නටබුන් වූ වරකාගොඩ පැරණි පුදබිම



"වරකාගොඩ ප්‍රාදේශීය රාජධානිය" යන හිසින් මතුගම සෙනෙවි රුවන් විසින් 2009 මැයි 06 වන දින බදාදා අතිරේකයෙහි පළකරන ලද ලිපියෙහි සඳහන් ඓතිහාසික ස්‌ථානය පිළිබඳව පුරාවිද්‍යා ගවේෂකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් මේ ලිපිය සැපයෙන බව සැලකුව මැනවි. ඉහත සඳහන් ඓතිහාසික පුදබිම පිහිටියේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ පස්‌යොදුන් රට (පංච යෝජන රට්‌ඨ) මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨශයේ වරකාගොඩ මංසන්ධිය ආසන්නයේ. කිසිවකුගේ අවධානයට යොමු නොවූ මෙම ඓතිහාසික පුද බිමේ පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම අරභයා මතුගම සෙනෙවිරුවන් විසින් සැකසුණු දීර්ඝ ලිපිය කාගේත් පැසසුමට ලක්‌විය යුතුයි. මා දන්නා පරිදි කළුතරට ආසන්න දියගම පිහිටි, බ්‍රාහ්මී අක්‌ෂරයෙන් ලියෑවුණු සෙල්ලිපිය හැරුණු විට පස්‌ යොදුන් රට දැනට ශේෂව තිබෙන පුරා විද්‍යාත්මක වැදගත් ස්‌ථානය වරකාගොඩ පිහිටි මෙම නටබුන් ගොඩනැඟිලි සංකීර්ණය බව ප්‍රකාශ කළ හැක.

මෙහි එකිනෙකට ආසන්න වන පරිදි නිර්මිත ගොඩනැඟිලි දෙකක නටබුන් දක්‌නට ලැබේ. භූමියේ උසම ස්‌ථානයේ පිsහිටි ගොඩනැගිල්ල සරල බොරදමක්‌ සහිතව ගඩොලින් නිමැවුණු තරමක්‌ උස ආයත චතුරශ්‍රාකාර පදනමක්‌ මත ගොඩනඟා ඇත. එම ගොඩනැඟිල්ලේ ගල්කණු තවමත් ශක්‌තිමත් ලෙස බිමට සවි වී ස්‌ථාවරව පවතී. ඒවා අනුරාධපුරයේ නටබුන් ගොඩනැඟිලිවල පිහිටි ගල්කණු තරම් උස මහතින් යුක්‌ත නැත. එකම ගල්කණුවේ පහත කොටස සිව් රැස්‌වද ඉහළ කොටස අටපට්‌ටම් ලෙසද නෙළා ඇත. කුළුණු හිස සරල පේකඩ ආකෘතියකින් නිමැවිණි. එම ගොඩනැඟිල්ලේ ගල්කණු පේළි දෙකකි. කණු දහසයකි. ගොඩනැඟිල්ලේ උතුරු අන්තයේ චතුරශ්‍රාකාර ආකෘතියට කණු හතර බැගින් දෙපැත්තේ සිටුවා ඇත. එම හතරැස්‌ ආකෘති දෙක මැද කොටසේ ප්‍රතිමාවක්‌ වැනි පූජනීය වස්‌තුවක්‌ තැන්පත් කළ ඔප මට්‌ටම් ගල් පුවරුවක්‌ වෙයි. මෙය බුදු මැඳුරක්‌ හෝ දේවාලයක්‌ විය හැකියයි අනුමාන කළ හැකිය.

