|
|
|
|

මෙහෙමත් පඬියෝ
මහාචාර්ය නලින් ද සිල්වා
මෙරට තරම් පඬියන් ඇති වෙනත් රටක් මෙලොව තිබිය නොහැකි යෑයි
සිතෙන තරමට මෙහි පඬියෝ වෙති. මේ පඬිවරුන් බොහෝ දෙනා එකඟවන එක්
කරුණක් වෙයි. ඔවුන් බොහොමයකට අනුව මෙරට නූගතුන්ගේ රටකි. කරදිය
වළල්ලෙන් වටවී ඇති මේ දූපතේ ඇත්තේ කොදෙව් මානසිකත්වයකි. බටහිර
රටවල දැනුමේ සිදුවී ඇති වර්ධනයන් කොදෙව්වෝ නොදනිති. විශේෂයෙන්ම
සිංහල ජාතිවාදීහු නොදනිති. සිංහල බෞද්ධ උගත්තු ළිං මැඬියෝ
වෙති. ඔවුන් තවමත් ජීවත්වන්නේ දහහත් වැනි දහඅට වැනි
සියවස්‌වලය. නැතහොත් එයටත් ඉහතය. එහෙත් පඬියන්ට අනුව පඬියෝ එසේ
නොවෙති. ඔවුහු විසිවැනි සියවසේ නොව බටහිර දැනුම අතින් විසිඑක්
වැනි සියවසේ ජීවත්වෙති. මේ ඇතැමුන් ඉංගිරිසි පොත් කිහිපයක්
කියවා ඇති බව පැහැදිලිය. එහෙත් එ පොත්වල ඇති ප්‍රවාද ආදිය
ඔවුන් විසින් තේරුම් ගනු ලැබුවේ කෙසේද යන්න තරමක ප්‍රශ්නයකි.
තම තම නැණ පමණින් දැනගත යුතුය යන ලෝවැඩ සඟරා කව් පදය මෙහිදී
අපට මතක් වෙයි. ඔවුන්ගේ බසින්, එනම් ඔවුන් විසින් අනුකරණය
කෙරෙන බටහිරයන්ගේ බසින්, කියන්නේ නම් ඔවුන්ට විවිධ කියවීම් ඇත.
දැන් හැම පඬියකුම පාහේ ඊනියා කියවීමක් ගැන කියවනු ඇසිය හැකිය.
ඕනෑම සංස්‌කෘතියකට විවිධ කියවීම් ඇතැයි ඇතැම් පඬියකු කියනු ඇත.
එහෙත් පඬියාගේ තරම එයින්ම පැහැදිලි වෙයි. එවැනි පොදු කෘතියක්
නැත. කර්තෘට කෘතියක් ඇත. අප කරන්නේ අපේ කෘති නිර්මාණය කිරීමය.
මේ පඬියෝ ද විවිධ කෘති නිර්මාණය කරති. එ කරන්නේ තම තම නැණ
පමණින්ය.
පඬියෝ අපට ගරහති. අපේ නොදැනුම ගැන කියති. තම තම නැණ පමණින්
නිර්මාණය කරගත් බටහිර දැනුම එකම දැනුම යෑයි විශ්වාස කරති. එ
දැනුම් රාශියක් එකම දැනුමක් වන්නේ කෙසේද යන්න ද ප්‍රශ්නයකි.
එයට පඬියන් දෙන පිළිතුරක් නැත. එ කෙසේ වෙතත් පසුගිය අවුරුදු
පන්සියයක කාලයක බටහිර බිහිකෙරුණු දැනුම පමණක් වාස්‌තවික
දැනුමක්, යථාර්ථයක් වන්නේ කෙසේදැයි පඬියෝ අපට නොකියති. ඊනියා
වාස්‌තවික දැනුමක් ලැබීමට වාස්‌තවිකත්වයක් තිබිය යුතුය.
එවැනි වාස්‌තවිකත්වයක් ඇති බව පඬියන් දන්නේ කෙසේද?
වාස්‌තවිකත්වය දැනගන්නේ ඉන්ද්‍රිය ගෝචරවද? එසේ නොමැතිවද?
