|
|
|
|

ඇසි දිසි මානය
සභ්‍ය අසභ්‍ය සහ සද්ද බද්ද
සදාචාරය සභ්‍යත්වය වැනි වචන අපට කිට්‌ටු වචනය. පුවත්පත්,
පොත්පත් බලන විට මේ වචන අපට බොහෝ විට මුණගැහේ. ඒ වචන සමඟ
සංස්‌කෘතිය ද නිතර එකට එල්ලී ගෙන එනු අපට පෙනේ.
ඒ වචන වලට පිටුපසින් රැඟුම් පාලක මණ්‌ඩලය, පුවත්පත් මණ්‌ඩලය,
අසභ්‍ය චිත්‍රපට, වැඩිහිටියන්ට පමණයි වැනි වචන ද නිතර එකතු වේ.
අපේ සමාජ ඉතිහාසයේ මුල් කාලයේත්, මේ වචනම වෙනත් විදියකට
තිබෙන්නට ඇත.
වචන හැදී තිබෙන්නේ සමාජ සම්මුතීන් අනුවය. ප්‍රජාචාරය ජනතාවගේ
පාලනයයි. සදාචාරය යනු යහපත් පැවැත්මයි. සභ්‍යත්වය වචනය හැදී
තිබෙන්නේ අසභ්‍ය යෑයි යන්නක් ද තිබෙන නිසාය.
සංස්‌කෘතිය යෑයි කියන විට එය මේ යෑයි නිවැරදිම අර්ථයක් දිය
නොහැකි වචනයකි. එය යම් රටක ජාතියක ඇවැතුම් පැවතුම්, සිරිත්
විරිත්, භාෂාව, කුලමල ඇදහීම් ආදී තව බොහෝ දැවල එකතුවෙන් හැදුනු
වචනයකි.
පාසල් ළමුන්ට හෑන්ඩ් ෆෝන් පාවිච්චිය තහනම් ය. එයින් අසභ්‍ය
දේවල් පුරුදු වේ. කාමුක චිත්‍රපට තහනම් ය. මන්ද තරුණ පරපුර
නරක් වේ. මේ වැනි ප්‍රශ්න හටගන්නේ ඒවා අපේ සංස්‌කෘතියට
නොගැලපෙන්නේ යෑයි ඝෝෂා නගන්නන් වෙතිනි.
මානව සමාජයේ හැල හැප්පීම් ඔස්‌සේ ඕනෑම රටක සංස්‌කෘතිය ද වෙනස්
වේ. වරින්වර සංස්‌කෘතික පොලු හරස්‌කරන්නන් සංස්‌කෘතිය යනු සමාජ
දේහයේ වෙනස්‌කම් නිසා එය ද වෙනස් වන්නක් බව තේරුම් නොගත් අය
වෙති.
කොළ අතුවලින් ඉන වසා ගත් වැදි ජනයාගේ පරපුරේ මේ කාලයේ මුණුපුරෝ
දිග කලිසම් අඳිති.
කුමක් කරන්නද ඔහු අත වරදක් නැත. ලෝකය කැරකෙයි. සංස්‌කෘතිය ද
වෙනස් වෙයි.
සොයාගත් විගසින්ම ලොව වැඩිපුරම අලෙවි වූ භාණ්‌ඩයක් ලෙස
වාර්තාගත වන්නේ දත් බුරුසුවයි. ඉතාම සීග්‍රයෙන් දත් බුරුසුව
ලොව පුරා පැතිර ගියේය. ඊළඟට ලොව වැඩියෙන්ම අලෙවි වූද.
සීග්‍රයෙන් පැතිර ගියා වූද භාණ්‌ඩය වන්නේ හෑන්ඩ්ෆෝනයයි.
නමුත් හෑන්ඩ්ෆෝනය අපේ සංස්‌කෘතියට හරස්‌වීමට පටන් ගෙන තිබේ. අද
හෑන්ඩ්ෆෝනය සිසුන්ට තහනම් ය. ඔවුන් උදේ ගෙදරින් පිට වූ පසු
ආපසු ගෙදරට එන තෙක් මවට පියාට හිතට සැනසිල්ලක් ලබා ගැනීමට මේ
උපකරණය ලොකු ප්‍රයෝජනයක් ගෙන දුන් එකකි.
හෑන්ඩ්ෆෝන් ප්‍රශ්නයක් නිසා සිසුවියක් දිවිනසා ගැනීම නිසා
ලක්‍ෂ සංඛ්‍යාතයක් සිසුන්ට හෑන්ඩ්ෆෝන් අහල පහල කඩවල හෝ ගෙදර
තබා එන්නට සිදු වී ඇත. පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ
ප්‍රශ්නයේදී හෑන්ඩ්ෆෝන් අවශ්‍ය භාණ්‌ඩයක් බව වැඩි දෙනෙක්
පිළිගනු ඇත. එය තහනම් කළ අයද ඒ බව දනිති. ඔවුන්ට ද පාසල් යන
දරුවන් සිටිති.
