වවුනියාවේ හදිස්‌සිය ඇයි?

ජුලි මස අගවන විට උතුරේ අවතැන් කඳවුරුවල සිටින පිරිස 274466 කි. වවුනියාව අවතැන් කඳවුරුවල 252214 ක්‌ නවාතැන් ගෙන සිටින අතර මන්නාරම් කඳවුරේ 241 දෙනෙක්‌ද යාපනයේ 10861 ක්‌ද ත්‍රිකුණාමලයේ 6820 ක්‌ද රැඳී සිටිති. යුද්ධය නිසා අවතැන් වූවන්ගෙන් 4329 දෙනෙක්‌ තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති. ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ ඝාතනය වී දැන් මාස තුනක්‌ හා දින හතරක්‌ ගෙවී ඇත. මේ ජනතාව නැවත සිය වාස භූමිවල පදිංචි කිරීමට කොතරම් කාලයක්‌ ගතවේද යන්න බොහෝ දෙනා තුළ නැගෙන ප්‍රශ්නයකි. රජය දින 180 ක්‌ ඇතුළත මේ පිරිස නැවත පදිංචි කරන බව පැවසුවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න ප්‍රශ්නයකි. කවරක්‌ නමුත් එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේදී ප්‍රකාශ කර සිටියේ වහාම මේ කඳවුරුවල සිටින සාමාන්‍ය වැසියන් නිදහස්‌කර හැරිය යුතු බවයි. ඊට දින දෙකකට පසු ශ්‍රීලනිප මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීරද අවතැන් කඳවුරු වල සිටින ජනතාව නිදහස්‌ කළ යුතු බව ප්‍රකාශ කර තිබිණි. රනිල්ට මංගලට අවශ්‍ය පරිදි මේ වැසියන් නිදහස්‌ කළ හැකිද? වවුනියාව කඳවුරුවල අධික තදබදය නිසා යම් මානුෂීය ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න උද්ගතව තිබෙන බව සත්‍යයකි. විශේෂයෙන්ම පසුගිය දිනවලදී ඇදහැළුණු වැස්‌ස නිසා එම ප්‍රශ්න තවත් උග්‍ර වූ බව පැහැදිලිය. කෙසේ නමුත් අද රනිල් වික්‍රමසිංහ මහතා මංගල සමරවීර මහතා දෙමළ අනාථයන් ගැන කෑගසන්නේ මේ වැසියන් කෙරෙහි ඇතිවූ කැක්‌කුමකින්ද? නැතිනම් සිය ගිලෙමින් පවතින දේශපාලන නැවෙන් ගොඩ ඒමටද යන්න පැහැදිලිව සිතා බැලිය යුතුව ඇත. හමුදාව වන්නි සටන ගෙන යද්දී එක්‌සත් ජාතික පක්‌ෂ කෝaට්‌ටේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ හමුදාව කිලිනොච්චි යන බව කියමින් මැදවච්චි යන බවත් අලිමංකඩ යන බව කියමින් පාමංකඩ යන බවත්ය. එජාපය බලා සිටියේ එදා ජයසිකුරු මෙහෙයුම මෙන් මේ මෙහෙයුමත් අතරමගදී ආපසු හැරී එනු ඇති බවයි. නමුත් සියලු දෙනා විශ්මයට පත්කරමින් ප්‍රභාකරන්ට මරණය කැඳවමින් ශ්‍රී ලංකා හමුදා විජයග්‍රහණය කළේය. එයින් පසු පාමංකඩ අලිමංකඩ කතා කියමින් උපහාස අපහාස කළ අයට කකුල කටේ ඔබාගන්නට සිදු විය. සමහර එජාප නායකයන්ගේ ප්‍රකාශ ඔවුනගේ පක්‌ෂ සාමාජිකයන් අතින්ම විවේචනයට ලක්‌විය. එම නිසාම මීට දින දෙකකට පෙර "නිදහසේ වේදිකාව" නම් සම්මන්ත්‍ර්‍රණයේදී ශ්‍රීලනිපම පාර්ශ්වයේ නායකයට එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ හූ හඬට ලක්‌වී අවසානයේ පොලිස්‌ ආරක්‌ෂාව මැද එම සභාවෙන් පිටව යන්නට සිදු විය. ඇත්තෙන්ම හදිසියේම මෙලෙස වවුනියාවේ කඳවුරුවලින් අනාථයන් පිටත්කර හරින්නැයි කීවද හූ කියා ප්‍රතිචාර දැක්‌විය යුතු තරමේ බොළඳ කතාවක්‌ කළ මේ අවතැන් කඳවුරුවල සිටින පිරිස විඳින වේදනා කම්කටොළුවලට මූලිකම වගකිව යුත්තේ ප්‍රභාකරන් මිස ශ්‍රී ලංකා රජය නොවේ. මේ ලක්‌ෂ දෙකකට අධික පිරිසක්‌ පුදුමාතලන් දක්‌වාව ගෙනගියේද එල්.ටී.ටී.ඊ. ය මිස ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාව නොවේ. හමුදාව වෙත භාරවෙන දෙමළ වැසියන්ට වෙඩි තබා අවසානයේ ඔවුන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේද කොටි සංවිධානයයි. කොටි සංවිධානය දෙමළ ජනතාව යුදමුක්‌ත කලාපයට සිරකර එතැන මානුෂීය ෙ€දවාචකයක්‌ වන බව පෙන්වමින් බටහිර අතපෙවීමක්‌ හරහා යුද්ධය නතර කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. සිවිල් ජනතාව මිනිස්‌ පලිහක්‌ ලෙස භාවිත කළද අවසන් මොහොතේ ඒ පලිහද බිඳවැටිණි. එම නිසා මේ ලක්‌ෂ තුනකට ආසන්න පිරිස වවුනියාවේ අවතැන් කඳවුරුවල පදිංචි කිරීමට රජයට සිදු විය. මේ අතර සිටි කොටි සාමාජිකයන් පහළොස්‌ දහසක්‌ පමණ වෙන්කර තබා ඇත. එහෙත් තවත් කොටි සාමාජිකයන් සිය ගණනක්‌ මේ අවතැන් කඳවුරුවල වෙසෙති. හදිසියේම කිසිදු වගවිභාගයකින් තොරව මේ පිරිස නිදහස්‌ කිරීමෙන් පසු නැවතත් වන්නියේ ක්‌ලේමෝ බෝබ්බ පිපිරෙන්නට පටන් ගතහොත් එයට වගකියන්නේ කවරෙක්‌ද? ඒ ගැන වික්‍රමසිංහ මහතාට හෝ සමරවීර මහතාට වගකිව හැකිද? ඇත්තෙන්ම අවතැන් වූවන් පිළිබඳ ප්‍රශ්නය දේශපාලන සටන් පාඨයක්‌ කරගත යුතු නැත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස කටයුතු කර පසුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ධුරයකින් පිදුම් ලැබූ රොබර්ට්‌ බ්ලේක්‌ද මේ අවතැන් වූවන් වහා නිදහස්‌ කළ යුතු යෑයි ප්‍රකාශ කර තිබිණි. පාකිස්‌තාන ස්‌වැට්‌ නිම්නයේ හමුදා මෙහෙයුම්වලින් අවතැන්වූ මිලියන දෙකකට අධික ජනතාව නැවත සිය නිවාසවලට පිටත් කර හැරියා සේ ශ්‍රී ලංකාව ද කටයුතු කළ යුතු බව බ්ලේක්‌ පවසා තිබිණි. ස්‌වැට්‌ නිම්නයේ ප්‍රශ්නය හා මෙහි අර්බුද එක හා සමාන කළ නොහැක. ස්‌වැට්‌ නිම්නය ආක්‍රමණය කරන්නට පකිස්‌තාන හමුදා ක්‍රියාත්මක වූයේද ඇමෙරිකාවේ දැඩි බලපෑම නිසාය. තලේබාන් සාමාජිකයන් වැනි සාමාන්‍ය වැසියන් මිනිස්‌ පලිහක්‌ ලෙස තබාගත්තේ නැත. නමුත් සති ගණනාවකට හෝ පාකිස්‌තාන වැසියන් අවතැන්වීම ගැන වගකිව යුත්තේ ඇමරිකාවය. ස්‌වැට්‌ නිම්නයේ ජනතාව අවතැන් කළ ඇමරිකානු රාජ්‍යයට වවුනියාවේ අවතැන් වූවන් ගැන කතා කිරීමට කිසිදු සදාචාර අයිතියක්‌ නැත. වික්‍රමසිංහ මහතාද අවතැන්වූවන් ගැන කතා කරන්නේ වොෂිංටනයේ පූර්ණ ආශිර්වාදය ඇතිවදැයි අපට සැක සිතේ.

