|
|
|
|

පොලීසියම කනවා නම් පොලීසිය
නීතිය නොවේ මුළු රටමත් විනාශය!
"ධම්මෝ හවේ රක්‌ඛති ධම්ම චාරි" යන උතුම් බුදු වදන අද සමාජයේ
වෙසෙන සෑම අයකුටම දිනපතා අසන්නට වාසනාව නොලැබුණත් බහුතරයක්
සෙනගකට එය දිනපතා ඇස ගැසෙන්නට ඉඩ ප්‍රස්‌තාවන් ලැබේ. එ ගමක්
නගරයක් හන්දියක් හන්දියක් ගානේ රාජකාරියේ නියෑළී සිටින හෝ
මෝටර් සයිකල්වල කාර්වල ජීප්වල නැඟී එහෙ මෙහෙ යන පොලිස්
නිලධාරීන්ගේ නිල තොප්පියේ සහ කාකි කෝට් එකේ උරහිසේ ඇති බැඡ්
එකේ ඉතා කුඩාවට මුද්‍රණය කර ඇති නිසාය. ධර්මයෙහි හැසිරෙන්න,
එවිට එ ධර්මය විසින් ඔබව රකින්නේය යන උතුම් ප්‍රායෝගික අදහස
ඇති එ වදන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී එය කිසිදාක
ශ්‍රී ලංකා පොලිසියේ මොටෝව හෙවත් ආදර්ශ පාඨය වනු ඇතැයි එකල
සිටි කිසිවෙක් කිසි කලෙක සිතන්නට නැත. නමුත් යහපත් ආචාරශීලී
සාරධර්ම සුරකිමින් නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ එකායන
අරමුණෙන් අරඹන ලද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එදා එවන්
උතුම් ආදර්ශ පාඨයක් යෙදූ පුරෝගාමීන් එතුළින් සිතන්නට ඇත්තේ
ඇත්තටම ගුණගරුක ධර්මය රකින සදාචාරාත්මක නිලධාරීන් පිරිසක්
බිහි කිරීම විය යුතුය.
සිංහලෙන් අප පොලිසිය කියන්නේ ඉංගී්‍රසියෙන් POLICE පොලිස්
කියන වචනයටයි. මෙය අපට සුද්දාගෙන් පැමිණි සංකල්පයක් මිස අපේ
දෙයක් නොවේ. එදා අපට සිටියේ අධිකාරම්ලා, මුලාදෑනීන්, හේවායන්,
විදානේලා වැනි අයයි. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අප රටේ
ආරම්භ වන්නේ මෙයට වසර 143 කට පෙර එනම් 1866 වසරේය. නමුත්
සුද්දා මේ සඳහා පිඹුරුපත් සකසන්නේ 1815 දී බව ආදි ලේඛන අපට
සාක්‍ෂි දෙයි. පොලිස් පුහුණුව ලබද්දී ආධුනික නිලධාරීන්ට
උපදේශකයන් ඉතා මනා ලෙස POLICE යන වචනයේ ඇති අකුරු හයට Polite
Obedience Loyalty Integrity Courage Efficiercy යන වචන හයේ
මුල් අකුරුවල එකතුව අදාළ කරයි. එම වචනවල සිංහල තේරුම
පිළිවෙළින් මෙසේය. ආචාරශීලී බව, කීකරුකම, නීතිගරුක බව,
අවංකභාවය, නිර්භීතකම සහ දක්‍ෂතාව යන්නයි. අපට අද ඇති ප්‍රධානතම
ප්‍රශ්න දෙක වන්නේ වත්මන් පොලිස් නිලධාරීන්ගේ උරහිසේ සහ හිස
මත ඇති බුදු වදනට අනුව ඔවුන් කී දෙනෙක් ධර්මයේ හැසිරෙනවා ද සහ
ඉහත කී ඉංගී්‍රසි වචන හයේ අදහසට අනුකූලව ඔවුන් ඇත්තටම තම
රාජකාරිය කරනවාද යන්නයි.
තැලෙන යකඩය උඩ පැන පැන තැලුවහොත් කම්මලේ ආචාරියාට ඉන් හොඳ
ආයුධයක් තනාගත හැක. නමුත් මේ කාලයේ නිරන්තරයෙන් නින්දා අපහාස
චෝදනා ගල්මුල් ආදිය එල්ලවන ශ්‍රී ලංකා පොලිසිය වෙත දිගට හරහට
ප්‍රහාර එල්ල කිරීම ද එතරම් සාධාරණ නැතැයි යමෙකු සිතනු ඇත. අද
අප සමාජයේ ඉතා ශීඝ්‍ර ලෙස මනුෂ්‍ය අප්‍රසාදයට ලක්‌වන ඉතා තදින්
පිළිකුල් කරන සාධක මොනවාදැයි ඔබ සමීක්‍ෂණයක් කළොත් මැතිවරණ
දේශපාලනය, ජංගම දුරකථන භාවිතය, පාතාලය, පලිගැනීම් ආදී සියලු
මාතෘකාවන් පරදවා පොලිසිය යන වචනය මුලින්ම කියවෙනවා ඇත.