ඒ පාසල් හෑන්ඩ්ෆෝන්වල කුණුහරුප දේවල් ද තිබෙන්නට පුළුවන. එය
වැළැක්‌විය නොහැක. මොහොතක් සිතන්න. ඔබ කුණුහරුපයක් පළමු වරට
ඉගෙන ගත්තේ පාසලෙන් බවට ඔබ එකඟ වනු ඇත. ළමයාගේ සමාජය පාසලයි.
පාසල් ළමුන් හැදී ඇත්තේ මහා සමාජයේ කොටසක් ලෙසය. කුණුහරුප
ළමයාට එන්නේ මහා සමාජයෙනි.
ළමයින් අත වරදක් නැත. අනිත් අතට තරුණ ශිෂ්‍යයකු තරුණ
ශිෂ්‍යාවක "කුණුහරුප" දැන සිටීම කවර වරදක් ද? කාමය මානව ගමනේ
අත්‍යවශ්‍යම කොටස්‌කරුවා ය.
"කුණුහරුප" යන වචනය මැන ගත යුත්තේ සංස්‌කෘතිය යන වචනය තුළ
කැලැත්තීමෙනි. අපේ ගැමි සමාජය කුණුහරුප යන්නෙන් අදහස් කළේ නරක
වචන යන්න පමණක් නොවේ. සභාවෙහිදී නැතහොත් ප්‍රසිද්ධියේදී කිව
නොහැකි බැලිය නොහැකි, කළ නොහැකි බොහෝ දේ කුණුහරුප යන්නට ඇතුළත්
විය.
අපි සභ්‍යත්වය යන වචනය හදාගෙන ඇත්තේ ඒ ඇසුරෙනි.
නමුත් "සභ්‍යත්වය" මහා මේරු පර්වතය මෙන් එක තැන ගිලා බැස තිබෙන
දෙයක් නොවේ. එය ද වෙනස් වේ. ඒ අනුව කුණුහරුපවල ස්‌වභාවය ද
වෙනස් වේ.
අපට පස්‌වන පංතියේදී තිබුණු ලෝක දැනුමට වඩා ලොකු දැනුමක් අද
පහේ පංතියේ ළමයෙකුට තිබේ. ඊට සාපේක්‍ෂව ඔහු දන්නා දකින අසනා
පෙනෙනා කුණුහරුපයද ලොකුය.
ඉතින් මේ සත්‍ය පිළිනොගෙන අපි ළමුන් මරා ගන්නේ ඇයි. පොලිසියට
මවුපියන්ට භාරදෙන්නට තර්ජනය කරන්නේ ඇයි?
කාර් එක යනු ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වාහනයකි. නමුත් එම
වාහනයෙන් ගොස් සමහරු මිනීමැරුම් කරති. එම නිසා අප රටේ සියලුම
කාර් තහනම් කරනවාද?
මේ ප්‍රශ්නය ඇසුවේ ගරු ජනාධිපතිතුමාගේ ලේකම් ලලිත් වීරතුංග
මහතා දොරමඬලාව වැඩසටහනේදීය. වීරතුංග ජනාධිපති ලේකම්තුමා නව
තාක්‍ෂණය ඔස්‌සේ ගෝලීයකරණය වීමෙන් දැනුම හා දැකුම වශයෙන්
ඉදිරියෙන් සිටින්නෙකි.
වයස 16 සම්පූර්ණ වූ තරුණයෙකුට හා තරුණියකට ස්‌වකැමැත්තෙන්
ලිංගිකව එක්‌ව ජීවත්විය හැකිය. නමුත් ඔවුන්ට විවාහ විය හැක්‌කේ
වයස අවු. 18 දී ය. වයස 16 සිට ස්‌වකැමැත්තෙන් එක්‌ව විසීම
පිළිගන්නවා නම් අවු. 18 ට වැඩි අයට පෙන්වන චිත්‍රපට තහනම්
කරන්නට හැදුවේ ඇයි?
ලෝකය ගමන් කරයි. අපට තවලම්කාරයන් විය නොහැක. අප ද ඒ ඉක්‌මන්
ගමනට එක්‌ව යා යුතුය. විලුඹ පමණක් නොව, නිය ද දක්‌වා දිගට
රෙදි හැට්‌ට ඇඳි, ගවුම් ඇන්ද අපේ ගැහැනු ළමයා අද අඳින්නේ නව
විලාසිතාවට අනුව සැකසුනු කලිසම් ය. කලිසමේ තදකමේ තරමට ඇඟ පෙනෙන
ප්‍රමාණයේ තරමට අප ඔද වඩන සභ්‍යත්වය ද සංස්‌කෘතිය ද වෙනස් වේ.