ඉන්ද්‍රිය ගෝචර දැනුමක් වාස්‌තවික වන්නේ කෙසේද? සියලු සතුන්
අතරින් ඊනියා වාස්‌තවික දැනුම ලැබීමට හැකි ඉන්ද්‍රිය මිනිසාට
පමණක් තිබෙන්නේ කෙසේද? අනෙක් අතට ඉන්ද්‍රීය ගෝචර නොවූ
දැනුමක්‌වේද? එ දැනුම ලබාගන්නේ කෙසේද? ඉන්ද්‍රිය ගෝචර නොවූ
දැනුම වාස්‌තවිකද?
පඬියන් සෑමවිටම සඳහන් කරන්නේ ලාංකේය දැනුමේ දරිද්‍රතාව ගැනය.
බටහිර රටවල ඇති දැනුම ගැන ඔවුහු මහත් අභිරුචියෙන් කියවති.
මෙරටින් ලෝක මට්‌ටමේ දැනුම් බිහිවී නැතැයි ඔවුහු කියති. අර
කසිකබල් ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපටි අධ්‍යක්‍ෂවරුන්
ඔවුන්ට එහිදී අමතක වේ. එහෙත් ප්‍රශ්නයක් වෙයි. පඬියන් ඊනියා
ජාත්‍යන්තර මට්‌ටමේ දැනුම් නිර්මාණය කරන්නේ නැත්තේ ඇයි? එ
ලාංකේය පොදු දැනුම් දරිද්‍රතාව ඔවුන්ට ද හිමිවී ඇති බැවින් ද?
නූතන ෂේක්‌ස්‌පියර්ලා නිව්ටන්ලා මෙන් කතා කරන පඬියන්ට කළ
හැක්‌කේ තම තම නැණ පමණින් දැනගන්නා බටහිර දැනුම ගැන ආඩම්බරවීම
පමණකි. අනුන්ගේ අබරණ පැළඳ උජාරුවෙන් මඟුලට සහභාගි වන කතුන් හා
පඬියන් අතර ඇති වෙනසක් වේ. එ කාන්තාවෝ තමන් පැළඳ සිටින්නේ
අනුන්ගේ අබරණ බව දනිති.
පොළොවට පොල් වැටෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට ප්‍රසිද්ධ පිළිතුරු
දෙකක් බටහිරයන් නිර්මාණය කර ඇත. එක පිළිතුරක් නිව්ටන්ගේය.
අනෙක අයින්ස්‌ටයින්ගේය. මේ දෙකෙන් නිවැරදි එකක් වේදැයි පඬියෝ
නොදනිති. ඔවුන් එ දෙකෙන් එකක්‌වත් නොදන්නේ තම තම නැණ පමණේ
ප්‍රශ්නයක් නිසාවෙනි. එයට පඬියන්ගේ බටහිර ස්‌වාමීන් කියන්නේ
අයින්ස්‌ටයින් නිව්ටන්ට වඩා ඊනියා යථාර්ථයට සමීප බවය. බොහෝ
බටහිරයන්ට අනුව අයින්ස්‌ටයින් කර ඇත්තේ නිව්ටන් ගිය මගේ
ඉදිරියට ගොස් යථාර්ථය දෙසට වර්ධනයක් ඇති කිරීමය. එසේ කීමට
නම් බටහිරයන් යථාර්ථය දැන සිටිය යුතුය. නොදන්නා යථාර්ථයකට වඩා
සමීප අහවලා යෑයි කියන්නේ කිනම් පදනමකින්ද? අනෙක් අතට ඇතැම්
බටහිර පඬිවරුන්ම පෙන්වාදී ඇති ආකාරයට අයින්ස්‌ටයින් එසේ
වර්ධනයක් කර නැත. ඔහු කර ඇත්තේ නිව්ටන්ට හාතිපසින්ම වෙනස්
දෙයක් ඉදිරිපත් කිරීමය. එ දෙදෙනා අහසට පොළොව මෙනි. එ කුමක්
වුවත් පඬියෝ බටහිර දැනුම පමණක් ඊනියා යථාර්ථය හෝ යථාර්ථයට මඟ
හෝ ලෙස සලකති. මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය පමණක් නොව එයට
දෙන පිළිතුර ද බටහිරයන්ගෙන් ලබාගත් දෑ වෙයි. මහින්ද රාජපක්‍ෂ
මහතා මේ පඬියන්ගෙන් දේශජ විසඳුමක් බලාපොරොත්තු වන්නේ නම්
එතුමාට දෙවියන්ගේම පිහිටය. එහෙත් ප්‍රශ්නය වනුයේ මොන දෙවියන්ගේ
පිහිට ද යන්නය. ලෝකය මැවූ දෙවිවරුම රාශියක් වෙති. එනම් විවිධ
සංස්‌කෘතීන්වල විවිධ දෙවියන් මවා ඇත. පඬියන්ගේ හා පඬියන් පසුපස
යන ඇතැම් භික්‍ෂුන් වහන්සේලාගේ ද අවාසනාවකට සර්වාගමික දෙවි
කෙනකු නැත.
