|
|
|
|

වාර්තාව කුණු බක්‌කියට ගියත්
රාජ්‍ය ආයතන ගැන ඇත්ත මෙන්න
කෝප් වාර්තාව
දිගු කලක් තිස්‌සේ සමස්‌ත ජාතියම පෙළීමට ලක් කළ ප්‍රභාකරන්
ඇතුළු කොටි ත්‍රස්‌ත නඩය ඝාතනය කිරීම ගැන පක්‍ෂ පාට භේදයකින්
තොරව සමස්‌ත රටවැසියාම මේ රජයට ගෞරව කරන බව ඇත්තය. එහෙත් එය
කිසිසේත්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන වංචා, දූෂණ සහ
අක්‍රමිකතා සම්බන්ධයෙන් නිහඬව සිටීමට හේතුවක් වන්නේ නැත.
රණවිරුවන් රටට ලබාදුන් යුද ජයග්‍රහණය උපරිම ලෙස අර්ථවත් කළ
හැක්‌කේ මෙවැනි වැරදි සිදුවීම් හැකිතාක් අවම කිරිමට ගත හැකි
හැම පියවරක්‌ම ගැනීමෙනි. ඒ නිසා රණවිරු විජයග්‍රහණය පාවා
දෙමින්, එහි ආවරණය ලබන්නට කිsසිදු දේශපාලනඥයකුට හෝ කිසිදු ලොකු
කුඩා රාජ්‍ය නිලධාරියෙකුට හෝ අප ඉඩ දිය යුතු නැත.
මේ පූර්විකාව අප සටහන් කළේ පසුගියදා (අගෝස්‌තු 19)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ නවතම කෝප් වාර්තාව මගින් හෙළිදරව්
කර තිබූ රාජ්‍ය ආයතන 20 ක් සම්බන්ධයෙන් වන වැරැදි හා
අක්‍රමිකතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. දැනටමත් මේ පිළිබඳව
මාධ්‍ය මගින් රටටම හෙළිදරව් වී අවසන් ය. අප කොතෙකුත් රාජ්‍ය
ආයතනවල සිදුවන වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සාකච්ඡා කර ඇත.
එහෙත් ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව නිසි පියවර ගන්නා බවක් හෝ
ඒවා අඩු වන බවක් ද අපට පෙනෙන්නට නැත. කවරක් නමුත් මේ පිළිබඳව
මහජනයා දැනුවත් වීම ද ඉතා වැදගත් ය. මාධ්‍ය වශයෙන් අපට කළ
හැක්‌කේ මහජනයාට කරුණු හෙළිදරව් කිරීමත්, ඒ පිළිබඳව බලධාරීන්ගේ
අවධානය යොමු කිරීමත් ය.
මේ අනුව හයවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පත් කළ
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) ප්‍රථම වාර්තාව ඉකුත්
අගෝස්‌තු 19 වැනිදා, බදාදා එහි සභාපති ඩබ්ලිව්. ඩී. ඡේ.
සෙනෙවිරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. වර්ෂ
2008 ජුලි 08 දින සිට 2008 දෙසැම්බර් 31 දින දක්‌වා වූ කාල
සීමාව තුළ රාජ්‍ය ආයතන 20 ක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර
මේ වාර්තාව සම්පාදනය කර තිබේ. කෝප් වාර්තාවෙන් විමර්ශනයට ලක්
කර ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන 20 මෙසේයි.
1. ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය
2 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය
3. ලංකා ධීවර වරාය සංස්‌ථාව
4. පරමාණු බලශක්‌ති අධිකාරිය.
5. ජල සම්පත් මණ්‌ඩලය.
6. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය.
7. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය
8. ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්‌ථාව.
9. රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් සංස්‌ථාව.
10. පාරිභෝගික කටයුතු අධිකාරිය
11. මහජන උපයෝගිතා කොමිසම
12. ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්‌ඩලය.
13. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය.
14. ජාතික ගමනාගමන කොමිසම
15. ජාතික ලොතරැයි මණ්‌ඩලය.
16. ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව
17. ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම
18. සංවර්ධන ලොතරැයි මණ්‌ඩලය
19. ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය.
20. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්‌ථාව.
මේ සෑම ආයතනයක් සම්බන්ධයෙන් ම වන විෂමතා පොදු ව්‍යාපාර කාරක
සභාව විසින් හඳුනාගෙන ඇත. කෝප් වාර්තාව මගින් හෙළිදරව් කර ඇති
එකී විෂමතා පිළිබඳව මීළඟට අපි අපේ අවධානය යොමු කරමු. කාලයක්
තිස්‌සේ රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් තෙල් සංස්‌ථාවේ
හෙජින් ගිවිසුම්වලට අදාළ තොරතුරු ද කෝප් වාර්තාව මගින් අනාවරණය
කර තිබීම විශේෂත්වයකි. විශේෂයෙන් හෙජින් ගිවිසුම් සම්බන්ධයෙන්
ප්‍රශ්න කිරීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ හිටපු
සභාපතිවරයා කෝප් සභාවට සඳහන් කර ඇත්තේ හෙජින් ගිවිසුම් නොවන්නට
පෙට්‍රල්වල වෙළෙඳපොළ මිල වර්තමාන මිලට වඩා අඩු වනු ඇති බවයි.
නමුත් තෙල් මිල ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරිණි. මේ හෙජින්
ගිවිසුම් සඳහා බැංක පහක් සම්බන්ධ වී තිබිණි..
හෙජින් ගිවිසුම් සම්බන්ධයෙන් වන අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතිය ගැන
පොදු ව්‍යාපාර කාරක සභාවට ඉදිරිපත් කර තිබුණේ සංකල්ප
පත්‍රිකාවක් පමණක් බව ද කෝප් වාර්තාවේ සඳහන් ය. 2006.09.06
දින මහ බැංකුව විසින් හෙජින් විෂය පිළිබඳව අමාත්‍ය මණ්‌ඩලයට
කරුණු දැක්‌වීමක් ඉදිරිපත් කර තිබිණි. ඉන් පසුව ඒ සඳහා
අධ්‍යයන කණ්‌ඩායමක් ද පත් කරන ලදී. ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ
සභාපතිවරයා කෝප් කමිටුවට පවසා ඇත්තේ හෙජින් සඳහා අමාත්‍ය
මණ්‌ඩලය ආවරණ අනුමැතිය ලබා දී ඇත්තේ සංකල්ප පත්‍රිකාවක් මත
පදනම්ව බවයි. කෝප් වාර්තාවේ තෙල් සංස්‌ථාවේ හෙජින් ගිවිසුම්වලට
අදාළව මෙසේද සඳහන් ය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ විගණකාධිපතිවරයාට පිළිතුරු
සපයා නැති අතර, විගණකාධිපතිවරයාට ලංකා ඛනිජ තෙල් නීතිගත
සංස්‌ථාවට පැමිණ එහි සභාපතිවරයා මුණ ගැසෙන ලෙස පැවසෙන බව ඇඟවෙන
ආකාරයේ ලිපියක් යවා ඇත.
විගණකාධිපතිවරයා වෙත තෙල් සංස්‌ථාව විසින් යවන ලද මේ ලිපිය
සම්බන්ධයෙන් සහ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයෙන් ආවරණ අනුමැතියක් ලබා
ගන්නා ලද ආකාරය සම්බන්ධයෙන් කෝප් සභාව විසින් අප්‍රසාදය පළ කර
තිබේ.
එසේම කෝප් වාර්තාව හෙළිකර ඇති පරිදි තෙල් සංස්‌ථාව වෙත නිකුත්
කර තිබූ විගණන විමසුම් 26 ක් අතුරින් පිළිතුරු සපයා තිබුණේ
හතරකට (4) පමණකි. මේ සම්බන්ධයෙන් කෝප් වාර්තාවෙන් නිර්දේශ කර
ඇත්තේ තෙල් සංස්‌ථාවේ විගණන කමිටුව විධිමත්ව රැස්‌විය යුතු
බවත් අභ්‍යන්තර විගණන විමසුම්වලට අප්‍රමාදව පිළිතුරු සැපයිය
යුතු බවත් ය.
විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අදාළව සාකච්ඡා කරන ලද ප්‍රධාන
ගැටලුවක් වන්නේ විදේශ රැකියා සඳහා ගිය පිරිසෙන් සියදිවි
නසාගත් අය ද ඇතුළුව මරණයට පත්වූ සංඛ්‍යාව පසුගිය වසරේදී 458
ක් දක්‌වා ඉහළ යැමයි. මීට පෙර මෙම සංඛ්‍යාව අඩු මට්‌ටමක පැවතී
ඇත. මේ සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ කෝප් වාර්තාව අතෘප්තිය පළකර
ඇති අතර සුබසාධක නිලධාරීන්ගේ භූමිකාව පරීCZෂා කළ යුතු බවට ද
මරණ සඳහා වූ හේතු නිශ්චය කර ගත යුතු බවට ද නිර්දේශ කර ඇත.
කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය පවතින්නේ උසස් අධ්‍යාපන
අමාත්‍යාංශය යටතේ ය. මෙම පශ්චාත් උපාධි ආයතනයේ ශාඛාවක්
ඩුබායිහි තිබෙන අතර එය මෙවැනි ශ්‍රී ලංකා ආයතනයක් මගින්
පිහිටුවන ලද පළමු ශාඛාව වුවත් ඉන් මෙතෙක් කිසිදු ආදායමක්
ලැබී නැතැයි ද ඩුබායි ශාඛාවේ ගැටලු ඇති බව පෙනෙන බව ද කෝප්
වාර්තාවේ සඳහන් ය. පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් අනුමැතියකින්
තොරව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ නම භාවිත කිරීම
සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම අවශ්‍ය
බව ද කෝප් කමිටුව තීරණය කර ඇත. අදාළ පෞද්ගලික ඇකඩමිය වෙනුවෙන්
මහාචාර්ය ගුණපාල නානායක්‌කාර මහතා සහතික සඳහා අත්සන යොදා ඇති
බව හෙළි වී ඇති අතර දැනට සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය
නවත්වා ඇති බව ද කෝප් වාර්තාව පෙන්වා දෙයි. කවරක් නමුත් මේ
සිදුවීම 2009 02.28 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත
යොමු කර තිබේ..
මහාචාර්ය ගුණපාල නානායක්‌කාර මහතා ඩුබායි ශාඛාවේ කටයුතු
මෙහෙයවනු ලබුවත්, එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්
අනුමත කර නැති බව පවසන කෝප් වාර්තාව තවදුරටත් කියා සිටින්නේ
කොන්ත්‍රාත් පදනම යටතේ කළමනාකරණ මහාචාර්යවරයකු ලෙස මහාචාර්ය
නානායක්‌කාර මහතා පත් කිරිමේ පදනම පැහැදිලි නැති බවයි. සහතික
නිකුත් කිරීම ඇතුළු මේ සියලු කරුණු ගැන විශ්වවිද්‍යාල
ප්‍රතිපාදන කොමිසම විසින් පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ද
ඉදිරිපත් කර ඇත.
සම්බන්ධීකරණ ගාස්‌තු ලෙස අධ්‍යක්‍ෂක, මහාචාර්ය නානායක්‌කාරට
මීට පෙර රු. මිලියන 1.3 ක් ගෙවා තිබුණ ද, මෙම ගෙවීමේ අරමුණ
නිසි ලෙස පැහැදිලි කර නැති බව ද කෝප් වාර්තාව සඳහන් කරයි. මෙම
හිටපු අධ්‍යක්‍ෂවරායගේ ක්‍රියාකලාපය පිළිබඳව අධ්‍යක්‍ෂ මණ්‌ඩලය
පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බවට ද කෝප් වාර්තාව නිර්දේශ
කර තිබේ..