අවතැන් කඳවුරුවල වැසියන් ජීවත් කරන්නට රජය දිනකට රුපියල් කෝටි ගණනක්‌ වැය කරයි. සැබවින්ම ලක්‌ෂ තුනකට අධික පිරිසකට නොමිලයේ කන්න දීම බරපතල ප්‍රශ්නයකි. ඔවුන් ඉක්‌මනින් නිදහස්‌ කර හැරියහොත් එය භාණ්‌ඩාගාරයටද පහසුවකි. නමුත් ප්‍ර්‍රභාකරන් පොට්‌ටු අම්මාන් ද කේ. පී. ද නිෂ්ක්‍රීය වී ඇති නමුත් මේ අවතැන් කඳවුරුවල නැවත ඊළම වෙනුවෙන් සටන් කිරීමට සූදානම් වන කොටි සෙවණැලි ජීවත් වේ. ඔවුන් හඳුනාගත යුතුය. සිංහලයන්ගේ ලේ වලින් සිමෙන්ති අනා ප්‍රභාකරන්ගේ පිළිරුවක්‌ තැනිය යුතු බව ප්‍රකාශ කරමින් ලියූ පෝස්‌ටර් කිහිපයක්‌ද පසුගිය දිනක වව්නියාවේ අනාථ කඳවුරක අලවා තිබියදී අසුවිය. මියගිය කොටින්ට නැවත පණ දෙන උපක්‍රමවලට රජය හසුවිය යුතු නැත. වසර තිහක යුද්ධය නිමාකර ලබාගත් ජයග්‍රහණ සියල්ලම ආපසු කණපිට හැරවීම සඳහා විවිධ දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ දැනටමත් සිදුවෙමින් පවතී. අවතැන් වූවන් වහා මුදාහරින්නැයි කෙරෙන ඉල්ලීමද එවැන්නකි. බටහිර ලෝකයේ සිටින කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවද මේ ඉල්ලීම දිගින් දිගටම සිදු කරන්නේ නැවත වරක්‌ වන්නියේ බෝම්බ පිපිරෙනු දැක සතුටින් ඉපිලීමටය. එම නිසා දින 180 ක්‌ නොව තව දින 360 ක්‌ අවතැන් කඳවුරු වැසියන් ආරක්‌ෂිතව තබාගෙන ඔවුනට අවශ්‍ය පහසුකම් ලබාදී ජාතික ආරක්‌ෂාවට ප්‍රශ්නයක්‌ නොවන ආකාරයට නැවත පදිංචි කිරීම් සිදු කළ යුතුය.

චතුර පමුණුව

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v