හෑන්ඩ්ෆෝන් තහනම් කිරීමෙන් හෝ වැඩිහිටි චිත්‍රපට තහනම්
කිරිමෙන් ආදී වශයෙන් වරින්වර අපි සංස්‌කෘතික වැටවල් තද
කරන්නෙමු. අතීතයේදී ද වරින්වර අපි වැට තද කළෙමු. නමුත් ලෝකය
ගමන් කරන්නේ ඔවුනොවුන් හරහා ය. හරියට දෙපැත්තට කැරකෙන මැරිගෝ
රවුන්ඩ් එකක් වාගේය. ලෝකය කරකැවෙන විට අපට සෙසු ලෝකයා මුණගැසී
මාරු වෙවී යමින් නැවත නැවත මුණගැසේ. එවිට ඔවුනොවුන්ගේ
සභ්‍යත්වයන් සදාචාරයන් හා සංස්‌කෘතීන් එකිනෙකා අතර හුවමාරු වේ.
ඒ හුවමාරුවේදී පරණ දේවල් ගැලවී යයි. අලුත් දේවල් එකතු වේ.
අඳින පළඳින ඇඳුම, කොණ්‌ඩා මෝස්‌තර, මුහුණු සරසන විදිය, කනබොන
දේවල් සහ කන බොන විදිය, ජීවිතය, මරණය, ආගම ආදී දේ ගැන දරණ මතය
ආදී බොහෝ දේ වෙනස් වී ඇත.
සහමුලින් හිස බූ ගා තට්‌ටය ප්‍රදර්ශනය කිරීමේ හිස් සැරසුම
මෝස්‌තරයක් වී එතැයි අප එදා සිතුවේ නැත. ඇඟෙන් වැඩි කොටසක්
නිරාවරණ ලෙස ඇඳුම් ඇඳීම ද මෝස්‌තරයකි. ඒ කුඩා ඇඳුම
වැරැහැල්ලක් නොවේ. එය ඉතා වටිනා මිලක් ඇති වටිනා පිළියකින්
මසා ඇත්තකි. ඒ ඇඳුමේ ආකෘතිය ද අලුත් එකකි. වැඩි හරියක් පෙනෙන
අඟ පසඟ දෙස පමණක් නොව, අප ඇඳුම දෙස ද බැලිය යුතුය.
ලෝක යථාර්ථය මෙය යෑයි පිළිගත යුතුය. ඊට මුහුණ දෙනු වෙනුවට
වැටවල් බැඳීම එක්‌තරා ආකාරයක විහිළුවකි.
ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නම් පළමුව රූපවාහිනී
සංස්‌ථාවේ සමීක්‍ෂණ මණ්‌ඩලය මගින් තැනින් තැන කැපේ. ඊළඟට
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිටින පරීක්‍ෂක මණ්‌ඩලයක් විසින්ද,
කපනු ලැබේ. දැන් අලුත් පනතක් මගින් සංස්‌ථාපනය කරන සංස්‌කෘතික
අමාත්‍යාංශයේ කපන මණ්‌ඩලයක් මගින් ද ටෙලි නාට්‍යයේ චිත්‍රපටයේ
කොටස් කැපීමට සූදානමක් තිබේ. මේ කවරක් කුමක් සඳහා ද?
මුස්‌ලිම් ලෝකයේ ස්‌ත්‍රීන්ට තිබෙන්නේ ඉතා අල්ප තැනකි. බොහෝ
තහංචි මුස්‌ලිම් ගැහැනිය වෙත පනවා තිබේ. ඇෆ්ගනිස්‌ථානයේ
තලේබාන් නීතිය අනුව ගැහැනුන්ට අකුරු ඉගෙනීම පවා තහනම් ය.
ගැහැනු ළමුන්ට අකුරු කුමටදැයි සිතූ යුගයක් අපේ රටේ ද තිබිණි.
නමුත් ලෝකය ගමන් කිරීමේ අනිවාර්ය නියාමය යටතේ ඒ බොහෝ මතාන්තර
අපෙන් ඉවත්ව ගොස් ඇත.
අපේ කාන්තාවන් විවිධ රැකියාවල යෙදෙද්දී අර සංස්‌කෘතික වැටවල්
ඉබේ සිඳී බිඳී යයි. සිදුවිය යුත්තේ එයයි. අප අප විසින් ම
කඹවලින් බැඳ ගෙන ජීවත් විය යුතුද?
චනද්‍රසිරි දොඩන්ගොඩ
|
|
|
|