ලෝකයේ බොහෝ යුද්ධ කෙරී ඇත්තේ ඊනියා ඇත්ත දෙවියන් කවුරුන්දැයි
තීරණය කිරීමටය. දෙවියන් ගැන දැනුම තීරණය වන්නේ ද හැමදාමත් එපා
යෑයි කියන ඊනියා කාලකන්නි යුද්ධයෙන්මය. පඬියන්ට යුද්ධය
කාලකන්නි වන්නේ යුද්ධයෙන් සිංහලයන් නැසීමට නොහැකි විටය. ඇතැම්
හිටපු දන්ත වෛද්‍ය මහාචාර්යවරුන් අතනින් මෙතනින් අහුලාගත්
මාක්‌ස්‌වාදී ප්‍රවාදවලට අනුව ආර්ථිකවාදී යටත්විජිතවාදී කතා
කීවත් අද අරාබිකරයේ යුද්ධ කෙරෙන්නේ හුදෙක් ක්‍ෂයවෙමින් පවතින
තෙල් නිධිවල අයිතිය ලබාගැනීමට පමණක් නොව ලෝකය මැව්වේ කිනම්
දෙවියන්දැයි තීරණය කිරීම සඳහාත්ය. කොපමණ කීවත් මේ
මහාචාර්යවරුන්ට ජගත් යටත්විජිතවාදයේ එකිනෙකට බැඳි ආර්ථික,
දේශපාලන හා සංස්‌කෘතික සංරචක හඳුනාගත නොහැක්‌කේ තම තම නැණ
පමණින් කරන නිර්මාණවල අඩු පාඩු ඇති බැවිනි. මොවුන් සියලු
දෙනාටම බටහිර දැනුම් ආධිපත්‍යයේ පීඩාව නොතේරෙන්නේ ඔවුන්ගේ
වෘත්තිය එ දැනුම මත පදනම් වන බැවින් විය හැකිය.
පඬියෝ සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ විරෝධී වෙති. පසුගියදා අද
ලංකාවේ ඉහළින්ම වැජඹෙන පඬියකු පඬි සභාවක පඬි කතාවක් කියා ඇත.
ඔහු කියා ඇත්තේ බුද්ධිමතකු ලෙස ඔහුට දෙවියන් නැතැයි කීමට තරම්
සාක්‍ෂි නැති බවය. එA අතරම ඔහු කියා ඇත්තේ පුනරුප්පත්තිය ඇතැයි
කීමට තරම් සාක්‍ෂි ද ඔහුට නැති බවය. මේ පඬි කතාව පසුපස ඇත්තේ
කුමක්‌ද? ඔහු දෙවියන් ඇතැයි කීමට තරම් සාක්‍ෂි තමාට නැති බව
නොකීවේ ඇයි? අනෙක් අතට පුනරුත්පත්තිය නැතැයි කීමට තරම්
සාක්‍ෂි නැති බව නොකීවේ ඇයි? කෙලින්ම නොකීවත් ඔහුගේ පඬි කතාව
කුමක් සඳහා දැයි අපට තේරුම්ගත හැකිය. දෙවියන් නැතැයි කීමට
සාක්‍ෂි නැතැයි යන්න පදනම් කරගනිමින් දෙවියන් ඇතැයි කීමට
සාක්‍ෂි ඇතැයි යන නිගමනයට ළිං මැඬියන් වුවද සිංහල බෞද්ධ අපි
නොඑළඹෙමු. එහෙත් පඬියාට අවශ්‍ය වී ඇත්තේ කුමක් නිෂේධ කිරීමට ද
යන්න අපට සිතාගත හැකිය. නිෂේධනයට සාක්‍ෂි නැති බව පඬියා
කියන්නේ දෙවියන් සම්බන්ධයෙනි. පැවතීමට සාක්‍ෂි නැති බව පඬියා
කියන්නේ පුනරුත්පත්තිය සම්බන්ධයෙනි. පඬියාට එA පඬි සභාවේ සිටි
අනෙක් පඬියන් රැවටීමට හැකිවන්නට ඇත. එහෙත් ළිං මැඬි සිංහල
බෞද්ධයන් රැවටීම පඬියාට පමණක් නොව පඬියාගේ බටහිර පඬි පරපුරටම
නොහැකිය. එ කෙසේ වෙතත් පඬියා තමන් බුද්ධිමතකු ලෙස සලකන බව
පෙනෙයි. සම්ම ජාතියේ ප්‍රවාදයකින් හෝ සංකල්පයකින් හෝ කිසිම
ක්‍ෂේත්‍රයක දායකත්වයක් කර නැති පඬියා තමා බුද්ධිමතකු ලෙස
සලකන්නේ කිනම් පදනමකින්ද? ගිනි පෑගීමේ හාස්‌කම් නැතැයි කියන
කතෝලික පවුල්වල උපන් පඬියන් කතෝලික පූජකවරුන්ගේ හාස්‌කම් ගැන
කිසිවක් නොකරන්නේ ඇයි?
