ප්‍රජා ආණ්‌ඩුකරණය
ධම්ම දිසානායක

එකක්‌ නෙවේ පොප්ලර් ගස්‌ දෙකක්‌

මේ දවස්‌වල හරි අපූරු රූපවාහිනී කතාන්දරයක්‌ විකාශය වෙනවා ස්‌වාධීන රූපවාහිනියෙන්. ඒකෙ නම ඇහිපිල්ලමක්‌ යට. ප්‍රදීප් ගෙයි මංජුලගෙයි උත්සාහය ඉතාම සාර්ථකයි කියලා කියන්ඩ ලැබීම හරිම සතුටට කාරණයක්‌. මේ කතාන්දරයට පදනම් කරගෙන තියෙන්නේ චිංගිස්‌ අයිත්මතෙව් මහත්තයගේ "ගුරු ගීතය" කියන නව කතාව. ඒක හරිම සුන්දර කතාවක්‌. කතාව කියවන කොට මනසේ මැවෙන රූප සිතුවම් මේ රූපවාහිනි කතාව තුළ දකින්නට ලැබීම අගය කළ යුත්තක්‌. ගුරුකම සෙල්ලම් වැඩක්‌ නෙමෙයි. මහා හැඟීම් දැනීම් ලෝකයක්‌ එක්‌ක සංකීර්ණ ලෝක දැක්‌මක්‌ බෙදා හදාගන්න එක ගුරුවරයාගේ ප්‍රධාන වගකීමක්‌. ඒ සඳහා වූ දුයිෂෙන් උදාහරණය මේ වගේ කූට වෙළෙඳ යුගයක රූපවාහිනියෙන් දකින්න ලැබෙන එකත් පුදුමයක්‌.

අයිත්මතෙව් උන්නැහේ ස්‌ටාලින්ගේ ආණ්‌ඩුවේ සාහිත්‍ය අනු මණ්‌ඩලයේ ලොක්‌කෙක්‌. ඒ කාලේ සෝවියට්‌ පාලනය විවේචනය කරපු ගොඩාක්‌ රුසියානු පොත් පත් තහනම් කිරීමේ වැඩේට උන්නැහෙත් වක්‍ර මාර්ගයෙන් සම්බන්ධ වුණාද කියන එක ඉතින් හරියටම කියන්න බෑ. ගුරු ගීතයෙත් පොඩි පොඩි අවුල් නැතුවාම නොවෙයි. පුද්ගල ප්‍රතිරූප වල වහන්නේ කපුටෝ විතරයි කියපු ලෙනින් පුද්ගල ප්‍රතිරූප තැනීම වගේම වන්දනාව ප්‍රතික්‍ෂේප කරා. ඒත් ස්‌ටාලින් කළේ ඒකෙ අනිත් පැත්ත. ඉතින් ස්‌ටාලින්ගේ වැඩ කලාවට පක්‍ෂපාතී ගතියකුත් ඔය පොතේ තියෙනවා. නැත්නම් ඉතින් ඒ කාලේ ඔය පොත පළ කරන්න ඉඩ ලැබෙන්නෙත් නෑනෙ. ගුරු ගීතය පොතේ ඔය කියපු විදිහේ විග්‍රහ වලට අදාළ කාරණා තිබුණත් ඒ පොත තරම් ජනප්‍රිය රුසියානු පොතක්‌ අපේ රටේ නැති තරම්. අපේ විශ්වවිද්‍යාල ජීවිතයේ අපට මුණුගැහුණ සුන්දරම පොත වුණේ ඔය පොත. ගුරාලයි ගෝලයොයි අතර ඒ තරම්ම හුවමාරු වුණ පොතක්‌ තමයි ඔය.

එදා රුසියානු සමාජයේ පැත්තකට විසි කරල, නොවටිනා මනුස්‌සයන් බවට පත්කරල පීඩාවට ලක්‌කරපු ගැහැනු ආත්ම වෙනුවෙන් මැදිහත් වීමක්‌ කරන දුයිෂෙන් අපේ මතක ලෝකයේ සදාතනික වීරයෙක්‌. මේ මතකය අලුත් කරපු ප්‍රදීප්ටත්, මංජුලටත් පින් සිද්ධ වෙන්න ඕනි. රුසියාව හරහා ගුරුගීත වාහනයෙන් මතක සංචාරයේ යෙදෙන කොට මතක්‌ වෙන ප්‍රධානතම චරිතය ලෙනින්. ඒ කියන්නෙ වී අයි. ලෙනින්. මට ඔයිට අදාළ වටිනා කියන විහිළුවක්‌ තියෙනවා. වී කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියන එක. අයි කියන්නෙ මම කියන එක. ඒ කියන්නෙ ලෙනින් තවත් විදිහකට කියවා ගත්තොත් අපි මම ලෙනින්. අපි හැමෝම ලෙනින් කියන එක තමයි ඒකෙන් කියවෙන්නෙ.

