|
|
|
|

"මං ටිකක් අඩුවෙන් වැඩ බාර
ගන්න තීරණය කළා"
නාරද බක්‌මීවැව
විටෙක ඔහු අප හමුවන්නේ පුංචි තිරයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු
ලෙසයි. තවත් විටෙක ඔහුව මුණගැසිය හැක්‌කේ පරිසරයට බොහෝසෙයින්ම
ආදරය කරන පරිසරහිතකාමී තරුණයෙකු විදිහටයි. වෘත්තීමය ජිවිතය
තුළදී වැඩසටහන් අධ්‍යක්‌ෂවරයෙක් ලෙස කටයුතු කරන මෙම තරුණයා
නමින් නාරද බක්‌මීවැව වේ.
නාරද කොහොමද ජීවිතය
වරදක් නැහැ තත්පරයෙන් තත්පරය වෙනස් වෙමින් ගලාගෙන යනවා.
සමහර වෙලාවට පාළුව, තනිකම දැනෙන අවස්‌ථා තියෙනවා. නමුත් අපි
ජනතාව අතර ගැවසෙන අය නිසාද දන්නේ නැහැ පාළුව, තනිකම, දුක වගේ
හැඟීම් රැඳිලා තියෙනවා හරිම අඩුයි.
උදාහරණයක් විදියට මම පාරට බැස්‌සාම කීදෙනෙක් මාත් එක්‌ක
ඇවිත් කතා කරනවද? ආගිය තොරතුරු අහනවා, වැඩසටහන් ගැන කතා කරනවා.
නිතරම විවිධත්වයක් තියෙනවා. මම හිතන්නේ ඒක ලොකු වාසනාවක්.
මේ දවස්‌වල මොනවද විශේෂයෙන් කරන වැඩසටහන්
අලුතෙන්ම යං ඒෂියා ටෙලිවිෂන් එකෙන් නිෂ්පාදනය කරන ටී. එන්.
එල්. නාලිකාවෙන් විකාශනය කරන කාලීන දේ ගැන කතා කරන "ත්‍රිමාණ"
වැඩසටහන මම ඉදිරිපත් කරනවා. ඒ වගේම ටී. එන්. එල්. වලින්ම
විකාශනය වෙන "විමර්ශි" වැඩසටහනත් ජාතික නාලිකාවෙන් විකාශනය වන
"නැණපියස" තොරතුරු සහ සන්නිවේදන තාක්‌ෂණ වැඩසටහනත් තමයි දැනට
මම කරගෙන යන්නේ.
මම කල්පනා කලා ටිකක් අඩුවෙන් වැඩසටහන් බාර ගන්න. ටිකක්
විවේකයක් අරගෙන ඉඳලා එන්න. මම කොහොමටත් ආසයි එකපාරට ටිකක්
නැතිවෙලා ඉඳලා අලුත් විදිහට එළියට එන්න. නිතර දකින කුකුළගේ
කරමලය සුදුවෙනවා කියලත් කතාවට කියනවානේ.
පෞද්ගලික ජිවිතයේ වෙනසක් එහෙම ඇති කරගන්නේ නැද්ද?
වටින් ගොඩින් අහන්නේ ඇයි දැන්ම විවාහ වෙන්නේ නැත්තේ කියලානේ.
මීට වසර එකහමාරකට විතර කලින් විවාහ වෙන්න බලාගෙන කරපු ආදර
සම්බන්ධතාවයක් තිබුණා. නමුත් ජාති ආගම් ප්‍රශ්නයක් නිසා අපි
දෙන්නම කතා බහ කරලා සම්බන්ධය නතර කළා. තවම මම හිතන විදිහේ
ආදරයක් හම්බවෙලා නැහැ. බලමු වෙලාව ආවාම හැමදෙයම වෙනස් වේව්.
