ෂතා අනුව ක්‍රීඩකයන් 25 දෙනෙක්‌ තෝරා ගැනීමට නියමිත අතර මෙය දිවයිනේ සියලු දිස්‌ත්‍රික්‌කවල ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සැදුම්ලත් ජාතික සංචිතයක්‌ බිහි කිරීමේ දිගුකාලීන වැඩසටහනක ඇරඹුම මෙය බව අදාළ සැණකෙළිය සම්බන්ධයෙන් පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සංවර්ධන වැඩසටහනේ නිලධාරී සහ ජාතික මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සූරියගේ මහතා පැවැසීය.

ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාද මේ අවස්‌ථාවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ ජනගහනය සැලකුවද ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ජන ගහනය සැලකුවද වැඩිපුරම භාවිත කරන ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙසින් පාපැදිය ඇගයීමට ලක්‌ කිරීම මෙහි අරමුණ බව ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v