දමිළ චිත්‍රපට සහ හින්දි සිනමාව හුරු අයකු නම් සිතනු ඇත්තේ
සමස්‌ත භාරතයේම සිටින්නේ අන්ත ජඩ, පගාව ජරාව, දූෂණය, බොරුව යන
සියලු අංගවලින් හෙබි පොලිස්‌කාරයන් බව විය යුතුය. එ තරමටම එරටේ
සිනමා නිර්මාණකරුවන් විශේෂයෙන්ම තුන්වැනි පන්තියේ වාණිජ
චිත්‍රපට හදන අය ලොවට පෙන්වන්නේ එවන් දසුනකි. ඉතා නීතිගරුක
උසස් ගති ඇති නිර්භීත නිලධාරීන් ගැන කියවෙන බොහෝ නිර්මාණ අපි
එකල අපේ සිනමාව, නාට්‍ය, නවකතා, කෙටිකතා ආදී සාහිත්‍ය කෘති
තුළින් දැක්‌කත් අද වන විට එ තත්ත්වය වෙනස්‌වී ඉන්දීය සිනමාවේ
මෙන්ම පොලිස්‌කාරයා කොමිට්‌කාරයා බවට පෙරළී තිබේ. නීත්‍යනුකූල
පොලිස් නිල ඇඳුමම අඳින එම ලාංඡනම පළඳින නළුවන් යොදා අපේ
පොලිස් දෙපාර්තමේන්තුවම හෑල්ලුවට ලක් කරන නිර්මාණ විවිධ
රූපවාහිනි නාලිකා තුළින් විකාශය කරනු මම කොතෙකුත් දැක ඇත්තෙමි.
අපේ කලාකරුවන් විසින් පොලිසියේ නොමනා ක්‍රියා දෙස උපහාසාත්මකව
බලන්නට හුරු වූයේ අද ඊයෙක පටන් නොව මෙයට බොහෝ කලකට පෙර ගමේ
කමතේ වෙල් ඉපනැල්ලේ හෝ පාළු පිට්‌ටනියක ඇරැඹුණු නූර්ති නාඩගම්
සොකරි සමග ආ පොලිස් කෝලම වැනි අංග තුළිනි.
ප්‍රංශ ගත්කරු වික්‌ටර් හියුගෝ විසින් රචිත "ද ලේ මිසරාබ්ලෙ"
නම් කෘතියේ ජීවමානව ජීවත්වන ජන්තු කියන පොලිස්
ඉන්ස්‌පැක්‌ටර්වරයා වැනි නීතිය අකුරට කරන නිලධාරීන් අද සොයා
ගැනීම විරලය. එමෙන්ම ගැහැනු සොඬෙක් සහ සුරාවට ලොල්වූවකු වුවද
වරදකරු හඹා ගොස් ජීවිතයත් මරණයත් අතර සෙල්ලමක් කරමින් ඔහු
බෙල්ලෙන්ම අල්ලාගන්නා ෙ-ම්ස් බොන්ඩ්ලා වැන්නවුන් ද අද දකින්නට
නැත. එA වෙනුවට අද වැඩිපුරම ඉන්නේ පහළ මට්‌ටමේ නිලධාරියෙක්
විසින් කරන ක්‍රියාවකට තම නමද මුලින්ම එක්‌කරගෙන ලකුණු පමණක්
නොව දීමනා ද ලබාගන්නා නිලධාරීන්ය.
"රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං නීතිය ආරක්‍ෂා කරන නිලධාරියා
මං" කියන ගීතයට මා කුඩා කාලයේදී ඉතා ආසා කළෙමි. වයස අවුරුදු හය
වන්නටත් පෙර මා පොලිස් නිලධාරියකු වන්නට තීරණය කළේ එ සිංදුව
අසා ලද ප්‍රීති ප්‍රමෝදය සහ උනන්දුව නිසාය. තරු පටි පැළැඳි
උසස් පොලිස් නිලධාරියකුව සිටි මගේ පොඩි සීයා (තාත්තාගේ
පියාගේ මල්ලී) සහ ඔහුගේ පුත් අදත් ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරිවරයෙක් හෝ ඊට වඩා ඉහළ නිලයක් දරමින් සේවය කරන එකල
එස්.අයි. වරයෙක්‌ව සිටි අපේ සුනිල් බාප්පා නිසාද මට කුඩා කල
සිට පොලිස් ඇම්මක් ඇති වී තිබිණි. එමෙන්ම උපාධියක් ලැබ
කෙළින්ම ස්‌වෙච්ඡා සහකාර පොලිස් අධිකාරි පදවියක් ලද මගේ
තාත්තාගේ ලොකු මල්ලී වන ධර්ම බාප්පාගේ උජාරු නිල ඇඳුම ද කුඩා
මාව පොලිස්‌කාරයකු වීම සඳහා උනන්දු කරවීය. ගුරුවරියක වූ පුංචි
අම්මාට ඉතා බය පක්‍ෂපාත රෑ හයෙන් පසු කරුවලේ දොට්‌ට පිලටවත්
යැමටත් බය අපේ ධර්ම බාප්පා එ.එස්.පී. වුවද ඔහුට ගිනි අවියක්
දී තිබුණේ නැත. ඔවුන්ට තිබුණේ හදිසි අවස්‌ථාවල නිල ඇඳුම් ඇඳ
උජාරුවෙන් පාරවල හිටගෙන සිටින්නටයි. කඩවසම් වුවද නිරායුධ බැටන්
පොල්ලක් පමණක් හිමි මෙවැනි අයට එ දවස්‌වල කියන්නේ පොල්ලෙ
පොලිස් කියා මා අසා තිබිණි.
එකල මගේ තාත්තා මට ද ආදරයට කීවේ ඉන්ස්‌පෙක්‌ටර් කියාය. මට බොහෝ
දේ උගන්වන අපේ තාත්තා මට කියාදී ඇත්තේ යමෙකුගේ නරක ලියන්නට නොව
හොඳ ගතිගුණ ඇත්නම් එවා විශේෂයෙන්ම කිව යුතු බවයි. එහෙයින් මා
දැක ඇති අසා ඇති පොලිස් නිලධාරීන්ගේ යහපත් දේ ද ලිවිය යුතුය.
යමෙකුට තිත්ත බෙහෙත් පෙත්තක් ගිල්ලවීමට අවශ්‍ය නම් එය වටා
පැණි රස ආලේප කිරීම හොඳය යන පිරුළ කොතරම් දුරට මෙතැනට
ගැලපෙනවාදැයි මම නොදනිමි.
තනි අලියා යන අන්වර්ථ නාමය හිමි සාජන් මහත්තයෙක් මා කුඩා කල
අප කිරුළපන පොලිසියේ සිටියේය. ඔහු වැටලීම්වලට පරීක්‍ෂණවලට
වරෙන්තුකාරයන් ඇල්ලීමට ගියේ තනිවමය. කාකි කොට කලිසමත් එක්
පැත්තක් නමන ලද ලොකු වාටියක් සහිත තොප්පියත්, අත් දිග කමිසය
සහ බැටන් පොල්ලත් ඔහුට එක් කළේ මහ ගාම්භීර බවකි. මනුතාපයේ
ජන්තු යනු මෙවැනි අයෙක් වන්නට ඇතැයි මම එකල සිතීමි. කිරුළපන
පළමුවැනි පටුමඟේ පාළු වත්තේ සියඹලා ගහ යට බේබි කපන (බූරුවා
ගසන) අය රොතු පිටින් ද පුර්වාරම රේල් පාර අද්දර වන ලැහැබේ ගංජා
විකුණන පැටීව හෝ පොඩි මල්ලීව ගලග්‍රහණයෙන් ද අල්ලාගෙන පොලිසියට
කුදලාගෙන යන තනි අලියා මම අනන්තවත් දැක ඇත්තෙමි. එමෙන්ම
බෝක්‌කුව යට ඇළ පාරේ සිල්ලරට වඩි ගැසූ රාමාව සහ ඇඟිලි හයේ
සුදාව අතටම අල්ලාගෙන උන්ගේ කර පිට බූලි සහ දඟර පටවා පා ගමනින්ම
තනියම පොලිසියට දක්‌කන තනි අලියාට මුළු ගමේම සිටි සත්ගුණවත් අය
ආදරය කළහ. වැරැදි කළ අය ඔහුට ආදරේ කළාදැයි නොදනිතත් මුහුණට
මුහුණ පෙනෙන්නට ඉදිරියට එමටවත් බිය විය.
බණ්‌ඩෙක් නැති පොලිසියක් කොහේදැයි කියා එකල කියමනක් තිබිණි.