පඬියන්ගේ මහත් ඇගයීමට ලක්‌වන කසිකබල් මාක්‌ස්‌වාදය හා තුට්‌ටු
දෙකේ අපෝහකය ගැන මා පොත් පිංච දෙකක් ලියා අවුරුදු විස්‌සකට
ආසන්න වුවත් පඬියෝ එ නුදුටු ඇසින් සිටිති. පඬියන්ටත්
මාක්‌ස්‌වාදය හා ජාතිකත්වය අතර හොර සහවාසයක් ඇති කිරීමට
කැසකවන ඊනියා ජාතිකවාදීන්ටත් හැකිනම් එ පොත් පිංචවලට
පිළිතුරක් ලිවීමට අභියෝග කරමි. අද මාක්‌ස්‌වාදය අනෙක් බොහෝ
බටහිර දැනුම් මෙන්ම සිංහලත්වයට විරුද්ධව යොදා ගැනෙයි. ජගත්
යටත්විජිතවාදය පරාජය කළ යුතුය. එහෙත් එ කළ හැකි වන්නේ
මාක්‌ස්‌වාදය ඔස්‌සේ හෝ ජාතිකත්වයට මාක්‌ස්‌වාදය මුසු කිරීමෙන්
හෝ නොවේ.
අප සඳහන් කරන්නේ ද බටහිර මතවාදම යෑයි ෆුල් බ්‍රයිට් තබා
ක්‌වෝටර් බ්‍රයිට්‌වත් නොවන පඬියකු කීමට ඉඩ ඇත. ඔහු නොදනිතත්
දැනුම චින්තනයක් මත පදනම්වන බව අප කියන්නේ අවුරුදු විසිපහක
කාලයක සිටය. අප යොදාගන්නා චින්තනය යන සංකල්පය ජාතික චින්තනය
පිළිබඳ විසිරුණු අදහස නොවන අතර එය කිසිම දිනෙක බටහිර විද්වතකු
විසින් යොදාගනු ලැබ නැත. ජාතික චින්තනය නම් විසිරුණු අදහස
ඉදිරිපත්වීමට පෙර ද අපි යුදෙව් චින්තනය යන සංකල්පය
යොදාගත්තෙමු. බටහිර ඇතැම් සමාජවිද්‍යාඥයන් දැනුම් නිර්මාණ ගැන
කතා කරතත් එ සංස්‌කෘතිය හෝ චින්තනය හෝ පදනම් කරගනිමින් නොවේ.
දැනුම පිළිබඳ අපේ දැනුම වර්ධනය කිරීමේ දී සංකල්පීය දැනුම
ශුන්‍යය යනුවෙන් නාගර්ජුනපාදයන් කර ඇති ප්‍රකාශය නම් අපි යොදා
ගනිමු. පඬියෝ මේ කිසිවක් නොදනිති. ඔවුන් දන්නේ අපේ නූගත්කම
ගැනත් ඔවුන්ගේ බරවා උගත්කම ගැනත්ය.
මහාචාර්ය නලින් ද සිල්වා
|
|
|
|