මේ ආකාරයට මෙකී කෝප් වාර්තාව මගින් අදාළ රාජ්‍ය ආයතන 20
සම්බන්ධයෙන් ම හඳුනාගත් වැරදි සහ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු
හෙළිදරව් කර ඇති අතර මේ ලිපියෙන් අප අවධානය යොමුකර ඇත්තේ ආයතන
කිහිපයක් සම්බන්ධයෙන් පමණි. කවරක් නමුත් ජනමාධ්‍ය හා තොරතුරු
අමාත්‍යාංශය යටතේ ඇති දැනට අක්‍රීයව ඇති පුවත්පත් මණ්‌ඩලය ගැන
කෝප් වාර්තාවෙන් කර ඇති නිර්දේශය ද සඳහන් නොකරම බැරිය. ඊට
හේතුව නම් මෙකී නිර්දේශ පිළිබඳව කාරක සභාව නියෝජනය කරන විරුද්ධ
පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයක් නොමැති වීමයි. කෝප් වාර්තාවේ
ඇති නිර්දේශය මෙසේය.
"පුවත්පත් මණ්‌ඩලය දැන් අත්‍යවශ්‍ය ලෙස සැලකේ. මණ්‌ඩලය
ප්‍රතිස්‌ථාපනය කර පත්වීම් දීම සිදුකළ යුතුය."
එසේම කෝප් වාර්තාවේ මෙසේද සඳහන්ය.
"මණ්‌ඩලය ප්‍රවෘත්ති මාධ්‍ය කලාව මර්දනය කරනු ඇතැයි සැක කරන
කණ්‌ඩායම් සිටිති. මෙය පදනම් විරහිත සැකයකි."
කෝප් වාර්තාව සඳහන් කරන මේ කණ්‌ඩායම් කවුදැයි අප දන්නේ නැත.
වාර්තාවේ ඇති මේ සඳහන සම්බන්ධයෙන් විපක්‍ෂ මන්ත්‍රීවරුන්
මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ එවැන්නක් සභාවේදී සාකච්ඡාවට භාජන
නොකළ බවත්, සාකච්ඡාවට භාජන නොකළ කරුණක් වාර්තාවට ඇතුළත් වූයේ
කෙසේද යන්න ප්‍රශ්නයක් බවත්ය. මෙම කෝප් වාර්තාවට ඇතුළත් වී
ඇති ඇතැම් කරුණු ගැන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කළ
සියලු දේශපාලන පක්‍ෂවල එකඟතාවක් නොමැති වීම නිසා මෙකී කෝප්
වාර්තාව සම්බන්ධයෙන් අගෝස්‌තු 19 වැනිදා පැවැත්වීමටට නියමිත
ප්‍රවෘත්ති සාකච්ඡාවද අවලංගු වූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ ප්‍රවෘත්ති සාකච්ඡාව කල්
දැමීමට කලින් එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ජවිපෙ
මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක හා සුනිල් හඳුන්නෙත්ති
යන මහත්වරුන් කෝප් සභාපති ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න
මහතා සමඟ දීර්ඝ ලෙස වචන හුවමාරුවක යෙදුණු බවයි.
මෙම විපක්‍ෂ මන්ත්‍රීවරුන් පවසන පරිදි කෝප් සභාවේදී සාකච්ඡා
නොකළ, එකඟත්වයට පත් නොවූ කරුණු කෝප් වාර්තාවට ඇතුළත්ව ඇත්නම්
එය සැලකිය යුතු කරුණකි. කවරක් නමුත් විමර්ශනයට භාජන කළ රාජ්‍ය
ආයතන සම්බන්ධයෙන් කෝප් වාර්තාව පෙන්වා දී ඇති වැරැදි හා
අඩුපාඩු පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පමණක් නොව අදාළ
රාජ්‍ය ආයතන අයත් අමාත්‍යාංශවලට නායකත්වය දෙන මැති ඇමැතිවරුන්
ද සිය බලවත් අවධානය යොමු කර එම වැරදි නිවැරැදි කිරීමට වහාම
පියවර ගත යුතු බව අපේ හැඟීමයි. පෙර කෝප් වාර්තාවලට අත් වූ ඉරණම
මේ කෝප් වාර්තාවටත් අත් නොවේවාෘ යෑයි ද අපි ප්‍රාර්ථනා කරමු.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
|
|
|
|