|
|
|
|

යාල-කුමන ඉඩෝරයේ වනසතුන්ගේ
ඉකිබිඳුම
මෙවර
වියළි කලාපයට කලින්ම පෑවිල්ල ඇල්ලුවේය. ඒ අප්‍රේල් මාසයේ පමණ
සිට හරිහැටි වැස්‌සක් නොලැබීම නිසාය. මේ හේතුවෙන් වෙනදා
සැප්තැම්බරයේදී පමණ උග්‍රවන ඉඩෝරය මෙවර ජූලි - අගෝස්‌තු වනවිටම
උදාවිය. වැව්, අමුණු, දියවළවල් සිඳී යන්නට විය. ගැමියන්ගේ
ගොවිතැනට බතට පමණක් නොව නෑමටද, බීමටද දිය පොදක් සොයා යන්නට
සිදුවිය. එහෙත් ගිනි ගහන ඉඩෝරයේ පිපාසාව, මහා වේදනාව
වැඩිවශයෙන් දැනුණේ වන සතුන්ටය. දිය පොදක් ඉල්ලා සිටින්නට උන්ට
හැකියාවක් නැත. තිබෙන තැනකින් දිය පොදක් තොලගෑමත් විටෙක
මරණයට හේතුවක් වෙයි. වන සතුන් අතර පවතින බලප්‍රදේශ අරගලයද
සතුන් පිපාසාවෙන් පෙළීමට ප්‍රධාන හේතූන් අතරට ගැනේ.
මෙවර
නියඟයේ දැඩිව බලපෑම එල්ල වූයේ යාල සහ කුමන ජාතික උද්‍යාන
වෙතයි. මෙම වනෝද්‍යාන දෙකට සම්බන්ධ ගංගා, ඔය සහ වැව් පිහිටා
තිබුණද, මේ සියල්ලක් නියඟයේ ග්‍රහණයට නතු විය. පසුගියදා යාල
ජාතික උද්‍යානයේ නිරීක්‍ෂණයක යෙදුණු අප දුටුවේ බොහොමයක් වැව්
අවසන් පණනල රැකගන්නට දරන සටනයි. ඒ අඳෝනාවට මැදිවූ මුව රංචු,
වල් හරකුන්, අලි - ඇතුන් දිය පොදක සිසිලස ලබන්නට දරන වෙහෙස
සැබැවින්ම වේදනාබර විය.
ඒ
වනවිටත් දියවළවල් රැසක් සිඳී ගොස් තිබිණි. තවත් දියවළක්
අසලදී යාල වනෝද්‍යානයේ රියෑදුරු චන්දන තම දිගුකාලීන අත්දැකීම
මත අපට කියා සිටියේ තවත් උපරිම සතියක් මෙම වළේ වතුර තිබේවිය
යන්නයි. මේ අතර උද්‍යානයට අයත් බවුසර් රථය මගින් තෝරාගත්
දියවළවල් කිහිපයකට රැය පහන් වනතුරා ජලය පිරවීමේ කාර්යයේ නිරතවන
රාජකාරිය භාරගෙන තිබිණි. එහෙත් එක් වටයක් නිමාකරනවිට පළමු
වළේ වතුර යළිත් පුරවන්නට සිදුවන තරමට යාල වනෝද්‍යානයේ ජල
අවශ්‍යතාව සතා - සිව්පාවා ඉතා කදිමට පෙන්නුම් කළේය.
යාල වනෝද්‍යානය සිරිතක් වශයෙන් සෑම වසරකම අගෝස්‌තු මැද සිට
සැප්තැම්බර් මැද දක්‌වා වසා තබයි. ඒ විශේෂයෙන්ම මතුවන ජල
ගැටලුව, උද්‍යානයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු හා වතුර නොමැතිව
අපහසුතාවට ලක්‌ව සිටින වනසතුන්ට තවදුරටත් සංචාරකයන්ගෙන් සිදුවන
බාධා සහ හිරිහැර අවම කර ගැනීම සඳහාය. එහෙත් මෙවර ඒ තීරණය
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නොගැනීම එතරම් නුවණැති
ක්‍රියාවක් නොවේ. යුද්ධයේ නිමාවත් සමඟ යාල උද්‍යානයට
සංචාරකයන් වැඩි වශයෙන් පැමිණියේ මෙසේ එක් අතකින් යාලට ගිනි
ගහන ඉඩෝරය උදාවීමත් සමඟය. විශාල වශයෙන් ඇදී එන සෆාරි ජීප් රථ
පෙළ දිය බිඳක් සොයායන මුවන්ට, ගෝනුන්ට, වළසුන්ට හා කොටියන්ට
සැබෑම බාධාවකි.