ස්‌ථාවරවම පිහිටි ගල් කණු අටක්‌ සහිත දෙවන නටබුන් ගොඩනැඟිල්ල භූමියේ පහත කොටසේ පිහිටියේය. එම ගල්කණුවල ඉතා චාම් ලෙස කැටයම් කළ විවිධ රූප සටහන් දක්‌නට තිබේ. කුළුණු හිස පියකරු ආකෘතියකින් මතුකර පෙන්වා ඇත. සෙනෙවිරුවන් මහතා මෙම ගොඩනැඟිල්ල රජ මාලිගයක්‌ ලෙස හඳුන්වතත් මාලිගයක්‌ එතරම් කුඩා විය හැකිදැයි ප්‍රශ්නයකි. ගල්කණු වැනි ස්‌ථාවර ද්‍රව්‍ය යොදා ගොඩනගන ලද්දේ ආගමික ගොඩනැඟිලි මිස ගිහියන්ගේ ප්‍රයෝජනය පිණිස සෑදුණු මාලිගා වැනි ගොඩනැඟිලි නොවන බව අනුරාධපුර, පොළොන්නරු නටබුන් පිරික්‌සීමෙන් පෙනේ. එම නටබුන් ගොඩනැඟිල්ල ඉදිරියෙන් වාහල්කඩක නටබුන්ද එයට පිවිසීමට ශෛලමය පිය ගැට පෙළක්‌ද තිබුණු බව, ශේෂව ඇති ගල්පඩි කීපයෙන්ද නටබුන් මුරගල සහිත කොරවක්‌ ගලින්ද පැහැදිලි වෙයි. වාහල්කඩ ඉදිරිපස බෑවුqම් ප්‍රදේශයේ තවත් ගල්පඩි පසින් යටවී ඇති බව අවට නිවැසියෝ පවසති. එයින් පැහැදිලි වනුයේ මෙම පූජා භූමියට පිවිසෙන ගල්පඩි සහිත මාර්ගය වාහල්කඩ ඉදිරියෙන් බෑවුම දිගේ පහළට විහිදී තිබුණු බවයි. සෙල් ලිපියක්‌ යෑයි සිතිය හැකි අක්‌ෂර සටහන් සහිත ගලක්‌ද, තැන තැන විසිරුණු ගල් කුළුණුq කොටස්‌ද මේ පුදබිමේ දක්‌නට ඇත. මෙම ගොඩනැඟිලි සංකීර්ණය රයිගම හා ගම්පොළ හෝ කෝට්‌ටේ රාජධානි යුගයට අයත් යෑයි සිතිය හැක.

දැනට මෙම ඓතිහාසික භූමියේ අලුතෙන් විහාරස්‌ථානයක්‌ ගොඩනැඟෙමින් පවතී. ඉදිවෙමින් පවතින නව විහාර මන්දිරයට පිවිසෙන පියගැට පෙළට පැරණි ගල්පඩි කීපයක්‌ යොදා තිබෙනු දක්‌නට ලැබිණි. කැඩුණු ගල් කණුවක කොටසක්‌ බිම සිටුවා ඒ මත පහන් පැලක්‌ සවිකර තිබේ. මෙම ඓතිහාසික භූමියේ අලුතෙන් විහාරස්‌ථානයක්‌ ගොඩනැඟීම පැරණි නටබුන් විනාශයට හේතුවක්‌ වේද? මේ ස්‌ථානය පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ නොකරන්නේ මන්ද යන ප්‍රශ්නයද ඇසිය යුතුව තිබේ.

මෙම ස්‌ථානයේ කැණීම් කළහොත් තවත් පුරා වස්‌තු මතු කර ගතහැකි වනවා පමණක්‌ නොව ගොඩනැඟිලි සංකීර්ණය පිළිබඳ බොහෝ කරුණු අනාවරණය කර ගැනීමටද හැකි වනු ඇත. ඒ තුළින් මෙහි කාල වකවානුව, නිර්මාණකරු හා එවකට මේ ප්‍රදේශයේ පැවැති සෞභාග්‍ය තත්ත්වය ආදී කරුණු රැසක්‌ එළිදරව් කර ගැනීමෙන් පස්‌යොදුන් රට ඉතිහාසයට නව ආලෝකයක්‌ ලැබේ යෑයි සිතමි.

ජී. කන්නන්ගර

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v