ඔය දුයිෂෙන් ගුරුතුමා පීඩිත ස්‌ත්‍රී ආත්ම වෙනුවෙන් කළ අවංක අරගලයට අදාළ වෙන විධියේ ප්‍රකාශයක්‌ ලෙනින් ඉදිරිපත් කරල තියෙනවා. හැබැයි ගුරු ගීතයට ටිකක්‌ ඉස්‌සර. ඒ ප්‍රකාශයේ තේරුම තමයි දේශපාලන, සමාජ, ආර්ථික කටයුතු වලදී ස්‌වාධීන වැඩ කොටසක්‌ කිරීමට ස්‌ත්‍රිය සහභාගී කරගන්නේ නැත්නම් සමාජවාදය තියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකිරීමටත් පලට නැති කටයුත්තක්‌ය කියන එක. ඇත්තටම ලෙනින්ගේ අදහස වුණේ බහුජන මහා විමුක්‌ති ව්‍යාපාරයක්‌ තුළ ස්‌ත්‍රී දහරාව අත්‍යවශ්‍ය දෙයක්‌ වනවා කියන එක. ස්‌ත්‍රීය තමාගේ ඉරණමේ ස්‌වාමිදුව බවට පත්වීම අත්‍යවශ්‍ය බව කියපු සමාජවාදී චින්තකයන් තමයි ඔගස්‌ට්‌ බේබල්. ස්‌ත්‍රීන් ගැන ස්‌ත්‍රීන්ගේ විමුක්‌තිය ගැන ස්‌ත්‍රී අයිතීන් ගැන කතාකරේ සමාජවාදීන් විතරක්‌ නොවෙයි. ධනපති ලිබරල්වාදීනුත් කතාකරලා තියෙනවා. මේ කවුරු කවුරු කතා කළත් ස්‌ත්‍රී ප්‍රශ්නය තවම නොවිසඳුණු ප්‍රශ්නයක්‌. අපේ රටේ විතරක්‌ නොවේ ලෝකයේ බොහෝ රටවල ස්‌ත්‍රියට තියෙන්නේ දෙවැනි තත්ත්වයක්‌. බලය, තීරණ ගැනීම, සමාජ දේශපාලන ආර්ථික ආධිපත්‍යය, වරප්‍රසාද සියල්ලගෙන්ම ස්‌ත්‍රී ප්‍රජාව පොදුවේ අයින් කරලා. තනි තනි උදාහරණ තියෙන එක ඇත්ත. ඒත් පොදුවේ ස්‌ත්‍රියගේ තත්ත්වය අසරණයි. ලෝක ජනගහනයෙන් හරි භාගයක්‌ ස්‌ත්‍රීන්. ඒ වුණාට ලෝකයේම පාර්ලිමේන්තුවල ගැහැනු නියෝජනයේ එකතුව සියයට දාහතරයි.

ලංකාව ගත්තොත් අපේ රටට සර්වජන ඡන්ද බලය ලැබිල අවුරුදු හැත්තෑ හතයි. ඒත් අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ කමලා ලියනගේ මහාචාර්යතුමිය කියන විධියට ස්‌ත්‍රී නියෝජනය තවම මේ ඉතිහාසයේදී 5.8% ඉක්‌මවා ගිහින් නැතිලු. මේ කරුණු කාරණා වලින් පේන්නේ ලෝකයෙත් අපේ රටෙත් ස්‌ත්‍රී දේශපාලන සහභාගීත්වය වගේම නියෝජනය පවතිනුයේ ඉතාම අසතුටුදායක තත්ත්වයක කියන එක. මේ තත්ත්වයට විසඳුමක්‌ අවශ්‍යයි. මට නම් හිතෙන්නෙ විසඳුම් පටන් ගන්න ඕනි ප්‍රාදේශීය ආණ්‌ඩුවලින්. ලංකාවේ ප්‍රාදේශීය ආණ්‌ඩු තුන්සිය තිහක්‌ තියෙනවා. නියෝජිතයෝ හාරදහස්‌ ගාණක්‌ ඉන්නවා. ඒත් නගාරාධිපතිවරියන් සභාපතිවරියන්, සාමාන්‍ය නියෝජිතවරියන් ඉන්නෙ කී දෙනාද. ඉතාම සුළු ප්‍රමාණයක්‌. තරුණයන් සඳහා පංගුවක්‌ අපේක්‍ෂක ලැයිස්‌තුව තුළ වෙන් කරල තිබුණත් ස්‌ත්‍රීය සඳහා කිසිදු පංගුවක්‌ වෙන්කරලා නෑ. නියෝජන මැතිවරණවලදී ස්‌ත්‍රීන් සඳහා ආසන පංගුවක්‌ (කෝටා එකක්‌) වෙන් කළ යුතුයි කියල කාලෙක ඉඳන් ස්‌ත්‍රී සංවිධාන වගේම වෙනත් පුරවැසි සංවිධාන ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම පලදරා නෑ. ස්‌ත්‍රීන් සඳහා කෘත්‍රිම විධියට ආසන වෙන් කරන එක තේරුමක්‌ නෑ කියල කියන්න පුළුවන්. විය යුත්තේ රටේ දේශපාලන සංස්‌කෘතිය වර්ධනය කිරීම තුළ ස්‌ත්‍රීන් ඒකෙ නියම ක්‍රියාකාරිකයෝ කරවීම කියන එක. ඒ එක්‌කම ඉදිරිපත් වෙන්න පුළුවන් තර්කයක්‌. ඒත් රටක දේශපාලන සංස්‌කෘතිය වර්ධනය වෙන්න නම් සියලුම ජ්‍රජාවගේ දේශපාලන සහභාගීත්වය දියුණු තියුණු කරන ක්‍රමවේද අනුගමනය කරන්න ඕනි. සමහර ඒවා මුලදී කෘත්‍රිමව දැනුණත් පස්‌සෙදි සාමාන්‍ය ජන භාවිතයට ඒම අනිවාර්යයි. ලංකාවේ මුලින්ම ඡන්ද බලය ලැබීම දැනුණොත් හරිම කෘත්‍රිම දෙයක්‌ විධියට. හැබැයි දැන් එහෙම නෑනෙ. ප්‍රාදේශීය ආණ්‌ඩු පාලනයේ සාර්ථකත්වය ර¹ පවතින්නේ සම්බන්ධ කර ගැනීම මත මිස බැහැර කිරීම මත නොවේ. නමුත් අපේ රටේ නියෝජන ක්‍රියාවලිය තුළ තියෙන සැකැස්‌ම හේතුවෙලා තියෙන්නේ විවිධ පාර්ශ්ව සම්බන්ධ කර ගැනීමට නෙවේ බැහැර කිරීමට. මේකෙදී අපේ රටේ දේශපාලන ක්‍රියාවලියෙන් බැහැර කෙරිල තියෙන ප්‍රධාන ජනවර්ගයක්‌ තමයි ස්‌ත්‍රීන්.