ඉන් අදහස් කළේ සෑම පොලිසියකම වාගේ රන් බණ්‌ඩා, මුතු බණ්‌ඩා,
සුදුබණ්‌ඩා, ගජබණ්‌ඩා, සුමනබණ්‌ඩා, ජයබණ්‌ඩා වැනි නම් තියන අය
සිටීමයි. එයට හේතුව කොස්‌තාපල් සාජන් වැනි තනතුරු සඳහා අය
බොහෝවිට ඈත ගම්වලින් පැමිණ සිටීමයි. කොළඹ අවට පොලිස් ස්‌ථාන
කීපයකම වැඩ කළ සාජන් පුංචි බණ්‌ඩා ද ආදර්ශවත් නිලධාරියෙකි. තනි
අලියාට මෙන්ම ඔහුට ද අල්ලස් දූෂණ ජරාව පගාව වැනි චෝදනා
නොතිබිණි. අවංකයා කියා එස්.අයි. මහතෙක් හිඟුරක්‌ගොඩ පැත්තේ
පොලිස් ස්‌ථානයක සේවය කර ඇත. ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම අවංක
නිලධාරියෙක් බව එA පැත්තේ අය තාම කියති. ප්‍රධාන පොලිස්
පරීක්‍ෂකයෙක් වශයෙන් මෑත කාලයේ විශ්‍රාම යන තෙක්‌ම ඔහු ඉතා
නීතිගරුකව පළාතේ බොහෝ දෙනාගේ හොඳ නම දිනාගෙන සිටියේය.
රාජන් රාජා අන්තිමට වැඩ කළේ ඇඹිලිපිටිය තණමල්විල අතර තිබූ
පොලිසියකය. එකල මා ද එ පැත්තේ ගංජා හේන් ආශ්‍රිතව යම් යම් වැඩ
කීපයක් කරමින් සිටියෙමු. සාජන් යන්නට සමහර ගම්මු කියන්නේ
රාජන් කියාය. එ උච්චාරණයේ ප්‍රශ්නයකි. එනිසා සාජන් රාජා ද
රාජන් රාජා වී තිබිණි. ඔහු වරෙන්තුකාරයෙක්, අපරාධකාරයෙක්
අල්ලා ගන්නට සමහරදාට රූස්‌ස ගස්‌වල නැඟගෙන රැකගෙන සිටියේය.
නැත්නම් වරෙන්තුකාරයාගේ නිවසේ වහළය උඩ ඉදීමෙනි. ගමට මහ
පිළිලයක්‌ව සිටි කළු පාල නමැති ස්‌ත්‍රී දූෂක ළමා අපචාරිකයා
වරක් රාජන් රාජා අත්අඩංගුවට ගත්තේ පුරා රාත්‍රියක්
සෝමක්‌කාගේ නිවසේ ඇඳ යට ඇයටත් සොරා සැඟවී සිටිමිනි. රෑට රෑට තම
නිවස තුළදීම පාරිභෝගිකයන්ට ගංජා අරක්‌කු මෙන්ම තම ඇඟ ද විකුණන
ගණිකාවක් වූ සෝමාක්‌කාවත් අපරාධකාරයෙක් වූ කළුපාලවත් එදා
රාජන් රාජා අතටම අල්ලා ගත්තේ එසේ මහා කැප කිරීමක් කරමිනි.