නාරද අද වනවිට කේෂත්‍ර කිහිපයකම නියෙළෙන කෙනෙක් වෙනත්
විදිහකින් කිව්වොත් කාර්ය බහුල චරිතයක්. ඔබේ ගෙදරින්
කාර්යබහුල ජිවිතයට ලැබෙන්නේ මොන වගේ උදව්වක්‌ද?
සාමාන්‍යයෙන් මට ගෙදර ඉන්න ලැබෙන කාලය හරිම අඩුයි. සමහර
දවස්‌වල අම්මට මාව දකින්න ලැබෙන්නේ නැති තරම්.
මගේ තාත්තා නැතිවෙලා අවුරුදු 15 ක් විතර වෙනවා. මගේ පවුලේ
ඉන්නේ අක්‌කයි, මමයි, නංගිලා දෙන්නයි අම්මයි.
අක්‌කා විවාහවෙලා ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නවා. එයාට බබාලා
දෙන්නෙක් ඉන්නවා. අම්මත් පසුගිය දවස්‌වල ඇමරිකාවට ගිහිං
හිටියා. නංගිලා දෙන්නත් විවාහකයි. එක නංගි කෙනෙකුට බබාලා
දෙන්නෙක් ඉන්නවා. අනෙක් නංගිටත් එක බබෙක් ඉන්නවා.
ඉස්‌සර නංගිලා එහෙම ගෙදර ඉන්න දවස්‌වල මගේ වැඩසටහන්වල හොඳ නරක
මුලින්ම අහන්න ලැබුණේ ගෙදරදී අදටත් ඔවුන් මාව මුණ ගැහුනේ
නැතිවුනත් කෝල් කරලා හරි හැමදෙයක්‌ම කියනවා. මගේ කටයුතුවලට
උදව් කරනවා.
අද ඔබ නියෝජනය කරන නිවේදන කේෂත්‍රයට එකතු වන නවක පරපුර ගැන ඔබ
මොනවද හිතන්නේ
කේෂත්‍රයක පැවැත්මට නවකයන්ගේ පැමිණීම අවශ්‍යයි කියන තැන මම
ඉන්නවා. නමුත් එක රැයකින් සාර්ථක නිවේදකයෙක් වෙන්න බැහැ.
නිවේදකයෙක්, නිවේදිකාවක් වෙන එක හිතන තරම් ලෙහෙසත් නැහැ. අපි
කට්‌ට කාලයි මෙතනට ආවේ.
මම මුලින්ම රස රිසි ගී ඉදිරිපත් කරන්න ගියේ ගෙදරටවත් කියලා
නෙමෙයි. අරයට කියලා මෙයාට කියලා තැනක් ගන්න හිතුවේ නැහැ. අපේ
දක්‌ෂතාවය මතින්ම තමයි ඉදිරියට ආවේ. අලුතින් නිවේදන කේෂත්‍රයට
එන නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ අලුත් දෙයක් කරමින්
දක්‌ෂතාවය මතින් ඉදිරි පාර සදා ගන්න කියලයි. සාර්ථක
නිවේදකයෙක් වෙන්න දැනුම අවශ්‍ය බව මතක තියාගන්න.
මොනවද අනාගත බලාපොරොත්තු නාරද?
මේ දවස්‌වල මම අලුතින් නිවසක් හදනවා එකේ වැඩ ඉවර කරන්න ඕන.
අධ්‍යාපන කටයුතු වලටත් හිත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
මගේ තියෙන ලොකුම සිහිනය තමයි අපේ සමාජය තුළ ජීවත් වන ජනතාවට
සේවය කළ හැකි සමාජසේවා ආයතනයක් පටන් ගන්න එක. වෙන ලොකු ලොකු
බලාපොරොත්තු ගොඩක් හිතේ නැහැ. එන විදිහට ජීවිතයට මුහුණ දෙනවා.
හරින්දී ලියනගේ
පින්තූර -කමල් බෝගොඩ
|
|
|
|