එක් ප්‍රදේශයක බලය තහවුරු කරගෙන සිටින කොටියන් වැනි වන සතුන්
තමන්ගේ බල ප්‍රදේශයට වෙනත් කොටියකුට ඇතුළු වීමට ඉඩ නොදේ. එහෙත්
පිපාසාව සංසිඳුවා ගැනීම සඳහා තවත් සතකුගේ බල ප්‍රදේශය උල්ලංඝනය
කරන්නේ බොහෝ වේලා සැඟව සිටීමෙන් පසු ලබන ඇසිල්ලකිනි. එහෙත් මේ
සියල්ල පරදා මේ දිනවල වතුර වළවල් අසල රැකවල්ලා සිටින්නේ සෆාරි
කරුවන්ය.
තවත් අතකින් වැව්, අමුණු ඇතුළු ප්‍රතිසංස්‌කරණය සඳහා යෙදවිය
යුතු වනජීවී නිලධාරීන් සෆාරිකරුවන්ගේ මගපෙන්වන්නන් බවට පත්වී
යායුතුව තිබේ. එබැවින් කළයුතුව ඇත්තේ උද්‍යානය සුපුරුදු පරිදි
වසා දමා ප්‍රතිසංස්‌කරණ කටයුතුවලට මුල්තැන දීමය. සතුන්ගේ
නිදහස් සංචරණයට මුල්තැන දීමය.
දිය පිරවිය හැකි මට්‌ටමින් සිමෙන්ති යොදා සෑදු වතුර වළවල් දැනට
යාලටම ඇත්තේ අටක් පමණ ප්‍රමාණයකි. එහෙත් එය කිසිසේත්
ප්‍රමාණවත් නොවේ. පසුගියදා යාල උද්‍යාන මූලස්‌ථානයේදී "දිවයින"
කළ විමසීමකදී අදහස් දැක්‌වූ පාරිසරික හා ස්‌වාභාවික සම්පත්
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියේ යාල ජල
ප්‍රශ්නය උග්‍රව ඇති බවත් වහාම තවත් සිමෙන්ති යෙදූ වතුර වළවල්
12 ක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත්ය. අමාත්‍යවරයා යාල
උද්‍යානයේ ජල ගැටලුවට සහනයක් දීමට උද්‍යාන නිලධාරීන් දැනුවත්
කරන ආකාරයද එහිදී අපි දුටුවෙමු. අමාත්‍යවරයාගේ මග පෙන්වීම
පරිදි මේ වනවිටත් නව සිමෙන්ති වළවල් 5 ක් නිර්මාණය වී ඇත.
එසේම දැනගන්නට ඇති පරිදි අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ
උපදෙස් පරිදි වැව් කිහිපයකට මැණික් ගඟෙන් වතුර පොම්පකර
ජලහිඟය පියවා ගැනීමට කටයුතු කර ඇත. මැණික් ගඟේ සිට කිලෝමීටර්
දෙකහමාරක් පමණ දුරින් යුත් දිගන්වල වැව ඇතුළු වැව් කිහිපයකටද
දියවළවල් කිහිපයකටද ජලය ලබාදීම සිදු කෙරේ.
යාල වනෝද්‍යානයේ තත්ත්වය තරමක් දුරට හෝ යහපත් වුවද, මේ නියඟයේ
වැඩිම බලපෑම එල්ල වූයේ කුමන වනෝද්‍යානයටයි. කුඹුක්‌කන් ඔයෙන්
දෙපසට වෙන්වන යාලත් කුමනත් දැඩි පීඩාවකට පත්වූයේ කුඹුක්‌කන්ඔයේ
වතුර හිඟවීමත් සමඟය. කුඹුක්‌කන්ඔය එකම වැලිතලාවක් සේ දිස්‌වන
තරමට ජලහිඟය උග්‍ර වූ අතර වැව්, දියවළවල් පමණක් නොව කුමන
සුප්‍රසිද්ධ කළපුව ඇතුළු කළපු ගණනාවක්‌ද සිඳී ගියේය. මේ
වනවිටත් වල්හරක්, මී හරක්, මුවන්, ගෝනුන් ඇතුළු වන සතුන් 15
දෙනකුට වඩා මියගොස් සිටි සිරුරු වනජීවී නිලධාරීන්ට හමුව තිබේ.