ශ්‍රී ලංකීය ඉතිහාසයේ විවිධ වික්‍රමයන් කළ පොලිස් නිලධාරීන්
ගැන අප අසා තිබේ. මුහුණට මුහුණලා සටන්කොට මිනීමරුවන් මෙච්චල්
කිරීම, භයානක සොරුන් අතටම අල්ලා ගැනීම, සංවිධානාත්මක අපරාධ
කුමන්ත්‍රණවල අග මුල ඉතා සාර්ථකව සොයා ගැනීම, භයානක අවි ආයුධ
බෝම්බ වැනි දෙයින් වෙන්න ගිය විනාශයන් වැළැක්‌වීම,
ත්‍රස්‌තවාදී ක්‍රියා මර්දනය ඉන් කීපයකි. එA ගැන අපි අවංකවම එම
නිලධාරීන් පැසසිය යුතුය. උප පොලිස් නිලධාරියකු ලෙස පොලිස්
සේවයට බැඳෙන්නට මමත් කීප වරක්‌ම උත්සාහ කළෙමි. තුන් වතාවත්ම
අවසාන පරීක්‍ෂණය දක්‌වාම ගොස් එ සියල්ලෙන්ම ඉහළින්ම සමත්
වූයෙමි. උස, පපුව, දැනුම, අධ්‍යාපන සුදුසුකම්, ක්‍රීඩා කෞශල්‍ය
ආදී සියල්ල තිබූ නාඹර වියේ ගැටවරයෙක්‌ව සිටි මා එදා තෝරා
නොගන්නට එකම හේතුව වූයේ මගේ පියා ශ්‍රී ලංකා නිදහස්
පාක්‍ෂිකයෙක් වීමයි. එකල පැවති ඡේ. ආර්. ආණ්‌ඩුවේදී රජයේ
රැකියාවක් සඳහා තෝරා ගන්නට පෙර නම් ලැයිස්‌තුව පළාතේ
මන්ත්‍රීවරයා වෙත එවන සිරිතක් තිබිණි. එනිසා එහි නැගෙනහිර
කොළඹ මන්ත්‍රීවරයා අතින් මගේ නම තුන් වරක්‌ම කැපී ගිය බව මට එම
කාර්යාලයේම අයගෙන් එදවස් වලම දැනගන්නට ලැබිණි. එදා පොලිසියට
බඳවා ගත්තා නම් අද මා ප්‍රධාන පොලිස් නිලධාරියකු හෝ සහකාර
පොලිස් අධිකාරිවරයෙකි. නැත්නම් සමහරවිට යුද්ධය නිසා හෝ
අපරාධයක් මැඬලන්නට ගොස් ජීවිතක්‍ෂයට පත්වූ "හිටපු"
නිලධාරියෙක් ද වන්නට පුළුවන.
දැන් ඇමැති ආරක්‍ෂක අංශයේ සේවය කරන කලින් විශේෂ කාර්ය බළකායට
අනුයුක්‌තව පානම, කල්මුණ, කල්කුඩා පැතිවල විශිෂ්ට සේවාවක් කළ
දසනායක මහතා මට කීවේ මෙවන් කතාවකි.
අපේ ගෙදර වත්තේ වැඩට අහිංසක මිනිහෙක් එනව. දැක්‌කම දුක හිතෙන
කෙට්‌ටු මනුස්‌සයෙක්. දවසක් එයා වැඩ කරමින් ඉන්නකොට අපේ නෝනා
කඩේට යවල තියෙනව රුපියල් දාහක් දීල තීන්ත ටින් එකක් ගේන්න.
ගියා ගියාමයි මිනිහත් නැහැ, සල්ලිත් නැහැ, තීන්තත් නැහැ. අපි
ඔක්‌කොම හිතුවෙ මෑන් මාරු වුණා කියල. දෙයියනේ පස්‌සෙ ආරංචි
වුණා මනුස්‌සයව පොලිසියෙන් අල්ලල කසිප්පු නඩුවක් දාලා
රිමාන්ඩ් කරල කියල. අපි හොඳටම දන්නව මෑන් කසිප්පු තියා
බීඩියක්‌වත් බොන්නෙ නැහැ කියල. අදටත් එයා රිමාන්ඩ්. දරුවන්
දෙන්නයි ගෑනියි අන්ත දුක් විඳිනවා.
වරක් කොළඹට ආසන්න මහෙස්‌ත්‍රාත් අධිකරණයක විනිසුරුවරයෙක්
සුපුරුදු පරිදි තම ආසනය වෙත ආවේ නඩු විසඳීමටයි. පිළිවෙළින් නඩු
අසමින් යන විට පොලිස් නිලධාරියෙක් විසින් කුඩා කොලුගැටයෙක්
ද මත්කුඩු සම්බන්ධ නඩුවකට විත්ති කූඩුවට නග්ගවා ඇත. නඩුකාරයාට
තරු පේන්න වූයේ එ කොල්ලා ඊයේ වනතුරුම තම නඩුකාර බංගලාවේ
මෙහෙකාරකම් කරමින් සිටි නිසාත්, ඊයේ රාත්‍රියේ පාන් ගෙනෙන්නට
හන්දියට ගිය වෙලේ සිට අතුරුදන් වී ඇති බවට තම බිරිඳ කියා සිටි
නිසාත්ය. මෙතැනදී සිදුවී ඇත්තේ ද පොලිසියේ වරදකි. නඩු දිනයට
ඉදිරිපත් කරන්නට කෙනෙක් නැති නිසා සැකපිට පාරේදී අත්අඩංගුවට
ගත් දමිළ ගැටයාට අතින් කුඩු දමා ඔවුන් ඔහු උසාවි නග්ගවා ඇත.