ප්‍රදේශයේ ජනගහනයෙන් භාගයක්‌ වන ස්‌ත්‍රීන් ප්‍රාදේශීය ආණ්‌ඩු පාලනයේ ප්‍රධාන කොටස්‌කරුවන් කර ගැනීම නිසා ප්‍රාදේශීය ආණ්‌ඩුවලට ලැබෙන පූර්ණත්වය ඉතා වැදගත්. රාජිනීශ් කියන විදියට ගැහැනියයි පිරිමියයි කියන්නෙ එක ශරීරයක එක පැවැත්මක පලු දෙකක්‌. පූර්ණත්වය සඳහා මේ පලු දෙකම අවශ්‍යයි. පිරිමින්ගෙන් පමණක්‌ වූ පාලනය හෝ සංවිධානය අසම්පූර්ණයි. ඒක ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. සමාජයක්‌ ප්‍රජාතන්ත්‍රීයව ප්‍රතිසංස්‌කරණය කරන කොට ඒක පටන් ගන්න ඕනි ඉහළිsන් විතරක්‌ නොවේ. පහළිනුත් ඒ ප්‍රතිසංස්‌කරණ සඳහා වැඩ පිළිවෙළක්‌ පටන්ගන්න ඕනි.

අසල් වැසි ඉන්දියාව ඒකට හොඳම උදාහරණයක්‌. ඉන්දියාවෙ පංචායත් රාඡ් සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂක ලැයිස්‌තුවේ නෙවේ, ආසන වෙන්කිරීමේ කටයුත්තේදී ස්‌ත්‍රීන් සඳහා පංගුවක්‌ තියෙනවා. පංචායත් රාඡ්වල නියෝජිතයන්ගෙන් තුනෙන් එකක්‌ ස්‌ත්‍රීන් වීම නීතියක්‌. මේ ඊයෙ පෙරේදා රාජස්‌ථාන් ප්‍රාන්ත සභාව ඊටත් එහා රැඩිකල් තීරණයක්‌ ගත්තා. ඒ තීරණය වුණේ ස්‌ත්‍රීන් සඳහා වන නියෝජන පංගුව සියයට පනහක්‌ විය යුතුයි කියන එක. ඉන්දියාව ගත්ත මෙවැනි තීරණ ස්‌ත්‍රීන්ගේ දේශපාලන සාක්‍ෂරතාව වැඩිදියුණු කරන්න බොහෝ දුරට බලපානවා. වනාන්තර විනාශ කරන්නන්ට එරෙහිව ගස්‌ බදාගෙන විරෝධය පාන ගැහැනු ඉන්දීය දේශපාලනයේ ඉතා සුලබයි. ඒ තත්ත්වය උදාවුණේ ස්‌ත්‍රීන් සඳහා වන සමාජ දේශපාලන ප්‍රතිසංස්‌කරණ වල මහිමයෙන්. ලංකාවේ අපි කළ යුත්තේ කුමක්‌ද? අපේ අරමුණ අසම්පූර්ණත්වයද? පරිපූර්ණත්වයද? හිතන්න එකක්‌ නොවේ. පොප්ලර් ගස්‌ දෙකක්‌.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v