තවමත් කුමන ජාතික උද්‍යානය සංචාරකයන්ට වසා තබා ඇති අතර මෙහි
සංවර්ධන කටයුතුද තවමත් ආරම්භව නැත. එහෙත් කුමන රැකගැනීමේ අභීත
හස්‌තයක් බඳු බන්දුල ගුණසිංහ නමැති හිතහොඳ වනජීවී නිලධරුවා
මහත් වෙහෙසක් දරා වනසතුන් පිපාසාවෙන් මුදාගන්නට වෙර දැරූ බව
අපි දනිමු. හැකි සෑම අවස්‌ථාවකදීම ඔහු උද්‍යාන භාර නිලධාරී
සියාසිංහ මහතා කැටිව වනෝද්‍යානයේ කුඹුක්‌කන් ඔය තෙර දක්‌වා
ගොස් වැල්ලේ වළවල් හාරා වනසතුන්ට බීමට දියපොදක් දෙන්නට තරම්
ඇප කැප වී ක්‍රියා කළේය. තවත් වනසත්ව ලෝලීන් කිහිප දෙනකු වළවල්
හැරීමට අවශ්‍ය සහාය ලබාදෙන්නටද ඉදිරිපත් විය. කෙසේ හෝ ගුණසිංහ
පෞද්ගලිකව දැන හැඳිනගත් උදවියගේ ආධාරයෙන් කුමනට දිය බිඳක්
සපයා දෙන්නට වෙහෙස මහන්සි වී කටයුතු කළේය. ඔහු එතරම්ම කුමනට
ආදරය කළේය. ත්‍රස්‌තවාදී තර්ජන හේතුවෙන් කුමන වසා දමද්දීත් ඔහු
නිරතුරුව කුමනට තනි රැක්‌කේය.
අවසානයේ ඔහු පෞද්ගලික අංශයේ සහායෙන් බැකෝ යන්ත්‍ර යොදවා
දියවළවල් තැනූ බව අපට ආරංචි විය. එහෙත් කුමනට තිබූ ප්‍රධාන
බාධකය මෙම වළවල් පුරවන්නට ජල බවුසර් නොමැතිවීමය. මේ ගැන අපි
පුන පුනා වාර්තා කළේය. අවසන අපට දැගන්නට ලැබුණේ රතු කුරුස
සංගමය ඇතුළු පරිසරවේදීන් කිහිපදෙනෙකු විසින් දියවළවල්වලට ජලය
පිරවීමට කටයුතු කරන බවයි. වනජීවී නිලධාරීන් 5 - 6 දෙනෙක්
සිටින කුමනට මේ කාර්යයට උරදීම මහත් අභියෝගයකි. කෙසේ හෝ
අනපේක්‍ෂිත සොබාදහමේ මෙවන් අභියෝග අපට ජයගැනීමට පහසු කරුණක්
නොවේ. එහෙත් සෑම වසරකම නියඟයට ගොදුරුවන යාල - කුමන වනෝද්‍යාන
රැකගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් දියත්වීමේ අවශ්‍යතාව දැඩිව
පවතී. ඒ සඳහා අවැසි පහසුකම්, කාර්ය මණ්‌ඩලය සූදානම්ව පැවතීම
වැදගත්ම කාර්යයි. මෙයත් ආපදා කළමනාකරණයේ එක් කොටසකි. මිනිසාට
මෙන්ම වනසතුන්ටද ගහකොළ පරිසරයටද ආපදා පොදුය. මෙම උද්‍යානවලින්
වන සතුන් නරඹා අප අත්විඳින ආශ්වාදය තරම්ම අපගෙන්ද මේ වන උයන්
වෙත වැදගත් යමක් ලැබිය යුතුය. යාලටත්, කුමනටත් අවශ්‍යව ඇත්තේ
මෙසේ වාර්ෂිකව අත්විඳින නියඟයේ දුෂ්කරතාවට පෙර සූදානමකි.
ජගත් කණහැරආරච්චි
|
|
|
|