අද සමහර පොලිස් නිලධාරීන් කරන වැරැදි සමග සසඳද්දී ඉහත අප කීවේ
ඉතා ප්‍රාථමික මට්‌ටමේ ක්‍රියාවන් දෙකකි. පසුගිය කාලය තුළ අප
ඇසින්ම දුටු පරිදි විශ්වාසවන්ත අයගෙන් අසන්නට ලැබුණු පරිදි
රූපවාහිනියෙන් පුවත්පත්වලින් දුටු පරිදි වත්මන් පොලිස්
ස්‌ථානවල වන අවැඩ ඉතා කනගාටුදායකය. අද ජාතික පුවත්පතක්
කියවද්දී පොලිස් නිලධාරීන්ගේ ජඩ වැඩ කොතෙක් අපට දැනගන්නට
ලැබෙයිද? මෙයට හේතුව පොලිස්‌කාරයාත් පෘථග්ජන මිනිසෙක් වීම ද
නැත්නම් වෙනත් කරුණක් ද යන්න සිතිය යුතුය. නම හෙළි කිරීමට
අකැමැති එක් උසස් නිලධාරියෙක් මා සමග පැවසුවේ මෙසේය.
බලන්න මිස්‌ටර් ඩිපාර්ට්‌මන්ට් එකේ වරදක් කරපු කෙනෙක් ඉන්නව
නම් එයාට සස්‌පෙන් කරන්න හරි ඉන්ටඩික් කරන්න හරි සාක්‍ෂි
නැත්නම් ටික කාලෙකට එයාව අනුයුක්‌ත කරන්නෙ ටේ්‍රනිං සෙක්‌ෂන්
එකට (පුහුණු අංශයට) ඉතින් එයාට තියෙන්නෙ අලුත් අය පුහුණු කරන
එක සහ උගන්වන එක. හොර මැරකම් ජඩ තක්‌කඩි වැඩ කරපු එවුන් උගන්නන
දේ අලුත් අය අහයිද එහෙම නැත්නම් එA අලුත් අයත් හොරකම් කරන්න
පුරුදු වෙනව නේද?
මෙය ඇත්තක් නම් අප එ ගැනද ගැඹුරින් සිතිය යුතුය.
මට බොහෝ හිතවත් තුන්වැනි පන්තියේ වීදි ගණිකාවක් වන මාලා සහ
ඇගේ පාරේ මිතුරියන් පිරිසක් මා සමග ගිය සතියේ බෙදා ගත්තේ
රාත්‍රියේ වීදියේ සැරි සරද්දී ඔවුන්ට සමහර පොලිස්
නිලධාරීන්ගෙන් විඳින්නට ලැබෙන ගැහැට සහ පීඩා ගැනය. අඩි කීපයක්
ළංවීමට පවා අසීරු අපුල ජරාජීර්ණ ස්‌ත්‍රීන් වන මේ අයගෙන්
ලිංගික අල්ලස් ගන්නා පොලිස් නිලධාරීන් අද සමාජයේ බොහෝය.
ඔවුන් රාත්‍රියේදී ගණිකාවන් අත්අඩංගුවට ගන්නා අතර නිදහස් කර
යවන්නට නම් මෙසේ මුදල් සහ කාම අල්ලස් ලබාගන්නා බවද මාලා
උපහාසයෙන් පැවසුවාය.
මා සොයා බැලූ පරිදි බොහෝ පොලිස් නිලධාරීන් පත්තර කියවන්නේ
නැත. කියවන අය ද නැත්තේම නැත. එ නොකියවන්නේ අකුරු බැරි නිසාවත්
මුදල් නැති නිසාවත් නොව වෙලාවක් නැති නිසා බව බහුතරයක් අය මා
සමග පැවසීය. කොම්පඤ්ඤවීදිය කියා ලියන්නට නොදන්නා පොලිස්
නිලධාරියෙක් ගැනත් පිපිඤ්Æ ගෝනියක් නැතිවූ විට එ වචනය
ලියන්නට නොදන්නා නිසා කැකිරි ගෝනියක් නැතිවූ බවට පැමිණිල්ලක්
ලියූ නිලධාරියෙක් ගැනද කතාවක් අප ජනප්‍රවාදයේ එයි. කෙසේ
වෙතත් පුවත්පත් කියවන අවංක නිලධාරීන් කෙසේ තම දෙපාර්තමේන්තුවේ
ක්‍රියාකලාපයන් දැක ඉවසා වදාරනවාදැයි අපට ප්‍රශ්නයකි. සිහි
බුද්ධිය ඇති අයට නම් එ ගැන ලැඡ්ජාවක් ඇතිවිය යුතුය.
අද බොහෝ අධිකරණවල විනිසුරුවන් එහි නඩු අරන් එන පොලිස්
නිලධාරීන්ට බනින අන්දමත් එ අයගේ අතේ පත්තුවන මුසා සහ වැරැදි
පෙන්වමින් ලැඡ්ජා කරන අන්දමත් උසස් නිලධාරීන් දැක්‌කොත් එ අයට
මොනවා සිතෙනු ඇද්දැයි මට වරෙක සිතිනි. පොලිස් නිලධාරීන් අතින්
වනවා යෑයි සමාජය විසින් හා මාධ්‍ය වෙතින් සෘජුවම එල්ල වන චෝදනා
මේවාය. දිවයින පුරා ඇති විවිධ පොලිස් ස්‌ථානවලට මට නිතර නිතර
යන්නට සිදුවන අතර මෙම චෝදනාවලින් බහුතරයක් මෙම ඇස් පනාපිටම
දැක ඇත්තෙමි. සමහර එවාට සෘජුවම ගොදුරු වී තිබේ.
වැරැදි කර අසුවන අය ඉන් බේරා යෑවීම සඳහා මුදල් හදල් ද්‍රව්‍යමය හෝ සේවා
අල්ලස් ලබාගැනීම හෝ කප්පම් ඉල්ලා සිටීම.
කාන්තා පාර්ශ්වයන්ගෙන් සෘජුවම ලිංගික අල්ලස් ලබාගැනීම.
පැමිණිලිකරුගෙන් වාසි ලබාගෙන චූදිතයා වෙත අසාධාරණ ලෙස බලපෑම් එල්ල කිරීම.
අයථා ලෙස පොලිස් බලතල පාවිච්චි කිරීම (පෞද්ගලික එදිරිවාදිකම් සඳහාත්)
දෙපාර්තමේන්තුවට අයත් වාහන යන්ත්‍රොaපකරණ ලිපිද්‍රව්‍ය වැනි දේ අනිසි භාවිතය.
මහා පරිමාණ හොර ජාවාරම්වලට උපකාර කිරීමෙන් වාසි හෝ කොමිස්
ලබාගැනීම.
රාත්‍රියේ බීගෙන විත් පොලිස් සිරමැදිරියේ ඉන්න රැඳවියනට
නිකරුණේ පහරදීම.
තොරතුරු ලබාගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොයොදා අමානුෂික ලෙස ප්‍රහාර එල්ල
කිරීම. ඇඟිලි වලින් බාල්කයේ එල්ලීම, ධර්ම චක්‍රය, මිරිස්‌කුඩු
ගෝනියේ බැස්‌සීම, වෘෂණ කෝෂ ලාච්චුවට දමා තද කිරීම, නාව නාවා
අතින් පයින් මොට ආයුධවලින් පහරදීම.
බෝම්බයකින් දමා ගසන්ට ගොස් වෙඩි තිබ්බා යන නව්‍ය ක්‍රමවේදය සෑම විටෙකම සුලබ
ලෙස අනවශ්‍ය අවස්‌ථාවලදී අහිංසක අය සඳහා ද පාවිච්චි කිරීම.
අධිකරණයට ඉදිරිපත් කරන්නට නඩු නැති විටෙකදී බොරු නඩු පටලවා අහිංසකයන් උසාවි
දැමීම.
උසස් නිලධාරීන්ගේ පෞද්ගලික වැඩකටයුතු සඳහා පහළ මට්‌ටමේ නිලධාරීන් හෝ වැරැදි
කර අසුවන අය යොදා ගැනීම.
පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීම සඳහා පොලිස් ආයුධ රථවාහන සහ නිලධාරීන්
යෙදවීම.
මත්ද්‍රව්‍ය ආයුධ හෝ ත්‍රස්‌තවාදයට සෘජුවම හෝ වක්‍රව උදව් කිරීම.
අධික ලෙස මත්පැනට, දුම්පානයට මෙන්ම විවිධ ඇබ්බැහිවීම්වලට යොමුවී සිටීම.
හෙරොයින් මත් කුඩට පුරුදු වූ පොලිස් නිලධාරීන් රැසක්‌ම මට හමුවී තිබේ. අද
බන්ධනාගාරවල මෙන්ම මගේ මිතුරු සෙවන මත් පුනරුත්ථාපන කඳවුරේද
එවැනි අය සිටී.
පොලිස් ලකුණ පාවිච්චි කරමින් මංකොල්ලකෑම්, සොරකම් ආදිය කිරීම.
රාජකාරියේ යෙදෙන ගමන් සමහරවිට සේවා කටයුතු අතපසු කර වෙනත්
ව්‍යාපාරවල යෙදීම. උදාහරණ ලෙස, රෙදි ව්‍යාපාර, ඇඟලුම්,
ත්‍රීවීල් එළවීම, බ්‍රොaකර් වැඩ ආදිය.
හෝටල් ඉදිරියේ ජීප් රථය නවතා එවායින් පිනට කෑම පැකට්
ලබාගැනීම, බයිට් පීරිසි ඉල්ලා සිටීම මෙන්ම පිනට වෙනත් සේවා
ලබාගැනීම.
වැඩිපුරම මාලදිවයින්කාරයන් ඇතුළු ඉන්දියන්, පකිස්‌තාන්, තායි
වැනි ආසියාතිකයන් නිතර ලැඟුම් ගන්නට එන අධි මිල ගණන් ගෙවිය
යුතු හෝටලයක් බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටා තිබේ. තට්‌ටු
ගණනකින් හෙබි උස හෝටලයක් වන මෙය කාමර පහසුකම් සපයන
ආරක්‍ෂාකාරී ස්‌ථානයක් බවට කොළඹ පුරා ප්‍රසිද්ධ නිසා දිවා
කාලයේ තරුණ, මහලු, වැඩිහිටි, ළාබාල හොර ජෝඩු දහස් ගණන් ගෙවා
මෙහි පැමිණ කාමරයක් කුලියට ගෙන කාලය ගත කර යන අන්දම මම දින
කීපයක් තිස්‌සේ නිරීක්‍ෂණය කර ඇත්තෙමි. එ මගේ මාලදිවයින්
මිතුරන් හමුවීමට නිතර මා එහි යන නිසාය. කාමර ගන්නට ජෝඩු එනවා
සේම ජරාව කන්නට එහි එන නිලධාරීන් ද මම අනන්තවත් දැක ඇත. ලැඡ්ජා
විය යුතු කරුණු වන්නේ යුනිෆොaම් එක පිටින්ම එ අය එහි එන
නිසාත්, රුපියල් දාහක් හෝ බුරියානි පැකට් එකක් වැනි දෙයක්
පගාව ලෙස ගැනීම පිණිස වරු ගාණක් රිසෙප්ෂන් එක ඉදිරියේ හෝ එ
අසල පහළට බසින්නට ඇති පඩි පෙළේ හිඟන්නකු සේ සිටගෙන ඉන්නවා
දැකීමයි.
මෙවැනි දේ කරන්නේ සියලුම නිලධාරීන් නොවන බව අපි අවධාරණය කරන්නට
කැමැත්තෙමු. මා සමග එකට පාසල් ගිය මගේ හොඳම මිතුරන් මෙන්ම
නෑදෑයන්ද විවිධ රාජකාරී කටයුතුවලදී නිරන්තරයෙන් මට හමුවන විවිධ
මට්‌ටම්වල පොලිස් මිතුරන් ද මට සිටී. ඔවුන් වැඩි දෙනෙක්
කියන්නේ දෙපාර්තමේන්තුව ගැන ලියන ලෙසත් අවශ්‍ය කරුණු ඕනෑ තරම්
ලබාදෙන්නට හැකි බවත්ය. එවිට මා ඔවුන්ට කියන්නේ "උඹලා ගැන කරුණු
උඹලාට අපට වඩා මහජනයාත් උසස් නිලධාරීනුත් දන්නා නිසා එවා තමන්
ළඟම ලබාගෙන හරිදෙය කරන ලෙසත්ය". ඕවා ගැන වැඩිය නොලියන ලෙසත්
ඉන් පසු රිදුනු අය මා කෙරේ වෛර බැඳ පලිගන්නට හැකි බවත්, මගේ
බිරිඳ මට නිතර දෙන අවවාද වෙයි. එ මවෙත එන තර්ජන ඇමතුම් ගැන ඇය
දන්නා නිසාය.
මෙවන් දේ ලිවීම නිසා සමහරු මා සමග අමනාප වන බවත් හදිසියේ හෝ
වැඩක් කරගන්නට ගිය විට ප්‍රශ්නවලට මුහුණපාන්නට වන බවත් මම
දනිමි. නමුත් "ධම්මෝ හවේ රක්‌ඛති ධම්මචාරී" යන පදය මටත් පොදු
නිසා ධර්මය මා රකින බව මම දනිමි. එනිසා හැකිවිටම උත්සාහ දරන්නේ
ධර්මයේ හැසිරීමටයි. අද පොලිසිය කෙරේ විශ්වාසයක් නැති බොහෝ අය
ධර්මය කෙරේ විශ්වාස කරනු ඇතැයි මම සිතමි. ධර්මයෙහි හැසිරෙන්න.
එවිට එ ධර්මය ඔබව රකිනු ඇත.
මිත්‍ර ශ්‍රී කරුණානායක |
|
|
|